17/11/2024
ගිලී යා නොදී ජීවිත ගොඩගමු..... with Argha
කළ යුතු ප්‍රථමාධාර
දියේ ගිලුණු අයෙකු අනතුරෙන් මුදවා ගෙන ගොඩබිමට ගෙන ආ විගස උඩුබැලි අතට හාන්සි කොට තබා පහත පියවර අනුගමනය කරන්න.
පුද්ගලයා ඇස් ඇරීම, කතා කිරීම, අතපය සෙලවීම වැනි ප්‍රතිචාර දක්වන්නේදැයි බලන්න. ප්‍රතිචාරයක් දක්වයි නම්, පුද්ගලයාට සිහිය ඇති අතර, ප්‍රතිචාරයක් නොදක්වයි නම් සිහිය නැත.
සිහිය නැත්නම් වහාම 1990 මගින් සුවසැරිය හෝ වෙනත් ආසන්නතම ගිලන් රථයක් අමතා සහාය ඉල්ලා සිටින්න.
සිහිය ඇත්නම්
තෙත ඇඳුම් ඉවත් කොට වියළි ඇඳුම් අන්දවන්න
ශරීර උෂ්ණත්වය ආරක්ෂා කරගැනීමට වියළි ඝනකම රෙද්දකින් ආවරණය කරන්න.
හුස්ම ගැනීම හා නාඩි වේගය හැකිනම් පරීක්ෂා කරන්න
පුද්ගලයා ඇලයකට හරවා තබා රෝහල්ගත කරන්න.
සිහිය නැත්නම්
ගිලන් රථයක් කැඳවන්න. ඒ සඳහා ඇමතුමක් දීමට අවට සිටින අයෙකුගේ සහාය ගන්න.
ගෙල ඉදිරිපස දිගහැරෙන පරිදි නිකට ඉහළට ඔසවමින් සහ හිස පිටුපසට නැඹුරු වන පරිදි ස්වසනය මාර්ගය විවෘත කරන්න
මුඛයේ යමක් සිරවී ඇති බව පෙනේ නම්, එය ඉවත් කරන්න.
හුස්ම ගනීදැයි පරීක්ෂා කර බලන්න. මේ සඳහා පුද්ගලයාගේ නාසය අසලට ඔබේ කන සහ කම්මුල පහත් කොට පපුව දෙස සිරුරේ පහළට බලන්න. හුස්ම ගන්නා ශබ්දය ඇසීම, කම්මුලට දැනීම හා පපු ප්‍රදේශය උස්පහත්වීම සිදුවීම ආදිය සිදුවේදැයි තත්පර 10 ක් බලන්න. ස්වසනය කරයි නම් එම කාලය තුළ දෙතුන් වතාවක් ඔබට හුස්ම නිරීක්ෂණය වේ. කොරෝනා වෛරස් ආසාදනය වන මේ සමය තුළ නම්, රෝගියාගේ මුව ළං නොවී පපු ප්‍රදේශය උස්පහත්වීම නිරීක්ෂණය කිරීමෙන් හුස්ම ගන්නේදැයි හඳුනාගැනීමට උත්සාය ගන්න.
සිහිය නැති නමුත් ස්වසනය කරයි නම් (හුස්ම ගනී නම්)
දියේ ගිලීම සිදු වූයේ නොගැඹුරු ජලයට පැනීමකදී නම්, රෝගියාගේ කශේරුවට හානි වී තිබිය හැක. එවැනි විටක අනවශ්‍ය ලෙස රෝගියා සෙලවීමෙන් හා එසවීමෙන් වළකින්න.
අනෙකුත් දියේ ගිලීමකදී නම් රෝගියාගේ කට පහතටත්, ගෙල ඉදිරිපස දිගහැරී සිටින ලෙසත් රෝගියා ඇලයකට හරවා තබන්න.
තෙත ඇඳුම් වෙනුවට වියළි ඇඳුම් අන්දවන්න. හැකිනම් පොරෝනයකින් ආවරණය කරන්න.
ගිලන්රථ සහාය පැමිණි විට හෝ හැකි විගස රෝගියා රෝහල්ගත කරන්න.
වරින් වර ස්වසනය සහ නාඩි පරීක්ෂා කර බලන්න.
ස්වසනය නොකරයි නම් (හුස්ම නොගනී නම්)
රෝගියා රෝහලක් වෙත ගෙන යාමට 1990 අංකය මගින් හෝ වෙනත් ආසන්නතම සේවාවක් වෙතින් ගිලන් රථයක් හෝ සුදුසු වෙනත් ප්‍රවාහන මාධ්‍යක් සූදානම් කිරීමට අවට රැස්වී සිටින අයෙකුට පවසන්න.
මුඛයට මුඛය තබා කෘතිම ස්වසන වාර 05 ක් ලබා දෙන්න.
පපුව හරි මැදට පපු පීඩනවාර 30 ක් ලබා දෙන්න. පපු පීඩනය ලබා දීමේදී රෝගියාගේ මුඛයෙන් ජලය හෝ තරල වමනය වන්නේ නම්, රෝගියා ඇලයකට හරවා එම තරල ඉවත්වූ විගස යළි පපු පීඩන වාර 30 ක් ලබා දෙන්න.
නැවත කෘතිම ස්වසන වාර 02 ක් ලබා දෙන්න. ඉන්පසුව පපු පීඩන වාර 30 ක් හා කෘතිම ස්වසන වාර 02 ක් බැගින් අඛණ්ඩව රෝගියා තනිවම හුස්ම ගන්නා තෙක් හෝ රෝගියා ගිලන් රථයක් වෙත භාර දෙන තෙක් මෙම CPR (කන්තුක පුප්ඵුශීය පුනරුත්ථානය) ලබා දෙන්න.
CPR ලබා දෙන විට රෝගියා ස්වසනය ආරම්භ කළේ නම්, CPR නවතා රෝගියා ඇලයකට හරවා තබා තෙත ඇඳුම් වෙනුවට වියළි ඇඳුම් මාරු කොට පොරෝනයකින් ආවරණය කරන්න.
care Argha care
Call us:
0775058384
0766643327