
31/05/2024
බුද්ධ වචනය කිනම් ආකාරද ?
" එවමෙතං සබ්බම්පි බුද්ධවචනං රසවසෙන එකවිධං, ධම්මවිනයවසෙන දුවිධං, පඨමමජ්ඣිමපච්ඡිමවසෙන තිවිධං. තථා පිටකවසෙන. නිකායවසෙන පඤ්චවිධං, අඞ්ගවසෙන නවවිධං, ධම්මක්ඛන්‍ධවසෙන චතුරාසීතිසහස්සවිධන්ති වෙදිතබ්බං. "
වශයෙන් දක්වා ඇත.
එනම් මෙහි අර්ථය මෙසේ මේ සියලු බුද්ධ වචනය රස වශයෙන් ඒකවිධය. ධර්ම-විනය වශයෙන් ද්විවිධය. ප්‍රථම, මධ්‍යම පශ්චිම වශයෙන් ත්‍රිවිධය. පිටක වශයෙන්ද එසේය. නිකාය වශයෙන් පංචවිධය. අංග වශයෙන් නවවිධය. ධර්මස්කන්ධ වශයෙන් අසූහතර දහස් වැදෑරුම්යයි දතයුතුය යනුවෙනි.
රස වශයෙන් ඒකවිධ වන්නේ කෙසේද?
භාග්‍යවතුන් වහන්සේ විසින් සම්මා සම්බෝධිය අවබෝධ කොටගෙන අනුපාධිසේස නිර්වාණ ධාතුවෙන් පිරිනිවන්පාන තාක් ඒ අතරතුර හතළිස් පස්වසක් දිව්‍ය මනුෂ්‍ය නාග යක්ෂ ආදීන්ට අනුශාසනා කරමින්ද, ප්‍රත්‍යවේක්‍ෂා කරමින් ද, වදාරන ලද සියල්ල එකම විමුක්ති රස ම වෙයි. එනම් නිර්වාණ රසයෙන්ම යුක්තය. මෙසේ රස වශයෙන් ඒකවිධය.ඒකාකාරය.
ධර්ම විනය වශයෙන් ද්විවිධ වන්නේ කෙසේද?
මෙහිදී සියල්ලම ධර්මයද විනයද යනුවෙන් ගැනේ. එහි විනය පිටකය විනයයි. ඉතිරි බුද්ධ වචනය ධර්මයයි.එනම් සූත්‍ර සහ අභිධර්මයයි. එනිසා ප්‍රථම ධර්ම සංගායනාවේදී ‘අපි ධර්මයද විනයද සංගායනා කරන්නෙමු නම් මැනවි’යි මම උපාලි තෙරුන්ගෙන් විනය විමසමි. අනඳ තෙරුන්ගෙන් ධර්මය විමසමි’ කීවේය. මෙසේ ධර්ම විනය වශයෙන් ද්විවිධය.
ප්‍රථම මධ්‍යම පශ්චිම වශයෙන් ත්‍රිවිධ වන්නේ කෙසේද?
මෙහිදී සියල්ලම ප්‍රථම බුද්ධ වචනය, මධ්‍යම බුද්ධ වචනය, පශ්චිම බුද්ධ වචනයයි ප්‍රභේද තුනක් වෙයි.
මෙහි ප්‍රථම බුද්ධ වචනය යනු
''අනෙකජාතිසංසාරං, සන්‍ධාවිස්සං අනිබ්බිසං;
ගහකාරං ගවෙසන්තො, දුක්ඛා ජාති පුනප්පුනං.
ගහකාරක දිට්ඨොසි, පුන ගෙහං න කාහසි;
සබ්බා තෙ ඵාසුකා භග්ගා, ගහකූටං විසඞ්ඛතං;
විසඞ්ඛාරගතං චිත්තං, තණ්හානං ඛයමජ්ඣගා” යන ගාථාවයි.
එසේම විනය පිටකයෙ මහාක්ඛන්ධකයේ එන
"යදා භවෙ පාතුභවන්ති ධම්මා
ආතාපිනො ඣායතො බ්‍රාහ්මණස්ස
අථස්ස කංඛ වපයන්ති සංඛා
යතො පජානාති සහෙතුධම්මං
යදා භවෙ පාතුභවන්ති ධම්මා
ආතාපිනො ඣායතො බ්‍රාහ්මණස්ස
අථස්ස කංඛා වපයන්ති සබ්බා
යතො ඛයං පච්චයානං අවෙදි
යදා භවෙ පාතු භවන්ති ධම්මා
ආතාපිනො ඣායතො බ්‍රාහ්මණස්ස
විධූපයං තිට්ඨති මාරසෙනං
සුරියො ච ඔභාසයනන්ත ලික්‍ඛන්ති"
යන ගාථා ත්‍රිත්වයද ප්‍රථම බුද්ධ වචනයැයි ගනු ලැබේ.
මේවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්‍යක් මාර්ගය අනුගමනය කරමින් සර්වඥ භාවයට පැමිණි සෝමනස්සය ඥානයෙන් ප්‍රත්‍යවේක්ෂා කිරීම නිසා උපන් උදාන ගාථා වේ.
පිරිනිවන්පාන අවස්ථාවේදී ‘හන්‍දදානි භික්ඛවෙ ආමන්තයාමි වො, අප්පමාදෙන සම්පාදෙථ’ යනුවෙන් පැවසූ වචනය පශ්චිම බුද්ධ වචනයයි.
මේ ප්‍රථම බුද්ධ වචන සහ අවසන් බුද්ධ වචනය අතරවාරයේ කියන ලද සියල්ල මධ්‍යම බුද්ධ වචනය වේ. මෙසේ ප්‍රථම මධ්‍යම පශ්චිම බුද්ධවචන වශයෙන් ත්‍රිවිධ වෙයි.
පිටක වශයෙන් තුන් වැදෑරුම් වන්නේ කෙසේද යත් විනය පිටක,සූත්‍ර පිටක සහ අභිධර්ම පිටක වශයෙනි.
නිකාය වශයෙන් පස්වැදෑරුම් වන්නේ කෙසේද යත් සියලු බුද්ධවචනය දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකාය ලෙසින් පස්වැදෑරුම් වේ..
ප්‍රමාණයෙන් දිග් වූ සූත්‍රයන් 34කගේ සමූහයක්,නිවාසයක් බැවින් දීඝ නිකාය යනුවෙන් හැඳින්වයි.
මජ්ඣිම නිකායේ මධ්‍යම ප්‍රමාණයේ වර්ග 15ක සංග්‍රහ වූ මූලපරියාය සූත්‍රය ආදී සූත්‍ර 150 ක් ඇත.
සංයුක්ත නිකායේ සූත්‍ර 7762 කි.
අංගුත්තර නිකායෙහි සූත්‍ර 9957කි.
ඛුද්දක නිකාය යනු මෙම නය ක්‍රමයට අනුව ඉහත දැක්වූ සූත්‍රාදිය හැර විනය පිටකයත්, අභිධර්ම පිටකයත් සහ අන් සියළුම බුද්ධ වචනයන් ඛුද්දක පිටකයට ඇතුලත් වේ.
අංග වශයෙන් නව වැදෑරුම් වන්නේ කෙසේද යත්,
සියලු බුද්ධ වචනය
1.සුත්ත
2.ගෙය්‍ය
3.වෙය්‍යාකරණ
4.ගාථා
5.උදාන
6.ඉතිවුත්තක
7.ජාතක
8.අබ්භූත ධම්ම
9.වෙදල්ල යනුවෙන් ප්‍රභේද නවයක් වෙයි.
1.සුත්ත :-
උභතො විභංග,නිද්දෙස, ඛන්‍ධක,පරිවාර සූත්‍ර නිපාතයෙහි මංගල සුත්ත, රතන සුත්ත, නාලක සුත්ත, තුවටක සූත්‍රයෝ ද වෙති. ‘සුත්ත’ නාමය ඇති අනිකුත් තථාගත වචනය ‘සුත්ත’ ගණයට වැටේ.
2.ගෙය්‍ය :-
සියලුම ගාථා සහිත සූත්‍ර ‘ගෙය්‍ය’ යයි දතයුතුය.
3.වෙය්‍යාකරණ :-
විශේෂයෙන් සංයුක්ත නිකායේ සගාථක වර්ගය ත් සියලු අභිධර්ම පිටකයද නිග්ගාථක සුත්තයද අනිකුත් අංග අටට සංග්‍රහ නොවූ බුද්ධවචනය, ඒ ‘වෙය්‍යාකරණ’ වේ.
4.ගාථා :-
ධම්මපදය, ථෙරගාථා, ථෙරිගාථා, සුත්ත නිපාතයෙහි සුත්ත නමින් නොගත් සුද්ධික ගාථාද ‘ගාථා’ යයි දතයුතුය.
5.උදාන :-
සොමනස්සඤාණමයික ගාථාවන්ගෙන් යුතු සූත්‍ර 82 ‘උදාන’ යයි දතයුතුය.
6.ඉතිවුත්තක :-
‘වුත්තංහෙතං භගවතා’ ආදී ක්‍රමයෙන් පවත්නා සූත්‍රාන්ත 110 ‘ඉතිවුත්තක’ යයි දතයුතුය.
7.ජාතක :-
අපණ්ණක ආදී 550 වූ ජාතක ‘ජාතක’ යයි දතයුතුය.
8.අබ්භූත ධම්ම :-
‘චත්තාරො මෙ භික්ඛවෙ අච්ඡරියා අම්භූතා ධම්මා ආනන්‍දෙ (මහණෙනි, ආනන්ද කෙරෙහි මේ ආශ්චර්ය අද්භූත ධර්ම සතරක් වෙයි) ආදී ක්‍රමයෙන් පවත්නා සියලුම ආශ්චර්ය අද්භූත ධර්ම ඇතුළත් සූත්‍රාන්ත ‘අබ්භුත ධම්ම’ යයි දතයුතුය.
9.වේදල්ල :-
චුල්ල වේදල්ල, මහා වේදල්ල, සම්මා දිට්ඨි, සක්කපඤ්හ, සංඛාර භාජනිය. මහා පුණ්ණම සූත්‍ර ආදී දැනුමද, සතුටද ලැබුණු අයුරින් දේශනා කරන ලද සූත්‍ර ‘වෙදල්ල’ යයි දතයුතුය. මෙසේ අංග වශයෙන් නවවැදෑරුම්ය.
ධර්මස්කන්ධ වශයෙන් 84000ක් වන්නේ කෙසේද යත්,
“ද්වාසීති බුද්ධතො ගණ්හිං, ද්වෙ සහස්සානි භික්ඛුතො;
චතුරාසීති සහස්සානි, යෙ මෙ ධම්මා පවත්තිනො”ති.
"අසූහාර දහසක් දහම් පවතිත්. බුදුන්ගෙන් දෙඅසූවක් ද - බික් සඟනගෙන් දෙදහසක් ද ගතිමි. "
යනුවෙන් ථේරගාථාවේ කියූ ලෙසින්
මෙසේ විස්තර කළ ධර්මස්කන්ධ වශයෙන් අසූහාර දහසක් ප්‍රභේද වෙයි. එහි එකට බැඳුණු සූත්‍රයක් එක් ධර්මස්කන්ධයකි. යමක් එකට බැඳුණු නොයෙක් සූත්‍රවේද එහි අනුසන්ධි වශයෙන් ධර්මස්කන්ධ ගණන වේ. ගාථා බන්ධනයන්හි ප්‍රශ්න විචාරීමක් එක් ධර්මස්කන්ධයෙකි. විසර්ජනය එකකි. අභිධර්මයෙහි එක් එක් තිකදුක වශයෙන් බෙදීමද එක් එක් චිත්තවාර බෙදීමද එක් එක් ධර්මස්කන්ධයෙකි. විනයෙහි අත්‍ථිවත්‍ථු, අත්‍ථිමාතිකා, අත්‍ථිපදභාජනියං, අත්‍ථි ආපත්ති, අත්‍ථි අනාපත්ති, අත්‍ථි තික පරිච්ඡෙදො. එහි එක් එක් කොටස එක් එක් ධර්මස්කන්ධයකියි දතයුතුය. මෙසේ ධර්මස්කන්ධ අසූහාරදහස් වැදෑරුම් වෙයි.
මෙසේ දීඝ නිකායාදියට මේ මේ සූත ආදිය සංග්‍රහ කරන ලද්දේ ප්‍රථම ධර්ම සංගායනාවේදී ගෞතම බුද්ධ ශාසනයේ තෘතීය ශ්‍රාවක වූ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් ත්‍රිවිද්‍යා, අෂ්ටසමාපත්ති ලාභී,ෂඩභිඥාලාභී,චතුපටිසම්භිදා ප්‍රාරප්‍රාප්ත මහරහතුන් විසින්ය.ඒ මහා ධර්ම සංගායනාව අවසානයේදී සම්බුද්ධ ශාසනය පන්දහසක් කල් පැවතීමට දෙයක් කරන ලදැයි මහපොළව පවා කම්පාවීය.෴
✍🏻සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානවාසී පූජ්‍ය ගම්පොල මුදිතවංශ ස්වාමීන් වහන්සේ