12/09/2025
සැප්තැම්බර් කියන්නේ ලංකාවේ අපිට නම් සාහිත්‍ය වෙනුවෙන් වෙන් වුන මාසය. ඒ වගේම සමහර රටවල සැප්තැම්බර් මාසය කියන්නේ, අලුත් පොතක් කියවීම වෙනුවෙන් වෙන්වුන මාසය. කොයි හැටියට උනත් සැප්තැම්බර් කියන්නේ පොත් එක්ක බැඳිච්ච මාසය.
මට නම් පොතක් කියන්නේ, පිටු ගොඩක ලියවිච්ච අකුරු ගොඩක් විතරක්ම නෙවෙයි. පොතක් කියන්නේ චාරිකාවක්, වෙලාවකට ගුරුවරයෙක්, තවත් වෙලාවකට යාලුවෙක්. නොදැකපු, නොඅහපු තැන්වලට අපිව අරන් යන, අපි හිතන දේවල් වලට සමහර වෙලාවට අභියෝග කරන, අපි දෙයක් දකින විදිය, අපිට දැනෙන විදිය, යමක් තේරුම් ගන්න විදිය, පෝෂණය කරන අපූරුම දෙයක් තමයි සාහිත්‍ය සහ කියවීම කියන්නේ.
උදාහරණයක් විදිහට, ඇල්ෆොන්ස් කාර්ගේ Tour Round My Garden පොතේ එන පුංචි කොටසක් ගමු;
“කටු වලින් පිරුණු රෝස පඳුරු හමු වූ විටදී ඔබ පැමිණිලි කරයි;
කටු වල රෝස මල් ඇති බව දැක,
මම ප්‍රීති වී දෙවිවරුන්ට ස්තූති කරමි."
බැලූ බැල්මට රෝස පඳුරක් ගැන ලියවුණු නිරීක්ෂණයක් වගේ පෙනුනත්, පොඩ්ඩක් නැවතිලා ආයෙ වතාවක් කියෙව්වම, ජීවිතය ගැන කියල දෙන හරිම ගැඹුරු පාඩමක් ඒ වචන ටික ඇතුලේ අපිට පේන්න පටන් ගන්නවා. එකම දෙයක් දිහා වුනත් එක එක්කෙනා බලන විදියේ වෙනස්කම්, එහෙමත් නැත්තං එකම ප්‍රශ්නය දිහා එක එක්කෙනා බලන කෝණයේ වෙනස, මේ වචන කිහිපයෙන් අපූරුවට විස්තර කරනවා. එක්කෙනෙක් නරකක් දකිද්දි, අනිත් එක්කෙනා ඒ දේ තුළම ඇති හොඳ දකින විදිය, එක්කෙනෙක් කරදරයක් විදියට දකින දේ තුළ ඇති ස්තූතිවන්ත වෙන්න පුළුවන් කාරණා, අනිත් කෙනා දකින විදිය ගැන හරි අපූරුවට උගන්වනවා.
කියවීම සහ සාහිත්‍යය කියන්නේ තමන්ට, තමන්ටම දීගන්න පුළුවන් ලොකුම තෑගි වලින් එකක්. ඔහේ කියවනවා වෙනුවට හැම වචනෙකම, විරාම ලක්ෂණයකම, වාක්‍ය ගොඩනැගිලා තියෙන ආකාරය අනුව, යොදාගෙන තියෙන උපමා උපමේය අනුව, හැංගිච්ච අර්ථයන් තේරුම් ගනිමින් කියවීම හරිම විනෝද ජනක වැඩක්. ඊටත් වඩා මහා ගැඹුරු ලෝකෙකට අපේ ඇස් විවර කරන වැඩක්.
සමහර වෙලාවට හරිම සරලයි කියලා අපි ඒ තරමටම ගණන් නොගන්න පුංචි කතන්දර පොත් ඇතුලෙන් උනත් මහා ලොකු ජීවන පාඩම් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ඒ දේවල් අපිට පේන්න නම්, කියවීම තුළින් ලෝකය දකින්න අපි අපේ ඇහැ හුරු කරගෙන ඉන්නම ඕනේ.
කියවීම එක එක ආකාර වලින් කරන්න පුළුවන්. සමහර අය ඉන්න පුළුවන් පොත් කියවන්න ඒ තරමටම කැමැත්තක් නැති. Audio Books හරහා පොත් අහගෙන ඉන්න අයත් ඉන්නවා, AI tools පාවිච්චි කරලා, පොතේ සමරි එකක් වගේම, වැදගත් කොටස් ටික extract කරගෙන කියවන අයත් ඉන්නවා. අහුවෙන ඕනම දෙයක් පොතක් පත්තරයක් එහෙමත් නැත්නම් device එකක් පාවිච්චි කරලා හරි කියවන අයත් ඉන්නවා. ඔය කොයි ආකාරයෙන් වුණත් කියවන එක/ පොත් කියවනවා අහන් ඉන්න එක වටිනවා.
වෙලාවකට මට පොතක් කියන්නේ plane එකක් වගේ. මාව ලෝකෙ පුරා එක එක රටවල් වලට, එක එක සංස්කෘතින්, ඒවට අදාළ සිරිත් විරිත්, උත්සව, ගෘහ නිර්මාණ ශිල්ප, බලන්න අරන් යන හරි අපූරු අහස් යානාවක් වගේ.
තවත් වෙලාවකට පොතක් කියන්නේ කෝච්චියක ජනේලයක් අයිනේ ඉඳගෙන, මූණේ සැරට වදින හුලං පාර විඳිමින් යන ගමනක් වගේ.
තවත් වෙලාවකට, මං කැමති වෙලාවක, මට ඕනි විදිහට, අතීතයට හෝ අනාගතයට යන්න හදපු කාල තරණ යානාවක් වගේ.
කියවීම කියන්නේ ලෝකෙ පුරා යන්න, වෙලාවකට විශ්වය පුරා යන්න, මට ලැබිච්ච පාස්පෝර්ට් එක කියලයි මට හිතෙන්නේ. සමාජ ස්ථරයන් ගැන, ආගම් ගැන, සංස්කෘතීන් ගැන, රටවල් ගැන, දේශගුණය, යුද්ධය, නව සොයා ගැනීම් කියන මේ හැමදේම එක්ක මිනිස්සු හිතන පතන විදිය, තීරණ ගන්න විදිය වෙනස් වෙන ආකාරය ඉගෙන ගන්න, දේවල් දිහා විවෘතව බලන්න, පුංචි පුංචි දේවල් ඇතුලෙ තියෙන මහා ගැඹුරු අර්ථයන් තේරුම් ගන්න මාව පුහුණු කළේ කියවීමයි, සාහිත්‍යයයි.
කියවන්න ආස, ඊටත් වඩා වචන ඇතුලෙ තියෙන ගැඹුර දකින්න, නොදැකපු ලෝකයක් දකින්න, ජීවිතය ගැන ඉගෙන ගන්න ආස කෙනෙක්ට කියවන්න හොඳ පොත් ටිකක් තමයි මේ තියෙන්නේ.
▫️Who Moved My Cheese
▫️The Alchemist
▫️The Monk Who Sold His Ferrari
▫️Born a Crime – Trevor Noah
▫️A Story of a Real Man
▫️Becoming – Michelle Obama
▫️The Old Man and the Sea
▫️උපන්දා සිට
▫️හත් පෙති මල
▫️ගුරුගීතය
▫️Jane Eyre
▫️Heidi
▫️Little House
▫️Oliver Twist
▫️Anne of Green Gables
▫️Desert Flower
ඔය පොත් ටික ඇතුලේ එක එක්කෙනා මුහුණ දුන්නු කරදර කම්කටොළු, එක එක විදිහේ හීන සහ බලාපොරොත්තු , පුංචි පුංචි දේවල් ඇතුලෙන් හොයාගත්තු සතුටු කාරණා, ආදරය, දුක, දරා ගැනීම්, අහිමිවීම්, හමුවීම්, ජය පැරදුම් එක එක විදිහට ලියවිලා තියෙනවා. සමහර දේවල් ලියවිලා තියෙන්නේ වක්‍රාකාරයෙන්. ඉතින් එහෙම තැන් අපිව හිතන්න පුරුදු කරනවා.
සාහිත්‍ය වෙනුවෙන්, කියවීම වෙනුවෙන් වෙන් වෙච්ච මේ සැප්තැම්බර් මාසයේ, අඩුම තරමින් එක පොතක්වත් කියවන්න. කියවන්න අකමැති නම්, අහගෙන හරි ඉන්න. කියවන්න ආස කෙනෙක් නම්, තව තවත් කියවන්න, පිටු අස්සේ හැංගිලා තියෙන මහා ලොකු ලෝකය දකින්න කියවන්න. මනෝවිද්‍යා ක්ෂේත්‍රයට එන්න ඉන්න දුවෙක් හෝ පුතෙක් නම්, මතක තියාගන්න, කියවීම සහ සාහිත්‍ය කියන්නේ ඔයාට ලැබෙන මහා ලොකු නිධානයක්. සේවාදායකයෙක් හිතන පතන විදිහ අඳුරගන්න උදව් වෙන ශක්තිමත් පාලමක්. ඒ නිසා කියවන්න.
✍️ බීනුකා වික්‍රමතුංග