09/07/2025
☸️ සෑම මසකම පොහෝ දින පළ කෙරෙන බෞද්ධ ලිපි මාලාවේ දෙවන ලිපිය 2025 ඇසළ පොහොය දිනට සමගාමීව මෙසේ එක් කරන්නෙමු. ☸️
———————————————————————————
🌼 බෞද්ධ ලිපි අංක 02 🌼
අද මම කියන්න යන්නෙ ටිකක් වෙනස් දෙයක්. නිති පතා බොහෝ දෙනා කරන ඒත් වැඩි අවධානයක් දෙන්නෙ නැති දෙයක් ගැන...
ඔබ භාග්‍යවතුන්වහන්සේට, ධර්ම රත්නයට, සංඝ රත්නයට මල් පූජා කරනවා ඇති. ඒත් බොහෝ දෙනා මේ මල් පූජා කිරීමේ සත්‍යම හේතුව දන්නේ නෑ. බොහෝ දෙනා මල් පූජා කරන්නේ එය සමාජ සම්මතයක්, ආමිස පූජාවක් ලෙසයි. අන් අය කරනා නිසා තමාද හේතුවක් නොසොයාම මල් පූජා කරනා සමහරුන්ද ඉන්නවා.
තවත් සමහරුන් භාග්‍යවතුන් වහන්සේට ගෞරවයක් විදියටත් මල් පූජා කරනවා.
ඉතින් බෞද්ධ දර්ශනය ඔස්සේ යන මිනිසුන් විදියට අප මල් පූජා කිරීමේ නියම අර්ථයත් එය බෞද්ධ දර්ශනයට අදාළව යොදා ගන්නේත් කෙසේදැයි සොයා බලන්න ඕන.
මෙසේ සිතමු...
ඉතින් අපි මල් පූජා කරන අවස්ථාවේ අපි මල් ගස්වලින් නෙළා ගන්නේ නැවුම් මල් ය. ඒ මල් ඉතා ප්‍රාණවත් ය.
නමුත් ඒ මල් ම නැවත පැය කිහිපයකින් බලනා විට මැලවී ගොසිනි. නැවුම් බවක් නැත්තේ ය. එනම් මේ ප්‍රකටව ඇත්තේ ත්‍රිලක්ෂණයේ මුල්ම ස්වභාවය වූ අනිත්‍ය ස්වභාවයම නොවේද ?
ඒසේ නම් අප හුදෙක් මල් තබා වැදීමෙන් පමණක් ප්‍රමාණ නොවෙයි. මේ ගැන මල් තබා වදින ගාථාවේ ද සදහන් වෙයි.
එනම් මල් ආසනය මත පූජා කරන අවස්ථවේද, එයින් ඉවත් කරන අවස්තාවේද ඇස් ඉදිරිපිට පෙනෙනා ස්වභාවයන් ගේ වෙනස දෙස බලා මෙසේ සිතිය යුතු ය.
ආසනය මත තැබීමේදී,
"මේ මල් දැන් නැවුම්ව පවතියි. ඉතා පිරිසිදු ය. ප්‍රබෝධමත් වෙයි. දැකීමට ප්‍රිය වෙයි. ඉතා සුගන්ධවත් ය. නමුත් තව පැය කිහිපයකින් බලන විට ඒ සුගන්ධවත් වූ මල් ම, ඒ නැවුම් ප්‍රබෝධමත් වූ මල් ම මැල වී ගොස් ය, දුර්වණ වී ඇත, සුගන්ධවත් බව වියැකී ගොසින් ය. හැඩය විපරිත වී වෙනස් වී ඇත. පෙර මෙන් දැකීමට ප්‍රියයක් නොමැත්තේ ය. මේ අර පෙර පූජා කළ මල් ම ය. මෙයට හේතුව කුම්ක් වේද? "
යනුවෙන් සිදු වී ඇති වෙනසද එයට හේතුවද විමසා බැලිය යුතු වේ.
ඉන්පසු,
"මෙයට හේතුව නම් අනිත්‍යතාවමයි, මේ ලොව කිසි දෙයක් මොහොතකුදු හෝ එක් ආකාරයකට නොපවතින්නේ ය. සැම විටම වෙනස් වන්නේය. මා හට ප්‍රිය ආකාරය නම් පළමුව තිබුනු නැවුම් මල් මය. එහෙත් එය වෙනස් වී ඇත, මැලවී ගොස් ඇත. මේ විශ්වයේ ඕනෑම තැනකට ස්වභාව ධර්මයේ ස්වභාවයන්, නීතීන් එකසේ බලපායි නම් මේ මල් මෙන්ම සෑම දෙයකටම එසේ ය. මාගේ ශරීරයද අන් අයගේ ශරීරද එසේමය. පංච ඉන්ද්‍රියයන්ගෙන් මා දකිනා ලෝකයද එසේ මය මා හට කැමති අයුරින් නොතිබෙන්නේ ය."
යනුවෙන් සිතා ඇත්ත ඇති සැටියෙන් දැකිය යුතු වන්නේය. ඉන්පසු එය පිළිගත යුතු වන්නේය.
පහන් පූජාවද මෙසේ ය. පහන ටික වේලාවක් ගතවන විට පහනේ තෙල් කෙමෙන් සිදී යයි. පහන් තිරයද මෙසේ වැය වෙයි. දැල්ල නොනිවී තිබුනද පහන් දැල්ලද ක්‍රමයෙන් දැවි දැවී නිවී යන්නේය. එනම් එහි ඇති අස්ථිර බවයි, අනිත්‍යතාවයයි.
මෙසේ කලබල නොවූ සිතකින් ලෝකය දෙස බලන්නාට ලෝකයේ සත්‍ය ස්වභාවය පෙනීමට සිතීමට හැකි වෙයි.
එසේ යහපත් දේ සිතීමට පුරුදු කිරීමෙන් සිත ඒ දේටම ඇදී යයි. මක් නිසාද යත් පුරුදු කරනා පැත්තට නැඹුරුවක් සහිතව ගමන් කිරීම මනසේ ස්වභාවය නිසා ය....
අකුසල් පිරුනු, වේගයෙන් දුවන ලෝකයේ යම් අයෙකුට නැවතී තමා දෙස මෙසේ බැලීමට හැකිනම් ඒ කෙනා සැබැවින්ම විශිෂ්ටයෙකු වෙයි. දක්ෂයෙකු වෙයි.
මෙසේ බලන්නා තුළ අවිද්‍යාවෙන් විද්‍යාවට ගමන් කරයි. එනම් සම්මා දිට්ඨිය ඇතිවෙයි. මෙය විදර්ශනාවට මාර්ගයයි.
- ධර්මදානය පිණිස...