සුජාත දියණි දස සිල් අරණ

සුජාත දියණි දස සිල් අරණ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සුජාත දියණි දස සිල් අරණ, Meditation Center, Sujatha DIyani Dasa Sil Arana, Galle.

සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන මාර්ගයන්ගෙන් එක් මාර්ගයකට දහසක් නය ඇත්තේ වී නමුත්, එයින් එක් ආර්ය පුද්ගලයෙකු හට පහළ...
16/01/2025

සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන මාර්ගයන්ගෙන් එක් මාර්ගයකට දහසක් නය ඇත්තේ වී නමුත්, එයින් එක් ආර්ය පුද්ගලයෙකු හට පහළ වන්නේ එක් මාර්ග චිත්තයක් පමණය.. ඒ දහසක් නය මෙසේයි..

සෝවාන් මාර්ගය, සුඤ්ඤත සෝතාපත්ති මාර්ගය , අප්පණිහිත සෝතාපත්ති මාර්ගය යැයි දෙයාකාර වේ.(2)

ඒ මාර්ග දෙක, දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා, දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා, සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා, සුඛා පටිපදා දන්ධාභිඤ්ඤා යන සතර ප්‍රතිපදා වශයෙන් ගත් කල්හි අට දෙනෙකි.(8)

මෙසේ සුඤ්ඤත ,අප්පණිහිත වශයෙන් දෙකත්,ප්‍රතිපදා වශයෙන් අටත් එකතු කළ කල්හි දසයකි.(10) ඒ දස දෙනා ,

(1) සතිපට්ඨානය (2) සම්‍යක් ප්‍රධානය (3) ඍද්ධි පාදය (4) ඉන්ද්‍රිය
(5) බලය (6) බොජ්ඣඞ්ගය (7) සච්චය (8) සමථය (9) විදර්ශනාව
(10) ලෝකුත්තර ධර්මය (11) ස්කන්ධය (12) ආයතනය (13) ධාතුය
(14) ආහාරය (15) ඵස්සය (16) වේදනාව (17) සඤ්ඤා (18) චේතනාව
(19) චිත්තය යන එකුන්විසි අභිනිවේශයන් වශයෙන් ගත් කල්හි එකසිය අනූවක් (190) සෝතාපත්ති මාර්ග චිත්තයෝ වෙති.

මේ එකසිය අනූවට පළමු කී දහය එක් කළ විට දෙසීයයක් (200) නය වෙති.

මේ සිත් දෙසියය, ඡන්ද, චිත්ත, විරිය, වීමංසා යන අධිපති ධර්ම සතර වශයෙන් ගත් කළ අටසියයක් (800) වෙති.

මේ අටසියය පළමු දෙසියය එකතු කළ විට දහසක් (1000) වෙති.

මේ මාර්ග සිත් දහස, දහසක් ආර්ය පුද්ගලයන්ට, මුත් එක් ආර්‍යයෙක් හට සිත් දෙකක් නොලැබෙන්නේය.

"දහසක් නයින් ප්‍රතිමණ්ඩිත සෝවාන් මාර්ගය" යැයි කියන්නේ මේ දහසට බව දත යුතුය.

මෙසේ සකෘදාගාමී, අනාගාමී, අරහත් යන මාර්ගයන්හිද මේ පිළිවෙලට දහස දහස බැගින් සිත් ලැබෙන්නේය. එවිට සතර මාර්ගයෙහි නය සාරදහසක් (4000) වේ..

(අභිධර්මාර්ථ ප්‍රදීපිකාව)

"පකාරෙන ජානාති අනිච‍්චාදි වසෙන අවබුඣතීති පඤ‍්ඤා" යම් ධර්ම ස්වභාවයක් ප්‍රකාර වශයෙන්, අනිත්‍යාදීන්ගේ වශයෙන් අවබෝධ කරයිද එස...
10/01/2025

"පකාරෙන ජානාති අනිච‍්චාදි වසෙන අවබුඣතීති පඤ‍්ඤා"

යම් ධර්ම ස්වභාවයක් ප්‍රකාර වශයෙන්, අනිත්‍යාදීන්ගේ වශයෙන් අවබෝධ කරයිද එසේ අවබෝධ කරන බැවින් ඒ ධර්ම ස්වභාවතොමෝ 'පඤ‍්ඤා' නම් වන්නීය.

ප්‍රඥාවෙහි ලක්ෂණය, රසය, පච්චුපට්ඨානය, පදට්ඨානය මෙසේ දත යුතුය.

ලක්ෂණය - ස්වභාව ධර්මය අවිපරීතාකාරයෙන් අවබෝධ කිරීම ලක්ෂණ කොට ඇත. (ධම්ම පටිවේධන ලක්ඛණා)

රසය - පරමාර්ථ ධර්මයන්ගේ ඇති සැටි වසන මොහ නමැති අඳුර වැනසීම කෘත්‍ය කොට ඇත. (ධම්මානං සභාව පටිච්ඡාදක මෝහන්ධකාර විද්ධංසන රසා)

පච්චුපට්ඨානය - අරමුණෙහි නොමුලා වන බව වැටහීම් කොට ඇත.
( අසම්මෝහපච්චුපට්ඨානා )

පදට්ඨානය - සමාධියම ආසන්න කාරණය කොට ඇත.(සමාධිපදට්ඨානා)

අමෝහය චෛතසිකය ප්‍රඥා චෛතසිකය නාමයෙන්ද කියනු ලැබේ.
ඒ ප්‍රඥා චෛතසිකය ප්‍රඥේන්ද්‍රිය නාමයෙන්ද කියනු ලැබේ.

ප්‍රඥා චෛතසිකය අනිත්‍යාදී ධර්මයන් අවබෝධ කිරීමෙහි ආධිපත්‍ය ලක්ෂණය උසුලයි.

ඒ ප්‍රඥාව දල්වන ලද පහන් ආලෝකයක ලක්ෂණ ඇත්තේ ය.

ආලෝක සතරක් ඇත්තාහ.

1. චන්ද්‍රාලෝකය
2. සූර්යාලෝකය
3.අගන්‍යාලෝකය
4. ප්‍රඥාලෝකය

මේ ආලෝක සතර අතුරෙන් ප්‍රඥාලෝකයම ශ්‍රේෂ්ඨ ය.

" පඤ්ඤෝභාස සමෝ ඕභාසෝ නාම නත්ථි "
ලෝකයෙහි ප්‍රඥාලෝකයට සමාන ආලෝකයක් නැත්තේය.

ප්‍රඥාව කොටස් තුනකි.

1.චින්තාමය ප්‍රඥාව - උත්සාහයෙන් සම්පාදනය කරන ලද කම්මායතන
සිප්පායතන විජ්ජාඨාන යැයි කියන ලද
හස්තකර්මාන්ත සිල්ප ශාස්ත්‍ර අනිකෙකු
සමීපයෙන් නොඅසා නොඉගෙණ දැනගන්නා
ලද්දේ නම් ඒ ප්‍රඥාතොමෝ 'චින්තාමය ප්‍රඥාව'
නම් වන්නීය.

2. සුතමය ප්‍රඥාව - යථෝක්ත සිල්ප ශාස්ත්‍ර අනිකෙකු විසින් අසා
දැනගන්නා ලද්දේ නම් ඒ ප්‍රඥාව 'සුතමය ප්‍රඥාව'යි.

3.භාවනාමය ප්‍රඥාව - මාර්ග සම්පන්න පුද්ගලයාගේ ප්‍රඥාව හා
විදර්ශනා ප්‍රඥාව 'භාවනාමය ප්‍රඥාව' යි.

ඒ ප්‍රඥාවම අවිපරීතාකාරයෙන් (සංසාරික දුක්ඛයෙන් නික්මීම් වශයෙන්)
දකින හෙයින් 'සම්මා දිට්ඨි' නම් වන්නීය.

සම්මා දිට්ඨිය පස් වැදෑරුම් වේ.

1.කම්මස්සකතා සම්මා දිට්ඨිය
(දිව්‍යමනුෂ්‍යාදි භව සම්පත්තිය අපේක්ෂා කරයි)

2. ඣාන සම්මා දිට්ඨිය
(රූප භව, අරූප භවයන්හි ප්‍රතිසන්ධිය ගෙන දෙයි)

3. මග්ග සම්මා දිට්ඨිය
(භවත්‍රය සංඛ්‍යාත වෘත දුක්ඛය නසයි)

4. ඵල සම්මා දිට්ඨිය (භවය වළක්වයි)

5. විපස්සනා සම්මා දිට්ඨිය
(ප්‍රතිසන්ධිය අපේක්ෂා නොකරයි)

මෙසේ දක්වන සම්‍යක් දෘෂ්ටි ප්‍රඥාව ලෞකික ලෝකෝත්තර විපාක දෙකම දීමෙහි ප්‍රතිබල හෙයින් අතිශයින් ශ්‍රේෂ්ඨ ය.

"අමතමහා නිබ්බාන සම්පාපකේසු හි ධම්මේසු පඤ්ඤාව සෙට්ඨා අවසේසා තස්ස පරිවාරා හොන්ති"

දස පාරමී අතුරෙන් ප්‍රඥා පාරමිතාවම ශේෂ්ඨ ය. අවශේෂ පාරමිතා ප්‍රඥා පාරමිතාවගේ පිරිවර වෙත්.

තාරකා සමූහයකට වඩා එකම චන්ද්‍රයා බබළන්නාක් මෙන් ප්‍රඥා පාරමිතාවද බබළන්නේ ය.

(අභිධර්ම ප්‍රකාශය පළවෙනි පොත ඇසුරෙන්)

සංස්කාරයෝ නම් කලකිරිය යුත්තේමය..සත්‍ය වශයෙන්ම සංස්කාරයන්ට කලකිරීමක් විනා වෙනත් යමක් නැත..නමුදු මා අදටත් කල්පනා කරනා දෙයක...
08/01/2025

සංස්කාරයෝ නම් කලකිරිය යුත්තේමය..සත්‍ය වශයෙන්ම සංස්කාරයන්ට කලකිරීමක් විනා වෙනත් යමක් නැත..

නමුදු මා අදටත් කල්පනා කරනා දෙයක් ඇත, එනම් බෝධිසත්වයන් වහන්සේලා සංස්කාරයන්ගේ තතු මනාව දැන දැන කෙලෙසක නම් සසරට පනින්නට හිත හදාගන්නවාද කියා ය..?

ක්ෂණයක් පාසා විපරිත බාවයට පත් වන නොයෙකුත් පෙරලීම් වලට හසු වන සංස්කාරයන්ගෙන් ලැබෙන පීඩාකාරී බව මනාව දැන දැන බෝධිසත්වයන් වහන්සේලා ගනන් නොකල හැකි තරම් කල්පයන් පාරමිතා පුරමින් බුදු බවම ප්‍රාර්ථනා කරන්නේමය..

බෝධිසත්ව චිත්ත සන්තානයේ ඇති කරුණාවෙහි ගැඹුරු බවට වෙන නම් උපහැරණ නැත්තේමය..

බෝධසත්වවරු තනිව නිවන දැක්කේ නම් මෙලොව සත්වයන්ට දශම මාත්‍රයක පමණවත් පිළිසරණක් නැත..

✍️ මීරිගම ධම්මවිලාසා මෑණියන් වහන්සේ..

07/01/2025
ජීවිත පිටුවේ එකින් එක පිටු ඉවර වේගෙන යනවා පුදුම තරම් ඉක්මනට..ඉවර වෙන වෙන පිටුවත් එක්ක මිනිස්සු හරි පුදුම විදිහට සතුටු වෙ...
01/01/2025

ජීවිත පිටුවේ එකින් එක පිටු ඉවර වේගෙන යනවා පුදුම තරම් ඉක්මනට..ඉවර වෙන වෙන පිටුවත් එක්ක මිනිස්සු හරි පුදුම විදිහට සතුටු වෙන්න උත්සාහා කරනවා..

සමහරු පාට පාටින් ලියන්න උත්සාහා කරනවා..සමහරු තියෙන පෑනෙන් ලියන්න උත්සාහා කරනවා..සමහරු හැඩ දදා ලියන්න ඔට්ටු වෙනවා..

ඒත් නැවත නැවත හරි හරියට ලස්සන කරලා ලියන්න හදන මේ පොතේ පිටුවෙන් පිටුව ඉවර වෙලා කොයිම වෙලාවක හරි මේ ජීවිත පොතේ ආයේ පෙරලන්න පිටුවක් ඉතිරි නොවන තැනට පත් වෙනවා කියලා ඔවුන් ඇතැම් විට නොදන්නවා ඇති..

අපි කාගෙත් ජීවිත පොත ඉවර වුනාම කුණු ගොඩකට විසික් කරන්න වෙනවා නැතිනම් පුච්චලා දාන්න වෙනවා..ඒකයි ඇත්ත..

මිනිස්සුන්ගේ මේ ඔට්ටු වීම දිහා පැත්තකට වෙලා බලාන ඉන්න අපට එකම එක දෙයයි හිතෙන්නේ..

ඒ ඔවුන් නොදන්න මේ ඇත්ත කවදාම හෝ කොතනකදී හෝ ඔවුන්ටත් වැටහේවා..

✍️ මීරිගම ධම්මවිලාසා මෑණියන් වහන්සේ..

කුසලයක් කිරීමේදී යෙදෙන කුසල් සිතෙහි ඥාන සම්ප්‍රයුක්ත බව ඉතාම වැදගත් කාරණයක්.මෙහිදී විසඳාගත යුතු කරුණු කිහිපයක් ඇත.එනම්,1...
29/12/2024

කුසලයක් කිරීමේදී යෙදෙන කුසල් සිතෙහි ඥාන සම්ප්‍රයුක්ත බව ඉතාම වැදගත් කාරණයක්.

මෙහිදී විසඳාගත යුතු කරුණු කිහිපයක් ඇත.එනම්,

1.කුසල් සිත් කීයද?
2.ඥානය කියන්නේ මොකක් සම්බන්ධවද?
3.ඇයි ⁣ඥාන සම්ප්‍රයුක්ත සිතම බලවත් වෙන්නේ?

අපි දැන් අපේ ගැටලු වලට පිළිතුරු සොයමු..

1. කුසල් සිත් කීයද?

සැකෙවින් කුසල් සිත් අටක් ධර්මයෙහි සඳහන් වෙනවා.ඒවා නම්,

1. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික කුසල සිත
2. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික කුසල සිත
3. සෝමනස්ස සහගත ඥාන විප්‍ර‍යුක්ත අසංස්කාරික කුසල සිත
4. සෝමනස්ස සහගත ඥාන විප්‍ර‍යුක්ත සසංස්කාරික කුසල සිත
5. උපේක්ෂා සහගත ඥාන සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික කුසල සිත
6. උපේක්ෂා සහගත ඥාන සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික කුසල සිත
7. උපේක්ෂා සහගත ඥාන විප්‍ර‍යුක්ත අසංස්කාරික කුසල සිත
8. උපේක්ෂා සහගත ඥාන විප්‍ර‍යුක්ත සසංස්කාරික කුසල සිත

කුසල් සිත් යෙදෙන්නේ දාන සීල භාවනාදී දස කුසල කර්මයන් සිදු කිරීමේදීය.එබැවින් දස කුසල කර්මයන්ට අනුව ගත් කල ඉහත දැක්වූ කුසල් සිත් අට දස කුසල කර්මයන්ගෙන් ගුණ කිරීමෙන් කුසල් සිත් 80ක් වේ.

මෙම කුසල් සිත් 80 අරමුණු හයින් වැඩි වූ කල සිත් 480කි. (80×6=480)

එම සිත් 480 ඥාන සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත දෙකින් බෙදූ විට සිත් 240කි.

එයින් විප්‍රයුක්ත සිත් 240 විමංසාව හැර අනෙක් අධිපති ධර්ම තුනෙන් වැඩි වූ කල විප්‍රයුක්ත සිත් 720කි.

අනෙක් සම්ප්‍රයුක්ත සිත් 240 අධිපති ධර්ම 4න්ම වැඩි වූ කල සම්ප්‍රයුක්ත සිත් 960කි.

එම සම්ප්‍රයුක්ත සිත් 960ත් විප්‍රයුක්ත සිත් 720ත් එකතු කර කල සිත් 1680ක් ලැබේ.

එම සිත් 1680 කාලත්‍රයෙන් වැඩි වූ කල සිත් 5040ක් ලැබේ.

එම සිත් 5040 හීන, මජ්ඣිම, ප්‍රණීත යන තුනෙන් වැඩි වූ කල කුසල සිත් 15120ක් ලැබෙන බව දත යුතු වේ.

මෙය විභාවිනී ටිකාකාර මතය වන අතර අභිධර්මාවතාර කතෘ බුද්ධදත්ත ස්වාමීපාදයන් වහන්සේ සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත ආකා⁣රයෙන් බෙදීමක් නොකොට කුසල් සිත් 17280 ඇති බවද කාල දේශාදී වශයෙන් ගැනිය නොහැක්කේ යැයි ද පවසත්.

2.ඥානය කියන්නේ මොකක් සම්බන්ධවද?

ඇත්තටම මෙතන යෙදෙන ඥානය නුවණැති බවට ව්‍යවහාර වෙන්නේ නෑ..ඒ කියන්නේ සමාජයේ හොඳට ඉගෙන ගත්තා කියලා උසස් මට්ටමක ඉන්නවා කියලා ඔහු සතුව ඇති ඒ නුවණැති බව කුසල් කිරීමේදී යෙදෙන ඥානයට සම්බන්ධතාවයක් නෑ..

එහෙම නම් මොකක්ද මේ ඥානය?

කුසල් සිතක යෙදෙන ඥානයට ප්‍රඥාව කියලාත් කියන්න පුලුවන්..ඒ කියන්නේ කර්මය කර්ම ඵලය පිළිබඳ විශ්වාසය, ධර්මාර්ථ පිළිබඳ ඇති අවබෝධය, හේතු ඵල දහම පිළිබඳ විශ්වාසය, පාපයන්ගෙන් වළකින උපායන් දැනීම වැනි කරුණු සම්බන්ධව යෙදුනු සිත මෙතනදී ඥාන සම්ප්‍රයුක්ත කුසලයක් කියලා හඳුන්වන්න පුලුවන්..

එතකොට කුසල් සිත් අටෙන් සිත් හතරක් විතරයි ඥාන සම්ප්‍රයුක්ත වෙන්නේ.

යම්කිසි කෙනෙක් කර්ම කර්ම ඵල ඇදහීමකින් තොරව දානයක් දෙන විට ඔහුට ඇති වෙන්නේ ඥාන විප්‍රයුක්ත කුසල සිතක්..

වර්ථමානයේ බොහොමයක් "පින් ඕනි නෑ පින් විශ්වාස කරන්නේ නෑ..හිතේ සතුට තමයි වැදගත්" යැයි සිතාගෙන දන් දීම දක්නට ලැබෙනවා.ඉතින් මේක කොච්චර බරපතල කාරණාවක්ද කියලා එය කොතෙක් දුරට අපට බලපානවාද කියලා ඉදිරියේදී කතා කරමු..

කොච්චර ආදරයෙන් කැමැත්තකින් යුතුව සක්වල ගැබ පුරවා දන් දුන්නද කර්ම ඵල අදහන්නේ නැතිනම් ඔහුට කිසිම අවස්ථාවක ඥාන සම්ප්‍රයුක්ත සිතක් ඇති වෙන්නේ නෑ.

කර්මඵල ඇදහීමකින් තොරව එවැනි යහපත් දේ කරන විට ඔහුට ඇති වන්නේ ඥාන විප්‍රයුක්ත සිත් හතර පමණයි.කුසල හිතක යෙදෙන හේතූන්ගෙන් අමෝහය (ප්‍රඥාව) මෙහි නොයෙදෙන බැවින් එම සිත් වල ⁣අලෝභය සහ අද්වේශය යන හේතු දෙක පමණක් යෙදෙනවා.

ඉහත දැක්වූ ආකාරයට කර්ම කර්ම ඵල ආදිය පිළිබඳ නුවණින් මෙනෙහි කිරීමකින් තොරව පුරුද්දට දන් දීම්,සිල් රැකීම්,මල් පහන් පූජා කිරීම් ආදිය සිදු කරන විටදීත් ඇති වන්නේ ඥාන විප්‍රයුක්ත සිත් බව දත යුතුයි.

3.ඇයි ඥාන සම්ප්‍රයුක්ත කුසල සිතම බලවත් වෙන්නේ?

කර්ම ඵල ඇදහීමකින් යුක්තව ඒ කියන්නේ ප්‍රඥාව නැතිනම් ආමෝහය ඇතිව කුසල් සිදු කිරීමේදී මේ ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත් හතර ලැබෙනවා.මේ සිතේ අමෝහය විතරක් නෙවෙයි ඉතිරි හේතු දෙකත් ලැබෙනවා.

ඉතින් මේ කුසල් සිත් වලින් කුසල් සිදු වුනාම එම කුසල සිතට අනුකූල ලෙස විපාක ලැබීමත් සිදු වෙනවා.

මෙම කුසල සිත් විපාක දීමේදී ප්‍රතිසන්ධි විපාක මෙන්ම ප්‍රවෘත්ති විපාකත් ලබා දෙන බව දත යුතු කාරණයක්..

ඥානය යෙදීම හො නොයෙදීම අනුව මේ කුසල සිත් ත්‍රිහේතුක උත්කෘෂ්ට, ත්‍රිහේතක ඕමක, ද්විහේතුක උත්කෘෂ්ට,ද්විහේතුක ඕමක වශයෙන් කොටස් හතරකට බෙදලා දක්වන්න පුලුවන්.

ත්‍රිහේතුක උත්කෘෂ්ට කියන්නේ යම්කිසි කුසල කර්මයක් සිදු කිරීමේදී උත්කෘෂ්ට ලෙස අලෝභයත් අද්වේශයත් අමෝහයත් යෙදුන කුසල සිත්.

මේ ත්‍රිහේතුක උත්කෘෂ්ට කුසල කර්මයක ප්‍රතිසන්ධි විපාක වශයෙන් ඥාන සම්ප්‍රයුක්ත මහා විපාක සිත් සතරෙන් එකක් උපදිනවා.

මොහු කාම සුගති භව වල ඉපිද බොහෝ කාලයක් නොයෙක් සැප සම්පත් වීදිනවා.

මෙහි දැක්විය යුතු විශේෂම කාරණාව නම් ධ්‍යාන මාර්ග ඵල ලඟා කර ගත හැක්කේද මෙම ත්‍රිහේතුක උත්පත්තියක් ඇති පුද්ගලයාට පමණක් වීමයි.

ඥානය දියුණු නොවී ස්වල්ප වශයෙන් දැනුවත් කමක් ඇතිව කරන කුසලය ත්‍රිහේතුක උත්පත්තියක් ලබා දීමට සමත් නොවේ.එය ත්‍රිහේතුක ඕමක කුසල සිතක් වන නිසා එයින් උත්පත්තිය ලබන විට ඥාන විප්‍රයුක්ත විපාක සිත් හතරෙන් එක සිතකින් ප්‍රතිසන්ධි විපාක ලබා දෙනවා..

මේ පුද්ගලයා ද්විහේතුක උත්පත්තියක් සහිත පුද්ගලයෙක් නිසා මොහුට ධ්‍යාන හෝ මාර්ග ඵලයක් එම ජීවිතේදී ලබා ගැනීමට හැකියාවක් නෑ.

මෙම පුද්ගලයාට සැප සම්පත් ලැබුනද එය ඉතාමත්ම වෙහෙස වී ලබා ගන්නා බව දත යුතුයි.

උත්කෘෂ්ට ද්විහේතුක කුසල කර්මයකින් ලැබෙන්නේද ද්විහේතුක ප්‍රතිසන්ධියක්ම වන අතර මොහුද කලින් සඳහන් කල දුර්වල ත්‍රිහේතුක ඕමක පුද්ගලයා හා බොහෝ සෙයින් සමාන වනවා.

ද්විහේතුක ඕමක කුසලයේ යෙදෙන අලෝභ අද්වේශ යන හේතු දෙකත් ඉතාමත්ම දුර්වල බැවින් එම කුසලයෙන් ද්විහේතුක ප්‍රතිසන්ධියක් පමණවත් ලබා දීමට සමත් නොවන අතර එහි විපාක වශයෙන් ලැබෙන්නේ අහේතුක කුසල විපාක සන්තීරණ සිතයි.

මොහුට ලැබෙන ජීවිතය දුගී දුප්පත් ජාති අන්ධ ගොත ගොළු බිහිරි අංග විකලත්වයට පත් නුවණ මද අසරණ එකකි.

අනුන්ට පේන්නට දන් දීම් සිල් රැකීම් ආදී කුසල් කෙරුවෝ, තරඟයට සමාජයෙන් පැසසුම් ලබා ගැනීමේ අදිටනින් කුසල් සිද්ද කල අයවලුන් හට⁣ මෙවැනි අහේතුක උත්පත්ති ලැබෙන බව දත යුතු වේ.

ඉතින් අපිට දැන් ගම්‍ය වනවා කුසල් සිතක ඥාන සම්ප්‍රයුක්ත බව කෙතරම් දුරට අපට සසර පුරාවටම බලපානවාද කියා..

බුද්ධ ශාසනයක් ලැබුනද ධර්මාවබෝධය කරන්නට හැකි වන්නේ ත්‍රිහේතුක උත්පත්තියක් ඇති පුද්ගලයාටය.එබැවින් අද ඔබ කුසල් සිදු කරන විට එය මනා අවබෝධයකින් තොරව සිදු කල හොත් නැවත එය ඔබටම අනර්ථයක් සිදු කරන දෙයක් වනවා.

පින් විශ්වාස නෑ හිතේ සතුටට දන් දෙනවාය කියලා දීමෙන් ඔබ නිවන් දක්නා තාක් ඔබට දුන් දානයට අනුකූල ලෙස විපාක ⁣ලැබෙයි..නමුත් එයින් ත්‍රිහේතුක උත්පත්තියක් නොලැබෙන නිසා හැමදාමත් මේ සසරේ ඉපදි ඉපදි අනන්ත අප්‍රමාණ දුක් විදින්න සිද්ද වෙයි.

මොකද බුදුවරු ලොව පහල වී සිටියත් ඔබේ උත්පත්තිය තීරණය වන්නේ ඔබ කුසලාකුසල කර්ම කර ගත් ආකාරයටමයි.එදාට කොච්චර ඇඬුවත් වැඩක් නෑ.බුදු කෙනෙකුට වුනත් ඔබ ත්‍රිහේතුක උත්පත්තිකයකු නොවුන හොත් ඔබව සසරින් එතෙර කරවන්නට හැකියාවක් නෑ.

ඉතින් මෙතරම් දීර්ඝ ලිපියක් ලිව්වේ අවසානෙට ඔබට මේ පොඩි දේ කියලා දෙන්න.

කුසල් කරන්න..අවබෝධයෙන්..ඔබ ගාව ඥානය අඩුයි නම් එය ඔප දමාගන්න..අකුසලෙන් වෙන් වෙන්න..කර්මය විශ්වාස කරන්න..හේතු ඵල දහම ගැන අවබෝධයක් ඇති කරගන්න..

ධර්ම ශ්‍රවණය කරන්න..භාවනාවක් කරන්න..කල්‍යාණමිත්‍රයන් ඇසුරු කරන්න..ධර්මතා අවබෝධ කරගන්න..

ඔබට තෙරුවන් සරණයි..

✍️ මීරිගම ධම්මවිලාසා මෑණියන් වහන්සේ..

භාග්‍යවතුන් වහන්සේලා වනාහි නොනිමි දම්දෙසුම් ඇත්තේ, වෙහෙරට පිවිසෙන්නාහුද කරුණු දෙකක් මුල්කොට එසේ කරන සේක. ධර්මයට ගරුකිරීම...
27/12/2024

භාග්‍යවතුන් වහන්සේලා වනාහි නොනිමි දම්දෙසුම් ඇත්තේ, වෙහෙරට පිවිසෙන්නාහුද කරුණු දෙකක් මුල්කොට එසේ කරන සේක. ධර්මයට ගරුකිරීම හෝ පුද්ගලයන්ට ගරු කිරීම සඳහාය.

පිවිසෙන්නේ මෙසේ සිතයි. මවිසින් සැකෙවින් දක්වන ලද්ද, විස්තර වශයෙන් විභාග නොකරන ලද්දා වූ මේ උද්දේශය (මාතෘකාව) ධර්මය පිළිගන්නා වූ භික්‍ෂුහු ඉගෙන අනඳ තෙරුන් වහන්සේ වෙත හෝ කච්චායන තෙරුන් වහන්සේ වෙත හෝ එළඹ විචාරන්නාහුය.

අනතුරුව ධර්ම ප්‍රතිග්‍රාහකයෝ පෙරලා මා විචාරන්නාහුය. ඔවුනට මම ආනන්දයන් විසින් මනාව කියන ලද්දේය. කච්චායනයන් විසින් මනාව කියන ලද්දේය. ඉදින් තෙපි මේ කාරණය මගෙන් විචාරන්නාහු නම්, මම ද මෙම කාරණය මෙපරිදිම ප්‍රකාශ කරන්නෙමියි.

ඉක්බිති ඔවුන් කෙරෙහි ගෞරවයෙන් ඔවුන් වෙත එළඹෙන්නාහුය. ඔවුහුද භික්‍ෂූන් අර්ථයෙහි ද ධර්මයෙහි ද යොදවන්නාහුනය. ඒ භික්‍ෂුහු ඔවුන් විසින් (අර්ථ ධර්ම දෙක්හි) යොදවන ලද්දාහු ත්‍රිවිධ ශික්‍ෂාව සපුරා ලන්නාහු දුක්ඛය කෙළවර කරන්නාහු යයි.

ධර්මයට ප්‍රශංසා කිරීම පිණිසද විහාරයට පිවිසෙන සේක, මෙහිදී යම්සේ සිතූ සේක් ද එපරිද්දෙන්ම සිතන සේක. මා විහාරයට පිවිසි කල්හි මේ පිරිස්හිම හුන් ශාරිපුත්‍ර තෙම එම ආමිෂ දායාදයට ගරහමින් ද ධර්ම දායාදයට පසසමින්ද දහම් දෙසන්නාහුය. මෙසේ අප දෙදෙනාගේම එක් අදහස් ඇතිව එක් මතයෙන්ම දෙසන ලද මේ දේශනා තොමෝ ගල් කූඩයක් මෙන් ප්‍රධාන ගරු ද වන්නීය.

චතුරෝඝයන් තරණය කිරිමේ අර්ථයෙන් තොටක නවතා තිබූ නැවක් මෙන් ද, ස්වර්ග ගමනාර්ථයෙන් ආජානීයයන් සතරදෙනෙකු යෙදූ රථයක් මෙන්ද වන්නේය.

මෙසේ කරන්නහුට මෙපමණ දඩයයි පිරිස් මැද ආඥාව තබා හුනස්නෙන් නැගිට රජ ප්‍රාසාදයට නැගී ගිය කල්හි එහිම හුන් සෙනෙවිතෙම ඒ රජු විසින් තැබූ ආඥාව යම්සේ පවත්වා ද, මෙසේත් මා විසින් තැබූ දේශනාව මේ පිරිසෙහිම හුන් ශාරිපුත්‍ර තෙම ප්‍රශංසා කොට දේශනා කරන්නේය.

මෙසේ අප දෙදෙනාගේම අදහස් පරිදි දේශිත මෙම දෙසුම අතිශයින්ම බලවත්ය. මධ්‍යාහ්නයේ හිරු මෙන් බබලන්නේ යයි, මෙසේත් ධර්මයට පැසසීම පිණිස හුනස්නෙන් නැගිට විහාරයට ප්‍රවිෂ්ට වන සේක.

මෙබඳු තැන්වලදී භාග්‍යවත්හුගේ හුනස්නෙන් නැගිට වැඩමවීම, අතුරුදහන් වීම චිත්ත ගමනින් විහාරයට ප්‍රවේශ වෙත්යයි දතයුත්තේය. ඒ එසේමැයි. කාය ගතියෙන් වඩින්නේ නම් සියලු පිරිස භාග්‍යවතුන් වහන්සේ පිරිවරා යන්නේය. එක්වරක් බිඳුනු පිරිස යළි රැස්කිරීම දුෂ්කර වන්නේය. එබැවින් භාග්‍යවතුන් වහන්සේ චිත්ත ගතියෙන්ම වඩින සේක.

(ධම්ම දායාද සූත්‍ර අට්ඨකතාවෙන් උපුටා ගත්තකි)

බුදුවරු වනාහී අනන්ත ගුණස්කන්ධයකින් යුක්ත වන සේක.එම මහා කාරුණික බුදු රජාණන් වහන්සේගේ ගුණ සිතා නිම කල නොහැක.හිත තෙපලන ගුණ වචන කිරීමටද අපෙහොසත් වෙමි.එයට මා සතුව ඇති භාෂාව දුප්පත් යැයි ද සිතන විට මහා සාගරයක අතරමං වූවෙක් සේ ද හැඟේ.

බුදු කෙනෙකු බුදු කෙ⁣නෙකුගේ ගුණ කල්පයක් පුරාවට ⁣කීවද කල්පය නිමා වූවත් බුදු ගුණ නිමා නොවන්නේමය.

තුන් ලෝකයක් අවබෝධ කල වදාල බුදු රජාණන් වහන්සේ පමණ උතුම් රත්නයක් වෙන නම් නොමැත්තේමය. ( න නො සමං අත්‍ථි තථාගතෙන )

✍️ මීරිගම ධම්මවිලාසා මෑණියන් වහන්සේ..

නිරෝධ සමාපත්තියනිරෝධ සමාපත්තියට සමවැදීම වනාහී ඉහතාත්මයේදීම නිර්වාණයෙහි සැප විදීම හා සමානය.මෙම නිරෝධ සමාපත්තියට සමවදින පු...
30/11/2024

නිරෝධ සමාපත්තිය

නිරෝධ සමාපත්තියට සමවැදීම වනාහී ඉහතාත්මයේදීම නිර්වාණයෙහි සැප විදීම හා සමානය.මෙම නිරෝධ සමාපත්තියට සමවදින පුද්ගලයා තුල අධිෂ්ඨාන කල කාලය ඇතුලත චිත්ත චෛතසිකයන්ගේ ඉපදීමක් සිදු නොවේ.

අෂ්ට සමාපත්තිලාභී අනාගාමී උතුමන් වහන්සේලාට හා අෂ්ට සමාපත්තිලාභී රහතන් වහන්සේලාට නිරෝධ සමාපත්තියට සමවැදිය හැකි වන අතර පෘතග්ජන, සෝවාන්, සකදාගාමී පුද්ගලයන්ටද, අෂ්ට සමාපත්ති නොලැබූ අනාගාමීන්ට සහ අෂ්ට සමාපත්ති නොලැබූ රහතන් වහන්සේලාටද නිරෝධ සමාපත්තියට සමවැදීමේ හැකියාවක් නොමැත.

ඊට හේතුව නම් නිරෝධ සමාපත්තියට සමවදින ආර්‍ය පුද්ගලයන් සමථ විදර්ශනා බලද්වයෙන්ම යුක්ත විය යුතු වීමයි.

සමථ භාවනාවන් පමණක් වඩන පුද්ගලයා වනාහී සතරවන අරූප ධ්‍යාන සමාපත්තියට පමණක් සමවැදී නතර වන අතර,විදර්ශනා වශයෙන් භාවනා වැඩූ පුද්ගලයෝ වනාහී ඵල සමාපත්තියට පමණක් සමවැදී නවතී.

එහෙත් සමථ විපස්සනා දෙදෙනාගේ වශයෙන්ම භාවනාව වැඩූ අනාගාමීන් සහ රහතුන් වහන්සේලා නේවසඤ්ඤානාසඤ්ඤායතනයාගේ නිරෝධ කිරීමෙන් නිරෝධ සමාපත්තියට සමවදී.

කුමන හේතුවක් නිසා නිරෝධ සමාපත්තියට සමවදීද යත්, සංස්කාරයන්ගේ ඉපදීම් බිඳීම් පිළිබඳ කලකිරී ඉහතාත්මයේම අචින්තකව නිර්වාණයට පැමිණ සුවසේ විසිමීයි නිරෝධ සමාපත්තියට සමවදිත්.

එහෙයින් නිරෝධ සමාපත්තියට සමවදිනු කැමති ආර්‍ය පුද්ගල තෙමේ බත් කිස ආදී පූර්ව කෘත්‍යයන් කොට පලඟක් බැද පළමු ධ්‍යානයට සමවැද එයින් නැගිට එහි වූ ධ්‍යාන අංගයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්මයන් වශයෙන් විදර්ශනා කරන්නේය.

(සැලකිය යුතු :- විදර්ශනාව වූ කලී සංස්කාරයන් පරික්ෂා කරන විදර්ශනාව, ඵල සමාපත්ති විදර්ශනාව, නිරෝධ සමාපත්ති විදර්ශනාව වශයෙන් තුන් වැදෑරුම් වේ.මෙහි කියවෙන විදර්ශනාව නිරෝධ සමාපත්ති විදර්ශනාවයි.)

ඉක්බිති දෙවෙනි ධ්‍යානයට සමවැද එයින් නැගිට එහි වූ ධ්‍යාන අංග විදර්ශනා කොට තෘතිය ධ්‍යානයට සමවදින්නේය.මෙකී ආකාරයට පිලිවෙලින් අකිඤ්චඤ්ඤායතන ධ්‍යානය දක්වා ධ්‍යානයන්ට සමවැද නැගිට ධ්‍යාන අංග විදර්ශනා කර අකිඤ්චඤ්ඤායතන ධ්‍යාන අංග විදර්ශනාවෙන් පසුව චතුර්විධ පූර්ව කෘත්‍යයන් කරන්නේය.

එම චතුර්විධ පූර්වකෘත්‍යයෝ නම් :-

1.නානාබද්ධ අවිකෝපනය
2.සංඝ පතිමානනය
3.සත්ථු පක්කෝසනය
4.අද්ධාන පරිච්ඡේදය

නානාබද්ධ අවිකෝපනය

නානාබද්ධ අවිකෝපනය නම් නිරෝධ සමාපත්තියට සමවදින භික්ෂුව සමඟ ඒකාබද්ධ පිරිකර හැර අනෙකුත් සිවුරු, සෙනසුන් ආදී පරිෂ්කාරයන් ගින්නෙන්, සුලඟින්, වන සතුන්ගෙන්, සොරු ආදීන්ගෙන් විනාශ නොවන සේ අධිෂ්ඨාන කිරීමයි.

මෙලෙස අධිෂ්ඨාන කොට නිරෝධ සමාපත්තියට සමවදින යෝගාවචරයාගේ අධිෂ්ඨාන කරන ලද පිරිකර කිසිවක් නිරෝධ සමාපත්ති කාලය ඇතුලත උපද්‍රවයක් පැමිණියද විනාශ නොවන බව දත යුතුය.

යමෙ⁣ක් මෙලෙස අධිෂ්ඨාන නොකර සමාපත්තියට සමවැදුනද සමාපත්ති බලයෙන් එම භික්ෂුවගේ ඒකාබද්ධ සිවුරු, අඳන, හිදින ආසනය වැනි පිරිකර විනාශ නොවේ.එලෙස ඒකාබද්ධ පිරිකර අධිෂ්‍ඨානයකින් තොරව සමාපත්ති බලයෙන් රැකුනමුත් නානාබද්ධ පරිෂ්කාරයන් විනාශ වන බව දත යුතු වේ.

සංඝ පතිමානනය

නිරෝධ සමාපත්තියට සමවදින භික්ෂුව විසින් ඉදින් මා සමාපත්තියට සමවන් කල්හි සංඝ කර්මයක් කිරීමට සංඝයා මා බලාපොරොත්තු වෙයිද දූතයකු එවීමට පෙර සමාපත්තියෙන් නැගිටේවායි අධිෂ්ඨාන කරයි.ඉදින් අධිෂ්ඨාන නොකර වුවද සංඝ කර්මය නොකර උන්වහන්සේ සංඝ ආඥාවෙන් කැඳවන්නේ නම් සංඝ ආඥාව ඉතා ගරු බැවින් දූත වචනයට අනතුරුව සමාපත්තියෙන් නැගිටීම සිදු වේ.

සත්ථු පක්කෝසනය

සත්ථු පක්කෝසනය නම් ශාස්තෘන් වහන්සේගේ ආමාන්ත්‍රණයයි.එහිදී නිරෝධ සමාපත්තියට සමවන් කාලයේදී ශික්ෂාපද පැණවීමක් හෝ ශාස්තෘන් වහන්සේ ඉතා විශේෂ ධර්ම දේශනාවක් කරණු කැමතිව තමන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් පසු වන්නේ නම් දූත භික්ෂුවකගේ පැමිණීමට ප්‍රථමයෙන් සමවතින් නැගිටේවායි සමාපත්තියට සමවදින භික්ෂුව විසින් අධිෂ්ඨාන කරන්නේය.

යම් හෙයකින් අධිෂ්ඨාන නොකලද භාග්‍යවතුන් වහන්සේ එම භික්ෂුවගේ පැමිණීම බලාපොරොත්තු වන්නේ නම් සර්වඥයන් වහන්සේගේ වචනයෙන් කැඳවීමක් කරන්නැයි දූත භික්ෂුවක් යවා කැඳවන කල්හි සමාපත්තියෙන් නැගි⁣ටීම සිදු වේ.

අද්ධාන පරිච්ඡේදය

අද්ධාන පරිච්ඡේදය වූ කලී ජීවිතය පවත්නා කාලය පිරිසිඳ දැනීමය.එනම් නිරෝධ සමාපත්තියට සමවන් උතුමන් වහන්සේ විසින් සමවතට සමවැද සිටින කාලය තුල තමන්ට ජීවත් වීමට ආයුෂ ඇති නැති බව ආවර්ජනා කල බැලිය යුතු වේ.

නිරෝධ සමාපත්තියට සමවැදුනද මරණයෙන් ගැලවිය නොහැකි බැවින් සමවන් කාලය නිමා වීමට පෙරාතුවම ආයුෂ ඉවර වන්නේ නම් එම භික්ෂුව විසින් මරණයට පෙර සමාපත්තියෙන් නැගිටිය යුතු වේ.

සමාපත්ති කාලය ඇතුලත මරණයක් සිදු නොවන බැවින් සමාපත්තියට සමවදින ආර්‍යන් වහන්සේ විසින් ආයු සංස්කාරයන් පවත්නා තාක් කල් බලා එයට කලින් නැගිටින ලෙස අධිෂ්ඨාන කොටම සමවදින්නේය.සෙසු පූර්ව කෘත්‍යයන් ආවර්ජනා නොකලද මෙය ආවර්ජනා කිරීම අනිවාර්‍ය යැයි කියත්.

නිරෝධ සමාපත්තියට සමවදින උතුමන් වහන්සේ ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානයෙන් නැගිට එහි වූ ධ්‍යානාංග විදර්ශනාවෙන් අනතුරුව මෙකී චතුර්විධ කෘත්‍යයන් කොට නොවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානයට සමවදින්නේය.⁣

නේවසඤ්ඤානාසඤ්ඤා ධ්‍යාන සිත් එකකින් හෝ දෙකකින් අනතුරුව උන්වහන්සේගේ චිත්ත සන්තතිය නූපදින්නේය.චිත්තයාගේ නිරෝධයත් සමඟ චෛතසිකයෝද චිත්තජ රූපයන්ගේ ඉපැද්මද නිරුද්ධ වන්නේය.මෙලෙස නිරෝධ සමාපත්තියට සමවැදීම සිදු වන්නේය.

පෙර කී චතුර්විධ පූර්ව කෘත්‍යයන් නොකරන ලද හොත් නිරෝධ සමාපත්තියට සමවැදීමක් සිදු නොවන අතර නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානය පමණක් ලැබෙන බව මෙහිදී විශේෂ වශයෙන් සඳහන් කල යුතු වේ.

නිරෝධ සමාපත්ති චිත්ත වීථිය

න ද ම ප උ නු වො ඣ ඣ (නිරෝධය) ඵ භ

මනුෂ්‍ය තලයේ ආහාරයක් නොමැතිව උපරිමයෙන් යැපිය හැක්කේ දින සතක් තරම් කාලයක් වන බැවින් නිරෝධ සමාපත්ති කාලයද උපරිමයෙන් දින සතකට සීමා වේ.

තවද නිරෝධ සමාපත්තියට සමවැදිය හැක්කේ පඤ්චවෝකාර භවයක පමණක් යැයි ආචාර්‍ය මතයක් ඇති බව සැලකිය යුතුය.

නිරෝධ සමාපත්තියෙන් නැගිටින රහතන් වහන්සේට නිරෝධයෙන් අනතුරුව රහත් ඵල සිතක් ඇති වී නිරුද්ධ වූ පසුව භවාංග සිත් ඇති වී චිත්ත ප්‍රවෘත්තිය සිදු වේ.අනාගාමී උතුමන් වහන්සේට වනාහී අනාගාමී ඵල සිතත් පසුව භවාංග සිත් ඇති වී චිත්ත ප්‍රවෘත්තිය ඇති වේ.

නිරෝධ සමාපත්තියෙන් නැගිටින උතුමන් වහන්සේගේ සිත නිර්වාණයම අරමුණු කරන බව දත යුතු වේ.

✍️ මීරිගම ධම්මවිලාසා මෑණියන් වහන්සේ..

ජීවිතය වනාහි මරණයෙන් කෙළවර වන්නකි.. මේ ගෙවෙන සෑම මොහොතක්ම ඔබව ළං කරන්නේ මරු මුවටය..එසේ වේගයෙන් පැමිණෙන මරණය ක්ෂණ මාත්‍රය...
29/11/2024

ජීවිතය වනාහි මරණයෙන් කෙළවර වන්නකි..

මේ ගෙවෙන සෑම මොහොතක්ම ඔබව ළං කරන්නේ මරු මුවටය..
එසේ වේගයෙන් පැමිණෙන මරණය ක්ෂණ මාත්‍රයකින්වත් නවත්වා ගත නොහැකි තරමටම අපි සියල්ලෝම අසරණයෝ ය..

එවැනි ජීවිතයක් පරිහරණය කරන අපි කෙසේ නම් ජීවිතාෂාවක් ජීවිතාපේක්ෂාවක් දල්වා ගන්නද ? එය කළ නොහැක්කක් ය..

එකළ වසර දහස් ගණනින් ආයුෂ තිබුණු තාපසවරුන් පවා මේ ජීවිතය උපමා කර ඇත්තේ තණ අග පිනි බිංදුවකටය.. එබදු ආයුෂයක් හිමි ඔවුනද ජීවිතයේ අස්ථිර බව මෙවැනි උපමාවකින් පැවසුවේ නම් වසර හැටකට හැත්තෑවකට සීමා වුණු ඔබට අපට ලැබුණු මේ අල්පායුෂ මනුෂ්‍යය ජීවිතය පිළිබඳ කිනම් කතාවක් ද..?

එනිසා මරණයෙන් කෙළවර වන තාවකාලික ජීවිතය පිළිබඳ බලාපොරොත්තු නොතියාම අපි මේ නිරර්ථක වූ සංසාරයෙන් එතෙර වෙලා යමු..

✍️ පිටිපන ධම්මසුභාවි මෑණියන් වහන්සේ..

ජවන් සිත් අතරින් පළමු ජවනයත් සත්වැනි ජවනයත් අතර ඇති ජවන් සිත් පහේ සම්ප්‍රයුක්ත වන චේතනා චෛතසිකයෝ අපරාපරියවේදනීය වේ.අපරා...
27/11/2024

ජවන් සිත් අතරින් පළමු ජවනයත් සත්වැනි ජවනයත් අතර ඇති ජවන් සිත් පහේ සම්ප්‍රයුක්ත වන චේතනා චෛතසිකයෝ අපරාපරියවේදනීය වේ.

අපරාපරිය වේදනීය යනු නිවන් දකිනා තාක් සත්වයාට විපාක දිය හැකි වන කුසලාකුසල කර්මයෝය.මෙම කර්මයෝ නිවන් දක්නා තාක් අහෝසි බාවයට පත් නොවන බව දත යුතුය.

මෙම අපරාපරියවේදනීය කුසලාකුසල කර්මයන්ට ස්ව ශක්තියෙන් පමණක් විපාක දීමේ හැකියාවක් නොමැති අතර බොහෝ සෙයින් එයට දිට්ඨධම්මවේදනීය කර්මයක රුකුල් ලැබීමෙන් විපාක දෙනු ලැබේ.

දිට්ඨධම්මවේදනීය කර්ම යනු වර්ථමාන භවයේ කරන ලද කුසලාකුසල කර්මයෝයි.

මෙහි විශේෂත්වය නම් දිට්ඨධම්මවේදනීය කර්මයක රුකුල් දීමකින් තොරව මහානුභාව සම්පන්න අපරාපරියවේදනීය කර්මයකට වූවත් විපාක දිය නොහැකි වීමයි.එය මෙම උපමානුසාරයෙන් දත යුතුය.

දැඩි ගිනි අඟුරු ගොඩක් මැදට අමු දර දැමුව හොත් එම අමු දර දැවී විශාල ගින්නක් බවට පත් වේ.එමෙන්ම බලවත් වූ අපරාපරියවේදනීය කර්මයකට දුර්වල දිට්ඨධම්මවේදනීය කර්මයක් රුකුල් දීමෙන් මහත් වූ විපාක ලැබේ.

එහෙන්ම දුර්වල ගින්නකට වියලි දර දැමුව හොත් එය මහත් වූ ගින්නක් බවට පත් වනවා සේම දුර්වල අපරාපරියවේදනීය කර්මයකට මහත් වූ දිට්ඨධම්මවේදනීය කර්මයකින් රුකුල් ලැබුන හොත් එහි විපාක ද මහත් වන බව දත යුතු වේ.

තවද දුර්වල ගින්නක් වර්ෂා ජලයෙන් නිවී යන්නාක් මෙන් දුර්වල වූ අපරාපරියවේදනීය කුසල කර්මයක් බලවත් වූ දිට්ඨධම්මවේදනීය අකුසල කර්මයකින් පෙලන ලද්දේ වී නම් කුසල කර්මය විපාක බාවයට පත් නොවේ.

බිය සුලු පුද්ගලයෙකු තනිවම සොහොන් බිමට යාමට බිය වන්නාක් මෙන්ම මෙම අපරාපරියවේදනීය කර්ම තනිවම විපාක නොදේ.තව යහළුවෙකු ලද හොත් බිය සුලු පුද්ගලයා සොහොන් බිමට යන්නාක් මෙන් මෙම කර්මයෝ දි⁣ට්ඨධම්මවේදනීය කර්ම නමැති යහළුවා ලද හොත් විපාක බාවයට පැමිණේ.

මෙම කර්මයන් ප්‍රතිසන්ධි විපාක හා ප්‍රවෘත්ති විපාකද ලබා දේ.අර්ථසාධක බවට පත් වූ මෙම එක සිතකින් එක ප්‍රතිසන්ධියක් මෙන්ම අනන්ත සසර පුරාවට ප්‍රවෘත්ති විපාක ලබා දේ.

තේරුම් ගැනීමේ පහසුව උදෙසා උදාහරණයක් දැක්වුව හොත් :- යම්කිසි පුද්ගලයකු මදුරවකු මරණ විට අපරාපරියවේදනීය බවට පත් වන අර්ථසාධක ජවන් සිත් 100ක් ඇති වුව හොත් එයින් ඔහුව අනන්ත සසර පුරාවට එම කර්මය හේතුවෙන් නිරයේ සිය පාරක් උත්පත්තිය ලබා දීමට සමත් වේ.මේ ප්‍රතිසන්ධි විපාකයි.

එක් සිතකින් ප්‍රතිසන්ධි විපාක ලබා දීමෙන් අනතුරුව නැවත එම සිතෙන් උත්පත්ති ලබා නොදුන්නද එහි ප්‍රවෘත්ති විපාකයන් අනන්ත සසර පුරාවට විදීමට සිදු වන බව දත යුතු කාරණයකි.

තවද,ප්‍රතිසන්ධි විපාක ලබා නොදී ප්‍රවෘත්ති විපාක පමණක් ලබා දෙන අපරාපරියවේදනීය කර්ම නැති බව දත යුතු වේ.

සසර රැස් වුනා වූ ද තවමත් විපාක නොදුන් විපාක දීමට අවස්ථාවක් ලැබෙන තුරු බලා සිටිනා අපරාපරියවේදනීය කර්ම මෙපමණයි කියා කිව නොහැක.ඒවා නම් අනන්තය අප්‍රමාණය.

✍️ මීරිගම ධම්මවිලාසා මෑණියන් වහන්සේ..

කතමාචාවුසො ජරා: යා තෙසං තෙසං සත‍්තානං තම‍්හි තම‍්හි සත‍්තනිකායෙ ජරා ජීරණතා ඛණ‍්ඩිච‍්චං පාලිච‍්චං වලිත‍්තචතා ආයුනො සංහානි...
26/11/2024

කතමාචාවුසො ජරා: යා තෙසං තෙසං සත‍්තානං තම‍්හි තම‍්හි සත‍්තනිකායෙ ජරා ජීරණතා ඛණ‍්ඩිච‍්චං පාලිච‍්චං වලිත‍්තචතා ආයුනො සංහානි ඉන්‍ද්‍රියානං පරිපාකො, අයං වුච‍්චතාවුසො ජරා.

ඇවැත්නි, ජරා කවර: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායයෙහි යම් දිරීමෙක් දිරන අයුරෙක්, කැඩුණු බවෙක්, පලිත ඇති බවෙක්, ඇඟ රැලි වැටුණු බවෙක්, ආයු පිරිහීමෙක් ඉඳුරන් පැසීමෙක් වේ ද, ඇවැත්නි, මේ ‘ජරා’ යයි කියනු ලැබේ.

- සච්චවිභංග සූත්‍රය

ගැටලුව තියෙන්නේ ඇති වීමේ මිසක් නැති වීමේ නෙවෙයි..
24/11/2024

ගැටලුව තියෙන්නේ ඇති වීමේ මිසක් නැති වීමේ නෙවෙයි..

Address

Sujatha DIyani Dasa Sil Arana
Galle

Alerts

Be the first to know and let us send you an email when සුජාත දියණි දස සිල් අරණ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share