20/09/2021
කල්‍යාණ මිත්‍රත්වය හා පක්ෂපාතී භාවය ගැන කතාවක් කියන්න යන්නෙ.
තමන් තුල ඒ ගුණ වර්ධනය කරගන්නයි, ඒ ගුණ ධර්ම ගැන හිතේ අභිමානයක් ඇතිකරගන්නයි මේ කතාව උපකාරවෙයි කියල හිතනව. කල්‍යාණ මිත්‍ර බව හා පක්ෂපාතීතවය මෙතරම් කියල කියන්න බැරිතරම් වටින ගුණාංග කියල මතකතියාගන්න.
නාලගිරි කියන ඇතාට රා කල දාසයක් පොවල, හෙන්ඩුවෙන් ඇනල කුලප්පු කරල, බුදුන් ප්‍රමුඛ මහා සංඝයා පින්ඩපාත වඩින වීදියට එවනවනෙ. මෙහෙම එවන්නෙ අජාසත්ත රජතුමා සහ දේවදත්ත හාමුදුරුවොනෙ. මේ වෙලාවෙදි අසූ මහා ස්‍රාවක හිමිවරු නවත්තල බුදුන් තනිව මාර්ගයේ වඩිනව. ආනන්ද හාමුදුරුවො බුදුන් ඉදිරියට ගිහින් මුලින් තමන් නාලාගිරියාට මුහුන දෙනව කියල ඉස්සරහින් හිටගන්නව. බුදුහාමුදුරුවො තුන් වතාවක් අනෙක් භික්ෂූන් හා එක්වන්න කියල කියද්දි ආනන්ද හාමුදුරුවො මේ තුන් වතාවෙම තමන්ගේ ජීවිතය නැති උනත් කියන දේ නාහ බුදුන් ඉදිරියෙන්ම සිටගත්ත. මේ වෙලාවෙ බුදුහාමුදුරුවො එර්දියෙන් ආනන්ද හාමුදුරුවො වැඩසිටි භූමිය පිටින්ම කැරකැවිල ගිහින් සංඝයා මැද්දෙ සිටව්වලු. කොහොම නමුත් බුදුන්ගේ මෙතෙකැයි කියල කියා නිමකරන්න බැරි මහා ගුණකන්දරාව ඉදිරියේ නාලාගිරි කියන ගුණ නුගුණ නොදන්න චණ්ඩවූ හස්තියා හොඬ බිම එලා, චක්‍රවර්ති රජෙක් ඉදිරියට ආපු චන්ඩාලයෙක් වගේ බුදුන් ගේ දෙපාමුල වැතිරෙනව. බුදුන්ගෙ පාද අසල දූවිලි හොඬෙන් අරන් හිසේ දමාගන්නව. බුදුහාමුදුරුවො දක්ශින ශ්‍රී හස්තයෙන් නාලාගිරි ඇතාගෙ කුම්භස්ථලය පිරිමදිමින් ධර්මදේශනාවක් පවත්වනව. තිරිසන් ජාති නොවෙන්න නාලාගිරිය සෝවාන් වෙනව සහ මේ ධර්ම දේශනාව අහල සූවසූදහසක් දෙනා නිවන් දකිනව. මේ වෙලාවෙදි රැස්වෙලා ඉන්න සෙනග බුදුන්ට පූජාකරන ස්වර්ණාභරනයෙන් නාලාගිරි ඇතා වැහිල යනව. මේ නිසාම නාලාගිරි ඇතා ධනපාල කියලත් ප්‍රසිද්ධවෙනව.
ඒ වෙලාවෙදි ආනන්ද හාමුදුරුවො දැක්වූ මිත්‍රත්වය හා පක්ෂපාතීත්වය ගැන භික්ශූන් පසුව කතාවෙනව. බුදුන් තුන්වරක්ම ඉවත්වෙන්න කියද්දිත් පුදුම ධෛර්යකින් සහ විශ්වාසෙකින් තමන්ගෙ ජීවිතය නැතිඋනත් බුදුන් හැර නොයමි යන තීරනය නොවෙනස් කිරීම, පුදුම සහගත දෙයක්. ඉතින් මේ සිද්දිය අරඹයා තමයි බුදුහාමුදුරුවො දැන් මතුත් නොවෙයි පෙරත් ආනන්ද හිමියන් මෙසේම පක්ශපාතීත්වය හා මිත්‍රත්වය රැකපු අවස්ථාවක් ගැන මේ දේශනාව කරන්නෙ. ඒක තමයි අද අපේ කතාවෙ ප්‍රවේශය. කතාව පටන් ගන්න ප්‍රවේශය ටිකක් ඇදුන කරන්න දෙයක් නෑ ඉතින්. ;)
මහිස කියන රටේ සකුල නම් නුවර සකුල නමින් රජකෙනෙක් රාජ්‍ය පාලනය කරමින් හිටිය. මේ අවදියේ ධ්‍රතරාෂ්ට නමින් හංස රාජයෙක් සුමුඛ නම් සෙන්පතියෙක් හා අනූහයදාහක් හංස සමූහය සමගින් චිත්‍රකූට පර්වතයේ වාසය කරා. මේ නුවර මානස නමින් විශාල විලක් තිබුන. මේ විලට ආපු හංසයො කීපදෙනෙක් මේ විලට ඇවිත් මෙහි තිබෙන සම්පත් බහුල බව දැකල ධ්‍රතරාෂ්ට රජුට, " දේවයන් වහන්ස, මනුෂ්‍ය පථයෙහි අනේක ප්‍රාකාරවූ ගොදුරු ඇති මානස නම් විලක් ඇත්තේය. එහි ගොදුරු අනුභව කරන්ට යම්හයි කීහ" මේ කතාව අහපු හංස රජ්ජුරුවො කියන්නෙ මනුෂ්‍ය පථය ඉතා භය සහිත , සැක සහිතය කියා ඔවුන් වලක්වනව. නමුත් මේ හංස පිරිස නැවත නැවත් කියන නිසා " ඉඳින් තොප හැම අභිප්‍රාය වීනම් යම්හයි" ගිවිස පිරිවර හා අහසින් ගිහින් බැස්ස. බහිද්දිම හංස රජ්ජුරුවොන්ගෙ කකුල වැද්දෙකු විසින් එලන ලද උගුලකට, (මලකට ) අහුවෙනව. මේ වෙලාවෙදි මල කඩාගනිමියි සිතා අදින අදින පාරට තව තවත් කකුල තදවෙලා කකුලේ සම් කැඩී යනව, තව තව අදිද්දි මස් ඇට පවා කැඩිල ඇටමිදුලුවල ඉඳන් ලේ වැගිරෙන්න පටන්ගන්නව වගේම ඉතා බලවත් වේදනාවකින් පෙලෙනව. තමන් ඇඬුවොත් තම පිරිස ආහාර නොගෙනම පලායන නිසාත් බොහෝ දුර යායුතු බැවින් ඔවුන් තම ගුහාවට යන අතරතුර දුර්වල වෙලා සාගරයට වැටෙන බව දන්න නිසාත් මේ ධ්‍රතරාෂ්ට කියන හංස රජතුමා තම බන්ධූන් කෙරෙහි කරුණාවෙන් දුඛ්කයන් , වේදනාවන් ඉවසන් ඉන්නව. මෙහෙම ඉවසන් ඉඳල තම පිරිස ආහාර ගෙන ඉවර වෙලා ක්‍රීඩා කරන්න පටන් ගත්තම මහ හඬින් හඬනව. මේ ශබ්ද අහන හංස සමූහය මරණ භයින් තැතිගෙන තුන් මුලක් ව බෙදී චිත්‍රකූට පර්වතයට පියාඹනව. මේ අතරෙදි සුමුඛ කියන සෙන්පතිය බලනව තමන්ගෙ රජතුමා කොහොද කියල. පළමු රැල දෙවෙනි රැල හා තුන්වෙනි රලත් බලල තමන්ගෙ රජතුමා නොදැකපු මේ සුමුඛ කියන සෙන්පතිය ඒකාන්තයෙන් රජුට අනතුරක් බව දැනගෙන ශෝකයෙන් ආපසු විලට පියඹල එනව. පය බැඳීගොස් දුක්ඛයෙන් පීඩතව මඩගොඩේ වැතිර සිටින රජතුමා දුරදිම දකින සුමුඛ සෙන්පතියා "මහරජ භයනොගත මැනව මම මාගේ ජීවිතය දීපියා නමුතු නුඹ වහන්සේ මලින්ගලවාලමියි" අස්වසා රජුසමීපයටම ගොඩ බහිනව. රජතුමා කියනව අනූදහසක් බන්ධූන් මා මේසා දුක් විඳිමින් සිටියදී කුමක් උනාදවත් නොසිතා පියඹාගියා, මාව මේ උගුලෙන් ගලවන්න බෑ ඔබත් නොරඳා පලායන්න කියල.
"දේවයන් වහන්ස නුඹ වහන්සේ හැර මෙතෙනෙන් මම ගියමි නමුත් නොගියෙමි නමුත් මියෙන්නෙමි වෙමි. සුවපත්වූ නුඹ වහන්සේට සේවයකොට දුකට පැමිණි වෙලෙහි ඇරපියා ඒකාන්තයෙන් නොයමි"
"එහෙයින් මියතත් එක්වමය ගැළවියත් නුඹ වහන්සේ හ එක්ව යෙමියි. ඉඳින් ඇරපියා ගොස් මාගේ ජීවත් වීමට වඩා නුඹ වහන්සේ හා එක්ව මියයාම උතුම් වන්නේය" යනාදීවශයෙන් තම මිත්‍රත්වය හා පක්ශපාතීත්වය රජතුමාට ප්‍රකාශ කරනව.
රජතුමා සෙන්පතිට කියනව සතුරන් අතට පත්වුනාම මුළුතැන් ගෙට විනා වෙනත් සරණක් නෑ, ඔබ විශිෂ්ට නුවනකින් යුක්තයි. මා නිසා ජීවිතය පූජාකිරීම අඳුරු ගෙයක අන්ධයෙක් කර දෙයක් වගේ අර්ථයක් නැති දෙයක්. ඒ නිසා වහා පිටවන්න කියල කියනව. සෙන්පතිය කියන්නෙ පුරන ලද ගුණ ධර්ම සත්වයාට ලෞකික ලොකෝත්තර සුව දෙනව ඉතින් මම පුරන ගුණධර්මයෙන් මෙලෝ පරලෝ දෙකෙන් මට වැඩක් වෙනව, ඔබ වහන්සේ කෙරෙහි සෙනෙහෙ පක්ශ්පාතීත්වය නිසා ජීවිත විනාශය ගැන සැකයක් නැතැයි කියල. රජතුමා කියනව " එම්බා සුමුඛයෙනි යම් මිත්‍රයෙක් තමාගේ මිත්‍රයාට දුකක් පැමිණකල්හි එදුකෙහි අත්නොහැර එක්ව විඳුනේ වී නම් එසේ කිරීම ඒකාන්තයෙන් බුද්ධ බෝධිසත්වාදී උත්තමයන්ගේ ස්වභාව ගුනයෙක."
නුඹගේ පක්ශපාතීත්වය මා විශේෂයෙන් දන්නව, නුඹ වගේ ප්‍රඥා ගුණ ඇත්තෙක්ගෙ ඇසුරෙන් මා නිසා ඇතිවන අඩුව මැකෙනව නුඹ දිවි බේරාගෙන වහා පලා යවයි කියනව. කොච්චර කිව්වත් සුමුඛ සෙන්පතිය තමන්ගෙ රජතුමා දාල ගියේ නෑ. මේ කතා අතරෙ උගුල අටවපු වැදිපුත්‍රය එතන්ට මාරයෙක් වගේ එනව. දුවගෙන එන මේ වැදි පුත්‍රය දකිනව පක්ෂීන් දෙන්නෙක් ඉන්නව කියල. ඒ නිසා හෙමින් හෙමින් කිට්ටුවට එන්නෙ. දුරතියාම වැදිපුත්‍රය දැක්ක රජතුමා හා සෙන්පතින් මුවින් නොබැන උන්තැනම හිටිය. මලෙහි නොබැඳිත් පලානොගිය මේ හංසය දැකපු වැදි පුත්‍රය පුදුමවෙලා කතා කරනව මේ හංසයට. "මේ පක්ෂියා මලේ බැඳුනු හෙයින් නොගියේය, සාක්ෂාත් තොපට සතුරු මා එන නියාව දැක දැක තොප නොගොස් ඉඳිනට කිම්ද? සෙසු පක්ෂීන් පලායද්දි නුඹ පමනක් නොගොස් ඉඳිනට කාරනා කිමැයි" කාරනා විචාලේය.
සුමුඛ සෙන්පතිය කියනව මේ මගේ රජතුමා සහ මගේ ජීවිතය සමාන මිත්‍රය. ඒ නිසා මගේ ජීවිතාන්තය දක්වා දාලයන්නෙ නෑ කියල. වැද්ද කියනව රජ්ජුරුවො කියන්නෙ කාරියකාරිය නුවණින් යුක්තයි. පරිශාකාරියි. මෙච්චර නුවණ තියන ඔබවගේ කෙනෙක්ගෙ රජතුමා මොකක්නිසා මේ උගුල දැක්කෙ නැද්ද? යසසින් නුවණින් වැඩි උන් තමන්ට පැමිනෙන උවදුරු කල්තියාදකිනව නොවද? කියල. සුමුඛ සෙන්පතිය කියනව "එම්බා පුරුෂය සත්වයන්ට විනාශකාලය පැමිණ සිටින කල්හි තමන්ට උපද්‍රව පිණිස සරහා තබන ලද්දාවූ දැල් මල ආදින්ගේ සමීපයට පැමිණි කල්හි නොපෙනෙන්නේය. ඉදින් දුටත් කර්මප්‍රත්‍ය ඒකාන්තයෙන් පැමිණ සිටිකල්හි සොරමල කවුරුවත් බැඳීයන්නේය" මේ වගේ වැදිපුත්‍රයා සමග කතා බහ කරල කියනව අපේ මේ කතාව අප දෙදෙනාටම අභිවෘදිය පිණිසයි. අපේ ඥාතීන් හා එක්වෙන්න අපිට ජීවිත දානය දෙන්න කියල. වැද්ද කියනව හංසයෙනි මා නුඹ බැඳගෙන නැහැ. නුඹට වධ දෙන්න අකමැති. වහා මෙතැනින් පලාගොස් සුවෙන් වෙසෙන්න කියල. සුමුඛ සෙන්පති කියනව රජතුමා හැර ඇසිල්ලක් ජීවත් වෙන්න ආසාවක් නැහැ. ඉතින් එක්කෙනෙක් විතරක් නිදහස් කරනවනන් මාව තියාගෙන රජතුමා නිදහස් කරන්න කියල. මේ රජතුමා හා මගේ වයස පාට උසමහත සමාන නිසා තොපට අලාභයක් නෑ. ඉතින් දෙදෙනාම පලායයි කියල භයනන් මුලින් මාව ගැටගහල රජතුමා නිදහස් කරන්න කියල ඉල්ලනව. මේ හා පෙර කතාවලින් ප්‍රසන්න වූ වැදි පුත්‍රයා මේ හංස රජ්ජුරුවන්ට තරම් ඒකාත්මික වූ මිත්‍රයෙක් වෙනත් කිසි කෙනෙක්ට නැත්තේය ඉතින් මේ රජතුමා හා සෙන්පතියා නිදහස් කරන්නේ නම් ඒ හංස සමූහයටම සතුටුවෙයි සිතල හංස රජතුමාගේ බැමිකපා වඩාගෙන ඊතන මත සතපල සෙමින් සෙමින් බැමි ලිහල නෙලුම් කොලේන් වතුර පොවල ඉතා කරුණාවෙන් හංසයගෙ කකුල පිරිමදිනව. ඔහුගේ මෛත්‍රිය බලයෙන් හා රජුගේ පාරමිතා බලයෙන් නහර නහර මාංශ මාංස හා සම ගැලපිලා පලමු පරිද්දෙන් කකුල ප්‍රකුර්ති උනා.
මේ තමයි මිත්‍රත්වය. පක්ශපාතීත්වය. ඒ වගේ මිත්‍රය ලබන්න ගොඩාක් පිං කරන්න ඕන. නිකමට හිතන්න අපිට එහෙම මිත්‍රයෙක් ඉන්නවනන් අපි කොච්චර ශක්තිමත්ද කියල. ඒ කයි හැම පිං කමකින් පස්සෙම අපි ඉමිනා පුඥ්ඥකම්මේන මාමෙ බාලසමාගමෝ සතන් සමාගමෝ හෝතූ යවනිබ්බානපත්තියා. කියල ප්‍රාර්ථනා කරන්නෙ. ඒ කියන්නෙ කවදා හෝ නිවන් දකිනකන් බාලයන්ගෙ ඇසුරට පත් නොවී කල්‍යාන මිත්‍ර ඇසුරට පමණක් පත්වන්න කියල ප්‍රාර්තනාවක්. ඉතින් මේ කතාව තව දිගට ඇදෙනව. හොයන් කියවන්න. චුල්ල හංස ජාතකය. කොහොම උනත් හැමෝගෙම සිත් තුල කල්‍යාන මිත්‍රත්වය වර්ධනය වේවා, පක්ශපාතීත්වය වර්ධනය වේවා සහ තව බොහෝ කලක් මේ ගුණධර්මයෝ සත්වයන්ගේ සිත් තුල පවතීවා කියල මං ප්‍රාර්ථනාකරනව.
ධ්‍රතරාෂ්ට කියන්නෙ බුදුන් වහන්සේ, සුමුඛ සෙන්පතිය ආනන්ද හාමුදුරුවො.
ධ්‍රතරාෂ්ට කියල සතරවරම් දෙවි කෙනෙකුත් ඉන්නව. ඒ දෙවියන්ගෙ දුව ශ්‍රී කාන්තාව ගැනත් ලියල ඇති මේ පේජ් එකේ. අහුවුනුත් කියවන්න. ;)