05/01/2026
අවුරුදු 35යි, 45යි, ඒත් Well Woman සායනයට යන්න බෑලු! ඇයි ඒ?
"අනේ මං නම් මැරුනත් කමක්නෑ, සුවනාරී සායනයට නම් යන්න බෑ" කියලා හිතන, "අනේ ඕවට යන්නෙ මොකටද, මට ඔය ලෙඩ මුකුත් නෑනෙ නෑනෙ" කියලා කියන අය, "ආ.. හුස්මක් ගන්නවත් වෙලාවක් නෑ" කියලා කාර්යබහුල ජීවිතයක් ගත කරන හැම කාන්තාවකටම අපි මේක කියන්නේ බොහොම ආදරයෙන්...
Well Woman(සුවනාරී) සායනය කියන්නේ, ඔයාගෙ සෞඛ්‍ය ගැන ඔයාට හිතන්න ඉඩ දෙන, ඔයාට වෙලාවක් වෙන් කරලා ගන්න පුළුවන්, ඔයාගෙ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් වගේ දෙයක්. මේක රෝග පරීක්ෂණයක් විතරක් නෙවෙයි. රෝගයක් නැති වෙලාවෙම ඒක ස්ථිර කරගන්න, රෝගයක් එන්න පුළුවන් අවදානම අඩු කරගන්න කරන වැදගත්ම දේ.
Well Woman සායනයෙන් මොනවද වෙන්නේ?
ඔයාගෙ රුධිර පීඩනය, දියවැඩියාව වගේ දේවල් ගැන ඔයා දැනගෙන හිටියට, ඒවට වඩා තවත් රෝග තත්ත්වයන් තියෙනවා. ඒවා කල්තියා හඳුනා ගන්න එක ඔයාට වාසිදායකයි.
ආර්තවහරණය වගේ ස්වාභාවික ක්‍රියාවලියක් ඔයාගෙ ජීවිතයට බලපාන විදිහ ගැන උපදෙස් ලබා ගන්න පුළුවන්.
පියයුරු පිළිකා, ගැබ්ගෙල පිළිකා වගේ රෝග ගැන බය නැතුව කතා කරන්නත්, ඒවට ආරක්ෂාව ලබා ගන්නත් මේ සායනයෙන් උදව් වෙනවා.
මේ හැම දෙයක්ම ඔයාගෙ සෞඛ්‍යය ගැන උනන්දු වෙන්න, හිතන්න පුරුදු කරනවා.
නොමිලේ දෙන දේට වටිනාකමක් නෑ!
Well Woman සායනය තියෙන්නේ ප්‍රධාන වශයෙන් අවුරුදු 35 සම්පූර්ණ වෙච්ච කාන්තාවන්ටයි, අවුරුදු 45 සම්පූර්ණ වෙච්ච කාන්තාවන්ටයි. ඒත්, ඔයාට මොකක් හරි සැකයක් තියෙනවා නම්, ඕනෑම වයසක කෙනෙකුට එන්න පුළුවන්.
"අනේ මිස්, අපි රස්සාවක් කරනවනේ, සතියේ දවස් වල එන්න බෑ!" කියලා හිතන අයටත් අපි අවස්ථාවක් දෙනවා. ඔයා රස්සාවක් කරන කෙනෙක් නම්, සෙනසුරාදා දවසෙත් ඔයා වෙනුවෙන් අපි සූදානම් වෙලා ඉන්නවා.
හැබැයි, පොඩි කොන්දේසියක් තියෙනවා. එන්න කලින් ඔයාගේ මිඩ්වයිෆ් මිස්ට මතක් කරන්න ඕන. ඇයි දන්නවද? ඔයාට අවශ්‍ය පරීක්ෂණ ටිකට අවශ්‍ය බඩු ටික කලින් දවසෙ අපි ලෑස්ති කරගන්න ඕන නිසා. මේක පාරේ කඩෙන් බඩු ගන්නවා වගේ නෙවෙයිනෙ.
මේක නොමිලේ සපයන සේවාවක් නිසා අපේ කාන්තාවන්ට එච්චර වටිනාකමක් නෑ. වෙන රටක නම් ඔය පරීක්ෂණ ටිකට සෑහෙන්න වියදමක් දරන්න වෙනවා. නිකන් දෙන දේ අගේ කරගන්න අපි දන්නේ නෑ.
අපේ මිඩ්වයිෆ් මිස්ලා කොච්චර පින්සෙන්ඩු වෙනවද ඔයාලව මේකට ගෙන්න ගන්න. සමහරු හිතනවා ඇති මිඩ්වයිෆ් මිස්ලාට අමතර ආදායමක් ලැබෙනවා කියලා. ඔව්, එහෙම අමතර ආදායමක් ලැබෙනවා. ඒ තමයි ඔයගොල්ලන්ගෙ නිරෝගීකම කියන ආදායම.ඔයගොල්ලන්ට වටින්නෙ නැති වුනාට අපිට ඒක වටිනව.මොකද රටේ අනාගතය හදන දිරිය දෑත තමයි නීරෝගී කාන්තාව කියන්නෙ.
මේ සායනයට සහභාගී වෙලා ගැබ්ගෙල පිළිකා සහ පියයුරු පිළිකා කලින් හඳුනගෙන ජීවිතේ බේරගත්ත අය ගොඩක් ඉන්නවා. ඒ අය දැන් කියන්නේ "මිඩ්වයිෆ් මිස්ගේ බලකිරීමට ආපු නිසා තමයි මගේ ජීවිතේ බේරුනේ" කියලා.
ඔයා නැති වුණොත් වැඩිපුරම දුක් විඳින්නේ ඔයාගේ දරුවෝ. ඒ නිසා ඔයාගේ දරුවෝ ගැන හිතලවත් මේකට සහභාගී වෙලා චෙක් කරගන්න.
1991
1981 උපන් ඔබ අනිවාර්යයෙන්ම පැමිණිය යුතුයි....
1991, 1981 වර්ශ වල වල උපන් අය කෝ බලන්න.... 🤚