02/07/2024
දන්නා දේක නොදන්නා ගුණ - 15
එළකිරි...
කිරි අප ලබා ගන්නා ආහාර අතුරින් ශරීරයට අවශ්‍ය පෝෂක සපයන උසස් පෝෂණ ගුණයෙන් පිරිපුන් දියරයකි. සමබර ආහාරයකි. කිරි වලට ආවේණික පැහැයක් ,සුවඳක් හා රසයක් ඇත.
අපි එළකිරි භාවිතා කරන්නේ හොඳින් උණු කිරීමෙන් පසුවයි. එළකිරි 96 ºC හිදී උතුරයි. 100ºC ට වඩා රත් කිරීමේදි එහි පෝෂක විනාශ වේ. එම නිසා එළකිරි උණු කිරීමේදී උෂ්ණත්වය පිළිබඳව සැලකිලිමත් වෙන්න.
කිරි වල සංයුතිය සැලකීමේදි
ජලය 87.5%
මේදය 3.5% ක්
ලැක්ටෝස් 4.8% ක්
ප්‍රෝටින 3.5% ක්
ඛණිජ ලවණ 0.7% කින් සමන්විත වේ.
එළකිරි වල මෙම පෝෂක අනුපාතය ගව දෙනුන්ගේ වර්ගය ,පෝෂණ තත්වය හා වසුපැටවාගේ වයස මත වෙනස් විය හැකිය.
මෙහි ප්‍රධානව ප්‍රෝටින වර්ග තුනක් අඩංගුය. එනම්
ලැක්ටොග්ලොබියුලීන්
ලැක්ටොඇල්බියුමීන් හා
බීටා කේසීන් වේ.
මෙහි අන්තර් ගත කේසීන් ප්‍රෝටීනය ශරීරයට ඉතා වැදගත් වේ. හේතුව කේසින් ප්‍රෝටිනය සමග කැල්සියම් (Ca) බැදී තිබීමයි. කැල්සියම් (Ca) හෘදයේ ක්‍රියාකාරිත්වයට, හෝමෝන නිෂ්පාදනයට , අස්ථිවල අලුත්වැඩියාවට හා තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වයට වැදගත් වන බැවින් කිරි පානය නිරෝගීකම රැක ගැනීමට ඉවහල් වේ.
එළකිරි වල කැල්සියම් (Ca) වලට අමතරව කිරි වල පොස්පරස්(P) ද අඩංගුය. කිරි වල අඩංගු කැල්සියම් හා පොස්පරස් අනුපාතය කැල්සියම් ශරීරයට අවශෝෂණයට හිතකර ලෙස බලපායි. කිරි ලීටරයක් මගින් Ca 1200 mg(මිලි ග්රෑම්) ද P 900 mg(මිලි ග්රෑම්) ක්ද ලබා දෙයි.
කිරි ඇතැම් පුද්ගලයින් හට ආසාත්මිකතාවයක් ඇති කරයි. ඒ කෙරෙහි කිරිවල ඇති ලැක්ටොග්ලොබියුලීන් බලපායි. ඉගුරු ,ගම්මිරිස් හෝ කලාදුරු ස්වල්පයක් තලා එක් කර කිරි රත්කිරීම මගින් එම ආසාත්මිකතාවය මග හරවා ගත හැක.
කිරි ඉතා ඉහළ පෝෂණ ගුණයක් ඇති දියරයක් බැවින් ක්ෂුද්‍ර ජීවි වර්ධනය වැඩිය.එම නිසා කිරි ඉක්මනින් නරක් වේ . එම නිසා පිරිසිදු නැවුම් කිරි භාවිතය ඉතා වැදගත්ය.
සමට..
පිරිසිදු එළ කිරි වලින් ඔබේ සමට බොහෝ ප්‍රතිලාභ ලැබෙන බව ඔබ දන්නවාද? එළකිරි ඔබට ලබාගත හැකි හොඳම මොයිස්චරයිසරයක්. අමු එළකිරිවල ඇති ස්වභාවික මේද, ප්‍රෝටීන සහ ජලය සමේ තෙතමනය හා පෝෂණය ආරක්ෂා කරනවා වගේම සමේ ස්වභාවිකව ඇති තෙතමනය නැතිවීම වැළැක්වීම සඳහා ආරක්ෂිත තට්ටුවක් සෑදීමටද උපකාරී වෙන්වා. ඒ වගේම කුරුලෑ, අව්වට පිළිස්සීම සහ සමේ අධික වියලීම නිසා ඇතිවිය හැකි සියුම් පැලීම් වැනි සමේ තත්වයන් සමනය කිරීමටත් එළකිරි උපකාරී වේ. එමෙන්ම දාහය නිසා ඇතිවන දැවිල්ල ,දද සහ කුෂ්ඨ වලින් ආරක්ෂා වීමටද උපකාරී වෙනවා. තවද ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් අනූන එළකිරි වල විටමින් A, D සහ E මෙන්ම බීටා-කේසීන් ප්‍රෝටීන් අඩංගු වන අතර එමඟින් සම වියපත්වීම වලකා තරුණබව ආරක්ෂා වීමට උපකාරී වේ. එළකිරිවල ලැක්ටික් අම්ලය අඩංගු වන අතර එමඟින් සමේ මැරුණු සෛල, කළු ලප සහ වයිට් හෙඩ්ස් මෘදුව ඉවත් කළ හැකිය. මෙම්ගින් ඔබේ සම පැහැපත් වීම , අඳුරු පැල්ලම් මැකී යාමට සහ සමේ පැහැය වැඩි කිරීමට උපකාරී වේ.