15/07/2024
මෙට්ෆෝර්මින් ගත්තොත් වකුගඩු දෙක ඉවරයි ද?
ඩොක්ටර්, අපේ සීයා මෙට්ෆෝර්මින් බීලා එයාගේ වකුගඩු දෙකම ලෙෆ්ට්! හපෝ මටනම් මෙට්ෆෝර්මින් ලියන්න එපා. ඊයේ මම බලපු patient කෙනෙක් කියපු කතාවක් මේ.😱
හැමදාම patients බලනකොට දෙන්නෙක් තුන්දෙනෙක් අනිවාර්යෙන්ම අහන ප්‍රශ්නයක් තමයි මේක. ඉතින් මේකට කරණු පැහැදිලි කරන්න විනාඩි පහක් දහයක් එක්කෙනෙක් ට ගතකරන්න වෙනවා. බොහෝ දෙනෙක් මෙට්ෆෝර්මින් බොන්න බයයි 😵 මේ නිසා. සමහර විට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සමහර අයටත් මේ ගැන පැහැදිලි අවබෝධයක් නැති වෙන්න පුළුවන්. ඉතින් මම හිතුවා මේ ගැන ලියන්න.
මුලින්ම, ඉතාම පැහැදිලිව කියන්න ඕනෙ මෙට්ෆෝර්මින් කිසිම අයුරකින් වකුගඩු හානි කරන්නේ නැත. මේක සම්පූර්ණයෙන්ම මිත්‍යා මතයක්. පාලනයෙන් තොර දියවැඩියාව සහ අධි රුධිර පීඩනය තමයි ලෝකයේ වකුගඩු රෝග ඇතිකිරීමට ප්‍රධාන හේතුව.
මෙට්ෆෝර්මින් කියන්නේ දියවැඩියා රෝගියෙකුට මුලින්ම පටන් ගන්න බෙහෙත. ඉතින් කෙනෙක් ට අවුරුදු 35 දී දියවැඩියා රෝගය හැදුනොත්, ඔහු හෝ ඇය අවුරුදු 80ක් ජීවත් උනොත් මේ මෙට්ෆෝර්මින් පෙත්ත අවුරුදු 45ක්ම බොන්න ඕනේ!😱
Metformin ලෝකයේ මුලින්ම දියවැඩියාව පාලනයට යොදා ගන්නේ 1957 වර්ෂයේ එම ඖෂධ ය සොයාගත් ප්‍රංශයේදී. එදා සිට අද දක්වා අවුරුදු 67ක් දියවැඩියාව පාලනයට මෙට්ෆෝර්මින් පෙත්තට ගහන්න පෙත්තක් සොයාගෙන නැහැ. Post marketing surveillance මගින් අවුරුදු 60 කටත් වඩා මෙට්ෆෝර්මින් ඖෂධයේ ඇති ආරක්ෂාකාරී බව සහතික කරලා තියෙනවා.
හැබැයි ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ වගේ මේ මෙට්ෆෝමින් වකුගඩු සීන් එකටත් backstory එකක් තියෙනවා. අපේ ශරීරය ඇතුලට දා ගන්න හැම දෙයක්ම, වතුර, කෑම වගේම බෙහෙතුත් හැමදාම ඇඟ ඇතුලේ තියෙන්න බෑ නේ. ඒවා එලියට යන්න ඕනේ. ඉතින් මෙහෙම එලියට යන්න තියෙනවා ප්‍රධාන පාරවල් දෙකක්. එකක් අක්මාව පිත හරහා මළපහ, අනෙක වකුගඩු හරහා මුත්‍රා සමඟ පිටවීම. මෙට්ෆෝර්මින් ඇඟෙන් එලියට යන්නේ වකුගඩු හරහා. ඉතින් දියවැඩියාව හරියට පාලනය නොකිරීම නිසා වකුගඩු හානි වෙනකොට මෙට්ෆෝර්මින් ඇඟෙන් එලියට යන අඩුවෙනවා. අන්න එතකොට මෙට්ෆෝර්මින් ඇඟේ එකතු වෙන නිසා දැන් ප්‍රශ්නයක් වෙනවා.
දැන් මෙට්ෆෝර්මින් ප්‍රමාණය අඩු කරන්න හෝ වකුගඩු ඉතාමත් දුර්වල නම්, මෙට්ෆෝර්මින් නවත්තන්නම වෙනවා. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් "ආ, මේ මෙට්ෆෝර්මින් නිසා තමයි මගේ වකුගඩු ඩැමේජ් උනේ, ඒ නිසා තමයි ඩොක්ටර් මේ බෙහෙත නැවැත්තුවෙ කියලා" ඇත්තටම වෙලා තියෙන්නේ දියවැඩියාව හරියට පාලනය නොකිරීම වකුගඩු හානි වීම, නමුත් දැන් මෙට්ෆෝර්මින් දෙන්න බැහැ. ඒ නිසා dose එක අඩු කිරීමට හෝ නැවැත්වීමට සිදුවෙලා තියෙනවා.
ඔන්න ඕකයි මෙට්ෆෝර්මින් සහ වකුගඩු කතාව. මෙට්ෆෝර්මින් බෙහෙත ගැන වෙනම දවසක කතා කරමු.
වෛද්‍ය තරංග සමරසේකර
(දියවැඩියාව සහ හෝමෝන රෝග පිළිබඳ විශේෂඥ)