18/03/2025
තේ ද? කෝපි ද ?
ගොඩක් අය උදේට ඇහැරෙනකොටම තේ කෝප්පයක් හරි කෝපි එකක් හරි බොන්න බලාගෙන තමයි නැගිටින්නේ. ලෝකය පුරාම මිනිස්සු දවස පටන් ගන්න මේ පාන වර්ග දෙකෙන් එකකට හුරු වෙලා ඉන්නවා. ශ්‍රී ලංකාවේ නම් තේ තමයි ජාතික පානය වගේ තියෙන්නෙ! ගෙදරදී, වැඩපලේදී, වගේ ඕනෙම තැනක තේ කෝප්පයක් නැත්නම් කෝපි කෝප්පයක් බිව්ව ගමන් හිතට පොඩි කික් එකක් එනවා. ඒත් මේ තේ සහ කෝපි ගැන ටිකක් හොයල බලමු. ඒවා ඇත්තටම අපේ සෞඛ්‍යයට හොඳද?
තේ සහ කෝපි වලට ඇබ්බැහි වෙන්නේ ඇයි?
තේයි කෝපියි ඇතුළේ තියෙනවා “කැෆේන්” කියලා දෙයක්. මේක තමයි මේ පොඩි ජවයක් එහෙම නැත්නම් කික් එන්න හේතුව. කැෆේන් කියන්නේ මොළයට බලපාන උත්තේජකයක්. ඒකෙන් මහන්සි බවේ පණිවිඩකාරක හඳුනාගන්න උදව් කරන මොළයේ ග්‍රාහක (රිසෙප්ටර්) කියන ඒවා අවහිර කරනවා. ඒ නිසා තේ එකක් බිව්වම ටික වෙලාවකට ඔළුව ටිකක් පැහැදිලි වෙනවා, ප්‍රබෝධමත් ගතියක් දැනෙනවා.
ඒත් මේකේ ගැටලුව තියෙන්නේ. කැෆේන් බලපෑම ඉවර වුණාම, ශරීරයට මහන්සි බව දෙගුණ තෙගුණ වෙලා දැනෙනවා. විද්‍යාත්මකව බැලුවම, මේකට හේතුව තමයි කැෆේන් වලින් ඇබ්බැහි වීමක් ඇති කරන එක. එක දිගට තේ හෝ කෝපි බොන අයට ඒක නැතුව ඉන්න බැරි තත්ත්වයක් එනවා. උදාහරණයකට, උදේට තේ එකක් නොබිව්වොත් ඔළුව රිදෙනවා, හරිම මහන්සියි වගේ දැනෙන්න පුළුවන්.
තේ සහ කෝපිවල ඇති ඇබ්බැහි කාරක දේවල් මොනවාද?
තේ සහ කෝපිවල ප්‍රධානම ඇබ්බැහි කාරකය තමයි කැෆේන්. ඒ වගේම තේවල තවත් තියෝබ්‍රෝමින් වගේ දේවලුත් ටිකක් තියෙනවා, ඒත් කැෆේන් තමයි වැඩිපුරම වැඩ කරන්නේ. මේ කැෆේන් කියන්නේ අපේ මොළයට ටිකක් “ඇවිස්සෙන්න” උදව් කරන දෙයක්, එකෙන් ඇස් වල නිදිමත ගතිය ඇරෙනවා, හිත ටිකක් ප්‍රබෝදමත් වෙනවා. ඒත්, එක දිගට බොනකොට, ශරීරය ඒකට හුරු වෙලා, “නැතුවම බැරි” තත්ත්වයට එනවා.
කැෆේන් ශිෂ්‍යයන්ට කොහොමද බලපාන්නේ?
ඔයාලා රෑට පාඩම් කරන්න කෝපි එකක් බිව්වම, ටිකක් නිදිමත අඩු වෙනවා වගේ දැනෙනවා නේද? ඒක ඇත්තටම එහෙම තමයි, කැෆේන් මොළයේ මහන්සි හිතෙන කොටස් ටිකක් “බ්ලොක්” කරනවා. ඒ නිසා, ටික වෙලාවකට පාඩම් කරන්න ලේසි වෙනවා. ඒත්, මේකේ වෙන පැත්තකුත් තියෙනවා:
කෙටි කාලීන බලපෑම්: කැෆේන් බිව්වම ටික වෙලාවකට ඇස් ඇරෙනවා, හිත පැහැදිලි වෙනවා. ඒත්, ඒ බලපෑම ඉවර වුණාම, ශරීරයට දෙගුණයක මහන්සියක් එනවා. එතකොට තව කෝපි එකක් බොන්න හිතෙනවා, එතනින් තමයි ඇබ්බැහිය පටන් ගන්නේ.
නින්දට බාධා වීම: රෑට වැඩිපුර කැෆේන් ගත්තම, හොඳට නිදාගන්න බැරි වෙනවා. ඔයාලා දන්නවා ඉගෙන ගන්න කෙනෙක්ට නින්ද කොච්චර වටිනවාද කියලා? නින්ද මදි වුණාම, පහුවදාට තවත් මහන්සියි, පාඩම්වලට හිත එකඟ කර ගන්න අමාරුයි.
අවධානය සහ මතකය: කැෆේන් ටිකක් ගත්තම හිතට ටිකක් ගැම්මක් එනවා වගේ දැනුණත්, හිත එහෙමෙහෙ යන ගතිය වැඩි වෙන්න පුළුවන්. එතකොට පාඩම් කරන්න ඕන එකඟතාව නැති වෙනවා. ඒ වගේම, එක දිගට කැෆේන් ගන්නකොට, මතකයට බාධා එන්නත් පුළුවන්.
ශරීරයට වන බලපෑම්: වැඩිපුර කැෆේන් ගත්තම, හදවත ගැහෙන වේගය වැඩි වෙන්න පුළුවන්, අහාර ජීරණ පද්ධතියේ ගැටළු, ඒ වගේම ශරීරයේ ජලය ප්‍රතිශතය අඩු වෙන්නත් පුළුවන්. ඉතින්, ඔයාලා දවස පුරාම තේ හෝ කෝපි බොනවා නම්, වතුර හොඳට බොන්නත් අමතක කරන්න එපා!
සීනි එකතු කිරීමේ ගැටලුව
ශ්‍රී ලංකාවේ තේ හෝ කෝපි කියන්නේ සීනි යහමින් දාන්න පුරුදු වුන බීමක්. “තේ එකක් හදන්න, හැබැයි සීනි ටිකක් දාන්න” කියන්නේ ඒ නිසානේ. ඒත් දවස ගානේ සීනි එක්ක තේ හෝ කෝපි බොන එක එතරම් හොඳ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) කියනවා, දවසකට සීනි ගන්න ඕනේ අපේ ආහාරවලින් ලබා ගන්නා කැලරි වලින් 10%ටත් වඩා අඩුවෙන් කියලා. ඒත් අපි තේ එකකින් විතරක් ඒකටත් වඩා සීනි ගන්නවා.
සීනි වැඩිපුර ගත්තම ශරීරයේ බර වැඩි වෙනවා, දියවැඩියාව වගේ රෝග එන්න පුළුවන්, හදවතටත් ප්‍රශ්න ඇති වෙනවා. ශ්‍රී ලංකාවේ දියවැඩියා රෝගීන් ගොඩක් ඉන්න එකට මේ විදියට තේ එක්ක සීනි බොන එක හේතුවක් වෙන්නත් පුළුවන්.
ස්වාභාවික විකල්ප ටිකක් බලමු
ඉතින් තේයි කෝපියි අඩු කරලා වෙනත් ලස්සන පාන වර්ග ටිකක් ගැන හිතමු. එකක් තමයි පළතුරු යුෂ. අන්නාසි, කොමඩු වගේ පළතුරු වලින් හදන යුෂ එකකින් විටමින් ලැබෙනවා, හිතටත් සතුටක් දැනෙනවා.
තව එකක් තමයි පොල් වතුර හෝ තැඹිලි වතුර. තැඹිලි වතුර කියන්නේ පිරිසිදු, ස්වාභාවික පානයක්. ඒකෙන් ශරීරයට හිතකර ලවණ (ඉලෙක්ට්‍රෝලයිට්) ඉතා ඉහල මට්ටමින් ලැබෙනවා, විශේෂයෙන් මේ කාලේ වගේ උණුසුම් දවස් වල සිරුරට අවශ්‍ය ජලය ප්‍රමාණය ලබා ගන්න සුදුසුම වෙන්නේ මේ වගේ බීමක්.
මොනවා තිබ්බත්, හොඳම පානය තමයි වතුර. හොඳට වතුර බිව්වොත් ශරීරය පිරිසිදු වෙනවා, සම ලස්සන එනවා, හැම අවයවයකටම නව ජීවයක් ලැබෙනවා. කාර්යබහුල දවසකදී තේ වෙනුවට තැඹිලි වතුර බොන්න, එහෙම නැත්නම් හොඳ පළතුරු යුෂ එකක් බොන්න ට්‍රයි කරලා බලන්න.
යාළුවෝ එක්කත් රස වෙනසක්
අපි ශ්‍රී ලාංකිකයෝ ගෙදරකට ගියාම “තේ එකක් බොමුද?” කියලා තමයි අහන්නේ. ඒත්, වෙනසකටත් එක්ක වෙනත් බීමක් ට්‍රයි කරන්න පුළුවන් නේද?. යාළුවෝ ආවම තැඹිලි වතුර ටිකක් දෙන්න පුළුවන්. නැත්නම් පළතුරු යුෂ එකක් හදලා තියන්න, එයාලත් ඒකට කැමති වෙයි. “මාරු වෙනසක්” කියලා හිතයි!
තේ සහ කෝපි ගැන කතා කරද්දී, ඒවායේ ඇබ්බැහි කරන දේවල් ගැන විතරක් නෙමෙයි, හොඳ දේවල් ගැනත් කියන්න ඕනේ නේ.
ඇන්ටිඔක්සිඩන්ට් (ප්‍රතිඔක්සිකාරක): තේවල, විශේෂයෙන් හරිත තේවල (green tea), ඇන්ටිඔක්සිඩන්ට් තියෙනවා. මේවා ශරීරයේ නිරෝගී සෛල රැකගන්න උදව් කරනවා, ඒ කියන්නේ ඔයාව තරුණව තියාගන්න ටිකක් උදව් වෙනවා!
හදවතටත් හොඳයි: ටිකක් සැලකිල්ලෙන් පාලනයක් ඇතිව බිව්වොත්, තේ සහ කෝපි හදවතේ සෞඛ්‍යයටත් උදව් වෙනවා කියලා පර්යේෂණ තියෙනවා.
සමාජ රසයක්: යාළුවෝ එක්ක තේ එකක් බිව්වම, කතාබහටත් රසයක් එනවා. ඒක ජීවිතේට ලස්සන මතකයක් එකතු කරනවා.
හොඳයි-නරකයි එකට තියාගන්නේ කොහොමද?
තේ සහ කෝපිවල හොඳ දේවල් තියෙනවා වගේම, ඇබ්බැහි වෙනවා, තාවකාලිකව මහන්සි නිවෙනවා වගේම නරක ප්‍රතිපලත් තියෙනවා. ඉතින්, මේ දෙක එකට තියාගෙන භුක්ති විඳින්න පුළුවන් විදිහ තමයි හොඳම දේ.
මෙන්න එකට ලේසි ටිප්ස් ටිකක්:
දවසට සීමාවක් තියාගන්න: පුරුද්දක් හැටියට තේ කොපි බොන පුරුද්ද නැති කර ගන්න.
ටිකක් සීනි අඩු කරන්න: ශ්‍රී ලංකාවේ තේ එකක් කියන්නේ සමහර වෙලාවට සීනි වතුර එක්ක නේ. ඉතිං , සීනි ටිකක් අඩු කරලා බිව්වොත්, ශරීරයට ගොඩක් හිතකර විදිහට බලපානවා. හෝ සමහර වෙලාවට සීනි නැතුව බිල බලන්න බලන්න නියම තේ රස දැනෙන්නේ එතකොට.
හරි වෙලාව තෝරාගන්න: උදේට තේ එකක් බිව්වට ගැටළුවක් නෑ. ඒත් රෑට වැඩිපුර බිව්වොත් නින්දට බාධා වෙනවා. ඉතින්, සවස 4-5න් පස්සේ තේ කෝපි බොන එක ටිකක් අඩු කරන්න.
වෙනත් බීම වර්ග එක්ක මාරුවෙන් මාරුවට බොන්න: හැමදාම තේ හෝ කෝපි විතරක් නෙමෙයි, තැඹිලි වතුර, පළතුරු යුෂ, වගේ වතුරත් බොන්න. එතකොට ශරීර සෞඛයටත් වෙනසක් එනවා, ඒ වගේම තේ එකට ඇබ්බැහි වෙන එකත් අඩු වෙනවා.
ශරීරයට ඇහුම්කන් දෙන්න: තේ එකක් බිව්වත් මහන්සි නම්, ටිකක් විවේක ගන්න. විශේෂයෙන් වාහන පදවනය අය. ඉහත කිව්වා වගේ සුළු ප්‍රබෝධයක් ලැබුනත් අවධානමක් ගන්න එපා.
තේ සහ කෝපි කියන්නේ ජීවිතේ රසවත් කරනවා. ඒත් ඒවා එක දිගට බොන එකෙන් අපේ සෞඛ්‍යයට ටිකක් හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා ටිකක් හිතලා බලලා, ඒවා ටිකක් අඩු කරලා ස්වාභාවික බීම වර්ග වලටත් ටිකක් හුරු වෙමු.
~
මෙවැනි ලිපි කියවන්න MediWall.lk වෙබ් අඩවියට එන්න
https://mediwall.lk/