11/08/2022
මී_උණ_රෝගය_පිළිබඳව_දැනුවත්_වෙමු
මී උණ නොහොත් ලෙප්ටොස්පයිරෝසියාව (Leptospirosis) නමින් හැඳින්වෙන්නේ මීයන්ගෙන් සහ ගවයන්, මී ගවයන් වැනි සතුන්ගෙන් බෝවන උණ රෝගයකි. මෙම රෝගය කෘන්තක සත්ත්වයන්, ගොවිපළ සතුන්, සුනඛයන්, සහ කැලෑබද ක්ෂීරපායී සතුන්ගෙන් පැතිරිය හැක. මෙම රෝගයම වෙල් උණ, පතල් උණ, හෝ මඩ උණ ලෙසද හඳුන්වනු ලැබේ. Leptospira interrogans නැමැති බැක්ටීරියාව නිසා මී උණ රෝගය වැළඳෙන අතර රෝගය වැළඳුණු මීයන් වැනි සතුන් පිටකරන මුත්‍රා සමග මෙම බැක්ටීරියාව පරිසරයට එක්වේ. එමනිසා, කුඹුරු වල, වගාබිම් වල, සහ ජලය රැඳුණු ස්ථාන වල මෙම බැක්ටීරියාව රැඳී තිබිය හැක.
🔴 එම බැක්ටීරියාව ශරීරයට ඇතුළුවන්නේ කෙසේද?
කුඹුරු වල, ජලය රැඳෙන වගාබිම් වල වැඩකරන විට, ගලානොයන දියකඩිති වල බසින විට අපේ ශරීරයේ කැපුම්, සීරීම්, හෝ තුවාළ හරහා බැක්ටීරියාව ශරීරගත වියහැක. සමේ ඇති පියවි ඇසට නොපෙනෙන තරම් කුඩා සීරීමක් හරහා වුවද මෙම බැක්ටීරියාව ඇතුළුවීම සිදුවේ. ගලා නොයන දිය කඩිති වල නෑමේදී ඇස්වල සහ නාසයේ ඇති සියුම් පටක හරහා ද බැක්ටීරියාව ශරීරගත වේ. මී මුත්‍රා මිශ්‍ර වූ ජලය පානය කිරීමෙන් හෝ එම ජලයෙන් මුව සේදීමෙන් වුවද රෝගය වැළඳේ. පුරන් වූ කුඹුරකට බසින ගොවියෙකුට මෙම රෝගය වැළඳීමට වැඩි අවදානමක් පවතී. මීයන්ගේ මුත්‍රා වලින් අපවිත්‍ර වූ ආහාර අනුභව කිරීමෙන් රෝගය වැළඳුණු අවස්ථා ද වාර්තා වී ඇත. මෙම බැක්ටීරියාව කොතරම් දරුණුදැයි කිවහොත්, එකම එක බැක්ටීරියාවක් ශරීරගත වීමෙන් වුවද මී උණ සෑදීමට හැකියාව ඇත.
කෙසේ වුවත්, මී උණ වැළඳුණු රෝගියෙකුගෙන් තවත් කෙනෙකුට රෝගය බෝ නොවේ.
🔴 මී උණ රෝගය බහුළ වන්නේ කුමන කාල වලදීද?
ශ්‍රී ලංකාවේ වසර පුරාම මී උණ රෝගය වාර්තා වේ. නමුත්, වාතයේ තෙතමනය වැඩි, වැසි කාල වලදී රෝගය වසංගතයක් ලෙස පැතිරීම සිදුවිය හැක. විශේෂයෙන්, ගංවතුර තත්ත්වයක් ඇතිවන විට, ගංවතුර ආශ්‍රිත ප්‍රදේශ වල මී උණ රෝගය පැතිරීම වැඩිවනු දැකිය හැක. මෝසම් වැසි ආශ්‍රිතව රෝගය පැතිරීම වැඩිවන කාල පරාස දෙකක් දැනට හඳුනාගෙන ඇත. ඒ අනුව, මාර්තු සිට මැයි දක්වා මී උණ රෝගයේ තරමක වැඩිවීමක් ද, ඔක්තෝම්බර් සිට දෙසැම්බර් දක්වා විශාල වැඩිවීමක් ද දක්නට ලැබේ. මෙම රටාව කාලයත් සමග වෙනස්වීමට ඉඩ ඇත.
🔴 මී උණ රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?
සාමාන්‍යයෙන්, බැක්ටීරියාව ශරීරගත වී දින 5-14 ත් අතර කාලයේදී රෝග ලක්ෂණ මතුවේ. මෙම කාල පරාසය දින 2-30 දක්වා වෙනස් වියහැක.
වෙව්ලා හැදෙන තද උණ
මස්පිඩු වල තදබල වේදනාවක් ඇතිවීම (විශේෂයෙන් කෙණ්ඩා සහ කොන්දේ පහළ ප්‍රදේශයේ).
ඇස් තද රතුපැහැවීම සහ දැවිල්ලක් හටගැනීම.
ඉහත සඳහන් ප්‍රධාන රෝග ලක්ෂණ වලට අමතරව, පහත සඳහන් රෝග ලක්ෂණ ද ඇතිවිය හැක.
ඔක්කාරය සහ වමනය
දැඩි හිසරදය
කෑම අරුචිය
අප්‍රාණික බව
මුත්‍රා තද කහ පැහැයක් ගැනීම
මුත්‍රා සමග ලේ යාම
මුත්‍රා පිටවීම අඩුවීම
සමේ පලු මතුවීම
ඇතැම් විට කැස්ස ඇතිවිය හැක.
කලාතුරකින්, මී උණ වැළඳුණු රෝගීන් රෝග ලක්ෂණ නොපෙන්වා වුවද සිටිය හැක. ඇතැම් විට, මී උණ වැළඳුණු රෝගියෙකුගේ රෝග ලක්ෂණ ඩෙංගු උණ, ඉන්ෆ්ලුවෙන්සාව, මෙනින්ජි පටල ප්‍රදාහය (Meningitis), අක්මා ප්‍රදාහය (Hepatitis) වැනි රෝග වලට සමාන වන අවස්ථා පවතී.
නිසි කලට නිසි ප්‍රතිකාර ලබා නොගතහොත්, වකුගඩු, හෘදය, මොළය, අක්මාව වැනි අවයව වලට විවිධ බලපෑම් ඇතිකරමින් මී උණ රෝගය මාරාන්තික වියහැක. අධික රුධිර වහනය ද රෝගය මාරාන්තික වීමට හේතුවක් වන අවස්ථා පවතී. මී උණ වැළඳුණු රෝගීන්ගෙන් 5-30% ක් පමණ මරණයට පත්වනු දැකිය හැක. මී උණ බෝවන්නේ බැක්ටීරියාවකින් බැවින්, ඒ සඳහා ලබාදිය හැකි ප්‍රතිජීවක ඖෂධ (Antibiotics) පවතී. එමනිසා, නිසි කලට නිසි ප්‍රතිකාර ගැනීමෙන් මී උණ රෝගය සම්පූර්ණයෙන් සුවකිරීමට හැකියාව ඇත.
🔴 මී උණ රෝගයෙන් වැළකෙන්නේ කොහොමද?
ඔබේ කුඹුර අවට ඇති පරිසරය පිරිසිදුව තබාගන්න.
හැකි සෑමවිටකම, වගාබිම් සැකසීමේදී අත් හා පා ආවරණ පළඳින්න. මෙහිදී, ආරක්ෂිත ඇඳුම් ඇඳීම, දණහිස දක්වා ආවරණය වන පාවහන් පැළඳීම, අත්වැසුම් භාවිතය සිදුකල හැක.
කුඹුරේ නියර මනා ලෙස සකස් කරන්න.
ජලය රැඳුණු ස්ථාන වල ජලය බැසයාමට සලස්වන්න.
කුඹුරු වලට සහ ජලය රැඳුණු ස්ථාන වලට අනවශ්‍ය ලෙස බැසීමෙන්, නෑමෙන්, අත් පා, මුහුණ කට සේදීමෙන් වළකින්න.
විශේෂයෙන්ම, සමේ තුවාළ හෝ සීරීම් ඇත්නම්, කුඹුරට හෝ ජලය රැඳුණු ස්ථාන වලට බසින්න එපා. වතුරට හෝ මඩට බැසීමෙන් වැළකීමට කිසිඳු හැකියාවක් නැත්නම්, අවම වශයෙන් ජලය නොයන සේ තුවාළ හොඳින් ආවරණය කරගැනීමට වත් කටයුතු කරන්න.
උතුරවා නිවාගත් ජලය පානය කරන්න. ක්ලෝරිනීකරණය කිරීම මගින් ජලයේ සිටින බැක්ටීරියාව විනාශ නොවන බව සලකන්න.
විශේෂයෙන්ම ගංවතුර තත්ත්වයක් ඇතිවිටදී, හැකි සෑමවිටම ජලයට බැසීමෙන් වළකින්න.
නෑමට හා බීමට ජලය ලබාගන්නා අනාරක්ෂිත ළිං මීයන්ගේ සහ අනෙකුත් සතුන්ගේ මුත්‍රා වලින් අපවිත්‍ර වීමට ඉඩ ඇති බැවින්, ළිං බැම්මක් සාදා ආරක්ෂා කරගන්න.
ඔබට සත්ත්ව ගොවිපළක් ඇත්නම්, එහි සිටින සතුන්ගේ මළ ද්‍රව්‍ය සහ මුත්‍රා වළකට දැමීමට කටයුතු කරන්න. ඒවා පරිසරයේ ඇති දිය පහරවල් හෝ දිය කඩිති වලට එකතුකරන්න එපා.
නිවස මීයන්ගෙන් තොරව පිරිසිදුව පවත්වා ගන්න. පරිසරයට අක්‍රමවත් ලෙස කැලි කසල බැහැරකිරීමෙන් වළකින්න.
ගෙවත්ත, ක්‍රීඩා පිටි ආදී ළමුන් ක්‍රීඩාකරන ස්ථාන ආසන්නයේ සතුන් ගැවසීමෙන් වළක්වා ගන්න.
මීයන් මර්ධනය කිරීම සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කලහැක.
මී උගුල් තැබීම.
මී නාශක තැබීම.
මී ගුල් විනාශ කිරීම.
පරිසරයේ සිටින මීයන්ව ආහාරයට ගන්නා කබරගොයා, තලගොයා, සර්පයින්, බකමූණන් වැනි සතුන් විනාශ කිරීමෙන් වළකින්න.
කුඹුරේ තැනින් තැන පොල්පිති, ඉණි වැනි දේවල් සිටුවා, මීයන් ආහාරයට ගන්නා බකමූණන් වැනි පක්ෂීන් ගැවසීම වැඩිකරගත හැක.
🔴 මී උණ රෝගය ඔබේ ප්‍රදේශයේ පැතිරී ඇත්නම් හෝ පැතිරීමට අවදානමක් ඇත්නම්, කුමක් කල යුතුද?
ඉහත සඳහන් කල රෝග ලක්ෂණ කිසිවක් ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු හමුවන්න. නැතහොත්, ළඟම ඇති රජයේ රෝහලකට ගොස් වෛද්‍ය උපදෙස් ලබාගන්න.
තවද
Full blood count පරීක්ශනයක් මගින් රුධිරයේ පටිටිකා පිලිබද අවබෝධයක් ලබා ගත හැක