01/07/2025
ධර්මයෙන් හෙළිවන රෝග නිවාරණ විධි
බුදුරජාණන්වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වසන සමයෙහි තෝදෙය්‍ය නම් පුරෝහිත බමුණාගේ පුත් සුභ නම් මානවකයා උන්වහන්සේ වෙත පැමිණ "තථාගත බුදුරජාණන්වහන්ස, මා මේ ප්‍රශ්න සියල්ලක් ම විමසනු ලබන්නේ මනුෂ්‍යයන් පිළිබදවයි මේ මනුෂ්‍යයන් අතර විවිධාකාර වෙනස්කම් ඇති මනුෂ්‍යයෝ සිටිති. මේ පිළිබද විමසා දැන ගැනීම මගේ බලවත් කැමැත්තයි. මා අසන මෙකී කරුණු දාහතර පිළිබද ව ඔබවහන්සේ කාරුණික අවධානය යොමු කොට පැහැදිලි කර දෙනු මැනවි" යැයි පැවසුවහ.
බුදුන් වහන්සේ වෙත ප්‍රශ්න දාහතරක් ඉදිරිපත් කරනු ලැබීය. ඒ ප්‍රශ්න අතරින් සුභ මානවකයා බුදුන් වහන්සේගෙන් විමසු තෙවෙනි සහ සිව්වන ප්‍රශ්නය වූයේ,
"බුදුරජාණන්වහන්ස, මේ ලෝකයෙහි විවිධ රෝගාබාධ සහිතව ජීවත්වන්නෝ සිටිති. භයානක රෝගයන්ටද ගොදුරුව බොහෝ දුක් විඳිති. කැස්ස, පීනස, පිළිකා රෝග, උණ රෝග, පපුවේ රෝග මේ ආකාරයට නොයෙකුත් චර්ම රෝග සහ අට අනූවක් වූ රෝගයාබාධයන්ගෙන් සහ එකක් දෙකක් හෝ තුනක් නිසා වේදනා විඳින්නෝ බොහෝය. මෙයට හේතුව කිමෙක්ද?"
"බුදුරජාණන්වහන්ස, එසේම රෝගාබාධ නැතැයි කිව හැකි තරම් අයද ඉතා අඩුවෙන් කලාතුරකින්, රෝගාබාධයක් වැළදෙනන් අප අතර සිටිති. කෙනෙක් ඉහත සඳහන් කල පරිදි අපමණ රෝග ආබාධයන්ගෙන් පීඩා විඳීමටත් තව කෙනෙකු කිසිඳු රෝගයක් නොමැතිව ජීවත් වීමටත් හේතුව කුමක්ද?"
එයට පිළිතුරු වශයෙන් බුදුන් වහන්සේ මෙසේ වදාරන ලද සේක.
"මානවකය තම තමන් කරනු ලබන හිංසාකාරී ක්‍රියාවන්ගෙන් ලැබෙන විපාක පිළිබද සිතා නොබලන බොහෝ දෙනා සත්ත්වයන්ට අතින්, පයින් පහර දෙති. අන් අයට අතින් පයින් ගසති. අවමන් කෙරෙති. නින්දා අපහාස කෙරෙති. අනුන්ගේ ගුණ මැකී යන පරිදි කතා කරති. ඕපාදූප කතා කරමින් අන් අයට නිග්‍රහ කෙරෙති. කෙනෙකුට හෝ සත්ත්වයෙකුටවත් ආහාර පාන ටිකක් නොදෙති. සැලකීමක් නොකරති. කාට හෝ වේවා නින්දාවක් ඇනුම් පදයක් කියති. බේත්-හේත් නොදෙති. ආත්මාර්ථකාමී ව වසංගත රෝග බෝවන හේතුවක් දුටු විට ඒවා වැළක්වීමට කිසිඳු වෑයමක් නොගනිති. අන් අයගේ දියුණුවට ඊර්ෂ්‍යා කෙරෙති. කෝපවන ගතියෙන් යුතුව නිතරම අන් අයට හිංසා පීඩා කරති. සතුන් කෙරේද කිසිඳු මානව දයාවක් නොදක්වති."
සුභ මානවකය මෙවන් වැරදි දේ අකුසල් කර ගත් ස්ත්‍රී පුරුෂ දෙපිරිසම ඔවුන් උපන් උපන් ආත්මවල අපරිමිත රෝගයන්ගෙන් පීඩිතව, ලැබූ ජීවිතය ප්‍රයෝජනයක් ගත නොහැකිව තදබල කුෂ්ඨරෝග, උමතු රෝග, අතපය අහිමිවීම් වැනි රෝගාබාධයන්ගෙන් අන් අයට එපාවුණු පුද්ගලයන්ව කාගේත් ඇනුම්,බැනුම් මත පිළිසරණයක් නොමැතිව ජීවත් වීම ඉහත සඳහන් අකුසල කර්මවල විපාක වශයෙන් සැලකිය යුතු යැයි වදාළ සේක. රෝග පීඩාදියට හේතු වශයෙන් මෙම කරුණු වදාළ පසු නිරෝගිතාවයෙන් යුතු ලෙඩ දුක් නැති ජීවිතයක් ලැබීමට හේතුව කුමක්දැයි සුභ මානවකයා ඊළඟට ප්‍රශ්න කළේය.
එයට පිළිතුරු දෙමින් බුදුන් වහන්සේ 'සුභ මානවකය, මොලොව දී ගුණයට ගරු කරන බොහෝ දෙනා සිටිති. ඔවුහු තව කෙනෙකුට වචනයෙන්වත් හිංසාවක් නොකරති. අවමන් නොකරති. අනුන්ගේ ඇද පලුදු නොසොයති. කෙකෙකුගේ ගුණය ඉස්මතු කොට පෙන්වති. කෝප නොවෙති.ඊර්ෂ්‍යා නොකරති. අනුන්ගේ දියුණුවට කැමතිවෙති. කාටත් සැපතක් වේවායි මෛතී‍්‍ර සහගත සිතම ඇත්තෙක්ව වෙසෙති. කරුණාවෙන් යුක්තය. ප්‍රියශීලීගති පැවතුම්වලින් යුක්තය. තව කෙනෙකුට කිසිඳු අයුරකින් හිරිහැරයක් හිංසාවක් නොකිරීම මෙබඳු අයගේ සිරිතයි. ගිලනුන්ට ඇප උපස්ථාන කෙරෙති. ගිලන් ශාලා ආරෝග්‍ය ශාලා තැනවීමට ඒවා ආරක්ෂා කිරීමට දියුණු කිරීමට ක්‍රියා කරති. ලෙඩ දුක් වසංගත රෝග වැළඳෙන ක්‍රම රෝග වැලක්වීමට කටයුතු කෙරෙති. රෝගීන්ට ඇප උපස්ථාන කෙරෙති.මෙවන් පුද්ගලයන් උපදින හැම ආත්මයකදීම ලෙඩ දුක් කරදර හිරිහැරවලින් තොර නිරෝගී සම්පතින් දුටු දුටුවන් පිනවන පැහැපත් පෙනුමකින් හා ප්‍රියශීලී කතා බහින් යුත් ඇත්තන් සේම උපත ලබතියි.' වදාළ සේක.
බුදුන් වහන්සේ තම ධර්මය දේශනාවන්ට පමණක් සීමා නොකොට ක්‍රියාවෙන් ම ඔප්පු කොට වදාළහ. ගිලනුන්ට උපස්ථාන කිරීම, වසංගත රෝග පීඩාවල දී රෝගීන් එයින් මුදා ගැනීම සඳහා සිදුකල කර්තව්‍යයන් පිළිබද ව සැලකීමේදී ඒ පිළිබද මනා ලෙස පැහැදිලි කර ගත හැකිය.
සුභානුපස්සිංහ විරන්තං
ඉන්ද්‍රියෙසු අසංවුතං
භොජනම්හි අමන්තඤ්ඩිං
කූසිත හීන වීරියං
තාවෝ පහසති මාරෝ
වනෝ රුක්ඛං ච දුබ්බලං
යමෙක් රූපාදී අරමුණු සුබ වශයෙන් සලකමින් ඉන්ද්‍රිය සංවරයකුත් නැතිව කාමෙහි පමණකුත් නොදැන මාලිව වීර්යෙන් හීනව වෙසේද මාරයා හෙවත් මරණය ඔහු මැඩලයි. දුබල ගසක් මුලින් උපුටා හෙලන්නාක් මෙනි. (ධම්මපදය යමක වග්ගය)
ආරෝග්‍ය පරමා ලාභා
සන්තුඨී පරමං ධනං
විස්සාස පරමා ඤාති
නිබ්බාණං පරමං සුඛං
සියලු ලාභවලට වඩා උතුම්ම ලාභය නිරෝගීකමයි. සතුටුවීම තරම් උසස් ධනයක් නැත. විශ්වාසය තරම් වෙන නෑයෙක් ද නැත. නිවන තරම් උසස් සුවයක් නැත.
-Copied-