27/09/2021
නාඩි බලා සියලු ලෙඩ කියන කතාව බොරුවක්
=================
වෙද්දුනට ස්ටෙතස්කෝප් පාවිච්චිය අකැපයි ද?
++++++++++++++++
නාඩි පරීක්ෂාව වෛද්‍ය රෝගී සම්බන්ධතාවට මනා පදනමක්
*****************************
ආයුර්වේද වෛද්‍යවරුන් තාක්ෂණික මෙවලම් භාවිතා කිරීම සමහර කුහක පඬියන් ගේ විවේචනයට බඳුන් වනු දුටුවෙමි. විශේෂයෙන්ම වෙදනළාව හෙවත් ආකර්ණන යන්ත්‍රය යොදා ගෙන හෘදස්පන්දන පරීක්ෂා කිරීම සමච්චලයට ලක් කරන මොවුන් සිතන්නේ එය වෙදකමට මදිකමක් ලෙසය. ඔවුන්ට අනුව ලෙඩා පරීක්ෂා කළ යුත්තේ නාඩි බැලීමෙන් පමණි. එසේ නැතිනම් කේන්දරය බලා ලෙඩ සෙවිය යුතුය. ඔවුන්ට අනුව ඊසීජී, එක්ස්රේ, වැනි පරීක්ෂණ ක්‍රම භාවිතය වෙදකමේ උරුමය පාවා දීමකි. ලේ, මූත්‍ර පරීක්ෂා කිරීම ද වෙද්දුන්ට නොගැලපෙන බටහිර ගැති වහල් මානසිකත්වයේ ලක්ෂණයකි. නාඩි පරීක්ෂා කොට සියලු ලෙඩ කියන්නට හැකි බව යමෙක් කියන්නේ නම් එය අත බලා සාස්තර කියන ගස් යට තෙල් බේත් විකුණන වෙළෙන්දන් වැනි බොරුවෙන් සමාජය නොමග යවන යූටියුබ් කාරයින් ගේ වහසිබස් හා සමානය. ආයුර්වේදය අනුව රෝග පරීක්ෂාව හා රෝගී පරීක්ෂාව යනු විධිමත් ඥාන පද්ධතියක් මත ගොඩනැගුණු ඉතා විශිෂ්ට ක්‍රමවේදයකි. එය නොදැන මාධ්‍ය තුළ කටමැත දෙඩීමෙන් කරන්නේ අඥානබව පෙන්වීමයි.
රෝග රෝගී පරීක්ෂාවේ දී පළමුව ප්‍රත්‍යක්ෂ හා අනුමාන යනුවෙන් එය දෙපරිදි වේ. එය ආප්තෝපදේශ, යුක්ති දෙක ද එකතු වීමෙන් චතුර්විධ පරීක්ෂාවක් බවට පත් වේ. අනතුරුව දර්ශන, ස්පර්ශන, ප්‍රශ්න යනුවෙන් ත්‍රිවිධ පරීක්ෂාවකි. එසේම පංචේන්ද්‍රිය පරීක්ෂාව සහ ප්‍රශ්න පරීක්ෂාව එකතුවීමෙන් එය ෂඩ් වැදෑරුම් වේ. රෝගියා ගේ පරීක්ෂා කළ යුතු ස්ථාන 8 ක් ගැන කියැවේ. ඒවා නම් නාඩි, මළ, මූත්‍ර, ජිහ්වා, ශබ්ද, ස්පර්ශ, දෘක්, ආකෘති යනුවෙන් අෂ්ටස්ථාන පරීක්ෂා නමින් හැඳින්වේ. නාඩි යනු ඉන් එකකි. ඊට අමතරව ප්‍රකෘති, විකෘති, සාර, සංහනන, ප්‍රමාණ, සාත්ම්‍ය, සත්ව, ආහාර ශක්ති, ව්‍යායාම ශක්ති, වය යනුවෙන් දශවිධ පරීක්ෂාවකි. දූෂ්‍ය, දේශ, බල, කාල, අග්නි, ප්‍රකෘති, වය, සත්ව, සාත්ම්‍ය, ආහාර යනුවෙන් ද්වාදාශ පරීක්ෂාවකි. එසේම ආයුර්වේද වෛද්‍යවරයා නිදානාදී පංචකයට අනුගත විය යුතුය. එය නිදාන, පූර්වරූප, රූප, උපශය, සම්ප්‍රාප්ති යනුවෙන් පුළුල් ක්ෂේත්‍ර පහක් ඔස්සේ රෝග නිර්ණය කළ යුතුය. නවීන වෛද්‍ය ක්‍රමයේ එන සියලු ආකාර පරීක්ෂණ විධි ඉහත පරීක්ෂා ක්‍රමවේද තුළට ගොනු කළ හැකිය.
සාම්ප්‍රදායික ක්‍රම වලින් රෝගීන් පරීක්ෂා කොට රෝග විනිශ්චය සඳහා නවීන පරීක්ෂණ ද යොදා ගැනීම වඩාත් නිවැරැදි නිගමනයකට මගපාදනු ඇත. මධුමේහ රෝගියාගේ මූත්‍ර පැණි රස නිසා කුහුඹුවන් ඇදී එන බව නිරීක්ෂණය කළ අතීතය තුළ වහසිබස් දොඩන වෙදුන්ට ලෙඩාගේ මුත්‍රා රස බැලිය හැකි නමුත් බුද්ධිමත් වෛද්‍යවරයා නවීන නවීන මූත්‍ර රුධිර පරීක්ෂා ක්‍රම වලින් සීනි මට්ටම සොයා ගනී. තාක්ෂණය වෙදුන්ට අකැපයි කියා මොරදෙන උන් හට දේශීය උරුමය යනු ගතානුගතික වහල් බව විනා අන් කිසිවක් නොවේ. සිංහල වාසගමක් ඇතිව සරමක් කමිසයක් ඇඳ සිටි නිසාම බොරු පූචානම් කියන හැමෝම වෙද්දු යැයි නොසිතිය යුතුය. බොරුවට අත අල්ලාගෙන නාඩි බලන හැමෝම විස්මිත වෙදුන් නොවේ. නාඩි පරීක්ෂාව යනු හුදු හෙළ වෙදකමට විස්මිත ආවේණික ක්‍රමයක් නොවේ. මිසර, ග්‍රීක, අරාබි, චීන, භාරත ආදී සියලු දේශයන් හි නාඩි පරීක්ෂාව ග්‍රන්ථ ගත කොට තිබෙන සුප්‍රකට රෝග පරීක්ෂා ක්‍රමයකි. ඒවා නොදන්නා ළිංමැඩි බක පඬියන් ගේ පුරසාරම් ඝෝෂාව ඉතිහාසය නොදන්නා කම නිසා හටගත් මුලාව නිසාය.
ශාරංගධර සංහිතාව මගින් ලැබෙන ශාස්ත්‍රාලෝකය භාවප්‍රකාශය, නාඩිඥාන තරංගනී, නාඩි දර්පණ, නාඩි රහස්‍ය, නාඩි ප්‍රකාශ, නාඩි විඥාන, යෝගරත්නාකර ආදී ග්‍රන්ථ වලට ද ලැබී තිබේ. ඒ අනුව නාඩි පරීක්ෂාව සිංහල යෝග රත්නාකරයේ මෙය විස්තර කරන්නේ මෙලෙසිනි.
මාපට ඇඟිලි මුල සද නවනා තැනට
හරිමින් දෑඟුලක් අල්ලා ඉන් මෙපිට
එක් වෙනි දෙවෙනි තුන්වෙනි ඇඟිලි වෙද ඇඟිල්ලට
ක්‍රමයෙන් ක්‍රමයෙන් ගැසෙනු වා පිත් සෙමට (4266)
එවිට මෙහි අර්ථය වන්නේ වා පිත් සෙම් පිළිවෙළින් තුන්වෙනි වෙදැඟිල්ල දක්වා දැනෙන බවයි. ආයුර්වේදීය ශාස්ත්‍රීය ග්‍රන්ථ අනුව ද පිළිගත් මතය වන්නේ සිංහල යෝග රත්නාකරය දක්වන ක්‍රමය වන දබරැඟිල්ලට වාත නාඩියත්, මැදැඟිල්ලට පිත් නාඩියත්, වෙදැඟිල්ලට සෙම් නාඩියත් දැනෙන බවය. නාඩි වල රිද්මය දවස පුරා නොයෙකුත් හේතු මත වෙනස් වෙමින් පවතින ඉතා සංවේදී ජෛව දර්ශකයකි. එම රිද්මයන් හි සියුම් වෙනස්කම් අවබෝධ කිරීමට තියුණු දක්ෂතාවක්, මනා පළපුරුද්දක් සහ පරිචයක් තිබිය යුතුය. එහෙත් යම් රෝගයක් පිළිබඳ සියලු තොරතුරු එමගින් දැනගැනීමට හැකි බව කියන්නේ වංචනික වෙදුන්ය. රෝගයකට අදාළ අවශේෂ කරුණු ගැන දැනුම උපයෝගී කර ගෙන නාඩි පරීක්ෂාව ද ඊට අදාළ කොට රෝග නිර්ණයක් කිරීමට හැකියාව තිබෙන නමුත් එය නාඩියෙන්ම පමණක් දැනගත් තොරතුරක් ලෙස පෙන්වන්නේ නම් එය වෛද්‍ය ආචාරධර්ම වලට ද විරුද්ධය.
භාවප්‍රකාශයේ රෝග පරීක්ෂා ප්‍රකරණයේ නාඩි පරීක්ෂණය ගැන මෙවැනි විස්තරයක් සඳහන් වේ.
‘පුරුෂයා ගේ දකුණු අතෙහි සහ ස්ත්‍රිය ගේ වම් අතෙහි ද මහපටැඟිල්ලි මුල සිට නාඩිය පරීක්ෂා කරන්නේ ය. එකඟ සිතින් යුත් වැ ඇඟිලි තුනින් ස්පර්ශ කොට නාඩිය පිරික්සන අතර රෝගියා ගේ සැප - දුක් දෙක ද දැන ගන්නේ ය. ස්නානය කළ කෙණෙහි සහ නිදා සිටුනා විට ද නාඩිය පරීක්ෂා නො කරන්නේ ය. එසේ ම සා - පවස් දෙකින් පෙළෙන්නා වූ ද, අව් - ව්‍යායාම ආදියෙන් ක්ලාන්ත වූ ද පුද්ගලයන් ගේ නාඩි පරීක්ෂණය ද නො කරන්නේ ය. ඒ අවස්ථාවන්හි දී නාඩිගතිය මැනවින් අවබෝධ නො වන හෙයිනි. වායුහු ගේ අධිකත්ත්වයෙන් දබරැඟිල්ල යට හා පිත්තාධික්‍යයෙන් මැදැඟිල්ල යට ද, සෙම අධිකත්වයෙන් වෙදැඟිල්ල යට ද නාඩීහු ගේ ගැස්ම වැඩි විසින් දැනේ. වා - පිත් දෙක්හි අධිකත්වයෙන් දබරැඟිලි - මැදැඟිලි දෙක යට ද, වාත - කඵ දෙක්හි ආධික්‍යයෙන් වෙදැඟිලි - දබරැඟිලි දෙක යට ද, පිත් - සෙම් දෙක්හි අධිකත්වයෙන් මැදැඟිලි - වෙදැඟිලි දෙක යට ද නාඩිහු ගේ ගැස්ම අධික වශයෙන් අවබෝධ වේ. සන්නිපාතයෙහි දී ඇඟිලි තුනට ම නාඩිගතිය දැනේ. වාතය අධික වූ විට නාඩිය වක්‍රගතියෙන් ද, පිත අධික වූ විට ඉල්පෙන ගතියෙන් ද, සෙම වැඩි වූ කළ මන්ද ගතියෙන් ද, සන්නිපාතය වූ කල්හි ශීඝ්‍ර ගතියෙන් ද නාඩිය යුක්ත වේ. වා - පිත් දෙකේ අධිකත්වයෙන් වක්‍රගතියෙන් හා ඉල්පෙන ගතියෙන් ද, වා - සෙම් දෙකේ අධිකතාවෙන් වක්‍රගතියෙන් හා මන්දගතියෙන් ද, සෙම් - පිත් දෙකේ ආධික්‍යයෙන් ඉල්පෙන ගතියෙන් සහ මන්දගතියෙන් ද නාඩිය යුක්ත වේ. කාමාභිලාෂය හෝ ක්‍රෝධය ඇති වූ විට නාඩිය ශීඝ්‍රවේගයෙන් ගැහෙන්නට පටන් ගන්නා අතර සිතිවිලි හෝ බිය ඇති වූ විට නාඩිය හීන වේගවත් ව ගැහෙන්නට පටන් ගනී.’
නාඩි ඥාන තරංගිනියෙහි
පිත්තනං සමීරණමථෝහි කඵං ක්‍රමෙණ - හ්‍යඩ්ගුෂ්ඨමූලත ඉති ප්‍රවදනති වෛද්‍යඃ
නාර්‍ය්‍යාසතු වාමමපසව්‍යකරෙණ ධීරඃ - සංගෘහ්‍ය සව්‍යකරකා ගුලිභිසතථෛව (21)
පිතද, වාතයද නැවතත් සෙමද පිලිවෙළින්ම මාපටගිල්ල මුල පටන් යැයි වෛද්‍යවරයා කියත්, ස්ත්‍රියගෙ වමත වෙදතෙමේ දකුනතින් අල්ලා ගෙන වමත ඇඟිලි කරණකොටගෙන නාඩිය දක්නේය.
සාමාන්‍යයෙන් බටහිර වෛද්‍ය ක්‍රමයේ ඇති නාඩි පරීක්ෂාව (pulse examination) ට වඩා වෙනස් මූලධර්ම මත ගොඩනැගී තිබෙන නාඩි විනිශ්චය (pulse diagnosis) ක්‍රමයක් ආයුර්වේදයේ තිබේ. ඒ නිසා යාන්ත්‍රික මෙවලම් සහ ඒවායේ වාර්තා කෙරෙහි නැඹුරු විය යුත්තේ දෙවනුව තමන්ගේ රෝග නිර්ණය වඩාත් තහවුරු කරගැනීම සඳහාය. නාඩි පරීක්ෂාව නිපුණතාවක් ලෙස පුහුණු කිරීමත් එහි පරිචයක් ලැබීමත් ශිෂ්‍ය කාලයේ සිටම ලැබිය යුතු ශික්ෂණයකි. එහෙත් විද්‍යාත්මක දැනුම සමඟ ඉදිරියට යන ලෝකයේ නව තාක්ෂණය වෛද්‍ය කර්මය සාර්ථක කරගැනීම සඳහා භාවිත කිරීම ඉතා අවශ්‍ය වේ. එසේ නවීන තාක්ෂණය භාවිත කළ පමණින් වෛද්‍යවරයා සංකර වන්නේ යැයි හෙළා දැකීම අමන කතාවකි. එසේ කීමෙන් ඔවුන්ගේ නොදැනුම සහ කුහකත්වය පමණක් ප්‍රදර්ශනය වේ.
වෛද්‍යවරයා කෙරෙහි රෝගියා ගේ විශ්වාසය තහවුරු කිරීමට හොඳින් නාඩි පරීක්ෂා කිරීම සම්‍යක් ප්‍රයෝගයක් ලෙස යොදාගන්නා වෛද්‍යවරුන් ද සිටින බව අමතක නොකළ යුතුය. ඊටත් වඩා නාඩි පරීක්ෂාවට රෝගියාගේ අතින් අල්ලා ගැනීම වෛද්‍ය රෝගී සම්බන්ධතාවේ ඉතා වටිනා සහකම්පිත බැඳීමකි. ඒ හරහා වෛද්‍යවරයා සිය ජීවගුණය රෝගියා සමඟ හුවමාරු කරගනියි. නාඩි වැටීම යනු හෘදය වස්තුවේ ස්පන්දනය හා සමපාත වන යම් රිද්මයක් වුවත් දක්ෂ වෛද්‍යවරයා ඒ ඇසුරෙන් රෝගියාගේ රෝගය සහ එහි තත්වය ගැන යම් අවබෝධයක් ලබා ගනියි. එය මූලික වශයෙන් දෝෂ කෝපය මත පදනම් වන අතර ඒ අනුව ඒ අවස්ථාවේ කිපී ඇති දෝෂයට අනුරූප නාඩියේ රිද්මය සිය ඇඟිලි තුඩුවලින් පරීක්ෂා කරයි. කණාද මතය අනුව වාත නාඩිය සර්ප, දිය පූඩා, ගෝනසු ගමන හා ගැලපේ. පිත්ත නාඩිය පිංගල, වටු, ගේ කුරුළු, මැඩි ගමනට සමානය. කඵ නාඩිය මොනර, හංස, පරෙවි, කොබෙයි, කුකුළු ගමන හා සමය. මෙය ශාරංගධර සංහිතා මතය අනුව ගැලපේ. නාඩි ඥාන තරංගිනී අනුව වාත නාඩිය වක්‍ර ගතියෙන් ද පිත්ත නාඩිය චපල ගතියෙන් ද සෙම් නාඩිය ස්ථිර ගතියෙන් ද යුක්තය.
වාතා වක්‍රගතිණ්ණාඩි චපලා පිත්තවාහිනි
ස්ථිරා ශෙලෂ්මවති ප්‍රොක්තා සර්වලිඞනෙෂු සර්වගා (14)
වායුවෙන් වක්‍රගති නාඩිද පිත්තය සෙල්වීමෙන් සෙමෙන් දැඩිව නාඩි පැවැත්මද සියළු ලක්ෂණයෙන් යුක්ත කල්හි සියල්ලට කී ලකුණු ඇති ගමන්ද ඇතැයි කියන ලදී.
වා, පිත්, සෙම් යන තුන්දොසෙහි රිද්මයන් නාඩි ඥාන තරංගිනී ග්‍රන්ථයෙහි මෙසේ දක්වයි.
සර්පජලෞකාදිගතිං වදන්ති හි බුධාඃ පභජතෙ නාඩිම්
පි තතෙ ච කාකලාවක භෙකාදිගතිං තථා චපලාම් (32)
රාජහංසමයූරාණං පාරවතකපොතයොඃ
කුක්කුටාද් ගීතිං ධතෙත ධමනි කථසංගතා (33)
වායු කෝපකල නාඩීය පුඩාවන් හා සර්පයන්ට බදු ගමන, පිත්ත ප්‍රකෝප වූ කල කුලිඟු පක්ෂි කවූඩු ගෙමැඩි යන ඔවුන්ට බදු ගමන් ඇත්තෝය. රාජහංස මොණරුන්නේද පරවි කොබොයියන්ගේ කුකුළන්ගේද ගමන ශෙලෂ්මය ආශ්‍රයවූ නහරයෙහි උසුලයි.
නාඩි ඥාන තරංගිනී ඒ ඒ දෝෂ වල මිශ්‍ර වීමෙන් හටගන්නා නාඩි රිද්මය මෙසේ දක්වයි.
සර්පාදිගතිකාං නාඩිං කාකාදිගතිකාං තතා
වාතෛතතාමයොනමිශ්‍රාං ප්‍රවදන්ති භිෂගවරාඃ (34)
දනද් ශූකගතිං නාඪිං කදාචිං ස ගාමිනිම්
කථවාතාමයොතමිශ්‍රාං ප්‍රවදන්ති භිෂගවරාඃ (35)
මණ්ඩුකාදිගතිං නාඪිං කතාචංසගාමිනීම්
කඵපිත්තාමයොනමිශ්‍රාං ප්‍රවදනති භිෂග්වරාඃ (36)
මෙවැනි ශාස්ත්‍රීය පදනමක් සහිත නාඩි පරීක්ෂාවට යම් ගුප්ත බලයක් ආරෝපණය කර රෝගීන් මුලා කිරීම නොකළ යුතුවාක් මෙන්ම තමන් හට දැනුම තිබේ නම් නවීන පරීක්ෂණ ක්‍රම ඇසුරෙන් ද රෝග විනිශ්චය තහවුරු කරගැනීම දක්ෂ වෛද්‍යවරයා ගේ වගකීමකි. එය රෝගියා ගේ ආරක්ෂාව සහ රෝගී සත්කාරයේ ගුණාත්මකභාවය පිළිබද පිළිගත් මූලධර්මයන් වේ. සමහර යූටියුබ්කාරයින් පවසන පරිදි ‘නාඩි වෙදකම’ නමින් අමුතු වෙදකමක් ද නැත. ඒවා සමාජය මුලා කරන ජාවාරම්කරුවන් ගේ ප්‍රචාරයන් පමණකි. නාඩි පරීක්ෂාවේ පරිචයක් සහිත ඉතා දක්ෂ පාරම්පරික වෛද්‍යවරුන් සිටින බව සැබෑවකි. එසේම නාඩි පරීක්ෂාව ආයුර්වේද වෛද්‍යවරුන් ද ඉතා සාර්ථකව යොදා ගන්නා ක්‍රමයකි. ඒ අනුව නාඩි පරීක්ෂාව යනු හෙළ වෙදකමට පමණක් ආවේණික විස්මිත ක්‍රමයක් ලෙස හුවා දක්වන බොහෝ දෙනා ගේ අරමුණ ඒ හරහා රෝගීන් මුලා කිරීම මිස අන් කිසිවක් නොවේ. ඒ අනුව අප දැනගත යුත්තේ නාඩි පරීක්ෂාව යනු ඉතා සියුම් රෝග පරීක්ෂණ ක්‍රමයක් මිස සියලු ලෙඩ සොයා ගත හැකි විශ්වකර්ම පරීක්ෂාවක් නොවන බවයි. එසේම ආයුර්වේද හෝ දේශීය වෛද්‍යවරුන් නවීන පරීක්ෂණ ක්‍රම භාවිතය වෘත්තීය කුසලතාවක් බව ද සැලකිය යුතුය.
වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා