
19/02/2023
සන්ධි වේදනාව විවිධ හේතු කාරණා නිසා ඇති වෙන්න පුළුවන්. අධික ව්‍යායාම වල නිරත වීම, සන්ධියකට යම්කිසි හානියක් සිදු වූ විට, ශරීරයේ කැල්සියම් ප්‍රමාණය අඩු වීම, සන්ධියක සිදුවන ආසාදන තත්වයන්, ජානමය හේතු, ස්ත්‍රී පුරුෂභාවය (ස්ත්‍රී > පුරැෂ), වයස (අවුරුදු 40 ට වැඩි) වැනි හේතු දැක්විය හැකියි.
සන්ධි වේදනාව කියන්නේ ඉතාම පුළුල් මාතෘකාවක්. විවිධ පැතිකඩයන් ඔස්සේ මේ ගැන සාකච්ඡා කළ හැකියි. මෙය රෝග තත්ත්වයක් ලෙසට ඒ වගේම වෙනත් රෝගයක රෝග ලක්ෂණයක් විදියටත් අපට හඳුන්වන්න පුළුවන්.
අද වර්තමාන සමාජයේ බහුලවම සන්ධි වේදනාවක් කිව්වොත් ඒක ආතරයිටිස් තත්ත්වය කියලා හඳුන්වන්න පුරුදුවෙලා ඉන්නවා. නමුත් සන්ධි වේදනාවකදී එයට අදාළ නිවැරදි ප්‍රතිකාරය තීරණය කිරීමට නම් නිවැරදි රෝග නිර්ණය අනිවාර්යය වේ.
අපේ ශරීරයේ පවතින ඕනෑම සන්ධියක් නිර්මාණය වී තියෙන්නේ අස්ථි දෙකක් හෝ කිහිපයක් එකට එකතු වීමෙනි. අපි අපේ ශරීරයේ අස්ථි පද්ධතිය ගැන කතා කළොත්,
අපේ ශරීරයේ හැඩය පවත්වා ගැනීමට.
සිරුරේ චලනයට movement
ශරීරයේ වැදගත් ඉන්ද්‍රියන්ගේ (මොලය, හෘදය, පෙණහලු) ආරක්ෂාවට
මෙම අස්ථි පද්ධතිය ඉතා වැදගත් වේ. මෙම අස්ථි පද්ධතියට යම්කිසි හානියක් සිදුවුවහොත් එමගින් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානි සිදුවිය හැකිය. එමෙන්ම චලනය/ඇවිදීම අපහසු විය හැකිය. සිරුරේ විවිධ විකෘතිතා ඇති විය හැකිය. එම නිසා අස්ථි පද්ධතිය ආරක්ෂා කරගැනීම ඉතා වැදගත්ය.
සමාජයේ බහුලවම කථා කෙරෙන ආතරයිටීස් රෝග තත්ත්වය ගැන සැලකුවහොත් සරලව ආතරයිටිස් ලෙස හඳුන්වන්නේ සන්ධි ආශ්‍රිතව හටගන්නා ආසාදන තත්ත්වයක්. මෙය බාහිරයට වේදනාවක් ලෙසට පෙන්නුම් කරන්න පුළුවන්. මෙම රෝග තත්ත්වය තවදුරටත් Osteo Arthritis, Psoriatic Arthritis, Gout, Iupus, ආදී වශයෙන් විවිධ කාණ්ඩ වලට බෙදා දක්වන්න පුළුවන්.
පොදුවේ ආතරයිටීස් කියන රෝග තත්ත්වයේ ලක්ෂණ ලෙස,
වේදනාව Pain
සන්ධීය තෙරපීමේදී ඇතිවන වේදනාව Tenderness
සන්ධි චලනය කිරීමට අපහසු වීම Decreased range of motion / Flexibility
ඉදිමුම Swelling
සන්ධිය රතු පැහැවීම Redness (බොහෝවිට රුමැටොයිඩ් ආතරයිටිස්වල දී / Rheumatoid arthritis දැකිය හැකිය.)
සන්ධිය වෙනස් වීමකට ලක්වීම Joint deformity දැක්විය හැකිය.
ඔස්ටියෝ ආතරයිටීස්
මෙය බහුලම ආතරයිටීස් වර්ගයයි. අස්ථි අතර පවතින කාටිලේජ ගෙවීම හේතුවෙන් මෙම තත්ත්වය හටගනී. කාටිලේජ යනු අස්ථි කෙළවර පවතින බහුලවම ප්‍රෝටීනවලින් සෑදුනු අර්ධ ඝන සම්බන්ධක පටක විශේෂයකි. මේවා ගෙවීමෙන් අස්ථි එකිනෙකට ගැටී අස්ථිය ගෙවීමකට ලක් වී මෙම තත්ත්වය හටගනී. එහිදී සංදියේ තදබල වේදනාව, දැවිල්ල, ඉදිමීම, තදබව හා ප්‍රදාහය ඇති විය හැකිය.
මෙම තත්ත්වය සමාජයේ බහුලවම දකින්නට ලැබෙන්නේ දණහිස් සන්ධිය ආශ්‍රිතවයි. මෙයට ප්‍රධානතම හේතුව තමයි අපේ ශරීරයේ බර දරාගෙන සිටින්නේ මෙම දණහිස් මගිනි. ඒ වගේම දණහිස් කියන්නේ සිරුරේ වැඩිම චලනයක් සිදුකරන සන්ධියක්. ඒ නිසා ගෙවී යාමට තිබෙන ප්‍රවණතාවය ගොඩක් වැඩියි.
මෙවැනි තත්ත්වයකදී බොහෝ වෙලාවට සිරුරේ බර පාලනය කරගන්න කියලා රෝගීන්ට උපදෙස් ලබාදීම සිදු වන්නේ ඒ නිසායි. අධික තරබාරුවත් සන්ධි වේදනාව ඇතිවීමට ප්‍රධාන හේතු සාධකයක් වෙනවා.
සිරුරේ බර අඩුකර ගැනීමට අමතරව පඩිපෙළ දිගේ ඉහළට පහළට යෑම අඩු කිරීම, දණහිස් නවා ගෙන බොහෝ වේලා නොසිටීම, ඇවිදීමට පහසු පාවහන් පැළඳීම වාගේ දේවල් වලටත් මූලික අවධානය යොමු කළ යුතුයි.
මෙම අස්ථි හා සන්ධි ආශ්‍රිත වේදනා තත්වය ආයුර්වේදයේදී වාත දෝෂය කෝප වීමෙන් ඇතිවන වාත රෝගයක් ලෙසට හඳුන්වනවා. රෝගියා විසින් පෙන්නුම් කරන රෝග ලක්ෂණ මත දෝෂ තත්ත්වයන් (වාත, පිත, කඵ) වෙනස් වෙන්න පුළුවන්.
මෙම තත්වය සඳහා සඳහා ආයුර්වේදයේ ඉතා සාර්ථක අභ්‍යන්තර හා බාහිර ඖෂධ වර්ග පවතිනවා. නිවැරදි වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවැරදි ඖෂධ භාවිතා කිරීම මගින් මෙම තත්වය සාර්ථකව සුව කර ගන්න පුළුවන්. මෙම රෝගයේ ආරම්භක අවධියේ පවතින රෝගියෙක් නම් ඉතා සුළු කාලයකින් රෝග ලක්ෂණ පහව යන අතර කාලීන තත්ත්වයක් නම් රෝගය සුව කිරීමට තරමක් වැඩි කාලයක් ගත විය හැකියි.
මීළඟට බහුලව හමුවන තවත් රෝග තත්ත්වයක් ලෙස ට, කටී ශුල/කොන්දේ වේදනාව /තුනටිය ආශ්‍රිත වේදනාව /Lumbar Spondylasis දක්වන්න පුළුවන්.
මෙය දරා ගැනීමට අපහසු වේදනා තත්ත්වයක් වන අතර, කශේරුකා අතර පිහිටි අන්තර් කශේරුක මඩලේ අවතැන්වීම, සයටිකාව, ලම්බා ප්‍රදේශයේ ස්නායු තද වීම, කැල්සියම් තැන්පත් වීම හා ප්‍රදාහ තත්ත්වයන් මෙම වේදනාවට හේතු විය හැකියි.
මෙවැනි තත්ත්වයන්ට අනෙකුත් වෛද්‍ය ක්‍රමයන් වලදී වේදනා නාශක හෝ විවිධ ශල්‍යකර්මයන් නිර්දේශ කරන අතර ඇතැම් අවස්ථාවලදී එමගින් විවිධ සංකූලතා හා අතුරු ආබාධ ඇතිවිය හැකියි. මේ සඳහා ආයුර්වේදයේ ඉතා සාර්ථක ප්‍රතිකාර පද්ධතීන් පවතින අතර එමගින් කිසිදු අතුරු ආබාධයක් හෝ සංකූලතාවයක් ඇති නොවේ.
මේ වගේම තමයි බෙල්ල ආශ්‍රිතව ඇතිවන වේදනාවන්. මෙම තත්ත්වය ග්‍රීවා ස්ථම්භ (සර්වයිකල් ස්පොන්ඩිලෝසිස්) ලෙස හඳුන්වනවා. කශේරුකා, අන්තර් කශේරුක මඩල, කාටිලේජ ආදියේ ක්ෂය වී යාම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවේ. කල් ගත වීමේදී බෙල්ල ආශ්‍රිතව ඇති ස්නායු මූලයන් තෙරපීම හේතුවෙන් බෙල්ලේ වේදනාව, එම වේදනාව උරහිසට හෝ අතට පැතිරයාම, හිස උරහිස දෙසට නැවීමේ අපහසුව වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැකියි.
මේ සඳහා ද සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර පවතින අතර එම ඖෂධ මගින් මෙම රෝග ලක්ෂණයන්ට ඉක්මන් සහනයක් ලබාගත හැකියි.
~ ආයුර්වේද වෛද්‍ය - අචිනි නිමාෂා ~