02/11/2024
ඕස්ට්‍රේලියාවේ මගේ රැකියාව - 06
ඕස්ට්‍රේලියාවේ මගෙ රැකියාවෙ තව අත්දැකීමක් බෙදාගන්න හිතුන...
ලඟදි මගෙ ආයතනයෙ General Manager, Victorian state manager සහ partner manager එක්ක මගෙ career conversation එක තිබ්බ..
මෙතනදි මූලික වශයෙන් කතා කරන්නෙ career progression, salary, skill development opportunities, alignment of my expectations with the business expectations වගේ දේවල් ගැන. සති ගාණක් ඉදිරියට මේ ගැන කොටස් වශයෙන් සාකච්ඡා වෙනව.. ආයතනයේ හැමෝටම career conversation එකක් කරනව තමන්ගෙ direct reports විදියට ඉන්න managers ල ටික. මේව අතිශය පුද්ගලික සහ රහස්‍ය බව උපරිම තියෙන සාකච්ඡා..
ඒ සාකච්ඡාවේදී කතා කෙරුන මං වැඩිය නොහිතපු එක පුංචි පැත්තක් මේ වගේ ඒව ගැන හිතන හොයන අය එක්ක බෙදාගන්න හිතුන. මෙයාලා හිතන විදිහයි උගත් උනත් සාම්ප්‍රදායික ආසියාතික මානසිකත්වයේ ඉන්න අපි සමහරු හිතන විදියෙයි වෙනස ගැනයි මට ඒ වෙලාවේ කල්පනා උනේ .
මං මෙහෙ කරන "අමුතු" රැකියාව ගැන කියවන්න ඕනෙ නම් profile එකට ගිහින් page එක බලන්න. Designation එක කිව්වොත් workplace health physiotherapist. දන්න තරමින් ලංකාවෙන් ඇවිත් මේ field එකේ වැඩ කරන එකම physio. මීට කලින් මේ ගැන ලියල තියෙන නිසා ඒක මං මෙතන විස්තර කරන්න යන්නෙ නෑ ලිපිය දික් වෙන නිසා. අර කතාව විතරක් බෙදාගන්නම්.
මේක තවම job කරන්නෙ නැති අයට අදාල නොවෙන්න පුළුවන්. හැබැයි කියවල වැරදි වැටහීමක් ගන්න එපා ඉගෙනීම අගයක් නෑ කියල කියනව කියල. ඉගෙනීම කොයි කාලෙටත් වටින දෙයක්. මං මේ කතා කරන්නෙ සැලසුමක් ඇතිව ඉගෙනගැනීම ගැන. මේ මෙයාල දකින විදිය ගැන මගේ අත්දැකීම් බෙදාගැනීමක්. අනික, දවසක academic පැත්තෙන්ම ඉස්සරහට යන්න බලන් ඉන්න අයටත් මේක අදාල නැති වෙයි.
ඕස්ට්‍රේලියාවේ professional job කරන හැමෝටම වගේ තමන්ගේ ආයතන වලින් අවුරුදු පතා allowances දෙනව skill development, professional development කිය කිය. ඒක මෙහෙ හරිම සාමාන්‍ය දෙයක්. මගෙ ආයතනයත් සැලකිය යුතු ගාණක් හැම කෙනාටම ගෙවනව මේ වෙනුවෙන්. ඒක තමන් කැමැති professional development courses, diploma, workshops, online subscriptions වගේ අටෝරාසියක් තියෙන ඕන එකකට වියදම් කරන්න පුළුවන්. හැබැයි ඉතිං රැකියාවටත් වටිනාකමක් එකතු කරන තමන්ගෙ field එකට අදාල දෙයක් වෙන්න ඕනෙ.
ලංකාවේ ඉගෙනගත්ත අපේ මානසිකත්වය තියෙන්නේ හොඳට ඉගෙනගෙන තව තවත් ඉගෙනගෙන degree ගොඩක් pass වෙලා ultimate academic goal එක Phd කරා යන එකනෙ. නම ඉස්සරහට අකුරු ගොඩක් එකතු උනාම අමුතු ආඩම්බරයක්.. 🙈 ඒ එකතු කරගත්ත සමහර සුදුසුකම් වලින් ප්‍රයෝජන ගන්නවද නැද්ද කියන එක වෙනම කතාවක්..
අර සාකච්ඡාවේදී ඉස්සරහට රැකියාවෙ ඉහලට යන්න තියෙන අවස්ථා ගැන කතා කරනකොට තමයි වැඩිදුර අධ්‍යාපනය ගැන කතාව ඇදිලා ආවේ.
එතනදි එයාල කතා කලා වැඩිදුර අධ්‍යාපනය ලබල ඒ වියදම් කරන ගාන අනික් පැත්තට තමන්ට උපයා ගන්න බලාපොරොත්තු වෙන්නෙ කොහොමද කියන එක. මොකද එයාල කියන දේට අනුව සෑහෙන ලොකු කාලයක් වැයකරලා Phd වගේ higher degree එකක් කරල ලබා ගන්න සුදුසුකම, ලබා ගත්ත පලියටම මගෙ පඩිය වැඩිවෙන්නෙවත් වෙනත් මූල්‍යමය හෝ ආයතනය තුල උසස් වීම් වගේ ප්‍රතිලාභ ලැබෙන්නේ වත් නෑ.
ඒව ලබාගන්න මට තියෙන අධ්‍යාපන සුදුසුකම් දැනටමත් ප්‍රමාණවත්. එයාලට අවශ්‍ය වෙන්නේ මගේ රැකියාවට කෙලින්ම බලපාන knowledge, skills develop වෙන අවස්ථා වලට මගේ අවධානය යොමු කරන්න.
උදාහරණයක් විදිහට මගේ රැකියාව workplace health physiotherapy නිසා අර Phd එකක් කරල මං බලාපොරොත්තු වෙන දේට වඩා මට ඉක්මනට ව්‍යාපාරය ඇතුලෙ ඉස්සරහට යන්න, මූල්‍යමය වාසි ලබාගන්න පුළුවන් මහ ගානක් වියදම් වෙන්නේ නැති occupational health and safety diploma එකක් කලොත්. ඒකත් එයාලගෙ financial contribution එකත් එක්ක.. ඒ කියන්නෙ අර වගේ කෙටි කාලීන අධ්‍යාපනයකින් මං ලබා ගන්න දැනුම ඊට පහුවදාම හෝ මූල්‍යමය වටිනාකමක් බවට හරවගන්න ඕන තරම් අවස්ථා ආයතනය ඇතුලෙ දැනටමත් තියෙනව, Phd එකට ගත කරන කාලය සහ මුදල එක්ක ප්‍රතිලාභ ලැබෙන්න ගත වෙන කාලය ගැන බලනකොට.
රැකියාවේ යම් මට්ටමකට ආවට පස්සේ මේ දේ මේ රටවල professionals ල අත්දකින දෙයක් වෙන්න ඇති කියල මට හිතුනෙ පස්සෙ. අර කරන්නන් වාලේ නමට අකුරු ගොඩක් add කරගන්න මානසිකත්වයක් මෙයාලට නෑ. පඳුරක් හෙලෙව්වත් Phd තියෙන ගොඩක් හොයාගන්න පුළුවන් තරන් මෙහෙ opportunities තියෙන නිසා මෙයාල ඒකට ලොකු බරක් දෙන්නෙ නෑ වෙන්නත් පුළුවන්. Higher studies ගැන තිබිච්ච යම් අදහස් කීපයක් මේ සාකච්ඡාවෙන් පස්සේ වෙනස් උනා කියන්න පුළුවන්.
මෙයාලට ඕනෙ professional development වෙනුවෙන් කරන අධ්‍යාපන කටයුතු, ඒ ඉගෙනීමත් එක්කම මුදල් වලට, තව තවත් ව්‍යාපාර දියුණුවට හරවගන්න එක පුළුවන් තරම් කෙටි කාලෙකින්. ඒ වියදම් කරන හැම ඩොලර් එකක් එක්කම ඒකෙන් ආපස්සට ඉක්මන් ප්‍රතිලාභ එයාල බලාපොරොත්තු වෙනව.
මේ දේ මෙහෙට විතරක් අදාලයි කියල මං හිතන්නෙ නෑ. ලංකාවෙත් ඉතාමත් සාර්ථක ව්‍යාපාර තිබෙනවා වගේම ඒ ව්‍යාපාරිකයන් උනත් මේ විදියට career develop කරගන්න උනන්දු අයට අවස්ථා දෙන්න ඕන තරම් කැමැත්තෙන් ඉන්නව ඇති. ප්‍රශ්නෙ තියෙන්නෙ අවස්ථා ගැන හොඳට හොයල බලල ඉලක්කයක් ඇතුව වැඩ කරන එක.
නිකන්ම තවත් සහතිකයක් සහතික මිටියට එකතු කරගන්නව වෙනුවට ඒ සුදුසුකම තමන්ට මුදල් හෝ වෙනත් අවස්ථා උපයා දෙන මෙවලමක් බවට පත් කරගන්න පුළුවන් නම් අධ්‍යාපන වෙනුවෙන් උනත් අනවශ්‍ය විදියට කාලය, ශ්‍රමය, මුදල් වැය වීම නවත්තන්න පුළුවන් වේවි...
දවස අවසානයේ තමන් අත්පත් කරගන්න title තමන්ගෙ වෘත්තිය අනාගතයට ඇත්තටම වැදගත්ද එහෙම නැත්නම් නිකන්ම සහතිකයක්, උපාධි පින්තූරයක්, ආඩම්බරයක්, හීනමානය වෙනුවෙන් කරන දෙයක් විතරක් වෙලා නවතියිද කියල එක පාරක් කල්පනා කරල බලමු. මොකද දැන්වත් අපේ ආසියාතික සමාජය, අපේ දෙමාපියන් අපෙන් ඉල්ලන දේ නෙවෙයි අපිට ඇත්තටම අවශ්‍ය සහ අපිට ඉහළම වටිනාකමක් එකතු කරන දේ කලා නම් දවසින් දවස ඉස්සරහට යන ලෝකෙ තව opportunities ලබාගන්න පුළුවන් වේවි.
ඉස්සරහට අධ්‍යාපන model එකම වෙනස් වෙනව කියන්නෙ මේ නිසා වෙන්න පුළුවන්. තව දුරටත් සහතික මත පදනම් වන knowledge based skills පමණක් නොවී functional/ transferable skills develop කරගන්න හැකි නම් තමන්ගෙ මූල්‍යමය වටිනාකම ඉක්මනින් වැඩි දියුණු කරගන්න පුළුවන් වේවි.
ඉගෙනීම අවස්ථා ඕන තරම් තියන මේ රටෙත් බහුතරයක් human resources management සහ අනික් managerial level වල ඉන්න අයට තියෙන ඉහළම අධ්‍යාපන සුදුසුකම basic degree එක හෝ MSc. කියල දැනගත්තහම මමත් පුදුම උනා. හැබැයි තමන් කරන රස්සාවෙ පුදුම විදියට පරිණත මිනිස්සු.
ඒ පරිණත බව ඇවිත් තියෙන්නේ subject knowledge එකෙන්ම නෙවෙයි කියල එයාල එක්ක වැඩ කරනකොට හොඳට තේරෙනව. එහෙම නැත්නම් එයාල ලබාගන්න තෘතීය අධ්‍යාපනයේ තියෙන ගුණාත්මක බව නිසා වෙන්නත් පුළුවන්.
වෘත්තියමය බව එක්ක පුදුමාකාර මනුස්සකමක් එකතු වෙලා හැදුනු අසාමාන්‍ය පරිණත බවක් පෙන්වන මේ මිනිස්සු එක්ක එකට වැඩ කරන්න ලැබුන එක පෙර පිනකින් ලැබුන වාසනාවක් කියල හිතෙනව. යම් දෙයක් ගැන සාකච්ඡා කරනකොට ඒ සම්බන්ධ ඉස්සරහට ඇති විය හැකි අවස්ථා රාශියක් ගැන කලින්ම අනුමාන කරන්න, worst case scenarios ගැන කතා කරන්න මෙයාල කොයි මොහොතක වත් පැකිලෙන්නෙ නෑ.
උදාහරණයක් විදියට වාර්ෂික වැටුප් වැඩි වීමෙන් තමන් බලාපොරොත්තු වෙන ගණන වගේ දේවල් විවෘතව සාකච්ඡා කරනව වගේම ඒ වැටුපට යන්න කරන්න පුළුවන් දේවල් ගැන හැම දේම එයාල කියල දෙනව. යම් මොහොතක අපි බලාපොරොත්තු වෙන දේවල් ඊලඟ වසර හෝ දෙක ඇතුලත ලබාදෙන්න ව්‍යාපාරයක් විදියට එයාලට බැරි නම් ඒ ගැනත් විවෘතව සාකච්ඡා කරන්න පැකිලෙන්නෙ නෑ. ඒ වගේ වෙලාවක තියෙන විසඳුම වෙනත් රැකියාවක් සොයා ගැනීම නම් ඊට අවශ්‍ය සියලුම දේවල් කරල ගෞරවාන්විතව සමුගන්න කිසිම ප්‍රශ්නයක් නෑ.
ලංකාවෙදි, විශේෂයෙන් රාජ්‍ය සේවයේ වැඩ කරන්න අමාරුම senior සෙට් එක එක්ක උනාට මෙහෙ ඒකෙ සම්පූර්ණයෙන් අනික් පැත්ත. වෘත්තීය පැත්තෙන් තමන්ගෙ සුදුසුකම් හදාගන්න, තියෙන skill වැඩි දියුණු කරගන්න කිසිම ගුරු මුෂ්ටියක් නැතුව අලුත් අයට එයාල ලබාදෙන පන්නරය හිතාගන්න බැරි තරම්.
නැවතත් කියන්නෙ මේ උඩ කියල තියෙන්නේ ඉගෙනගන්න එපා කියල එහෙම නෙවෙයි. ඒකෙන් ප්‍රතිලාභ ඉක්මනට ආපහු ලබාගන්න සාත්‍තරේ ගැන අවබෝධයෙන් හොඳට සැලසුමක් ඇතුව ඉගෙනගන්න එක ගැන..
පින්තූරය:- රට ඇවිත් බර වැඩ කරන්න බෑ කියල demotivate වෙන අයට බලන්න දාන්නෙ. ඔය සේවක මහත්මයා ඕස්ට්‍රේලියානු ජාතිකයෙක්. ඔහු තල්ලු කරගෙන යන වීදුරු පිරුණු කරත්තය 1000kg වලට පොඩ්ඩක් අඩු ඇති. දවස පුරාම මේ වගේ බර වැඩ තමයි මේ මහත්තුරු කරන්නෙ. මැසිවිලි නෑ.. අයිස් නෑ.. shift එක පැය 8යි. කෑමට වි30 යි. තේ වෙලාව වි15 යි. කරන රැකියාවට පුදුම තරම් ගෞරව කරනව.
✍️ Sachindra Miniwan