15/04/2025
අවුරුදු චාරිත්‍ර ආයුර්වේදීය ඇසින්...
නව සඳ බැලීමෙන් ඇරඹෙන අවුරුදු චාරිත්‍ර පිළිබඳව සලකා බැලීමේදී ස්වභාදහමින් උපන් මිනිසා ස්වභාවධර්මය කෙරෙහි පවත්වනු ලබන සබැඳියාව නැවත නැවතත් අවුරුදු පතා නෑ කම් අලුත් කර ගැනීමක් ලෙස අර්ථකථනය කල හැක. ආයුර්වේදයෙහි මිනිස් දේහය හා ජගත් දේහය අතර සබඳතාවය හිරු සඳු රැගත් ස්වභාවිකත්වය හා ශාරීරික ත්‍රිදෝෂය ඇසුරෙන් මෙසේ විස්තර කර ඇත.
"විසර්ගාදාන වික්ෂේපෛඃ සෝම සූර්යානිලායථා
ධාර්‍යන්ති ජගත්දේහං කඵපිත්තානිලෛස්ත්‍රිභිඃ"
මෙම සංහිතා ග්‍රන්ථ ශ්ලෝක පාඨයට අනුව විසර්ග හා ආදාන කාලයන්හී ක්‍රියාත්මක වීමෙන් ( වෙනස් වීම් හෙයින්/ වික්ෂේපයෙන්) හිරු සඳු හා වාතයේ ක්‍රියාකාරිත්වයෙන් ලෝක දේහය හසුරුවන්නේ යම් සේ ද, ඒ අයුරින්ම සෙම්,පිත් හා වාතයේ ක්‍රියාත්මක වීමෙන් ශරීරයෙහි ක්‍රියාකාරීත්වය හැසිරවෙන්නේය යන්නය.
මිනිස් සිරුරද ලෝකයද, ලෝකයට අයත් සජීවී හා අජීවී සියල්ලමද ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ යන පංච මහා භූත තත්වයන්ගෙන් නිර්මිතය. එහෙයින් මිනිසා සහ මිනිස් ක්‍රියාකාරකම් මෙන්ම ස්වභාවධර්මයෙහි පැවැත්ම හා ක්‍රියාකාරිත්වය යන මේ සියල්ල එකිනෙක කෙරෙහි සමවායී ( නොබිඳිය හැකි ලෙස) බැඳී පවතී.
අවුරුදු චාරිත්‍ර සිරිත් විරිත් හා විශේෂිත රසකැවිළි ඇතුළු ආහාර සංස්කෘතිය ද, විහරණ රටාවද අනාදිමත් කාලයක පටන් පැවත ඒමටද, විදු දැනුම හා තාක්ෂණයෙහි හිණි පෙත්ත මත ලොව වැජඹෙන වත්මන දක්වා නොනැසී පැවතීමටද යම් ප්‍රභල හේතූන් තිබිය යුතුය. මිනිසා සහ සොභාදහම එකට ඈඳන, සොභාදහම විසින් ත්‍රිදෝෂයන් කෙරෙහි ඇති කරන නොබිඳිය හැකි බලපෑම එයට හේතු වන වග ආයුර්වේදීය මූලධර්ම හා සංකල්පයනට අනුව පෙන්වා දිය හැක.
මෙහිදී අවුරුදු උදාව හා ඒ ආශ්‍රිත කාලය ආයුර්වේදයට අනුව කුමන සෘතුවකට අයත් වේද, එම සෘතුව කුමන අයන කාලයට අයත් වේද, ඒ අනුව අප රට අයත් දේශගුණික කලාපය සහ භූගෝලීය පිහිටීම මත එම කාලය විසින් සොභාදහමට ඇති කරන බලපෑම කුමක්ද, අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සහ ආහාර විහරණ එයට අදාලව මිනිසාගේ දෛහිකත්වය කෙරෙහි කෙසේ බලපවත්වන්නේද යන්න විමසා බලමු.
අප්‍රේල් මස එනම් බක් මස අයත් වන්නේ වසන්ත සෘතුවට ය. එසේම අයත් වන අයන කාලය උත්තරායනයයි. එනම් සූර්‍යයා බලවත් වන, සියලු ම ප්‍රාණීන්ගේ ශරීර ශක්තිය අවම වන කාලයයි. පොළව සහ පොළවට අයත් සියල්ලෙහි ශක්තිය ඉහලට ඇද ගනිමින් සූර්‍යා විසින් පෘතුවිය වියලවන අයන කාලය උත්තරායනය හෙවත් ආදාන කාලය ලෙස ද ආයුර්වේද මූලික ග්‍රන්ථ වල සඳහන් වේ.( සශ්‍රැත.සූ.6 අධ්‍යාය) මෙම කාලය තුල ලංකාවට ඉර මුදුන් වීම ලෙස ව්‍යවහරයේ දැක්වෙන,අප අත් විඳින අධිකතර පාරිසරික උශ්ණත්වය හා ඉන් ඇති වන ශාරිරික පීඩාව සහ විඩාව මීට සාක්ශි සපයනු ඇත.
පාරිසරික හා දේශගුණික තත්වය එසේ වන විට පුද්ගල ශරීරයෙහි සෙම් කෝපය ඇති වේ. විශේෂයෙන් සෙම් ප්‍රධාන (කඵ ප්‍රකෘති සහිත) කොට ගත් ශරීර ඇත්තවුන් හට සෙම් රෝග බහුල වේ. (සු.සූ.6) එහෙයින් සෙම් නසන , තුන් දොස් සමනය වන ආහාර විහරණ සේවනය කිරීම නිර්දේශ කරනු ලැබේ. කෙසේ වුවත් වසන්ත සෘතුව ශිශිර සෘතුව සහ ග්‍රීෂ්ම සෘතුව අතර පවත්නා සෘතුව වනුයේ ශිශිර සෘතුවේ ශීත ස්වභාවයත් ග්‍රීෂ්ම සෘතුවේ උෂ්ණ සහ වියලවන සුළු ස්වභාවයද යන ලක්ෂණ ද්විත්වයම පුද්ගල ශරීර ප්‍රකෘති ප්‍රාකාර ලෙස එක් එක් පුද්ගලයා කෙරෙහි වෙනස් අයුරින් බලපාන බව සැලකිය යුතුය.
සිංහල අවුරුදු චාරිත්‍ර සහ ආහාර විහරණ සංස්කෘතිය සකස් වී ඇත්තේ අනාදිමත් කාලයක සිට මිනිසා සොබාදහම විඳ ගත් සහ තේරුම් ගත් ආකාරය අනුව ඇති කරගත් අන්‍යෝන්‍ය සහසම්බන්ධයට හිතකර වන අයුරින් බව ඉහත කරුණු වඩාත් ගැඹුරින් විමසා බලන විට පෙනී යනු ඇත.
නවසඳ බැලීම පුරාණයේ පටන් කාල නිර්ණය සඳහා යොදාගත් ක්‍රමයක අනුසාරයෙන් සෑදුනක් ලෙස හඳුනා ගත හැක්කේ චන්ඳ්‍රමාස ක්‍රමය අනාදිමත් කාලයක පටන් අප රටෙහි භාවිත වී ඇති හෙයිනි. එදවස රජ මාලිගයෙහි ගණිතයා, මහ නැකතා, නැකැත් රාළ ලෙස තනතුර හෙබවූ පුද්ගලයා චන්ඳ්‍රමාස 12 ක් අවසන්ව එළැඹෙන අළුත් සඳ දිස් වන වේලාව සලකා ඒ අනුව අලුත් අවුරුදු නැකැත් පත්‍රය සකස් කර රජුට පිරිණැමූ බවට කරුණු හෙළි වී ඇත. ආයුර්වේදයට අනුව සඳ කිරණ යනු වා පිත් සමනය වන සෙම් වඩන්නකි. අධික හිරු රැසින් තැවී ගිය සොභාදහමද ශරීරයන්ද සෞම්‍ය සඳ කිරණින් පහන් වේ. පුන් සඳ සහිත වසන්ත සෘතු රාත්‍රීන්හී එළිමහන් සඳළුතල ආදියෙහි මල් දම් දරා සඳ රැසින් සැනහීම සැප ඇති කරවන, ආයුශයට හිතවත් විහරණයක් ලෙස සැලකේ. සඳ හා මිනිසා අතර සම්බන්ධය මිනිසාට හිතකර වූ පමණ නව සඳ බැලීම අවුරුදු චාරිත්‍රයන්හී පවා ඇතුලත් වීම තුළින් පෙනී යයි.
පරණ අවුරුද්දට ස්නානය කිරීම තුළින් එළැඹෙන අලුත් අවුරුද්දට පවිත්‍රත්වය පෙරදැරිව පිවිසීම සංඛේත්වත් වේ. ආයුර්වේදයට අනුකූලව ස්නානය හර්දයට හිත, ඉඳුරන් ශෝධනය කරවන,ලේ ධාතුව සමනය කරවන, ශරීරගත අග්නිය වඩන තෘෂ්ටිය උපදවන චර්‍යා අංගයකි. එක් එක් අවුරුද්දේ ඒ ඒ නැකතට අනුව සුදුසු ශාක පත්‍ර යුෂ සිරුරෙහි තවරා එයට ඖෂධීය අගයක් එක් කෙරේ.හුදෙක් කායික පවිත්‍රතාවයට ඔබ්බෙන් මානසික පවිත්‍රතාවයක්, නව්‍යකරණයක්ද අපේක්ෂිතය. එසේම මද උණුසුම් ජලයෙන් ස්නානය, පිහිනීම (විනෝද වශයෙන් මෙන්ම ව්‍යායාම වශයෙන්ද නිර්දිෂ්ටිතය-සු.උත්.64) එසේම සෘතුවට අදාල ජල ගුණයනට අනුකූලව වසන්ත සෘතුවෙහි ලිං දිය පානයටද ස්නානයටද සුදුසු බව ආයුර්වේදයට අනුකූල මතයකි. ( ච.සූ.45) මේ අනුව අධික පරිසර උශ්නත්වය හේතුවෙන් මද වශයෙන් උනුසුම් වූ ජලයෙන් යුත් ගංගා, තටාක, විල් පොකුණු, ලිං යන ප්‍රභවයන්හී කණ්ඩායම් වශයෙන් එක්ව දිය කෙළීමද ජලස්නානයද මෑත අතීතයේද ගම්බදව දක්නට ලැබුනි. ඉහත කී ශාරීරික මානසික පවිත්‍රත්වය හා ප්‍රබෝධය පිරිස් ඒකරාශීව සාමුහිකත්වය පිළිබිඹු වන පරිදි සිදු වූ බව පෙනී යයි.
අවුරුදු උදාවට පෙර ද පරණ අවුරුද්ද අවසන් වීමෙන් පසුවද පැය කිහිපය බැගින් ආහාර පාන ගැනීම් අවසන් කර සියළු වැඩ කටයුතු වලින් ඉවත් වී ආගමික වතාවත් වල යෙදෙමින් විවේකීව පහන් සිතින් පසු වීමට වෙන් කරන ලද කාලය පුණ්‍ය කාල ය ලෙස සැලකේ. වගා කටයුතු අවසන් කර බත බුලතින් අටු කොටු පුරවා විවේකයෙන්ද සැහැල්ලුවෙන්ද ප්‍රීතියෙන්ද පසු වන හාත්පස මලින් ගැවසී ගත් වසන්ත කාලය අතිශය භාග්‍යමත් කාලයක් ලෙස සලකමින් එය විෂ්ණු පුණ්‍ය කාලය ලෙස නම් කරන ලද්දේ පුරාණ හින්දු සමාජය තුලය.
දහසය වැනි සියවසයේ උඩරට රාජධනිය තුළ දකුණු ඉන්දීය රාජාවලියක් අප රටෙහි ස්ථාපිත වීමත් සමග හින්දු ආගමික චාරිත්‍ර වාරිත්‍ර රාජානුග්‍රහය සහිතව ලංකාවේ ව්‍යාප්‍ත වූ වගට ඉතිහාසය ලියැවුනු ගධ්‍ය පද්‍ය සාහිත්‍යය විමසීමෙන් අනාවරණය වේ. එහිදී මූලික වශයෙන් පැවැත්වුනු මංග්ල්‍යයන් 4ක් හමු වේ. ඒවා නම් අලුත් සහල් මංගල්‍යය, බක් මස අවුරුදු මංගල්‍යය, ඇසල මංගල්‍යය සහ කාර්තික මංගල්‍යය වේ. අවුරුදු මංගල්‍යය සිංහල අලුත් අවුරුද්ද පමණක්ම නොවී සිංහල හින්දු අලුත් අවුරුදු මංගල්‍යය වන්නේ එහෙයිනි. මෙම පුණ්‍ය කාලය හෙවත් විෂ්ණු පුණ්‍ය කාලය එසේ බක් මහ අවුරුදු මංගල්‍යයය කෙරෙහි දකුණු ඉන්දියානු බලපෑම තහවුරු වන එක් අංගයකි. ශ්‍රී ලාංකීය ජාතිකයන් වශයෙන් සිංහල හින්දු ජන වර්ගයා අතර සහෝදරත්වය සමගිය හා සහජීවනය සිහිපත් කර ගැනීමටද ඒ අනුව ජීවත් වීමට අදිටන් කර ගැනීමටද බක් මහ අවුරුදු මංගල්‍යය මහඟු අවස්ථාවක්ම වේ. තවද ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම සලකන විට සියළු කල්හී එය මධ්‍යස්ථානයක් වශයෙන් ක්‍රියාත්මක වී ඇති බැවින් අප වත්මනේ සංස්කෘතික අංග ලෙස අනුගමනය කරන බොහෝ දෑ අප හට විවිධ රටවලට අයත් ජාතීන්ගෙන් හා සංස්කෘතීන්ගෙන් දායාද වී ඇති බව නිරහංකාර සිතින් පිළිගැනීම මනුදම් රැකීමට මග කියනු ඇති බව සිහිපත් කල යුතුය.
කෙසේ වතුදු ආහාර පාන සියල්ලෙන් ඈත් වී පැය කිහිපයක කාලයක් මෙම පුණ්‍ය කාලය චාරිත්‍රානුකූලව ගත කිරීම මගින් අලුත් අවුරුද්දේ නිරෝගීත්වය සාක්ශාත් කරගත හැකි බව සැලකේ. ආයුර්වේදයට අනුව එසේ ආහාර පානයෙන් තොරව පැය කිහිපයක් උපවාසයෙහි යෙදීම තුලින් ශරීර ගත ආම දෝෂ පාකයට පැමිණ අග්නිය වර්ධනය වේ. ශරීරය සැහැල්ලු වී දොස් නැසේ. අග්නිය වැඩී ආම දොස් පහ වීමම නිරෝගීත්වයට මග පෙන්වන මහඟු උපක්‍රමයක් වග අවධාරනය කල යුතුය. (සු.උත්.39,104)දෝශ ශමනය කෙරෙහි හිතවත් ක්ෂුට්, තෘට්, (ආහාර පානයන්ගෙන් වැලකී සිටීම) ව්‍යායාම,ආතප (අව්ව තැපීම), මාරුත ( සුළඟට නිරාවරණය වීම) යන මේ සියළුම දීපන පාචන උපක්‍රම වශයෙන් භාවිත වීම අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර මෙන්ම අවුරුදු කාලයට විශේෂිත වූ ඔන්චිලි පැදීම, වෙනත් ගැමි ක්‍රීඩා ආදිය රැගත් අවුරුදු පරිසරය තුල නිරායාසයෙන්ම සිදු වන බව කිව හැක.
නැකතට ආහාර පිසීමේදී ඒ සඳහා නැකත් පත්‍රයෙහි නිර්දිෂ්ටිත ද්‍රවයද එම සෘතුවට අනුක්කූලව ශරීරයට හිතකර ද්‍රවය වේ. උදාහරණයක් ලෙස බොහෝ විට අවුරද්දට ආහාර පිසීමේදී දීකිරි යොදා ගනී.දීකිරි යනු මී හෝ එළ ගව, එළු, ඔටු,බැටළු,වෙළඹ,නාරි හෝ ඇත් කිරෙන් මුදවා ගන්නා කිරි වර්ගයයි. දධි යනුවෙන්ද දී කිරි හඳුන්වයි. (සු.සූ.45). අවුරුදු නැකතට පිසෙන ආහාරයට මිශ්‍ර කෙරෙනුයේ ගවදධි හෙවත් මුදවන ලද එළකිරි වේ. එය අනුභවයෙන් රෝග රැසක් දුරු වේ. ශරීර බල, මාංශ වඩයි, රසායනයි, ශුක්‍රය උපදවයි,ඕජස උපදවා මේදස වඩයි, ආයුෂයට හිතකර පදාර්ථයක් ලෙස ආයුර්වේද මූලික ග්‍රන්ථ වල සඳහන් වේ.(සු.සූ 45)
තල යනු පිත වඩන, උශ්න වීර්‍ය යුත්, මධුර විපාක ගෙනදෙන බල කාරක ධාන්‍යයකි. එය පරිභෝජනයෙන් අග්නියද මේදයද වර්ධනය වේ. විළඳ යනු ලගු ( සැහැල්ලු) ගුනැති, පාචක දීපක ගුන ඇති පදාර්ථයකි. (ච.සූ 46) කිරි සහ සහල් මිශ්‍රිත කිරිබතින් ඇති කරන ගුරු බව (බර බව) අවම කොට එය හොඳින් ජීර්ණය වී ශරීරයට උරා ගනු වස් අග්නිය දල්වා ලීම තල සහ විළඳ මිශ්‍රිත රසකැවිල්ල මගින් සිදු කෙරේ.
වැඩ ඇල්ලීම සහ ගනු දෙනු කිරීමද අවුරුදු චාරිත්‍ර අතර වැදගත් තැනක් ගන්නා අංගයකි. මිනිසා එකිනෙකා අතර පවත්වාගනු ලබන ගනුදෙනු මෙන්ම සොභාදහම සමග පවත්වන්නා වූ ගනුදෙනුව, ළිඳ සමග ගනුදෙනු කිරීමෙන් පිළිබිඹු වේ. අඟුරු, වී සහ කාසියක් සහිත පොට්ටනියක් සාදා එය එදිනෙදා ජලය ලබා ගන්නා ළිඳට දමා ළිඳෙන් වතුර කළයක් ගැනීම සාමාන්‍ය චාරිත්‍රයයි. මෙහිදී අඟුරු වලින් ජලය පිරිසිදු වීමත් කාසි සහ වී වලින් සශ්‍රීකත්වය හුවමාරු කර ගැනීමත් සංඛේතවත් වේ. එසේම වසන්ත කාලයෙහි පරිභෝජනය පිණිස සුදුසුම දිය ළිං දිය ලෙස ආයුර්වේදයේ සඳහන් වේ. ( ච.සූ 45)
තවද නැකතට හිසතෙල් ගෑමේදී ඖෂධීය ද්‍රව්‍ය වලින් සකසා ගත් නානු වර්ගයක් සමග ඖෂධීය තෙලක් හිස ගල්වා ස්නානය කිරීම සිදු කෙරේ. හිස තෙල් ගැල්වීම අයුර්වේදයට අනුව අතිශයින් වැදගත් චර්‍යා අංගයකි. ශරීරයෙහි ප්‍රධානතම පාලක නිලස්ථානයක් වන හිස මුදුනෙහි පිහිටි අධිපතිමර්මය( සු.ශා6) ඖෂධීය ස්වරස නානුවෙන් සහ ඖෂධීය තයිලයෙන් අභ්‍යංග වීම මෙහිදී සිදු වේ.වන ඉන් ශිරෝ රෝග පහ වේ. තුන් දොස් ශමනය වේ. ශරීරය තර්පණය කෙරේ. ඉන්ඳ්‍රීය ප්‍රසාදය ඇති කෙරේ. (සු.චි.24).
අවුරුදු නැකත් සහ සිරිත් විරිත් ඒ අයුරින්ම ඉටු කිරීම වර්ථමානයේ බහුල වශයෙන් මගහැරෙමින් යන බවක් දක්නට ලැබුනද. එම ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමෙන් යහපත් සෞඛ්‍යමත් ජීවිතයක් අත්පත් කර ගැනීමට අවශ්‍ය කරන ආහාර හා විහරණ පිළිබඳව සැකෙවින් ඉදිරිපත් කරන්නේය යන්න පෙන්වා දිය හැකිය. එමතුදු නොව එය ආයුර්වේදීය න්‍යායන්ට අනුකූල බවද සාක්ශි සහිතවම හඳුනාගත හැක. හුදෙක් දින කිහිපයකට සීමා වූ යම් ලුහු ක්‍රියාවලියක් ලෙස නොසලකා අවුරුදු චාරිත්‍ර තුළින් සංඛේතාත්මකව හඳුන්වා දෙන යහපත් ජීවන දර්ශනය ගැඹුරින් තේරුම් ගෙන එය එදිනෙදා ජීවිතයේ යහ පැවැත්ම පිණිස අඛන්ඩව පිළිපැදිය හැකි නම් එම ජීවන දර්ශනය පෙන්වා දෙන මාර්ගය සියල්ලන්ටම සුන්දර වනු ඇත. උදා වන මේ අලුත් අවුරුද්දේ හෝ ඒ පිළිබඳව පැහැදිළි අදහසින් ක්‍රියාත්මක විය හැකි නම් එය ඉතා අගනේය.