01/10/2024
දියවැඩියාවද?
එහෙනම් ඔයාගේ යතුර හරියට වැඩ කරන්නේ නැතුව ඇති........
මොකක්ද මේ යතුර. මෙහෙම හිතන්නකෝ. ඇලකට මායිම් වෙලා ගෙයක් තියෙනවා. මේ ගෙදර දොර ඇරලා ඇල දිගේ ගහගෙන එන දර කෑලි ගේ ඇතුලට ගන්නවා. ගේ ඇතුලට ගත්ත ඒ දර කෑලි ලිපට දාලා ගිනි තියලා ගෙදරට අවශ්‍ය ගින්දර/ශක්තිය ලබාගන්නවා. මේ ගෙදර දොර අරින යතුර හරියට වැඩ කරන්නේ නැතිනම් ගෙදර දොර ඇරගන්න බැරි වෙනවා නේද? එතකොට ඇල දිගේ ගහගෙන ආපු දර කෑලි ගේ ඇතුලට ගන්න බැරිවෙනවා. දැන් ඉතින් කොහොමද ගෙදර ලිප පත්තු කරලා ශක්තිය ලබාගන්නේ. මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා තේරෙනවා නේද? දියවැඩියාව ඇති කෙනෙක්ගෙ ශරීරය ඇතුළෙත් මේ වගේ දෙයක් තමයි සිදුවෙන්නේ.
දැන් මම ගත්ත උදාහරණය අපේ ඇඟට ගලපන්නං. මම කියපු ඇල තමයි අපේ ශරීරය පුරා තියෙන ලේ නහර. ඇල දිගේ වතුර ගලාගෙන යනවා වගේ, ලේ නහර දිගේ රුධිරය ගලාගෙන යනවා. ඇළ දිගේ ගහගෙන ආපු දර කෑලි තමයි ග්ලුකෝස් කියන සීනි වර්ගය. අපි ගන්න ආහාර වල තියෙන පිටි ( කාබෝහයිඩ්‍රේට) හා තෙල් ( මේදය) ආහාර මාර්ගයේදී ජීරණය වෙලා ග්ලූකෝස් කියන සීනි වර්ගය හදනවා. මේ ග්ලුකෝස් සීනි බඩවැලේදීම ලේ වලට උරාගෙන ලේ නහර දිගේ ගලාගෙන යනවා. මගේ උදාහරණයේදී මම කියපු ගෙදර තමයි අපේ ශරීරය හැදිලා තියෙන පුංචිම පුංචි ඒකකය වන සෛලය. සෛලයේ තියෙන දොරටු අරින යතුර තමයි ඉන්සියුලින් කියන හෝමෝනය. ඉතිං ඉන්සියුලින් කියන යතුර නැතිනම් හෝ ඒ යතුරට ගැලපුන යතුරු කට වෙනස් වීමකට ලක් වෙලා නම් ඉන්සියුලින් යතුර සෛලය මත නියමාකාරයෙන් ක්‍රියා කරන්නේ නැතුව යනවා. එතකොට මොකක් වෙයිද? රුධිරයේ ඇති ග්ලුකෝස් සෛලය ඇතුලට අරගෙන දහනය කරන්න බැරි වෙනවා. එතකොට අපිට එදිනෙදා වැඩ කරගෙන යන්න අවශ්‍ය ශක්තිය නිපදවා ගන්න බැරිවෙනවා. සෛල තුල සිදුවන ග්ලූකෝස් දහනය කර ශක්තිය නිපදවීමේ මෙම ක්‍රියාවලිය අඩපණ වීම නිසා හටගන්නා තත්වය දියවැඩියාව ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ දියවැඩියාව කෙනෙකුට හැදෙන්න ප්‍රධානම හේතුව තමයි ඉන්සියුලින් හෝමෝනය නිසි පරිදි ශරීරය තුළ ක්‍රියාත්මක නොවීම.
මේ විදියට කල්පනා කරලා බැලුවම කෙනෙකුට දියවැඩියාව හැදෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා.
1. පළවෙනි ආකාරය තමයි ප්‍රමාණවත් ඉන්සියුලින් ප්‍රමාණයක් ශරීරය තුළ නිෂ්පාදනය නොවීම. ඉන්සියුලින් හෝමෝනය නිෂ්පාදනය කරන්නේ අපේ අක්මාවට පිටුපසින් තියෙන අග්න්‍යාශය නමැති ග්‍රන්ථිය. ප්‍රමාණවත් ඉන්සියුලින් ප්‍රමාණයක් ශරීරය තුළ නිෂ්පාදනය නොවීම නිසා ඇතිවන දියවැඩියාව පළමු වර්ගයේ දියවැඩියාව හෙවත් Type 1 Diabetes යනුවෙන් හඳුන්වනවා. මෙම වර්ගයේ දියවැඩියාව වැළඳෙන්නේ වයිරස් ආසාදනයක් නිසා අග්න්‍යාශයේ ඉන්සියුලින් නිෂ්පාදනය වන සෛල විනාස වීම නිසා ප්‍රමාණවත් පරිදි ඉන්සියුලින් නිෂ්පාදනය කිරීමට අග්න්‍යාශයට නොහැකි වීම නිසාය. මෙය ඉතා කලාතුරකින් සිදුවන තත්ත්වයක්. වයස් භේදයකින් තොරව ඕනෑම වයසකදී මෙවැනි තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්.
2. දියවැඩියාව සෑදෙන දෙවෙනි ආකාරය තමයි ප්‍රමාණවත් පරිදි අග්න්‍යාශයෙන් ඉන්සියුලින් ප්‍රමාණයක් නිෂ්පාදනය කළත් ඒවා නිසි පරිදි සෛල මත ක්‍රියාත්මක නොවීම. ඒ කියන්නේ යතුරු තියෙනවා. ඒත් යතුරු කටේ වෙනස් වීමක් නිසා යතුරු තිබුණාට දොර ඇරෙන්නෙ නැහැ. මේ ආකාරයට හැදෙන දියවැඩියාව Type 2 diabetes නමින් හඳුන්වනවා. මේ ආකාරයෙන් ඇතිවන දියවැඩියාව හේතු කිහිපයක් නිසා ඇතිවෙන්න පුළුවන්. අහිතකර ආහාර රටාවන්, තරබාරුකම, ව්‍යායාම මදිකම, මධ්‍යසාර භාවිතය, දුම්පානය, අධික මානසික ආතතිය, පරම්පරාගත ජානමය හේතු, වයසට යාම වැනි කරුණු මේ තත්ත්වය ඇති වීමට බලපානවා. සමාජයේ අපි බොහෝ විට දකින්නේ, මෙන්න මේ ආකාරයට වැළඳෙන Type 2 දියවැඩියා තත්ත්වයයි.
මොන ආකාරයේ දියවැඩියාවක් හැදුනත් රුධිරයේ තියෙන සීනි සෛල තුළට ලබා ගැනීමට අපහසු වන නිසා රුධිරයේ සීනි මට්ටම ඉහළ යනවා. මේක එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි. "ඕනම දෙයක් ඕනෑවට වැඩිය ඕනේ නැහැ" කියනවා වගේ රුධිරයේ සීනි නියමිත මට්ටමට වඩා වැඩි වුණොත් ගැටලු රැසක් ඇති වෙනවා.
ඇතිවන එක ගැටලුවක් තමයි රුධිරයේ එකතු වුණු මේ වැඩි සීනි ප්‍රමාණය මුත්‍රා සමග ශරීරයෙන් ඉවත් කිරීමට සිදුවීම. සාමාන්‍යයෙන් මුත්‍රා සමග සීනි ශරීරයෙන් ඉවතට යන්නේ නැහැ. නමුත් දියවැඩියාව තත්ත්වයේදී රුධිරය තුළ ඉහළ ගිය සීනි මට්ටම පාලනය කිරීමට මුත්‍රා සමග සීනි ශරීරයෙන් ඉවතට බැහැර කිරීමට කටයුතු කරනවා. මේ රාජකාරිය පවරන්නේ වකුගඩු වලට. අධික සීනි ප්‍රමාණයක් ඇති රුධිරය වකුගඩු වලට හානිදායකයි. වකුගඩුවල මුත්‍රා පෙරන නාල වල ඇති සෛල වලට මෙම අධික සීනි සාන්ද්‍රණයක් සහිත රුධිරයෙන් හානි පැමිණෙනවා. මීට අමතරව වෙනදට වඩා වැඩි වේගයකින් වැඩි මහන්සියකින් වකුගඩු ක්‍රියාත්මක වෙනවා ලේ වල තියෙන මේ වැඩි සීනි ප්‍රමාණය මුත්‍රා සමග පිට කරන්න. මෙන්න මේ හේතු සියල්ලේ එකතුවක් නිසා තමයි දියවැඩියාව තියෙන අයගේ වකුගඩු ඉක්මනින්ම නරක් වෙන්නේ. නැත්තං අකර්මණ්‍ය වෙනවයි කියන්නේ. දැන් ඉතින් පැහැදිලියිනේද රුධිරයේ සීනි නිතරම ඉහළ මට්ටමක පවතින නිසා දියවැඩියා රෝගීන්ට ඉක්මනින්ම වකුගඩු ලෙඩ හැදෙන්න පුළුවන් කියන එක.
ඒ විතරක් නෙවෙයි අධික සීනි ප්‍රමාණයක් ලේ වල තියෙනකොට ඒක වකුගඩුවලට වගේම කුඩා ලේ නහර තිබෙන ඇස් සහ ස්නායු වලටත් බලපානවා. ඇසේ පිටුපස ඇති දෘෂ්ටිවිතානයේ කුඩා ලේ නහර විනාශ වීම නිසා ඇස් අන්ධ වෙනවා. ස්නායු වලට ලේ සැපයුම දෙන කුඩා නහර විනාශ වීම නිසා ස්නායු අකර්මණ්‍ය වී කකුල් අතපය වල හැඟීම් දැනීම් නැති වී යනවා.
මීට අමතරව ශරීරයේ ලොකු ලේ නහර අවහිරීම තුළින්, හෘදයාබාධ, අංශභාගය ඇතිවෙන්නත් පුළුවන්. ඒ වගේම අපේ ශරීරයේ අනෙක් අවයව වලට ලේ සැපයුම සපයන ලේ නහර අවහිරවීම නිසා තවත් බොහෝ ගැටලුකාරී රෝග තත්ත්ව වලටත් මුහුණ දීමට සිදුවෙනවා. මීට අමතරව ලේ වල සීනි ප්‍රමාණය වැඩි වන අවස්ථාවලදී අපේ ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල වීම නිසා තුවාල සුව වීම ප්‍රමාද වීම් වගේම එම තුවාල උඩු දිවීම නිසා අත් පා අහිමිවීම් වෙන්නත් පුළුවන්. සමහර විට ජීවිතය නැති වෙන්නත් පුළුවන්.
බලන් ගිහාම දියවැඩියාව අපේ ශරීරයේ හැම ඉන්ද්‍රියකටම වගේ බලපාලා අපිට නොදැනීමම අපිව විනාශ කරනවා. දියවැඩියාවට කියන්නේ සයිලන්ට් කිලර් (silent killer) කියලා. අපි දන්නෙත් නැතුව අපිව හෙමින් හෙමින් මරල දාන දියවැඩියාව හිතනවාට වැඩිය භයානකයි. ඉතින් දෙයියනේ අපි මේකට මොකද කරන්න ඕනේ? ඔක්කෝටම කලින් අපි දැනගන්න ඕනේ දියවැඩියාව රෝගී තත්ත්වය අපේ ඇඟ තුළ තියෙනවද? නැද්ද ? කියලා.
ඔබට දියවැඩියාව වැළදිලා නම් පහත රෝග ලක්ෂණ තියෙන්න පුළුවන්. 1-මුත්‍රා නිතර නිතර පහවීම 2-අධික තිබහක් දැනීම.3-බර අඩුවීම/ඇඟ කිට්ටුවීම 4-ඇඟපත මහන්සි ගතිය/පණ නැති ගතිය දැනීම. ඉතිං කොහොමද අපිට දියවැඩියාව තියෙනවද කියලා හරියටම දැනගන්නේ?
රුධිර පරීක්ෂණ මගින් ඔබට දියවැඩියාව වැළඳී ඇද්ද? නැද්ද? යන්න සොයාගන්න පුළුවන්. දියවැඩියාව වැළඳී ඇති බව ස්ථිර වශයෙන් දැන ගැනීම සඳහා පැය 8 ක් නිරාහාරව හිඳීමෙන් පසුව රුධිරයේ ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කළ යුතුයි. මේ පරීක්ෂණය හඳුන්වන්නේ නිරාහාර සීනි පරීක්ෂණය හෙවත් ෆාස්ටින් බ්ලඩ් ෂුගර් (Fasting Blood Sugar - FBS) ටෙස්ට් කියලා.
නිරෝගී පුද්ගලයෙකුට මෙහි අගය 100mg/dl වඩා අඩු විය යුතුයි. ඔබේ FBS පරීක්ෂණයේ අගය 100-126 අතර නම් ඔබට ඉදිරියේදී දියවැඩියාව වැළඳීමේ අවධානම වැඩියි. ඉතින් මේ වගේ ප්‍රතිඵලයක් ඔබට ලැබුණොත් ඉදිරියේදී දියවැඩියාව ඇති නොවීමට ඔබගේ චර්යාව කෙසේ සකස් කරගත යුතුද? යන්න දැනගැනීමට වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබාගත යුතුයි. අපි මුලින් සඳහන් කරපු ඇඟ කෙට්ටු වීම, අධික පිපාසය, නිතර නිතර මුත්‍රා පිටවීම වැනි රෝග ලක්ෂණ පෙන්වන කෙනෙක්ගේ FBS පරීක්ෂණයේ අගය 126 mg/dl වඩා වැඩි නම්, එම පුද්ගලයා දියවැඩියා රෝගියෙකු ලෙස හඳුනාගන්නවා. එවිට ඔහු දියවැඩියා ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි. මේ ප්‍රතිකාර ,ඖෂධ ප්‍රතිකාර ලෙස හෝ ඔබේ ව්‍යායාම/ ආහාර රටාවේ වෙනස් කිරීම් ලෙස ඔබට ලබාදෙයි. තවත් රුධිර පරීක්ෂණයක් තියෙනවා මාස තුනක් තිස්සේ ඔබගේ රුධිරයේ ග්ලුකෝස් මට්ටම නිවැරදි ලෙස පාලනය වුණාද? නැද්ද? කියලා හොයා බලන්න. ඒ පරීක්ෂණය HbA1C ලෙස හඳුන්වනවා. මේ පරීක්ෂණය කරන්න නිරාආහාරව ඉන්න අවශ්‍ය නැහැ. මේ පරීක්ෂණයේදී බලන්නේ අපේ රුධිරයේ ඇති රතු රුධිර සෛල මත ඇලී තිබෙන ග්ලුකෝස් සීනි ප්‍රමාණයයි. රුධිරයේ සීනි හරියට පාලනය වුනේ නැතිනම් රුධිරයේ ඇති වැඩි සීනි රතු රුධිර සෛල මත ඇති ප්‍රෝටීන් වලට ගිහින් ඇලෙනවා. එහෙම ඇලුණු සීනි ප්‍රමාණය ප්‍රතිශතයක් විදිහට මේ පරීක්ෂණයෙන් අපට දක්වනවා. රතු රුධිර සෛලයක ජීව කාලය මාස තුනක් පමණ වන නිසා මෙම රතු රුධිර සෛල මත රැඳුනු සීනි වලින් මාස තුනක පමණ කාලයක් තුළ රුධිරයේ සීනි පාලනය පිළිබඳ තොරතුරු ලබා දෙනවා. මේ පරීක්ෂණයේ අගය 5.7% වඩා අඩු නම් එම පුද්ගලයා දියවැඩියාවෙන් තොර නීරෝගී කෙනෙක් විදිහටයි හඳුනා ගන්නේ. එහි අගය 6.5% හෝ ඊට වඩා වැඩි නම් එම පුද්ගලයා දියවැඩියාවෙන් පෙළෙන කෙනෙකු ලෙස වෛද්‍යවරුන් හඳුනා ගන්නවා. HBA1C පරීක්ෂණ වාර්තාව 5.7% - 6.5% අතර නම් දියවැඩියාව ඔබට වැළඳීමේ අවදානමක් තිබෙනවා. ඒ නිසා ඔබ පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් ඔබට දියවැඩියාව තියෙනවද? නැද්ද ?නැත්නම් අවදානමක් තියෙනවද? කියලා සැකයක් තියෙනවා නම් නරකද ඉක්මනින්ම FBS එකත් එක්ක HbA1C පරීක්ෂණයක් කරගත්තොත්.