01/08/2023
සෙම් දෝෂය වැඩිවුනාම වෙන දේ…
👩⚕ වාත අමාරු ගැන නිතරම කතා කරන නිසා සෙම් අමාරු එහෙම නැත්නම් සෙම් රෝග ටිකක් ගැන අද කතා කරන්න හිතුවා.
👩⚕ සෙම් දොස ට ආයුර්වේදයේ කියන්නේ කඵ දෝෂය කියලා. ස්වභාවයෙන්ම මේ සෙම් දෝෂය, තෙත් ගතිය යුත් අර්ධ ඝන ස්වභාවයෙන් යුක්ත දෙයක් ලෙසට ආයුර්වේදයේ කියා තිබෙන්නේ.
👩⚕ මේ නිසා සෙම වැඩිවුනාම ආහාර දිරවීම, බඩගින්න අඩු කරනවා. ඒ වගේම අලසකම, කම්මැලිකම ඇති කරන්නෙත් මේ සෙම් දෝෂය. Physical Inactivity, ක්‍රියාකාරීත්වය අඩුකම , කම්මැලිකම කඵ දෝෂය වැඩි කෙනාගේ ලක්ෂණ වනවා. ඒ වගේම ඔබ අත්දැකලා ඇති ඔලුව බරයි, නාසය බරයි ඒ විතරක් නෙමෙයි, අතපය වුනත් බර ගතිය ඇතිවනවා මේ සෙම වැඩිවුනා ම. සම ගත්තොත් සුදු පැහැය, පාණ්ඩු පාට ඒ වගේම සීතල ගතිය දැනෙන්න පුලුවන්.
👩⚕ විශේෂයෙන්ම අපි හැමෝම දන්නවා හුස්ම ගන්න අමාරු ගතිය , කැස්ස, හතිය, දීර්ඝකාලීනව තිබෙන පපුවේ සෙම ගතිය සෙම් දෝෂයත් එක්ක නිරායාසයෙන් ම බැඳිලා තිබෙන බව. Respiratory tract එහෙමත් නැත්නම් ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග බොහෝමයක් සෙම ට සම්බන්ධ යි. නිතර නිතර කැස්ස එහෙම හැදෙනවා නම් ඒ සෙම නිසා වෙන්න පුලුවන්. තල්ල, උගුරේ සෙම ගතිය හිර වුනු ගතිය, නාසය හිර ගතිය, sinusitis රෝග තත්ත්ව මේ අතර විශේෂ යි.
👩⚕ ඒ වගේම නිදිමත.සෙම් දෝෂය වැඩි වුනා ම අපිට නිදිමත ගතිය වැඩි වෙනවා. සම පිළිබඳව ගත්තොත් තෙල් සහිත ස්වභාවය, කැසීම වැනි ලක්ෂණ එන්න පුලුවන්.
👩⚕ අපේ සිරුරේ ක්‍රියාකාරීත්වය තුළ හරිම සියුම් යාන්ත්‍රණ තිබෙනවා. සිරුර තුල දේවල් එහා මෙහා ගෙනියන්න පෙනන නොපෙනන මට්ටමේ විවිධ පරිවහන මාර්ග තිබෙනවා. ඒවා 'ස්‍රෝතස්' කියා යි ආයුර්වේදයේ කියා තිබෙන්නේ. ( Body Channels) . ඉතින් මේ සෙම් දෝෂ වැඩි වුණාම කලින් කීව පිටතින් පෙනන ලක්ෂණ වගේම ශරීර අභ්‍යන්තරයෙන් මේ body channels block කරන්න පුලුවන්. මෙතන දී සෙම කියන්නේ අපි දන්න සෙම් සොටු පමණක් නෙමෙයි. අවරෝධය ඇති කරන පදාර්ථ සියල්ල ම වගේ සෙම් දෝෂයට සම්බන්ධ යි.
👩⚕ උදාහරණයක් විදියට නාල වල ඇතිවන අභ්‍යන්තරවයේ ඇතිවල අවරෝධ , මේදෝ වෘද්ධිය නිසා ඇතිවන නාල අවරෝධ තත්ව, මේ වගේ තත්ව වලදි ත් මේ සෙම් දෝෂය සමබන්ධතාවක් පවතිනවා. ඒ වගේම සමහර රෝගීන් කියනවා, ඩොක්ටර් මගේ හන්දි හරියට තෙත රෙදදකින් ගැට ගහලා වගේ කියලා. උදාහරණයක් වශයෙන් Rheumatoid Arthritis තත්ත්වයේ දී මේ වගේ ලක්ෂණ එන්න පුලුවන්.
👩⚕ ඒ වගේම ශරීරයේ විවිධ ස්ථානවල ඇතිවන්න පුලුවන් ඉදිමුම් තත්ව. ගොඩක් වෙලාවට fluid accumulation එකක් වෙන්න පුලවන් . එහෙමත් නැත්නම් තද ගල්වුණු ස්වාභාවයකින් යුක්ත ඉදිමුමක් වෙන්නත් පුලුවන්.
👩⚕ සෙම වැඩිවුනාම ආහාර ජීර්ණය සම්බන්ධයෙන් වෙන්නේ මොකක්ද. කටේ පැණි රස ගතිය, කටේ යමක් බැඳිලා වගේ දැනීම වගේ ලක්ෂණ දැනෙන්න පුලුවන්. බඩගින්න අඩුකම, ආහාර රුචිය අඩුකම ත්, ආහාර දිරවීමේ අපහසුතාව සෙම නිසා ඇතිවනවා.
👩⚕ ශරීරයේ බර වැඩි වීම, දියවැඩියාව තත්ත්වය වැනි රෝග සඳහාත් මේ සෙම් දෝෂය සම්බන්ධ යි.
👩⚕ මානසික කාරණා සම්බන්ධයෙන් සැළකූ විට කලකිරීමෙන් ගතකරන ස්වාභාවය මේ පුද්ගලයන් ගේ වැඩි යි. Depress වීමට ඇති ඉඩකඩ වැඩි බවක් තිබෙනවා. ඇඳෙන් නැගිටින්නත් කම්මැලි ස්වාභාවය, උදාසීන කම වැනි ගති ස්වාභාවයන් වැඩි යි.
👩⚕ ආයුර්වේදයේ දී මොනවද අපි සෙම වැඩි වුන අවස්ථාවට දෙන උපදෙස් හා ප්‍රතිකාර. මෙහි දී අපි උපදෙස් දෙන්නේ රූක්ෂ ආහාර පාන, සැහැල්ලු, ඒ වගේම උණුසුම් ආහාර පාන ලබා ගැනීම. උදා.ඉඟුරු මිශ්‍ර උණු තේ එකක්. කැඳ වර්ග, උණුසුම් පාන වර්ග, මී පැණි තිප්පිලි ගම්මිරිස් වැනි කටුක දෑ සේවනය, මේදය නසන ආහාර පාන , උපවාස එහෙම නැත්නම් fasting වැනි ක්‍රම සෙම් දෝෂය සමනය කරනවා. පැණි රස ආහාර වර්ග, තෙල් සහිත ආහාර, පිෂ්ඨය වැඩි ආහාර සෙම වැඩි කරන නිසා ඒවායින් ඈත් විය යුතු යි.
👩⚕ ආයුර්වේද ප්‍රතිකාර ලෙස අභ්‍යන්තර ව කසාය වර්ග ඇතුළු විවිධ බෙහෙත් යොදන අතර පංචකර්ම ලෙසින් සෙමට වමන කර්මය විශේෂ වෙනවා . ඒ වගේම විරේචනය, වගේම හිසේ රෝග සඳහා විශේෂයෙන්ම බලපාන නස්‍ය කර්මත් මේ සඳහා බොහෝ විට යොදනවා.
👩⚕ එදිනෙදා ජීවිතයේ දී නම් නිතර මද මඳ උණුසුම් ජලය පානය කිරීම, හොඳින් මුඛය සිදුකිරීම, හොඳින් ව්‍යායාම කිරීම වැනි එදිනෙදා චර්‍යා සම්බන්ධයෙන් ආයුර්වේදයේ දක්වා ඇති කාරණා සෙම අඩුකරන්න සමත් වෙන බව කියන්න පුලුවන්.