12/12/2023
“සෙම” ගැන දැනුවත් වෙන්න.
සෙම කියන්නේ මොනවද? හැදෙන්නේ කොහොමද? තියෙන්නේ කොහෙද? කියල ආයුර්වේදය පැත්තෙන් යම් සාධාරණ පැහැදිලි කිරීමක් කරන්න ඕනේ කියල හිතුන. “සෙම” කියන්නේ “ශ්ලේෂ්මල” කියන සංස්කෘත වචනය පාලියට සෙම්හ වෙලා ඒකෙන් හැදිච්ච සිංහල වචනයක්. එතකොට ශ්ලේෂ්මල කියන්නේ ආයුර්වේදයේ දැක්වෙන වා. පිත්, සෙම් කියන තුන් දොසින් එකක්. තුන් දොස් කිව්වට මේ තුන දොස් හෙවත් “දෝෂ” බවට පත්වෙන්නෙ යම් හේතුවකින් දූෂණය වුණොත්. නැති නම් ඒවා “ධාතු” ලෙස ශරීරය ආරක්ෂා කිරීමට හේතුවෙන ප්‍රධානතම සාධක තුන. එසේම ඒවා යම් විටෙක ප්‍රයෝජනයට ගත නොහැකි අපද්‍රව්‍ය ලෙස සිරුරෙන් බැහැර කරන්න වුණාම ඒවාට “මළ” කියනවා.
එතකොට මේ සෙම කියන පදාර්ථයත් මේ අවස්ථා තුන නිරූපණය කරනවා. යම් විටෙක ශරීරය ආරක්ෂා කරනවා. තවත් අවස්ථාවක ශරීරයේ සමතුලිතතාව වෙනස් කිරීමෙන් රෝග වලට හේතුවෙනවා. තවත් අවස්ථාවක ශරීරයෙන් බැහැර කළ යුතු වෙනවා. අපි සාමන්‍ය ව්‍යවහාරයේ දී සෙම ලෙස දකින්නෙ මේ ඉවත් කළ යුතු බැහැර කළ යුතු සෙම් පදාර්ථයේ ස්ථූල රූපය හෙවත් ඇසට පෙනෙන, අල්ලන්න පුලුවන් ස්වරූපය. එහෙම නැත්තං අපිට පපුවේ, උගුරේ, නාසයේ, ආදී වශයෙන් දැනෙන සෙම් පදාර්ථය ඒ විදියේ බැහැර කළ යුතු මළ කොටසක්. ආයුර්වේදය අනුව නස්‍ය කර්ම හා වමන කර්ම මගින් මේ සෙම ඉවත් කරන්න පුලුවන්.
අර මුලින් කියපු ධාතුභූත ශ්ලේෂ්ම පදාර්ථය හෙවත් සිරුර රකින සෙම ශරීරයේ සෑම සෛලයකම තියෙන ඉතා වටිනා අත්‍යවශ්‍ය දෙයක්. එය කෙළින් ම සෛල තුළ තියෙන ජලීය පදාර්ථ වගේම සිරුරේ ප්‍රතිශක්තියට අවශ්‍ය පදනම දෙන ශක්තියක්. සිරුර තුළ සංවේදන වගේම සංනිවේදන තරංග ගමන් කරන මාධ්‍යයත් සෙම මත නිර්මාණය වන්නෙ. ශ්ලේෂමල කියන වචනයේ මූලය එකිනෙකට බැඳ තබන ආකර්ෂණය කරන හෝ යම් පදාර්ථයක් නොවිසිරී තිබීමේ ශක්තිය කියන අර්ථය. එනිසා අපේ ශරීරයේ පටක වල පෝෂණය, සියුම් හැඩය, ආදී වැදගත් කරුණු සෙම් පදාර්ථය සමඟ සම්බන්ධයි. එපමණක් නොව හෝමෝන, එන්සයිම ආදියේ නිසි ක්‍රියාකාරිත්වයට අවශ්‍ය තරලමය ජෛවරසානික සමතුලිතතාව ද පවත්වා ගන්නේ සෙම නිසා.
එනිසා සෙම සිරුරේ බලය බව ආයුර්වේදයේ කියවෙනවා. සෙම සමතුලිතව තිබෙන තාක් එහි නිසි ක්‍රියාව සිදුවෙනවා. සෙම කිපෙනවා කියන්නේ එය අසමතුලිත උනාම. මේ සෙම කිපෙන්න ඉස්සෙල්ල ක්‍රමයෙන් ඊට හේතුවන සාධක වලට සිරුර නිරාවරණය වෙමින් කාලයක් තිස්සේ එහි කිපීමට අවශ්‍ය පරිසරය සකස් වෙනවා. ඒක අපිට තේරෙන්නේ නැහැ. හැබැයි රෝග ලක්ෂණ එළියට එනකොට තමයි අපිට දැනෙන්නේ. පීනස, ඇදුම වගේ ප්‍රකට රෝග වගේම සිරුර තුළ නොයෙකුත් අසාධ්‍ය රෝග තත්වයන් ද නිර්මාණය කරන්න කිපුණු සෙම හේතු වෙනවා. මෙහි තිබෙන ඇලෙන සුළු, එකට බැඳෙන, අවහිර කරන ගති නිසා අනෙක් දෝෂ දෙක සමඟ එකතු වෙලා පිළිකා වැනි රෝගාබාධ පවා හැදෙන්න මුල් වෙනවා. සමහර විට සියුම් නාල අවහිර කිරීම මගින් ක්‍රමයෙන් ඇති වී බරපතල තත්වයට පත්වී නොයෙකුත් අන්දමේ කල් පවතින රෝග ඇති කරන්නට පුළුවන්.
ආයුර්වේදයේ මූලික සෙම් රෝග 20 ක් සඳහන් වුණත් නොයෙකුත් රෝග වල සෙම නිසා ඇති වන ප්‍රභේද තියෙන්න පුළුවන්. සෙම එක එක අයගේ සිරුරු වල පවතින තත්වය විවිධාකාරයි. උපතින්ම සෙමට නැඹුරු ප්‍රකෘතියක් ඇති අය මෙන්ම සෙම අවම අයත් සිටිනවා. අනික් කාරණය සෙම වඩවන මෙන්ම සෙම අඩු කරන ආහාර පාන වර්ග ආයුර්වේදයේ පොදුවේ කියා තිබෙනවා. සීතල කෑම උෂ්ණ කෑම කියල වර්ග කරන්නේ පොදු සම්මතයේ දී. එහෙත් ඒවා සියලු දෙනාටම එකසේ ගැලපෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා තමයි වෛද්‍යවරයා විසින් පුද්ගල ප්‍රකෘතිය තේරුම් ගැනීමෙන් ඒ ඒ අයට ගැලපෙන ආහාර පාන නියම කිරීම සිදුවෙන්නේ. ඒ වගේම සෙම් රෝගයකට ප්‍රතිකාර කිරීමේදී රෝගියාට ගැලපෙන ආහාර පාන (පත්තියම්) නියම කරන්නෙත් රෝගියා ගේ තත්වය අනුව.
සෙම් ගතිය පිටින් තිබුණට ඒක හරියටම සෙම රෝගයක් කියල නිගමනය කරන්න බැහැ. ඒකට යම් වෛද්‍යමය දැනුමක් අවශ්‍යයි. සමහරු පීනස වගේ තත්වයක් තියෙන කොට ඒක සෙම නිසා ඇති වුණු රෝගයක් කියලා තමන් ම රෝග විනිශ්චය කරල බේත් බොනවා. අනිත් අයට බෙහෙත් කියනවා. එහෙත් රෝගයට හේතුව සෙම නොවෙන්න පුළුවන්. අපේ ප්‍රතිශක්ති පද්ධතියේ සමහර ස්වයංසිද්ධ ප්‍රතික්‍රියා නිසා සෙම නිපදවෙනවා. එය සමහර විට සිරුර ආරක්ෂා කිරීමේ උපක්‍රමයක් ද විය හැකියි. එය ප්‍රවේශමෙන් තේරුම් ගත යුතුයි. ඒ වගේම නරක් වුණු සෙම රෝගකාරක ක්ෂුද්‍ර ජීවින් වර්ධනය වෙන්න හොඳ උපස්තරයක්. හරියට කුණු ගොඩේ පණුවෝ හැදෙනවා වගේ. සෙම කියන්නේ අපේ ශරීරයේ පැවත්මට අතවශ්‍ය දෙයක්. කිපීම නිසා රෝග ඇති කරන දෙයක්. ඒ වගේම නරක් වුණොත් සිරුරෙන් බැහැර කළ යුතු දෙයක්.
තේනුවර මහතා ගෙ කොමෙන්ට්ටුවක් නිසා මෙයට තවත් ඉතා වැදගත් කොටසක් එකතු කිරීමට හිතුණා. අපේ ශරීරය යන්ත්‍රයක් වගේ දිවා රෑ ජීවිත කාලයම වැඩ කරනවා. ඒ ක්‍රියාකාරිත්වය ඉන්ද්‍රිය මට්ටමෙන් පටක මට්ටමෙන් සෛල මට්ටමෙන් සිදුවන දෙයක්. ඉතා සියුම් ක්‍රියාවක් වුවත් එමගින් යම් උෂ්ණත්වයක් නිපදවනවා. එම උෂ්ණත්වය නිසි පාලනයකින් පවත්වා ගන්නේ සෙම තුළ ඇති ශීත ගුණය මගින්. එසේම ජීවයේ පැවැත්මට අවශ්‍ය උෂ්ණත්වය හා ආහාර දිරවීමේ ක්‍රියාවලිය මෙන්ම ආහාර වල සංඝටක වඩා සියුම් අංශු වලට වෙන් කිරීමට අවශ්‍ය වන ශක්තිය තුලනය කරන්නේ සෙම මගින්.
එසේම වකුගඩු, අක්මාව, පෙනහළු, හෘදය, මොළය වැනි ප්‍රධාන ඉන්ද්‍රියන් හි ජීව ගුණය පවත්වා ගැනීමේ තරල මාධ්‍යය සපයන්නේ සෙම ය. පරිසරය හා තුන් දොස අතර ඇති සම්බන්ධය සැලකීමේ දී චන්ද්‍රයා ගෙ සෞම්‍ය ගුණය සෙමෙ නිසා සිරුරේ ඇතිවෙන බව සඳහන් ය. සෙම් කිපීම් පුර පක්ෂයේ සඳ මෝරන විට වෙනස් වන අයුරු ද බොහෝ අයගේ අත් දැකීමකි. එසේම සෙම් රෝග හා සමේ ස්‍රාව සහිත කැසීම් ඇති වීමේ සබඳතාවක් ඇත. ඒ අනුව සෙම ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය ජීව පදාර්ථයක් බවත් එය අසමතුලිත වූ විට රෝගකාරක බවත් පෙනේ.
වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා