Psyche

Psyche 🌹🌹 Welcome to Psyche! 🌹🌹

Your space for mental wellness and support. Our mission is to empower you with the tools for personal growth and emotional resilience.

Join us on the journey to a healthier mind and a happier you! ❤❤🙏🙏

16/10/2024
12/10/2024

නිතරම කොන්ෆිඩන්ස් නැති නිසා ප්‍රශ්න ද .. ඔයාට ඔයා කෙරෙහි කිසිම විශ්වාසයක් නැති ද...

" ආත්ම විශ්වාසය " ගොඩනඟා ගන්න මේ විදියට ක්‍රියාත්මක වෙන්න ...!

1. Practice Positive Self Talk ( පොසිටිව් සෙල්ෆ්ටෝක් පුහුණුවෙන්න )

- ඒ කියන්නේ ඔයා ඔයාට ඇහෙන්න ඔයත් එක්ක ධනාත්මක සංවාද අරගෙන යන්න. ඔයා ඔයාට ඇහෙන්න ධනාත්මක ස්වයං යෝජනා කියන්න. ඔයා ඔයාගේ හොඳම දිරිගන්වන්නා වෙන්න.

උදාහරණයක් : නිතරම ඔයා ඔයාට ඇහෙන්න මෙහෙම කියන්න.
' මට පුළුවන් ! මම මාව විශ්වාස කරනවා ! '

2. Set Goals ( අරමුණු ඉලක්ක ගොඩනගා ගන්න )

- ඔයාගේ ජීවිතයට අරමුණක් තියෙන කොට ඔයාට ඔයා කෙරෙහි ලොකු විශ්වාසයක් ඇතිවෙනවා
ඒවගේම අරමුණක් සහ ඉලක්කයක් ජීවිතයට තියෙන කොට ඔයා කෙරෙහි විශ්වාසය නැතත් ඒ ඉලක්කයන් නිසාම ඔයා තුළ ටිකෙන් ටික විශ්වාසය සහ ඒ ඉලක්කවලට යාමට ශක්තිය නිපදවෙනවා.

3.Dress To Impress ( ලස්සනට ආකර්ෂණීය විදියට අඳින්න )

- ඔයාගේ ඇඳුම ඔයාට ඔයා කෙරෙහි ඇති විශ්වාසය වැඩි කරන්නට ලොකු හේතුවක්. ලස්සනට ඇඳගෙන යන දවස් වලට ඔයාට දැනිලා ඇති ලොකු පහසුවක් සහ ඕන කෙනෙක්ට මුහුණ දෙන්නට ලොකු ශක්තියක්. ඉතින් ඔයාට ගැලපෙන විදියට ඔයාට ගැලපෙන පාටින් ඇඳුම් අඳින්න හුරුවෙන්න. නිතරම අවස්ථාවට ගැලපෙන හොඳම විදියට ඇඳුම් අඳින්න.

4. Perfume ( සුවඳ විලවුන් )

- තමන්ට තමන් කෙරෙහි විශ්වාසය ඇති කර ගැනීමට උදව් කරන තවත් දෙයක් තමයි සුවඳ විලවුන්. ඉතිං ගමනක් යන්න කලින් වගේම නිතරම ඔයා තුළ හොඳ සුවඳක් පවත්වා ගන්න.

5. Learn Something New ( නිතරම අලුත් දෙයක් ඉගෙන ගන්න )

- නිතරම අලුත් දේවල් ඉගෙන ගන්න. අලුත් විෂයක්, අලුත් ස්කිල් එකක් , අලුත් භාෂාවක් ඉගෙන ගන්න. විශේෂයෙන්ම භාෂාව කියන දේ ඔයාට ඔයා තුළ ඇති විශ්වාසය දිගුණ තෙගුණ කරන්නට උදව් වෙන අපූරු හැකියාවක්..

6. Take care of Yourself ( ඔයා ඔයාව බලා ගන්න )

- නිතරම ඔයා ඔයාව බලාගන්න. ඔයාගේ සම කොණ්ඩය නියපොතු මේ හැම දෙයක්ම ආදරයෙන් බලා ගන්න. නිතරම ඔයාව පිරිසිදුව තබා ගන්න. නිතරම ඔයාව ලස්සනට තියාගන්න. ඉතින් ඔයාටම වෙන් වුණු හොඳ රූටීන් එකක් ඔයාගේ රූපය වෙනුවෙන් පවත්වාගෙන යන්න.

7. Speak Up ( අවශ්‍ය වෙලාවට කතා කරන්න )

- කතා කිරීමට අවශ්‍ය විටදී කතා කරන්න. අදහස් ප්‍රකාශ කරන්නට බයවෙන්න එපා. ඒ වගේම මේ විදිහට ඔයාට කතාකරන්න බය නම්, ටිකෙන් ටික ටිකෙන් ටික එම හැකියාව වැඩිදියුණු කරගන්න.
එම හැකියාව වැඩිදියුණු කරගන්න ඔයාට මං පුංචි ටිප්ස් ටිකක් දැන්ම කියන්නම්..

* පුංචි සංගමයකට බැඳෙන්න. ඒ කියන්නේ මිනිස්සුත් එක්ක එකට එකතු වෙලා කතා කරන්න / වැඩ කරන්න පුළුවන් ක්ලබ් එකකට ජොයින් වෙන්න. උදාහරණයක් විදිහට ලියෝ ක්ලබ් එක. මේ වගේ සමාජයකට එකතු උනාම ඔයාට අවශ්‍ය තැන කතා කරනවා වගේ ස්කිල්ස් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ පෞරුෂත්වයට අදාල ගොඩක් හැකියාවන් මේ වගේ තැන්වලදි හදාගන්න පුළුවන්.

8. Surround Yourself With Positive People
( ධනාත්මක මිනිසුන් ආශ්‍රය කරන්න )

- ඔයාට ධනාත්මක අදහස් ආකල්ප දෙන මිනිස්සුන්ව පමණක් ආශ්‍රය කරන්න. ඔයාට අනවශ්‍ය පීඩනයක් දෙන ටොක්සික් මිනිස්සුන්ව දෙපාරක් නොහිත ඈත්කරන්න. නිතරම ඔයාව විවේචනය කරමින් ඔයාට ඔයා කෙරෙහි ඇති විශ්වාසය බිඳවන කෙනෙක්ව ඔයා ළඟ තියාගන්න එක ඔයා ඔයාටම කරන ලොකු අසාධාරණයක්.

9. Face Your Fears ( ඔයා බය දේවල් වලට මුහුණ දෙන්න )

- ඔයා තුළ සැඟවිලා තියෙන ඔයා බිය දේවල්වලට මුහුණ දෙන්න. දන්නවද මං කාලෙකට කලින් හරිම බයයි කෙනෙක්ට විරුද්ධව මතයක් ප්‍රකාශ කරන්න. ඉතිං මම ඒක නොකර ගොඩක් තැන්වලදි අසරණ වෙලා තියෙනවා. ඒත් ඒ බය නැති උනේ බයෙන් හරි මං ඒ දේ කරලා. ඊට පස්සේ කොයි තරම් ඉහළ මනුස්සයෙක් හිටියත් කොයි තරම් පහළ මනුස්සයෙක් හිටියත් ඒ කෙනාගේ මතය වැරදි නම් මං ඒ කෙනාගේ මුහුණට ඒ දේ කියන්නට තිබ්බ බය නැතිවුනා.
ඉතින් එක පාරක් ඔයා බය දේකට මුහුණ දෙන්න. ඊට පස්සේ ඔයාට දැනේවි ඔයා තවදුරටත් ඒ දේට බය නෑ කියල.

10. ඔයාගේ රූපය ලස්සනයි කියලා පිළිගන්න. ඔයා ඔයාට ආදරය කරන්න පටන් ගන්න. අපි හැමෝම අපේ එක එක විදියට ලස්සනයි. ඉතින් ඔයාගේ රූපය ලස්සනයි කියලා ඔයා දකින තරමට අනිත් අයටත් ඔයා ගොඩක් රූපයෙන් ඉහලයි.

ඉතින් මේ තියෙන්නේ ඔයාට ඔයා කෙරෙහි ඇති විශ්වාසය සහ ඕන තැනක බය නැතුව කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්නට පුංචි උපදෙස් ටිකක්....

මං හිතනවා ඔයාට මේ පුංචි ලිපිය වැදගත් උනා කියලා 💛

- Gumiho's Diary -
📷 Credit goes to respective owner 🙏

12/10/2024

හේතුවක් නැතුව වැඩ කල්දානවද .. එහෙනම් ඒක නවත්ව ගන්නේ කොහොමද....

අද මම ඔයාලට කියාදෙන්නේ හේතු නැතුව කම්මැලිකමට වැඩ කල් දාගන්න එක නවත්වා ගන්නේ කොහොමද කියලා.

' හෙට වැඩ කරන්නම් අනිද්ද වැඩ කරන්නම් කියලා නිතරම ඔයත් වැදගත්ම දේවල් කම්මැලිකමට කල් දානවනම් මේ ලිපිය හොඳට කියවන්න..'

🖋️Get Organized : ලෑස්ති වෙන්න

නිතරම ඔයා වැඩ කරන තැන පිළිවෙලට පිරිසිදුව තබාගන්න. වැඩ කරන්නට පෙර ඔයා වැඩ කරන තැන හොඳින් පිරිසිදු කරගන්න. ඒ වගේම ඔයාට අවශ්‍ය දේවල් දැන් ලෑස්ති කරගන්න. මොකද සමහර වෙලාවට අවශ්‍ය දෙයක් ළග නැතිවුනාමත් ගොඩක් දෙනා වැඩ කල් දාන්න පුරුදුවෙලා ඉන්නවා. ඉතින් හැමදේම දැන් පිළිවෙලට සූදානම් කරගෙන ලෑස්ති වෙන්න.

🖋️To Do List : ටු ඩු ලිස්ට්

කරන්න තියෙන වැඩ ටික ලැයිස්තුවකට ගන්න.
ඒ කියන්නේ කරන්න තියෙන විශාල කාර්යන් වැදගත්කම පිළිවෙලින් ලැයිස්තුවකට ගන්න.
ඒ ඒ කාර්ය සම්පූර්ණ කළාට පසුව ඒ ඉදිරියෙන් හරි ලකුණක් ගසන්න. දින 30 ක් මේ කාර්ය කරගෙන යන්න.ඉන්පසු මෙය ඔබේ පුරුද්දක් බවට පත් වනු ඇත.

🖋️Break down Tasks

කරන්න තියෙන විශාල පරාසයක වැඩ කොටස් කිහිපයකට කඩා ගන්න. ඉන්පසු කොටසෙන් කොටස කරන්න.

🖋️ Proper Place

වැඩ කිරීමට සුදුසු පරිසරයක් තෝරා ගන්න.
උදාහරණයක් : පාඩම් කිරීමට - නිශ්ශබ්ද වටපිටාවක්

🖋️Offline

දුරකතනය ඈතින් තියන්න. ඕෆ් ලයින් යන්න. ඔයා ඔයාටම පුංචි සීමාවක් එකතු කරන්න..!

🖋️Reward Yourself

එදිනෙදා වැඩ එදිනෙදාම ඔයා හරියට කළොත් ඔයා ඔයාටම තෑගි දෙන්න. ඔයා ඔයාට ආස දේවල් මිලදී ගන්න. දවස ආරම්භයේදී ඔයා ඔයාටම පොරොන්දුවක් දෙන්න අද වැඩ ටික හරියට කළොත් හවසට මම මෙන්න මේ දේ මට අරන් දෙනව කියල.

🖋️Set Timers

කාලය නිවැරදිව භාවිතා කරන්න. කාලය නිවැරදිව කළමනාකරණය කරගන්න. ඔයාට කරන්නට නියමිත වැඩ රාජකාරී වෙනුවෙන් කාලය වෙන් කර ගන්න. ඒ ඒ වැඩ රාජකාරියට විශේෂ වෙලාවක් වෙන් කර ගන්න.

🖋️Take breaks

එක දිගට වැඩ නොකර විනාඩි 30න් තිහට වත් පුංචි විවේකයක් ගන්න. මේ විවේකය තුළ ඔයාගේ ශරීරය ක්‍රියාශීලීව තබා ගන්න. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට වතුර බොන්න.

🖋️ Entertainment

සමහර වෙලාවට වැඩ කල් දාන්න හිතෙන්නෙ දැනෙන කම්මැලිකම නිසා. ඉතින් ඔයා කරන හැම වැඩක්ම කම්මැලි නැතුව එන්ටටේන්මන්ට් විදිහට කරන්න. නිතරම විනෝදෙන් වැඩ කරන තරමට ඔයාට වැඩ කරන්න ආස හිතේවි.

🖋️New Method

ඔයා කරන හැම වැඩකටම අලුත් ක්‍රම හොයාගන්න. හැමදාමත් එකම ක්‍රමයට කරද්දි ඔයාට ඒ දේවල් කල් දාන්න සහ වැඩ නොකර ඉන්න හිතෙනවා. ඉතින් පුංචි පුංචි අලුත් ක්‍රමවලටත් මාරු වෙන්න.
උදාහරණයක් විදිහට පාඩම් කිරීමේදී ෂෝට් නෝට් ගහනවා වෙනුවට, පාඩම් කරපු දේවල් තව කාට හරි උගන්වන ක්‍රමයක් අනුගමනය කරන්න.

🖋️Proper Guidances

විශ්වාසවන්ත කෙනෙක්ට ඔයාව නිතරම ගයිඩ් කරන්න අවස්ථාව ලබා දෙන්න. නිතරම ඔයා වැඩ කරනවද නැද්ද කියලා , එයාලට නිරීක්ෂණය කරන්න දෙන්න. එයාලගෙන් ඉල්ලීමක් කරන්න ඔයාගේ අඩුපාඩු පෙන්නලා දෙන්න කියලා.
උදාහරණයක් විදිහට ඔයා වැඩ කරන්න පටන් ගත්තට පස්සේ ෆෝන් එක ඉබේම ලඟට ගන්න හිතනවා නම්, ඔයාව ගයිඩ් කරන කෙනාට කියන්න ෆෝන් එක අයින් කරලා තියන්න කියලා.

🖋️" Not Perfect "

හැමෝම පර්ෆෙක්ට් නැහැ කියලා අමතක කරන්න එපා. ඉතින් තමන්ව අනවශ්‍ය විදිහට වටිනාකමක් නැති කෙනෙක් විදියට දකින්නෙ නැතුව පුංචි තැනින් පටන් ගන්න.. ටිකෙන් ටික වෙනස් වෙන්න උත්සාහ කරන්න .

ඒ වගේම සමහර දවස් තියෙනවා අපි සැලසුම් කරන විදියට අපිට මුකුත් කරගන්න බැරි වෙන. ඉතින් ඒ දවස් වලදි ඔයා ඔයාට කරුණාවන්ත වෙලා ඔයා ඔයාට සමාව දෙන්න.

ඔයා ඔයාගෙන්ම අහන්න වැඩේ කල් දැම්මොත් මට මොනවද සිද්ධ වෙන අවාසි කියල...

නිතරම ඔයා ඔයාගේ දිරි ගන්වන්නා වෙන්න !

- Gumiho's Diary -

09/10/2024

ඔබ ජීවත් වෙන්නේ ‘නිවැරදි ම සහකරු’ සමඟද...?
ARE YOU WITH THE RIGHT PARTNER...?

“මම ජීවත් වෙන්නේ නිවැරදි ම සහකරු සමඟ ද කියලා මම කොහොමද හරියට ම දැනගන්නෙ..?”

සෑම සම්බන්ධතාවයකට ම චක්‍රයක් තියනවා.
ආරම්භයේදී, ඔබ ඔබේ සහකරු සමඟ ආදරෙන් බැඳෙනවා,
ඔබ ඔවුන්ගෙන් දුරකතන ඇමතුම් අපේක්ෂා කරනවා
ඔබට ඔවුන්ගේ ස්පර්ශය අවශ්‍ය බව දැනෙනවා,
ඔවුන්ට ම ආවේණික වූ ඒ ගති ලක්ෂණ සහ සිතුවිලි රටාවන්ට ඔබ කැමැත්තක් දක්වනවා,
ඉතිං, ආදරෙන් බැඳෙන එක අපහසු නැහැ.

ඇත්ත වශයෙන් ම කියනවා නම්, ආදරයක බැඳෙනවා කියන්නෙ හරිම ස්වාභාවික සහ නිරායාසයෙන් සිද්ධ වන දෙයක්. එහිදී ඔබ කිසිම දෙයක් ආයාසයකින් කරන්න අවශ්‍ය නැහැ...

අපි ඉංග්‍රීසියෙන් ඒකට කියන්නෙ..‘Falling in love' කියලා...
Falling කියන්නෙ ‘වැටෙනවා' කියන එක.
අපි හිතලා වැටෙන්නෙ නැහැනෙ (මෙතනදි ඒකෙ තේරුම 'ආදරේක වැටෙනවා’ කියන එක නෙමෙයි)

එහි අදහස...
“නිරායාසයෙන් ආදරයක් දැනෙන්න ගන්නවා"
"නොදැනීම ආදරයක බැඳෙනවා” කියන එක...

ඊටපස්සෙ අනිවාර්යයෙන් ම ටික කාලයක් යද්දි හිමින් හිමින් දුරකතන ඇමතුම් වදයක් වෙන්න පටන්ගන්නවා
(මං කියන්නෙ, අඩු ගාණෙ එහෙම ඒවා එකක් හරි ආවොත්)

ස්පර්ශ කිරීම පවා සමහර වෙලාවට ප්‍රතික්ෂේප වෙන්න ගන්නවා,
ඔබ අර හුරතල්-ෂෝක් කියලා හිතපු ඔබේ සහකරුට ආවේණික ගති ලක්ෂණ සහ සිතුවිලි රටාවන්, ඔබේ ඔලුව අවුල් කරමින් ඔබව පිස්සු වට්ටන්න පටන්ගන්නවා..

මෙන්න මේ පොයින්ට් එකට ආවම, ඔබ හෝ ඔබේ සහකරු තමන්ගෙන් ම ප්‍රශ්න කරන්න පටන්ගන්නවා..

“මම මේ ඉන්නෙ නිවැරදි ම කෙනා එක්කද..?” කියලා..

ඔබට සිහිවෙන්න පටන්ගන්නවා ආදරයෙන් බැඳුණ මුල් දිනවල ඔබේ හිතේ තිබුණ ප්‍රීතිය,
ඒ උද්දීපනය, ඒ ප්‍රහර්ෂය..
එවිට ඔබට අවශ්‍ය වෙනවා ඒ හැඟීම නැවත වෙනත් කෙනෙක් සමඟ විඳින්න...

අන්න එතකොට අර සම්බන්ධය කඩා වැටෙනවා..

ඒත් මේ උභතෝකෝටික ප්‍රශ්නයට විසඳුම තියෙන්නෙ ඔබේ සම්බන්ධතාවයෙන් එළියෙ නෙමෙයි, ඒක තියෙන්නෙ ඔබේ සම්බන්ධතාවය ඇතුළෙමයි...

මම මේ කියන්නෙ ඔබට වෙනත් කෙනෙක් සමඟ සම්බන්ධතාවයක් ඇති කරගන්න බැහැ කියලා නෙමෙයි, ඔබට පුළුවන්...
ඔබට ඉන් තාවකාලික සුවයක් පවා දැනෙයි...
නමුත්, තවත් වසර කීපයකින් පසු ඔබ නැවත අර කලින් කී තත්වයට ම පත්වෙනවා...

මොකද,

“සාර්ථක සම්බන්ධතාවයක් තුළ ප්‍රේමය නොනැසී පවත්වාගෙන යෑමේ රහස, නිවැරදි පුද්ගලයා සොයාගැනීමම නෙමෙයි,
ඔබට මුණගැසුණ පුද්ගලයාට නිවැරදිව ‍ආදරය කරන්න ඉගෙනීමයි...”

"ප්‍රේමය කියන්නෙ අබිරහසක් නෙමෙයි..,
ප්‍රේමය කියන්නේ තීරණයක්..."

Jordan fernande

🔴Depression is not a joke..🔴ඇත්තටම මේ depression එහෙමත් නැත්නම් විශාදය කියන්නේ මොකක්ද..."එය මොළයේ සියුම් ස්නායුවල ඇතිවන ...
25/05/2023

🔴Depression is not a joke..🔴

ඇත්තටම මේ depression එහෙමත් නැත්නම් විශාදය කියන්නේ මොකක්ද...

"එය මොළයේ සියුම් ස්නායුවල ඇතිවන රසායනික විපර්යාසයක් හේතුවෙන් වෙන රෝගී තත්වයක්."

මේකට වයස් සීමාවක් අදාලම නෑ.
බාල,තරුණ,මහලු යන ඕනම තරාතිරමක කෙනෙකු මේ විශාදයට ගොදුරු වීමට පුලුවන්.

විශාදය ඇති වීමට බලපාන විශේෂ හේතු කාරණා කිහිපයක් තියෙනවා...

1.ඔබේ ප්‍රියතමයෙකු ඔබෙන් දුරස්වී යාම.
2.ඔබට දැනුනම සම්බන්ධතාවයක් එකවරම බිඳ වැටීම.
3.දීර්ඝ කාලීනව පවතින කායික රෝගී තත්ව
4.ඔබට මුහුණ දීමට සිදුවන අවාසනාවන්ත සිදුවීම්,අහිමි වීම්
5.සමහර විට ඔබ ජීවත් වන පාරසරික හේතු පවා මෙයට සෘජුව ම බලපෑමට පුලුවන්.

එම තත්වයන් එක්කම ඔබට ඔබේ මානසික පීඩාව දරුණුවටම බලපෑම් කරනු ඇත.
එසේ වූ විට...

1.ඔබට නිතරම ⁣ශෝකානුකූල බවක් දැනෙනු ඇත.
2.පුංචි පුංචි දේවල් වලට පවා අධික ලෙස කෝපයට පත්වීම.
3.දැඩි පාලු ගතියක් නිතර දැනීම.
4.හිතේ ශක්තිය දිනෙන් දින හීන වීම.
5.තමන්ට තමන් ගැනම අවතක්සේරු ගතියක් දැනීම.
6.පෙරදී තමන් දැඩිව ප්‍රියකල දේවල් පවා කාලයත් එක්කම එපා වී යා හැක..
7.අවධානය,තීරණ ගැනීම සහ මතකය සම්බන්ධ දුර්වලතා
8.තමාටම දොස් නගා ගැනීම
9.සියදිවි නසා ගැනීමට හෝ තමන්ටම හානි කර ගැනීමට තරම් හිතට ආවෙිගයක් දැනීම..
10.අතීතය පිලිබදව පසුතැවීම යනාදි මානසික
පීඩාවන් නිතරම ඇතිවෙයි.

එසේ මානසික පීඩනයකින් කාලය ගත කරන ඔබව ශාරීරික වශයෙන් පීඩාවට පත්වන තත්වයන්ද ඇතිවෙනු ඇත.
එවිට...

1.කෑම අරුචිය
2.බරෙහි වෙනස්කම් (බර අඩු විම් හෝ බර වැඩිවිම.)
3.ශෝකානූකූල පෙනුම
4.ලිංගික අතෘප්තිය
5.නින්ද අවම වීම යනාදී දේවල් ඇති වෙනු ඇත.

මෙවැනි මානසික හා කායික රෝග ලක්ෂණ
ඇති අයෙකු විශාද තත්වයේ මට්ටම තුනකට වෙන් කර හදුනාගත හැකිය.

1.සුළු විශාදය - මුල් මට්ටම
2.සාමාන්‍ය විශාදය - මැද මට්ටම
3.දරුණු විශාදය - උපරිම මට්ටම

සුළු විශාද තත්වයේදී වෛද්‍යවරුන් විසින් ඖෂධ නිර්දේශ නොකර අතර ඒ සඳහා ඔබට විශේෂ උපදෙස් මාලාවක් ලබා දෙනු ඇත.

ඔබටත් මෙවැනි වු සුළු හෝ රෝග ලක්ෂණ ඇත්නම් ඔබත් ඔබ පිලිබඳව මීට වඩා සැලකිලිමත් වන්න.
ඇත්තටම විශාදය කියන්නේ නොපමාව ප්‍රතිකාර ගත යුතු රෝගී තත්වයකි.

එලෙස ඉක්මන් ප්‍රතිකාර තුලින් ඔබට පසුකාලීනව ඇතිවීමට තිබෙන ගැටලු පීඩා බොහෝ ප්‍රමාණයක් වලක්වා ගත හැකියාව ඇත.

1.ඔබ කිසිම විටෙක මේ සදහා ප්‍රතිකාර ගැනීමට මැලි විය යුතු නැත.
2.මෙය අසාමාන්‍ය රෝගී තත්වයක් නොව මෙය ඉතා සාමාන්‍ය රෝගී තත්වයකි.
3.මෙය ඕනම කෙනෙකුට ඕනම මොහොතකදී ඇතිවිමට හැකියාව ඇත.
4.මෙය ඔබ මා පමණක් නොව ලෝකයේ ප්‍රසිද්ධ දැවැන්තයන් පවා පීඩනයට පත් වී ඇත.
උදාහරණයක් ලෙස ජනප්‍රිය නිලි දීපිකා පදුකෝන්,සුසාන්ත් සිංග්,ඒ වගේම මෑතකදි අපි අතරින් වෙන් වූ ලංකාවට කීර්තියක් ගෙන දුන් රූ රැජිනක් සේම විශිෂ්ට ක්‍රීඩිකාවකද,දක්ෂ යොවුන් රංගන ශිල්පී දසුන් මදුශංක ද ඒ අතර වේ.

ඔබ ඔබේ මේ තත්වය නොසලකා හැරීම නිසා ඔබට කාලයත් එක්කම මීට වඩා දරුණු පීඩාවන්ට මුහුණ දීමට සිදුවනු ඇත.
හොඳම දේ නම්....
එම නිසා ඔබ මුල් අවධියේම මීට ප්‍රතිකාර ගත යුතුය.

ඔබත් මෙවැනි පීඩාවන් එක්ක ජීවිතේ අමාරුවෙන් ගත කරන අයෙකු නම්...

1.ඔබ ඔබට විස්වාසවන්තම ලෙංගතුම පුද්ගලයා සමඟ ඔබ ඔබේ හැඟීම් බෙදාගන්න.
2.ඔබ දිනපතා ඔබේ සිතුම් පැතුම් හැගීම් ගැන සටහන් කරගන්න.
3.සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට මෙන්ම කෙටි ව්‍යායාම් වලටත් හුරු වෙන්න.
4.ඔබ තනිව හුදකලා වී ගත කරන කාලය අවම කර,ඔබ ඔබේ ප්‍රියතමයන් සමගම කාලය ගත කිරීමට පුරුදු වෙන්න.
5.ඒ වගේම මනෝ වෛද්‍යවයෙකු හෝ උපදේශකයකු හමුවී ඔවුන්ගේ සහයද ලබා ගන්න..

🔴 ඔබට යමක්......

1.ඔබ ඔබේ සමීපතමයින් ගැන අවබෝධයෙන් ඉන්න.
2.ඔවුන්ට ඔබේ අවධානය නිතර දෙන්න.
3.මිනිස්සුන්ට ඇහුම්කන් දීමට පුරුදු වෙන්න.
4.ඔබේ ඒ හෘදයාංගම ලෙංගතුකම් තුලින් කෙනෙකුගේ ජීවිතයක් බේරා ගැනීමට බොහෝ සෙයින් හැකියාව ඇත.
5.ඔබ ඔබේ සමීපතමයෙකු විශාද තත්වයයකින් පීඩා විදින බව දැනුනි නම්,
ඔබ ඔවුන්ව වෛද්‍ය ප්‍රතිකාර යොමු කිරීමට උනන්දු වෙන්න.

විශේෂයෙන් මෙවැනි රෝග තත්වයකින් පීඩා විඳින්නෙකු බලාපොරොත්තු වන්නේ උපදෙස් පමණක්ම නොව..
කෙනෙකු ඔවුන් වෙනුවෙන් දක්වන සෙනෙහස,අවධානය,ආදරය,කාලය පිලිබඳවයි...

ඔබ ඔබට හැකි ලෙස අනෙකා පිලිබඳව සංවේදි වෙන්න.
අවධානය දෙන්න.
ඇහුම්කන් දෙන්න.
එය ඔබට පුංචි දෙයක් ලෙස දැනුනද,
එය විදින්නාට එහි ලොකු වටිනාකමක් තිබිය හැකිය...

❤️ඔබත් ඔබේ සමීපතමයින්ට ආදරණීය වෙන්න..❤️

Sanju Rajapaksha

(මෙය මාගේ අත්දැකීම් ද පදනම් කරගනිමින් ලියූ දෙයක් බැවින් එය එකිනෙකාට අනුව වෙනස් විය හැක.)

පුවතක් දුටුව අවුරුදු 04 ක් ආදරය කරපු පෙම්වතියට පිහියෙන් ඇනල මරල. එහෙම මරන්නෙ ඇයි? ලිංගික ඊර්ෂ්‍යාව (Sexual Jelousy) ඉස්ම...
07/08/2022

පුවතක් දුටුව අවුරුදු 04 ක් ආදරය කරපු පෙම්වතියට පිහියෙන් ඇනල මරල. එහෙම මරන්නෙ ඇයි? ලිංගික ඊර්ෂ්‍යාව (Sexual Jelousy) ඉස්මතු වුණාම තමයි එහෙම මරන්නෙ.
ආදරය කියන්නෙ ඒකද?

“ස්නේහයේ නගරයයි සිත මගේ
මාවතක් හෝ නොවූ රාගයේ
වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
කොයි ඉසව්වේද ඒ මෙත්පුරේ”

හේමසිරි ගුණතුංග විසින් රචනා කරන ලද මෙම ගීතය සංගීතවත් කරන ලද්දේ ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින් වන අතර ගීතය ගායනා කරන්නේ අමරසිරි පීරිස් සහ මැණික් ජයසේකර විසින්. මෙම ගීතයෙන් ප්‍රකාශ කෙරෙන්නෙ ප්‍රේමයේ පිවිතුරු බව.

ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍ය, පාරිසුද්ධ, සුරම්‍ය දෙයක් බව මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පවසා තිබේ. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් පවසන පරදි,

“ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ
රිසි වූ කෙනෙකුට පූජා කරනට
ලෝබ සිතින් තොර පිදුවමනා වේ
පෙරලා ලබන්ට නොසිතා බිදකුත්..” ------- විලාසිනියකගේ ප්‍රේමය, එදිරිවීර සරත්චන්ද්‍ර.

ප්‍රේමය රාගයෙන් තොරද නැද්ද යන ප්‍රශ්නය කෙනෙකුට නැගෙන්නට පුළුවන්. මනෝවිද්‍යාත්මක වර්ගීකරණයට අනුව ඇතැම් ප්‍රේමයන් රාගයෙන් යුක්තය ඒ ප්‍රේමයට ඉංග්‍රීසි භාෂාවෙන් කියනව. “Consummate love” කියල. සිංහල අර්ථයෙන් උත්කෘෂ්ට ප්‍රේමය පරිභෝජනය කරන ආදරය යන අර්ථ මේ සඳහා දෙන්නට පුළුවන්. ස්ටර්න්බර්ග්ට අනුව මෙවැනි ආදර සම්බන්ධතා තුළ රාගය, ලිංගිකත්වය පවතිනව. ස්ටර්නබර්ග්ට අනුව මෙවැනි ආදරයක් තුළ කුළුපග බව, කැපවීම සහ රාගය අන්තර්ගතයි. “Romantic Love” ශෘංගාරාත්මක ආදරය සම්බන්ධතා තුළත් ශෘංගාරය, රාගය පවතිනව.

“Empty love” කියන ආදර ප්‍රභේදය තුළ අතිශය කැපවීමක් පවතිනව. එහෙත් රාගය නැහැ. ඒ අනුව අපට පැහැදිලි වෙනව රාගයෙන් තොර ආදර සම්බන්ධතාද ලෝකයේ පවතින බව.

“ස්නේහයේ නගරයයි සිත මගේ
මාවතක් හෝ නොවූ රාගයේ
වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
කොයි ඉසව්වේද ඒ මෙත්පුරේ”

ස්නේහයේ නගරයයි සිත මගේ යන ගීපද පෙළින් ප්‍රකාශ කෙරෙන ආකාරයට පෙම්වතාගේ සිත ස්නේහයෙන් පිරුණු නගරයකි. ස්නේහය නම් නගරයෙහි රාගයේ කිසිම මාවතක් නොමැත. රාගය නොමැති ප්‍රේම මාවතේ වන්දනාවේ ගිහින් එන්නට තමා ආශා කරන බවත් ඒ මෙත් පුරය කොහිද කියා පෙම්වතිය ප්‍රශ්න කරනව. මෙහි මෙත් පුරය යන රූපකය ස්නේහ නගරයට සමාන කළ හැකිය. මෛත්‍රිය සහ ප්‍රේමය අතර පවතින සම්බන්ධතාවද මෙහිදී ගිත රචකයා විසින් ඉස්මතුකර දක්වා තිබේ.
“යෞවනේ නිල් නුවන් සේ රැඳී
රන් මලක් වේද හද සල් වනේ
නෙත් පහන් දල්වලා සිත් සඳුන් දුම් දවා
රන් සිනා පාමි පූජාසනේ...”

මෙම ගීත ඛණ්ඩයෙන් ගීත රචකයා ප්‍රේමය යෞවනයේ නිල නුවන් ලෙසින් රැඳුන හදවත නැමැති සල් වනයෙහි රන් මලක් වේද ප්‍රේමය එයට සමාන කරනව. හද සල් වනේ යන්න රූපයකයක් ලෙස මෙහි භාවිතා කරනව. යෞවනයේ නීල නුවන් යෞවනයාට වටිනව. ප්‍රේමය ඇස් දෙක මෙන් වටිනා බවත් හදවත නමැති සල් වනයෙහි රන් මලක් බවත් පෙම්වතා පවසනව. නීල නුවන් වලට සහ රන් මලකට පෙම්වතිය ව්‍යංගයෙන් උපමා කරන බවක්ද මෙහිදී අපට පෙනෙනව. ප්‍රේමය තබන්නට පුළුවන් පූජනීයත්වයේ ඉහළම තැනක රඳවන්නට ගීත රචකයා ප්‍රයත්න දරනව. නෙත් පහන් දල්වලා, සිතුවිලි නමැති සඳුන් දුම් දවා ආදරය නමැති පූජාසනයේ රන් සිනා පානා බව පෙම්වතිය ප්‍රකාශ කරනව. පෙම්වතාගේ රාගයෙන් තොර ආදරය පෙම්වතිය පිළිගෙන ඇති බව මෙම පද වලින් ගම්‍ය වෙනව.

“මේ නවාතැන් ගෙවා ආත්මයේ
යන තුරා මිලින වී මතු දිනේ
සෙනෙහසේ සිහිලඹින් දොවන සේ යදිමි මා
පූජනීයයි උතුම් ආදරේ...”

ආත්මයෙන් ආත්මය යන මේ ජීවිතයේ ලද මේ ආත්මය නම් නවාතැන් පොළේ මතු දිනයෙක මිලාන වී නැතහොත් මැළවී යන තෙක් පෙම්වතිය ආදරයෙන් සුරකින බව පෙම්වතා පවසනව. සෙනෙහසේ සිහිලැල්ලෙන් තමාව දෝවනය කරන ලෙස යදිනා බවත් උතුම් ආදරය පූජනීය බවත් අවසානයේ පෙම්වතිය පවසනව. පෙම්වතියගේ ජීවිතය මලකට ව්‍යංගයෙන් උපමා කෙරෙන අතර එම මල මිලින වී යනතුරා පෙම්වතා විසින් සෙනෙහස නමැති පැනි ඉසින බවක්ද ව්‍යංගාර්ථයෙන් ගම්‍ය වෙනව.

ආචාර්ය එන්.ඩී.ජී ගයන්ත
මනෝවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
කැලණිය වි‍ශ්වවිද්‍යාලය.

ඔබ සහ ඔබේ සහකරු/සහකාරිය මුල් කාලයේදී එහෙමත් නැත්නම් මෑතක් වෙනකල්ම පීනට් බටර් සහ ජෙලි වගේ රසවත් සුසංයොගයකින් බැඳිලා ජීවත්...
30/07/2022

ඔබ සහ ඔබේ සහකරු/සහකාරිය මුල් කාලයේදී එහෙමත් නැත්නම් මෑතක් වෙනකල්ම පීනට් බටර් සහ ජෙලි වගේ රසවත් සුසංයොගයකින් බැඳිලා ජීවත් වෙන්න පුරුදු වෙලා ඉන්න ඇති. නමුත් ඒ බැඳීමම දැන් තෙල් හා ජලය වගේ එකට එකතු වෙන්නේ නැති සංයෝග දෙකක් බවට පත් වෙලා තියන බවක් ඔබට පෙනෙනවාද? එහෙනම් ඔබේ විවාහය නැවත උපදේශන සහායකින් හෝ ශක්තිමත් කර ගන්න කාලය පැමිණිලා තිබෙනවා වෙන්න පුළුවන්. ඔබට උදව් අවශ්‍ය වෙන බව පිළිගන්න එකම නිහතමානී කාරණයක්. ඒ වගේම ඒකෙන් ඔබව සතුටුදායක අවසානයකට ගෙන යයි : විවෘත සන්නිවේදනය මත ගොඩනැඟුණු සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක් ඔබ දෙදෙනා අතර පවත්වා ගන්නත් පුළුවන් වෙයි. සායනික මනෝ විද්‍යාඥයින් හෝ වෘත්තීමය මනෝ උපදේශකයින් කියන්නේ ඒ සඳහා ඔබට උදව් ලබා දෙන්න ඉන්න හොඳම වෘත්තිකයන්. ඒ අනුව ඔවුන් විසින් සිදු කරන couples therapy හරහා ඔබේ විනාශ වෙමින් යන බැඳීම නැවත පණ ගන්වා ගන්න ලොකු සහයක් ලබා ගන්න පුළුවන්. ඒ ගැන දැනුම්වත් කිරීමක් අපි අද ඔබට කරන්නම්.

පහත සංඥා 5 විවාහක ජෝඩු වලට උපදේශනය සඳහා යොමු වෙන්න කාලය හඟවන කරුණු වෙන්න පුළුවන් :

විවාහයන් කියන්නෙත් ඇඟිලි සලකුණු වගේ. ඇඟිලි සළකුණු දෙකක කිසිම වෙලාවක එක වගේ සමානකම් දකින්න බැහැ. සෑම සහකාරියක්ම/සහකරුවෙක්ම තමන්ගේ ආදර සම්බන්ධතාවයට විවිධ බලාපොරොත්තු, සිහින, පෞරුෂත්වයන් සහ පවුලේ ආභාෂයන් සමූහයක් අරගෙනයි එන්නේ. ඒ නිසා ඔබ දෙදෙනා එකට මිශ්‍ර වුණාම ඒක ගිනිකෙළියක්, කුණාටුවක් හෝ ඒ දෙකම සහිත අවස්ථා විවාහ ජීවිතයේදී උදා වෙන්නත් පුළුවන්. වෛද්‍යවරු පවසන්නේ උපදේශන උපකාර ලබා ගැනීමට උපදෙස් පැතීමට හැම දෙනාටම හරියන එක වෙලාවක් කියලා නැති බවයි. එය කපල් එකෙන් කපල් එකට ඔවුන්ගේ ප්‍රශ්ණය අනුව වෙනස් වෙනවා .

නමුත් පුලුවන් තරම් කලින්ම උපදේශනය ලබා ගන්න එක තමයි හොඳම තීරණය වෙන්නේ. නමුත් ඒක රඳා පවතින්නේ විවාහක යුවළයන්ගේ හැසිරීම මතයි. සමහර යුවළයන් උපදේශනය ලබා ගන්නේ එක් සහකරුවෙක් අවසානයේදී ඒ සඳහා යාමට කැමති වුණාමයි. නමුත් ඒ වෙද්දී බොහෝ විට ඔවුන්ගේ සම්බන්ධතාවය දික්කසාදයේ හෝ වෙන්වීමේ අද්දරයි තියෙන්නේ.

ඒ නිසා මෙම සංඥා වලට ඔබේ අවධානය යොමු කරන්න. ඔබේ නිවස අළු වෙන්න කලින් ගින්න නිවා දැමීමට ඔබට පුළුවන් වෙයි :

1 නරක සන්නිවේදනය:
ඔබේ නිවසේ ඇත්තටම තියෙන්නේ කෑගැසමින් රණ්ඩු වීම් හෝ කතා නොකර සිටීම් නම් ඒක ඔබේ සම්බන්ධතාවයේ සන්නිවේදන කටයුතු සඳහා සුදුසු වෙන්නේ නෑ. එහෙම පරිසරයක ජීවත් වෙන බොහෝ විවාහක ජෝඩු පවසලා තියෙන්නේ 'අපි නිරන්තරයෙන් එකම ප්‍රශ්නයට නැවත නැවතත් තර්ක කරන බවක් දැනෙනවා' කියලායි.

2 ශාරීරික හෝ මානසික සමීපතාවයක් නොමැතිකම:
විවාහක ජෝඩු ගොඩක් වෙලාවට කියනවා ‘අපි ජීවත් වෙන්නේ නේවාසිකයන් වගේ. අපගේ විවාහයේ තවදුරටත් ලිංගික ආකර්ෂණයක්, සතුටින් එක් වීමක් නෑ. අපි එක ගොඩනැගිල්ලක ඉන්න ආගන්තුකයන් වගේ.'

3 බිඳුණු විශ්වාසය:
ඔබේ සහකරු/සහකාරිය බොරු කියන බවට ඔබ සැක කරනවාද? හෝ ඔබ ඔහුට හෝ ඇයට බොරු කරනවාද.. සමහරවිට දැනටමත් ඔබ දෙදෙනා අතරේ අවිශ්වාසය ඇති වෙලා ඇති. නමුත් වංචාව බොහෝ ආකාරවලින් පැමිණෙන්න පුළුවන්. එය ශාරීරික ලෙස සිදුවුණු දෙයක්ම වෙන්න ඕනේ නෑ. දුරකතන, අන්තර්ජාලය හරහා හෝ සමාජ ජාල මාධ්‍ය භාවිතයෙන් පවා විශ්වාසය බිඳ වැටෙන දේවල වෙන්න පුළුවන්.

4 ප්‍රධාන ජීවිත වෙනස්කම්:
දරුවෙකුගේ උපත, ආදරණීයයෙකුගේ මරණය, නිවාස මාරු කිරීම, නව රැකියාවක් හෝ විශ්‍රාම ගැනීම ආදී වෙනස්කම් හෝ වෙනත් ප්‍රබල වෙනස්කම් නිසා ඔබගේ විවාහයට විශාල බලපෑමක් ඇති වෙන්න පුළුවන්.

5 ඇබ්බැහි වීම්:
මත්ද්‍රව්‍ය, මත්පැන්, සූදුව, කාමුක දර්ශන හෝ වියදම් වලට ඇබ්බැහි වීම නිසා විවාහ සම්බන්ධතාවයකට බාධා වෙන්න පුළුවන්.

Couples therapy චිකිත්සාවේ වාසි -
සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක් පවත්වා ගැනීම සඳහා වෛද්‍යවරු කියන විදිහට ඔබට හොඳ ප්‍රතිපත්ති තුනක් අවශ්‍ය වෙනවා : හොඳ සන්නිවේදනය, අවංකභාවය සහ විශ්වාසය. Couples therapy ක්‍රමය මඟින් ඔබට මේ තුනම යථා තත්වයට පත් කරගන්නට හෝ ස්ථාපිත කරගන්නට උපකාර ලැබෙනවා.

විවාහ උපදේශනයට කරන්න පුළුවන් දේවල්:

සන්නිවේදනය වැඩි දියුණු වෙනවා. එතකොට ඔබ දෙදෙනා එකිනෙකාට ඇහුම්කන් දෙන බවක්, තේරුම් ගන්න බවක් සහ සම්බන්ධ වී ඇති බවක් දැනෙනවා.
ඔබ දෙදෙනා අතර මානසික බැඳීම ශක්තිමත් කරනවා.
සහයෝගිතාව වැඩි කරනවා.
මානසික ආතතිය අඩු කරනවා.

Couples therapy කියන්නේ වෙන්වීමට හෝ දික්කසාද වීමට තියන එක් මාර්ගයක් යන අදහස සම්පූර්ණයෙන්ම මිථ්‍යාවක්. ඇමරිකානු මනෝවිද්‍යාත්මක සංගමයට අනුව වර්තමානයේදී ඇමරිකාවේ විවාහ උපදේශනය සඳහා 75% ක් පමණ ජෝඩු පිවිසෙනවා. ඒ අතර අනිසි සම්බන්ධතා ඇති අය සහ දැනටමත් ක්‍රියාකාරී මට්ටමින් වෙන් වී සිටින ජෝඩු 25% ක් වගේ විශාල කොටසක් ද ඉන්නවා.

විවාහ උපදේශනය මගින් තමන්ගේ විවාහයන් නැවත ශක්තිමත් කරගනිමින් ගැටලු බේරාගත්ත ජෝඩු ඕනෑ තරම් ඉන්නවා. ප්‍රතිකාර ලබා ගත්ත විවාහක ජෝඩු ප්‍රතිකාර වලින් පස්සේ ඔවුන්ගේ විවාහ ජීවිතය වඩා හොඳ තත්ත්වයකට පත් වුණ බව ප්‍රකාශ කරලා තියනවා. ඔවුන් බොහෝ විට පවසන්නේ 'අපි දැන් වැඩියෙන් සිනාසෙනවා. අපි කරන්නේත් විනෝදජනක දේවල්' කියලායි. ඉතින් ජීවිතයේ වැඩි විනෝදයක් අවශ්‍ය නොවන්නේ කාටද?

විවාහ උපදේශකයෙකු සොයා ගන්නේ කොහොමද?
නිවැරදි උපදේශකයෙක් සොයා ගැනීම සමහර වෙලාවට ඔබට පිදුරු මඩුවක ඉඳිකටුවක් සොයනවා වගේ හැඟෙන්න පුළුවන්. ඉතින් ඔබ ඒ වැඩේ ආරම්භ කරන්න ඕනේ ඔබේ ගැඹුරුතම, අඳුරුතම රහස් කියන්න තරම් විශ්වාසවන්ත බවක් ඇති වෙන උපදේශකයෙක් සමඟයි. ඔබ තෝර ගන්න උපදේශකයාට ලෝකයේ ශ්‍රේෂ්ඨතම විශ්ව විද්‍යාල වලින් ඩිප්ලෝමා හෝ උපාධි ලබා තිබුණත් වැඩක් නැහැ, ඔහු/ඇය සමඟ අවංකව කතා කරන්න පුළුවන් කියලා ඔබට හැඟෙන්නේ නැත්නම්. මොකද අන්තිමේදී ඔබ දරපු උත්සහයන් සියල්ල නිෂ්ඵල වෙන්න පුළුවන්.

කරදර වෙන්න එපා. ඔබ හෝ ඔබේ සහකරු හෝ සහකාරිය ඔබේ අලුත් ජීවිත පුහුණුකරු සමඟ නිසි ආකාරයෙන් සම්බන්ධ වෙන්නේ නැති බවක් හැඟෙනවා නම්, ඔබ දෙදෙනාටම සෑහෙන්න වෙන්න පුළුවන් උපදේශකයෙක් සොයා ගන්නාතුරු සොයා බැලීම් දිගටම කරගෙන යන්න.

"ඔබතුමාට මාව මතකද?"“නෑ. කවුද ඔයා?"“මම ඔබතුමාගෙ ශිෂ්‍යයෙක්."“හා එහෙමද. බොහොම හොඳයි. ඔයා මොනවද කරන්නෙ දැන්?"“මම ගුරුවරයෙක්...
30/07/2022

"ඔබතුමාට මාව මතකද?"
“නෑ. කවුද ඔයා?"
“මම ඔබතුමාගෙ ශිෂ්‍යයෙක්."
“හා එහෙමද. බොහොම හොඳයි. ඔයා මොනවද කරන්නෙ දැන්?"
“මම ගුරුවරයෙක්."
“හොඳයිනේ. මම වගේ?"

"ඔව්. ඇත්තම කිව්වොත් මම ගුරුවරයෙක් වුණේ ඔබතුමාව ආදර්ශයට අරගෙන."
“ඇත්තද? ඒ කොහොමද?"

"දවසක් ඉස්කෝලෙ අපේ පංතියේ ළමයෙක් ලස්සන අත් ඔරලෝසුවක් ගෙනාවා. ඒ ගැන ආසාවක් ඇතිවෙලා මම ඒක හොරකම් කළා. ඊටපස්සෙ ඒ ළමයා ඔබතුමාට පැමිණිලි කරලා ඔබතුමා මෙහෙම කිව්වා.
“පංතියෙ ළමයෙකුගෙ ඔරලෝසුවක් නැතිවෙලා තියෙනවා. මම දැන් හැමෝවම පරීක්ෂා කරනවා. හැමෝම තමන්ගෙ පුටුවලින් නැගිටලා ඇස් පියාගන්න”කියලා.
මමත් නැගිටලා ඇස් පියාගත්තා. ඔබතුමා එක එක්කෙනා පරීක්ෂා කරගෙන ආවා. ඇවිත් මගේ සාක්කුව පරීක්ෂා කළාම ඒකෙ ඔරලෝසුව තිබිලා ඔබතුමා සද්ද නැතුව මගේ සාක්කුවෙන් ඔරලෝසුව අරගෙන අනිත් අයත් දිගටම පරීක්ෂා කරගෙන ගියා. අවසානෙට ඔබතුමා කිව්වා..
“හරි ඔරලෝසුව හම්බවුණා, දැන් හැමෝම යන්න' කියලා. එදා තමයි මම තීරණය කළේ මම ඔබතුමාව ආදර්ශයට අරගෙන ගුරුවරයෙක් වෙනවා කියලා."

"බොහෝම හොඳයි. පුතා, මට ඒ සිද්දිය හොඳටම මතකයි. ඒ ඔරලෝසුවත් මතකයි. ඒ වුණාට මට ඔයාව මතක නෑ. මොකද මමත් හිටියෙ ඇස් පියාගෙන."!!

උපුටා ගැන්මකිනි♥️

23/07/2022
ආහාර හා සම්බන්ධ පුදුම හිතෙන භීතිකාමිනිසුන්ට වැළඳෙන ආහාර හා සම්බන්ධ පුදුම හිතෙන භීතිකා ගැන ඔබ මීට පෙර අසා තිබේද? විශ්වාස ...
17/06/2022

ආහාර හා සම්බන්ධ පුදුම හිතෙන භීතිකා
මිනිසුන්ට වැළඳෙන ආහාර හා සම්බන්ධ පුදුම හිතෙන භීතිකා ගැන ඔබ මීට පෙර අසා තිබේද? විශ්වාස කරන්න අපහසු වුනත්, ඇතැම් ආහාර අනුභව කිරීම ගැන ඇත්ත වශයෙන්ම භීතියට පත්වන හෝ ඒ හා සම්බන්ධ සංවේදනයන් නිසා බියට පත්වන මිනිසුන් ලෝකයේ ජීවත් වෙනවා.
මේ ලිපියෙන් අපි කියන්න යන්නෙ අන්න ඒ වගේ ඇහුවම පුදුම හිතෙන එහෙත් ලෝකයේ මිනිස්සු අතර දකින්න ලැබෙන ආහාර භීතිකා ගැනයි.
1. Lachanophobia (ලැකනොෆෝබියා)
මේ භීතිකා තත්ත්වය තියෙන පුද්ගලයන් එළවළු වලට දැඩි බියක් දක්වනවා. මේක නම් සෞඛ්‍යයට ඉතාමත් අහිතකර ලෙස බලපාන භීතිකාවක් ලෙස හදුන්වන්න පුළුවන්.
2. Xocolatophobia (සොකලොෆෝබියා)
මේ භීතිකාව තියෙන පුද්ගලයන් චොකලට් වලට බියක් දක්වනවා. අපිට චොකලට් නොමැති ලෝකයක් ගැන හිතීමත් බියජනක වුවත් මේ පුද්ගලයන්ට නම් එහෙම නෑ.
3. Alliumphobia (ඇලියම්ෆෝබියා)
මේ භීතිකාවෙන් පෙළෙන අය සුදුළූණු හා ළූණු වලින් වැළකී සිටිනවා. ඒ හා සමානව ඇලියම් කුලයට අයත් ආහාර ද්‍රව්‍යවල පෙනීම, සුවඳ හෝ ස්පර්ශය ඔවුන්ට විශාල භීතියක් හා කාංසාවක් ඇති කරනවා.
4. Deipnophobia (ඩිප්නොෆෝබියා)
ඩිප්නෝෆෝබියා රෝගයෙන් පෙළෙන අය අන් අය සමඟ කෑම ගැනීමට හා ආහාර ගැනීමේදී සංවාදයට බිය වෙනවා. එමනිසා මෙවැනි අය අන් අය මගහැර තනියම ආහාර ගන්න සෑමවිටම උත්සාහ කරනවා.
5. Mageirocophobia (මගයිරොකොෆෝබියා)
ආහාර පිළියෙල කිරීමට ඇති බිය මේ නමින් හඳුන්වනවා. මෙම භීතිකාව ඇති පුද්ගලයින් හේතු ගණනාවක් නිසා තමන්ට හෝ පිරිසකට ආහාර වේලක් පිසීමෙන් වළකින්න උත්සාහ කරන අතර ඔවුන් අධික තාපය සමඟ සම්බන්ධ වීම, මුළුතැන්ගෙයි මෙවලම් සහ වට්ටෝරු අත්හදා බැලීම හෝ ඔවුන්ගේ කෑමක් ඉදිරිපත් කිරීම වැනි දේ පිළිබඳව බිය වෙනවා.
6. Mycophobia (මයිකොෆෝබියා)
එනම් දිලීර හෝ හතුවලට ඇති බියයි. මේ භීතිකාවෙන් පෙළෙන අය පීසා එකක ඇති cremini හතු ආහාරයට ගැනීමට පවා බියක් දක්වයි.
7. Arachibutyrophobia (ඇරකිබියුටිරෝෆෝබියා)
රටකජු බටර් (peanut butter) කාපු අය දන්නවා ඉන් එක් සුළු අතුරු ආබාධයක් ඇතිවන බව. එනම් ඔබේ මුඛයේ වහලයේ හෙවත් තල්ලේ එය තදින් ඇලෙන එක. ඇරචිබුටිරෝෆෝබියා රෝගයෙන් පෙළෙන පුද්ගලයින් මෙම අතුරු ආබාධයට බරපතල ලෙස බිය වන අතර එමනිසා peanut butter දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා.
8. Fructophobia (ෆ්‍රක්ටොෆෝබියා)
මේ භීතිකාව තිබෙන අය පළතුරුවලට දැඩි බියක් දක්වනවා. මේ පුද්ගලයන් පළතුරුවලට කෙතරම් බියක් දක්වනවාද කිවහොත් පළතුරු වගා බිම් මෙන්ම කෘත්‍රීමව පළතුරු රස ගැන්වූ ආහාරපාන වලින් ද වැළකී සිටිනවා.
9. Acerophobia (එසරොෆෝබියා)
එනම් ඇඹුල් රසයට ඇති බියයි. කෙසේ වෙතත් ඇඹුල් රස ආහාරවල අප ශරීරයට අත්‍යාවශ්‍ය විටමිනයක් වන විටමින් C බහුලව අන්තර්ගත වෙන බැවින් මෙම භීතිකාවද සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන්න පුළුවන්.
10. Methyphobia (මෙතිෆෝබියා)
මේ භීතිකාවෙන් පෙළෙන්නන් මත්පැන් පානය කිරීමට දැඩි බියක් දක්වනවා. මේ මෙතිෆෝබියා රෝගයෙන් පීඩා විඳින්නන් මත්පැන් පානය කිරීමෙන් වැළකී සිටින අතර ඒවා පානය කරන අයෙකු හමුවීමටද දැඩි අකමැත්තක් දක්වනවා.
11. Ichthyophobia (ඉක්තියොෆෝබියා)
මේ භීතිකාවෙන් පෙළෙන අය මාළු කෑමට දැඩි ලෙස බිය වෙනවා. මොවුන් මාළු කෑමට පමණක් නොව අමු මැරුණු මසුන් දැකීමට හා ඇල්ලීමට ද දැඩි බියක් දක්වන්වා. බොහෝ සංස්කෘතීන්, විශේෂයෙන් නවාජෝ ගෝත්‍රිකයන්, මාළු ඇතුළු සියලු වර්ගවල ජලජ සතුන්ට බිය වන බව ප්‍රසිද්ධියට පත්වී ඇති කරුණකි.
12. Alektorophobia (ඇලෙක්ටොරෝෆෝබියා)
එනම් කුකුළන් සහ කුකුළු මස් වලට ඇති දැඩි බියයි. කුකුළෙකු ගැන සිතීම හෝ කුකුළෙකුගේ පින්තූරයක් පවා මොවුන් තුළ බිය ඇතිකරයි. එය ඇතැම් විට කුකුළු මස් අඩංගු ආහාරවලට ඇති බියක් දක්වා වර්ධනය විය හැකිය.
13. Consecotaleophobia (කන්සෙකොටලියෝෆෝබියා)
චොප්ස්ටික්ස් (chopsticks) වලට දක්වන බිය මේ නමින් හදුන්වයි. මෙම රෝගය අත්විඳින අය චොප්ස්ටික්ස් වටා හෝ හුදෙක් ඒ ගැන සිතන විට පවා අතිශයින් කනස්සල්ලට පත්වෙයි.
Gimsara Balasuriya -3rd year

Address

No 26, Alankulama
Anuradhapura
50000

Telephone

+94776636930

Website

Alerts

Be the first to know and let us send you an email when Psyche posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Psyche:

Share