25/02/2026
වර්තමානයේ විශාල ම සෞඛ්‍ය ගැටලුවක් වී ඇති මාර්ග අනතුරු අවම කිරීමට දායක වෙමු
පාරේ ඉරි ගැන ඔබ දන්නවාද? දඩ කන්න කලින් කියවන්න.
අපි වාහනයක් පාරට දැම්මම නිකම්ම සුක්කානම කරකවන එක විතරක් නෙවෙයි වැදගත් වෙන්නේ. පාරත් එක්ක කතා කරන්නත් අපිට පුළුවන් වෙන්න ඕනේ. පාරේ තියෙන "ඉරි" හෙවත් මාර්ග සලකුණු කියන්නේ රියදුරන්ට පාරෙන් දෙන සංඥා භාෂාවක්. හුඟක් වෙලාවට අත්දැකීම් තියෙන රියදුරන් පවා මේ ඉරි වර්ග සහ ඒවට අදාළ නීති පටලවා ගන්නවා අපි දැකලා තියෙනවා. ඉතින් අපි බලමු පාරේ දකින ප්‍රධානම ඉරි වර්ග සහ ඒවායින් කියවෙන නීති මොනවාද කියලා.
1. පාර මැද තියෙන කැඩුණු ඉරි (Broken White Line)
මේක තමයි අපි පාරේ බහුලවම දකින්නේ. මාර්ගය දෙපසට බෙදා වෙන් කරන්නේ මේ රේඛාවෙන්. මෙතැනදී මූලික නීතිය තමයි ඔබේ වාහනය මේ ඉරට වම් පැත්තෙන් තියාගෙන ධාවනය කරන එක. හැබැයි මේ ඉරේ විශේෂත්වයක් තියෙනවා. ඔබට අවශ්‍ය නම් අනෙක් වාහනයකට ඉස්සර කරන්න, දකුණට හරවන්න වගේම හදිසි අනතුරක් වළක්වා ගන්න මේ ඉර උඩින් දකුණු පැත්තට වාහනය ගන්න අවසර තියෙනවා. ඒ කියන්නේ ආරක්ෂිතව ඉර කපලා යන්න පුළුවන්.
2. තනි සුදු ඉර (Single Solid Line)
සමහර තැන්වල පාර මැද දිගටම ඇඳපු තනි සුදු ඉරක් ඔබ දැකලා ඇති. මේකත් පාර බෙදන රේඛාවක් වුණාට නීතිය ටිකක් තදයි. මෙතැනදී අනිවාර්යයෙන්ම වාහනය ඉරෙන් වම් පැත්තට බරව ධාවනය කරන්න ඕනේ. හැබැයි මේ ඉර කපන්න පුළුවන් විශේෂ අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි පාරෙන් දකුණට වාහනය හරවන අවස්ථාව. අනෙක තමයි හදිසි අනතුරක් වළක්වා ගන්නා අවස්ථාව. මේ අවස්ථා හැර නිකරුනේ මේ ඉර කැපීම වරදක්.
3. ඩබල් ඉරි හෙවත් ද්විත්ව රේඛා (Double Solid Lines)
රියදුරන් වැඩිපුරම දඩ කන සහ අනතුරු සිදු කරගන්නා තැනක් තමයි මේ. පාර මැද ලඟ ලඟ ඇඳපු සුදු ඉරි දෙකක් තියෙනවා නම්, ඒකෙන් කියන්නේ "ස්ට්‍රික්ට්" නීතියක්. මේ ඉරි දෙක ඔබේ වාහනයට කපන්න තහනම්. මේ ඉරි දෙක තියෙන තැනකදී ඉස්සර කරන්නවත්, දකුණට හරවන්නවත් බැහැ. වාහනය අනිවාර්යයෙන්ම වම් පැත්තේ තියාගෙනම යන්න ඕනේ. එකම එක ව්යතිරේකයක් තියෙනවා, ඒ තමයි හදිසි අනතුරක් වළක්වා ගැනීම සඳහා පමණක් මේ ඉරි කැපීමට අවසර ලැබීම. ඒ නිසා ඩබල් ඉරි දැක්කොත් ගොඩක් කල්පනාකාරී වෙන්න.
4. මං තීරු වෙන් කරන ඉරි සහ අධිවේගී නීති (Lane Dividers)
පාරවල් පළල වෙනකොට, විශේෂයෙන්ම අධිවේගී මාර්ගවල හෝ මං තීරු (Lanes) කිහිපයක් තියෙන පාරවල්වල මේ කැඩුණු ඉරි දකින්න පුළුවන්. මේ ඉරි උඩින් වාහනය මාරු කරාට වරදක් නැහැ. හැබැයි ඒකට ක්‍රමයක් තියෙනවා. සාමාන්‍යයෙන් මං තීරු 3ක් තියෙන පාරක වම් පැත්තේ අයිනේම තියෙන මං තීරුව පාවිච්චි කරන්න ඕනේ වමට හරවන වාහන, නවත්වන්න යන වාහන සහ වේගය අඩු වාහනයි. මැද මං තීරුව සාමාන්‍ය වේගයෙන් ඉදිරියට යන වාහනවලට වෙන් වෙනවා. දකුණු කෙළවරේම තියෙන මං තීරුව පාවිච්චි කළ යුත්තේ ඉස්සර කරන්න ඉඩ ගන්න විතරයි. තමන්ගේ වේගයට ගැලපෙන මං තීරුව තෝරා ගැනීම ආරක්ෂිතයි වගේම පහසුයි.
5. කහ කොටු දැල (Yellow Box Junction)
කොළඹ වගේ තදබදය වැඩි නගරවල හතරමං හන්දි මැද කහ පාටින් කොටු දැලක් ඇඳලා තියෙනවා ඔබ දැකලා ඇති. මේකට කියන්නේ "Box Junction" කියලා. සරලවම කිව්වොත්, ඔබ යන පාරේ ඉදිරිය අවහිර වෙලා නම්, එහෙම නැත්නම් ට්‍රැෆික් නම්, කහ කොටුව උඩ වාහනය නතර කරන්න හෝ කොටුවට ඇතුල් කරන්න තහනම්. කොටුවෙන් එහා පැත්තේ ඉඩ තියෙනවා නම් විතරයි කොටුව හරහා යන්න ඕනේ. හන්දිය මැද බ්ලොක් වෙන එක නවත්වන්න තමයි මේක තියෙන්නේ.
6. පාර අයිනේ තියෙන සුදු ඉර (Edge Line)
ගොඩක් අය නොදන්නවා වුණාට පාරේ අයිනේ තියෙන සුදු ඉරත් නිකම්ම ඇඳපු එකක් නෙවෙයි. මේ ඉරෙන් කියවෙන්නේ වාහන ගාල් කිරීම (Parking) ගැනයි. මේ රේඛාව කපලා පාර පැත්තට වෙන්න වාහන නවත්වන්න බැහැ. වාහනයක් නවත්වනවා නම් මේ ඉරෙන් පිටතට (පාරෙන් ඉවතට) වෙන්න තමයි නවත්වන්න ඕනේ.
ඉතින් මේ පුංචි ඉරි කෑලි වලින් කියවෙන ලොකු නීති ටික මතක තියාගත්තොත්, දඩ කන්නේ නැතුව වගේම අනතුරක් නොවී පරිස්සමෙන් ගමන යන්න ඔබටත් පුළුවන්.