
26/05/2022
මොකද නිකන් කැඳ බීලා වගේ????
එකල විසූ හෙළයා ශක්තිවන්තව එදිනෙදා වැඩ කටයුතු සිදුකලේ ගැමි ගෙදර උදෑසනම සකස් කරන ලද කොළ කැඳ කෝප්පයක් පානය කිරිමෙනි. බහුජාතික සමාගම් ශ්‍රීලංකාවට පැමිණීමත් සමඟම නූතන වෙළදපලේ ඇති කිරිපිටි ඇතුලු උදෑසන පානය කිරීමට සුදුසු යැයි ප්‍රවර්ධනය කල පෝෂන ගුණයෙන් හීන නිෂ්පාදන සමාගම් සඳහා ඒවා ප්‍රවර්ධනය කිරීමට ප්‍රබල අභියෝගයක් වූයේ ගැමිගෙදර උදෑසන පිළියල කරන ලද ඉතාමත් ගුණදායි කොළකැඳ පානයයි.
ඉතා සූක්ෂම ලෙස ප්‍රවර්ධන ක්‍රමෝපායන් භාවිතා කරමින් එකල විසු හෙළයාගේ මනස " කැඳ බිව්වොත් පන නෑ" යනුවෙන් මතයක් ගොඩනගා අද වනවිට නිවසක උදෑසන පානය කිරීම සඳහා කැඳ වීදුරුවක් සකස් කරන්නේ බොහෝ සුළු පිරිසකි.
දරුවන්ගේ බුද්ධිය මෙන්ම ශාරීරික වර්ධනය සඳහා ඉමහත් සේවයක් කරන කොළ කැඳ සමබල ආහාරයකි. කොළයුෂ මගින් සිරුරට ඛනිජ ලවණ, විටමින්, ඇමයිනෝ අම්ල ලබා දෙන අතර එයට යොදන සහල් පිෂ්ඨයත් පොල්කිරි මඟින් මේදයත් ලබා දෙයි. මෙම ඖෂධීය කොළකැඳ වර්ග ප්‍රතිශක්තිකරණ ප්‍රතිශතය වැඩි කරන, විෂ නසන, ධාරණ ශක්තිය වැඩි කරන, රෝගයන් සඳහා සුව දෙන හා ආහාර ජීර්ණය පහසු කරන ආහාර පානයක් වනු ඇත.
කොළ කැඳ එක් කොළ වර්ගයකින් මෙන්ම කොළ වර්ග කිහිපයක් එක් කර සකස් කර ගැනීමට හැකියාව ඇති අතර Wet Roots අපි අද ඔබ වෙත ගෙන එන්නේ ඖෂධීය ගුණයෙන් යුත් කැඳ වර්ගයක් සාදාගන්නා ආකාරය සහ ඒ ඖෂධයන් හී ඇති විෂ්මිත ගුණ පිළිවදවයි.
කොළකැඳ සාදාගැනීම සඳහා පහත ද්‍රව්‍ය සකසා ගතයුතුවේ.
* කොළ වර්ගයක් හෝ කොළ වර්ග කිහිපයක්
* සහල් වර්ගයක් ( රතු කැකුළු , හීනැටි , සුවදැල්)
* උකු පොල්කිරි
* සුදු ළූණු
* රතු ළූණු
* ඉගුරු
* ලුණු
පහත අයුරින් විනාඩි කිහිපයක් තුළදී මුලු පවුලටම ඖෂධ ගුණයෙන් යුත් කොළ කැඳ සාදාගත හැක.
කොළ ටික හොඳිම් සෝදා පිරිසිදු කරගෙන ඒවා කොලා යුෂ ලබා ගන්න. (නූතම කාර්‍යබහුල ජීවන රටාවේ මේ සඳහා බ්ලෙන්ඩරය යොදා ගත්තද ඒවා වං ගෙඩියේ කොටා ගන්නට හැකි නම් එහි අඩංගු ඖෂධ ගුණයට හා පෝෂන ගුණයට සිදුවන හානිය අවමය.)
ඉන්පසු සහල් සෝදා වතුර යොදා තැම්බෙන්නට තබා සහල් තැම්බීගෙන එන විට එයටම සුදු ළූණු , ඉගුරු, රතු ළූණු ස්වල්පය බැගින් එක් කර ගන්න.
බත හොදින් තැම්බුනු පසු එය හැන්දෙන් පොඩි කර ඊටම උකු පොල්කිරි එක් කර නටන පදමට එන විට කොටා මිරිකා ගත් කොළ යුෂ එක් කර තව ස්වල්ප වේලාවක් මද ගින්නේ ලිපේ තබා ලුණු ස්වල්පයක් එක් කර ලිපෙන් බාගන්න.
කොළ කැඳ සෑදීම සඳහා ඉහළ ඖෂ්ධ ගුණයෙන් යුත් කොළ කැඳ වර්ග කිහිපයක් හා ඒවාගේ ගුණ පහතින් විස්තර කෙරේ.
1. හීන් බෝවිටියා කොළ කැඳ-
සෙංගමාලයට බොහෝ ගුණ දෙන හීන් බෝවිටියා සෙංගමාලය ඇති රෝගින්ට හා කහ උණ රෝගින්ට දවසක් ඇර දවසක් ලබා දීම ඉතා ගුණදායකයි. දියවැඩියා රෝගීන්ට සීනි පාලනය කිරීම සඳහා හීන් බෝවිටියා කැඳ දිව්‍යමය ඖෂධයකි. කොලොස්ටරෝල් රෝගීන් සඳහා හීන් බෝවිටියා කැද සතියකට දෙවතාවක් ලබාදීම මගින් හොද සුවයක් ලබාගැනීමට හැක.
2. යකි නාරං කොළ කැඳ-
රුධිරගත මේදය ඉවත් කිරීමට, අක්මාගත රෝග වලට, කොලොස්ටරෝල් පාලනය කිරීමට, ආසාත්මිකතාවයන්ට හා ශරීරයේ විෂ ඉවත් කිරීමට යකි නාරං කොළකැද දිව්‍යමය ඖෂධීයකි.
3. මුරුංගා කොළ කැඳ-
කුඩා දරුවන්ට ඉතා ගුණදායී ඖෂධයක් ලෙස හැඳින්විය හැක. ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු කරන අතර ආහාර අරුචිය ද නැති කරයි. කාන්තාවන්ගේ ඔසප් වීම ක්‍රමවත්ව සිදුකර ගැනීමට උපකාර වන අතර වේදනා නාශක ගුණයෙන්ද යුක්තයි. ඇස් රෝග, පිළිකා ඇතිවීම වලක්වන අතර රුධිරය පිරිසිදු කිරීමට උපකාරී වේ. රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි.
4. මොණරකුඩුම්බිය කොළ කැඳ-
ලදරුවන්ගේ මාන්දම රෝගය සුව කරගැනීමට උපකාර වන අතර ප්‍රතිශක්තිකරණ ශක්තිය වර්ධනය ලර ගැනීමට උපකාරී වේ. මුත්‍ර රෝගයන් හා සෙංගමාලය රෝග සුව කර ගැනීමට උපකාරී වේ. හෘද රෝග සහ අක්මා ආශ්‍රිත රෝග සඳහා දිව්‍යමය ඖෂධයකි.
5. හාතාවාරිය කොළ කැඳ-
සිරුර සිසිල් කරයි, මුත්‍රා හොදින් පිටකරයි, අකලට හිසකෙස් පැසීම නතර කරයි, ශුක්‍රදාතු වර්ධනය කර සරු බව ඇතිකරයි, හෘද රෝග පාලනය කරයි, චර්ම රෝග හා කුෂ්ඨ රෝග දුරුකරයි, මව්කිරි වඩවයි, කාන්තා රෝග පාලනය කරනු ලබයි, ආමාශයේ තුවාලට වලට සහ අර්ශස් රෝගය සදහා ගුණදායී ඖෂධකි.
6. ලුණුවිල කොළ කැඳ-
බුද්ධිය වර්ධනය කරන අතර ස්නායු සම්බන්ධ රෝග සදහා ගුණදායී ඖෂධයකි. ශරිරයේ ලේ පිරිසිදු කරන අතර අක්මාව නිරෝගීව තැබීමට උපකාරී වේ. මානසික ආතතිය දුරුකරයි.
7. වැල්පෙනල කොළ කැඳ-
ආහාර මාර්ගයේ රෝග වලට සහ දියවැඩියා රෝගය සුවපත් කිරීමට උපකාරී වේ. ස්නායු ශක්තිමත් කර ශරීරයේ වේදනාව පහ කරනු ලබයි. පුර්ෂයන්ගේ දාතු ශක්තිය වැඩි කරන අතර සරුබාවයට උපකාරී වේ.
විශාල වශයෙන් මිල මුදල් වියදම් කරමින් ශරීරයට විෂ, පෝෂනයන් හීන නිෂ්පාදනයන් භාවිතා කරනවා වෙනුවට එකල අප මුතුන්මිත්තන් භාවිතා කල දේශීය ආහාර රටාවන්ට හුරුවෙමු. එය ඔබගේ ශරීර සෞඛ්‍යට හිතකර මෙන්ම නූතනයේ සීග්‍රයෙන් ඉහල යන ජීවන වියදම පහත දැමීම සදහා සෘජුවම බලපායි.
සටහන 🖊
පාරම්පරික ආර්‍යුවේද වෛද්‍ය ශිෂ්‍ය රන්සිළු විජේමාන්න