13/10/2024
ජීවය රකින රුධිරය ❤️
"මෙන්න ඩොක්ටර් ග්රූප් කරන්න තියෙන අද ගත්ත ලේ ටික."
ලේ බැංකු හෙද නිලධාරිනිය මා ඉදිරියේ අලුත්ම ලේ පයින්ට් කිහිපයක් එකින් එක තබයි. එම ලේ අයිතිකරුවන්ගේ නම් පැකට් එකේ ඉහළින් ලියා තිබේ. ඒ නම් වලින් පැවසෙන්නේ ඔවුන් විවිධ ජාතින්ට අයිති බව ය. ඒ අය විවිධ ආගම් වලට ද අයිතිය. සමහරු ගැහැනුන් වන අතර සමහරු පිරිමින් ය. මම රුධිරය සහිත පැකට් එකක් අතට ගෙන බලමි. මට පෙනෙන්නේ රතු පැහැයක් පමණි.
ඒ එකද වෙනස් කමක්වත් එහි පෙනෙන්නට නැත.
බැලූ බැල්මට එකම රතු පැහැයකින් දිස් වුවත්, සෑම කෙනෙකුගේම ලේ තවත් කෙනෙකුට පාරවිලනය කළ නොහැකි වීම සියවස් ගණනක් අතීතයේ වෛද්‍යවරුන් ඉදිරියේ තිබූ බරපතල ප්‍රශ්නයකි. ලේ කෘතිමව නිෂ්පාදනය කළ හැකි දෙයක් නොවේ. ලේ ගැලීම නිසා රෝගීන් මිය යන විට එයට ප්‍රතිකාර ලෙස සතුන්ගේ රුධිරය පවා ලබා දීමෙන් ඔවුහු බොහෝ පරීක්ෂණ සිදු කළෝ ය. 1818 දී James Blunde නම් වෛද්‍යවරයා දරු ප්‍රසූතියකින් පසු අධික ලෙස රුධිර වහනය වුණු කාන්තාවකට ඇයගේ ස්වාමියාගේ රුධිරය ලබා දීම පළමු සාර්ථක රුධිර පාරවිලනය ලෙස වාර්තා වේ. 1900 දී Karl Landsteiner නම් වෛදයවරයා විසින් මුල් වරට A,B,O සහ AB යනුවෙන් රුධීර කාණ්ඩ කිහිපයක් ඇති බව සොයා ගැනීම වෛද්‍ය විද්‍යාවේ සිදු වූ විප්ලවයක් වූ අතර ඒ සඳහා ඔහුට නොබෙල් ත්‍යාගයද පසු කලෙක පුදනු ලැබීය. රුධිර පාරවිලනයේ සාර්ථකත්වය විසින් ලොව පුරා ලක්ෂ සංඛයාත ජනතාවගේ ජීවිත ගලවා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා ජාතික ලේ දීමේ සේවය ආරම්භ වන්නේ පණහේ දශකයේ සිට ය. අද එය වසරකට ලේ පයින්ට් 350,000 සැපයීමට සමත්ව ඇත්තේ ය. මුලින් කොළඹ ජාතික රෝහලට අනුයුක්ත ව පැවතුනද දැන් එය කොළඹ, නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ පිහිටි, 555/5 දරණ ස්ථානයේ පිහිටුවා තිබේ. එය සියලුම මහ රෝහල් වල හා මූලික රෝහල් වල සිය ශාකා පිහිටුවා ගෙන තිබෙන්නේ ඒ ඒ රෝහල් වල රෝගීන්ට ඉතා ඉක්මනින් අදාළ සේවා ලබා දීමට ය. එම ශාකා වල විශේෂ පුහුණුව ලද වෛද්‍යවරු, හෙද නිලධාරිනියන්, සුළු සේවකයින් ඇතුළු වෙනම කාර්ය මංඩලයක් ක්‍රියාත්මක වේ. ඔවුන් විසින්ද අවශ්‍යතාවය පරිදි ප්‍රාෙද්ශීය ලේ එකතු කිරීමේ වැඩ සටහන් පවත්වා ගෙන යයි. සාමාන්‍යෙයන් කොළඹ ජාතික ලේ දීමේ සේවය දිනකට ජංගම රුධිර එකතු කිරීමේ සේවා කණ්ඩායම් 5- 6 ක් පමණ ක්‍රියාත්මක කරයි. රුධිරය දන් දීමට කැමති ඕනෑම පුද්ගලයෙකුට මෙම විශේෂ ලේ දන් දීමේ වැඩ සටහන් වලට අමතර ව තම ප්‍රෙද්ශයේ රෝහල් වලට අනුයුක්ත ලේ බැංකුවකට ලේ පරිත්‍යාග කිරීමේ පහසුකම ඇත.
රට පුරා විවිධ පුද්ගලයින්ගෙන් ලබා ගන්නා රුධිරය ජාතික ලේ දීමේ සේවයේ ප්‍රධාන ආයතනය වන කොළඹ ලේ බැංකුවට ගෙන ආ පසු රුධිරය මගින් බෝ විය හැකි රෝග (එච්. අයි. වී. හෙපටය්ට්ස් බී,උපදංශ ) වලට පරීක්ෂා කරයි. ඊට පසු රුධිරය කොටසක් සංඝටක වලට වෙන් කර ගනු ලබයි. එනම් රතු සෛල, සුදු සෛල , රුධිර පට්ටිකා සහ ප්ලස්මාව, රුධිරය කැටි ගැසීම වලක්වන ද්‍රව්‍ය යනුවෙනි. එසේ කරන්නේ රුධිරයේ කොටස් වැඩි පුර කල් තබා ගැනීමට ය. සම්පූර්ණ රුධිරය ශීතකරණයේ ගබඩා කර තබා ගත හැක්කේ දින 35ක් පමණි.
ඔබ රුධිරය දන්දීමට කැමැත්තෙන් පසු වනවා නම් ඒ සඳහා ඔබ විසින් සුදුසුකම් කීපයක් සැපිරිය යුතු වෙයි. ඔබට වයස 18 සම්පූර්ණ වී තිබීම සහ යහපත් සරීර සෞඛ්‍යයෙන් යුතු වීම අනිවාර්ය වේ.
*ශරීරයේ බර කිලෝ ග්‍රෑම් 50ට වැඩිවීම,
*දියවැඩියාව, අධි රුධිර පීඩනය, හදවත් රෝග, ස්නායු රෝග, වකුගඩු හා අක්මාව ආශ්‍රිත රෝග, ඇදුම, සහ පිළිකා ආදී නිදන්ගත හෝ දීර්ග කාලීන රෝග නොමැති වීම
*වයස අවුරුදු 60ට අඩු වීම
*හීමොග්ලොබින් අගය 12.5g/dl ට වැඩිවීම ආදියද සලකා බැලේ.
කෙනෙකුගෙන් වරකට ගන්නේ රුධිර ප්‍රමාණයෙන් 13% ක ප්‍රමාණයකි. එනම් පයින්ට් එකක් පමණ ය. (මි. ලී. 470කි). එම රුධිර ප්‍රමාණය දන් දුන් පසු සිරුර ඒ මොහොතේ සිට නැති වූ රුධිර ප්‍රමාණය නැවත යථා තත්වයට ගෙන ඒම සඳහා වහා ක්‍රියා මාර්ග ගනී. ශ්‍රී ලංකාවේ අපිට ආඩම්බර විය හැකි කාරණයක් නම් 100%ක්ම ජාතික ලේ දීමේ සේවයට ලැබෙන රුධිරය ලැබෙන්නේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමෙනි. හදිසි අනතුරු, දරු ප්‍රසූතියකින් පසු අධික රුධිර වහනය වැනි අවස්ථා වල රෝගියා බේරා ගැනීමට ලේ පයින්ට් ගණනාවක් දීමට සිදු වන අවස්ථා ඇත. රෝගියාගේ හදිසි අවශ්‍යතා වලට ලේ බැංකුවෙන් ලබා ගන්නා ලේ වෙනුවෙන් එම අදාළ ප්‍රමාණය රෝගියා වාට්ටුවෙන් පිට වී යාමට පෙර රෝහලේ ලේ බැංකුවට ලබා දීමට කටයුතු කිරීම සෑම පුරවැසියන්ගේම වගකීමකි.
ඔබ දෙන එක පයින්ට් එකකින් ජීවිත තුනක් රැක ගත හැකි ය. කෙනෙකුට අවශ්‍ය නම් සෑම මාස හතරකට වරක් රුධිරය පරිත්‍යාග කළ හැක. ලෝක ලේ දන්දීමේ දිනය සෑම වසරකම ජූනි 14 දිනයේ දී පැවැත්වේ.
කෙදිනක හෝ හෙපටයිටිස් B හෝ C, මැලේරියාව, සිෆිලිස්, හෝ HIV/AIDS වැළඳී තිබේ නම්
*අනාරක්ෂිත ලිංගික ක්‍රියාවන්හි යෙදේ නම්
*රුධිරය පරිත්‍යාගයකට මාස තුනකට වඩා අඩු කාලයක් තුළ විදේශගතව තිබේ නම්
*මාස 12ක කාලයක් තුළ පච්ච කෙටීමක් හෝ කන්, තොල්, නාසය විදීමක් සිදුකර ඇත්නම්
*පසුගිය මාස 12 තුළ පිටතින් රුධිරය ලබාගත්තේ නම්
*එන්නත් කටු භාවිතයෙන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ නම්,රුධිරය දන්දීමට ඔබ නුසුදුසු ය.
රුධිරය දන්දීම සඳහා ඉදිරිපත් වන්නෙක් මේ කරුණු පිළිබඳව ප්‍රශ්න කෙරෙන පෝරමයක් පුරවාදීම අනිවාර්යයි. මේ අවස්ථාවන් වලදී රුධිරය දන්දීමට ඇති ආශාව නිසා අසත්‍ය තොරතුරු ලබාදීම නම් කිසිසේත්ම නොකළ යුත්තකි.
රුධිරය ප්‍රධාන වශයෙන් කාණ්ඩ හතරකට බෙදේ. O, A, B සහ AB යනුවෙනි. එම ඝණ වලට අයිති සමහරුන්ගේ Rh සාධකය ඇති අතර සියයට පහක පමණ පිරිසකගේ Rh සාධකය නැත. Rh සාධකය ඇති අය පොසිටිව් ලෙසත් නැති අය නෙගටිව් ලෙසත් සැලකේ. සෑම රුධිර ඝනයකම මේ දෙවර්ගයම ඇති බැවින් . O, A, B සහ AB පොසිටිව් සහ . O, A, B සහ AB නෙගටිව් වශයෙන් කණ්ඩායම් අටක් සෑදේ. මෙයින් බහුලවම ඇත්තේ O පොසිටිව් අයය, අඩුවෙන්ම ඇත්තේ AB නෙගටිව් අය ය. රෝගියෙකුට ලේ ලබා දෙන විට ලේ දෙන පුද්ගලයාගේ රුධිරයේ සෛලත් ලේ ලබා ගන්නා පුද්ගලයාගේ ප්ලස්මාවත් අතර DTපරීක්ෂණයක් කොට ලේ වර්ග දෙක සසඳා බලයි. ලේ වර්ග නොගැලපේ නම් එය ලබා දෙන අවස්ථාවේ ශරීර උෂ්ණත්වය ඉහළ යාම, සීතලය අල්ලා වෙව්ලීම, පපුවේ කැක්කුම, කොන්දේ කැක්කුම හුස්ම ගැනීමේ අපහසුව , සීඝ්‍රෙයන් රුධිර පීඩනය පහත වැටීම ආදිය පෙන්නුම් කරයි. එවන් අවස්ථාවක ඉතා දරුණු ප්‍රතික්‍රියාවක් හට ගෙන රෝගියා මරණයට පත් වීමට වුවද ඉඩ ඇත. රෝගියෙකුට රුධිරය ලබා දීමේ දී රෝගියාට මෙම රෝග ලක්ෂණ ඇති වුවහොත් වහාම රුධිර පාරවිලනය නවත්වා ප්‍රතිකියාව වැළැක්වීමේ බෙහෙත් දෙනු ලැබේ.
රෝගියකුට රුධිරය ලබා දීමේ දී තවත් සලකා බලන තත්වයක් නම් ආර් එච් සාධකයයි. මෙය වඩාම බලපවත්වන්නේ ගර්භනී මවකගේ ආර් එච් නෙගටිව් වන විට ය. පියා ආර් එච් නෙගටිව් නම් දරුවාද ආර් එච් නෙගටිව් වේ. එවිට ප්‍රශ්නයක් නැත. එහෙත් නෙගටිව් මවගේ දරුවා පොසිටිව් වූ විට යම් හෙයකින් දරුවාගේ රුධිරය මවගේ රුධිර පද්ධතියට ඇතුල් වුව හොත් ප්‍රතිදේහ සෑදේ. ප්‍රශ්නය ඇති වන්නේ ඇගේ දෙවෙනි දරුවාටය. දෙවෙනි දරුවා ද ආර් එච් පොසිටිව් වුවහොත් මවගේ රුධිර පද්ධතියේ කලින් සෑදී ඇති ප්‍රතිදේහ එම දරුවා මත ක්‍රියා කොට රුධිර සෛල විනාශ කළ හැක. ආර් එච් නෙගටිව් අම්මලාට දරුවා ලැබුණ පසු දරුවාගේ රුධිර ඝනය පරීක්ෂා කොට එය ආර් එච් පොසිටිව් නම් විශේෂ බෙහෙතක් දෙනු ලබන්නේ එම ප්‍රතික්‍රියාව වැළැක්වීමට ය.
වෛද්‍යවරුන් සෑම විටම උත්සාහ කරන්නේ රෝගියෙකුට හරියටම ගැලපෙන ලේ දීමට ය. 100%ක් ස්ථිරව ගැලපෙන රෝග බෝ වීමේ අවදානම අඩුම ලේ කුමක්ද? ඔබ සිතුවා හරි ය. යම් විදියකින් පාරවිලනය සඳහා අපිට අපේම ලේ ලබා ගත හැකි නම්. එය ප්‍රායෝගිකව ව කර ගත හැකි අවස්ථා ඇත. සමහර ශල්‍ය කර්ම දින නියම කර සිදු කරනු ලැබේ. එවන් අවස්ථා වල වල දී අවශ්‍ය රුධිරය කල් තබා සූදානම් කරනු ලැබේ. එවන් අවස්ථාවක තමාගේම ශල්‍ය කර්මය සඳහා අවශ්‍ය රුධිරය කලින් දී ගබඩා කර තබා ගත හැකි ය. එවිට තමාට ලැබෙන්නේ තමාගේම රුධිරයයි.
වෛද්‍ය ලංකා සිරිවර්ධන