09/06/2021
🌧 වැස්ස දවසට පුංචි පැටියව ආරක්ෂා කරගන්න සරළ ආකාර 5ක් අපි අද කතා කරනවා.
👚 උණුසුම රැඳෙන ඇඳුම් භාවිතා කිරීම
වැස්ස දවසක පවතින ශීත කාලගුණයෙන් වැඩි ආරක්ෂාවක් ඇති කරන්න පුලුවන් එක විදියක් තමයි බබා අඳින පළදින ඇදුම්. ශරීරයේ උණුසුම රැඳෙන ආකාරයට ස්ථර කිහිපයක ඇඳුම් බබාට ඇන්දවීම සැරසවීම තුළින් සුවදායක තත්ත්වයක් ඇති කරන්න පුලුවන්. ශරීරයට වඩාත් ලිහිල් ඇඳුම් මේ දින වලට ගැළපෙන්නේ නැති වුනත්, අපි අන්දවන ඇදුම් වලින් දරුවාගේ චලනයන් සීමා නොවිය යුතුයි, විශේෂයෙන්ම පුංචිම දරුවෙක්ව වඩාගෙන ඉන්න අවස්ථා වැඩි නිසා සමට හානියක් නොවෙන ඇඳුම් අපි තෝරාගත යුතුයි. මේ කාලයේදි, තොප්පි, මේස් වගේම අත් ආවරණ භාවිතා කරන්න පුලුවන් කොහොම උනත් සනීපයක් දැනෙන රෙදි වලින් නිපැයූ ඇඳුම් හැකිතාක් තෝරා ගැනීම වැදගත්.
🩺 ලෙඩ රෝග සහ ආසාදන වලින් ආරක්ෂාව
වැස්ස දවස් කියන්නේ මව්වරුන් ටිකක් බය කාලයක් මොකද ලෙඩ රෝග සහ ආසදන තත්ත්ව පැටියට ඇති වෙන්න තියෙන ප්‍රමාණය වැඩි නිසා. ඉතින් බය නොවී, ආරක්ෂාව ටිකක් වැඩි වෙන විදියට ක්‍රියා කරාම අපිට දරුවට සුවදායක තත්ත්වයක් ඇති කරන්න පුලුවන්. විශේෂයෙන් මේ දිනවල ඔබ දරුවව වඩා ගන්න කලින් අත් සෝදාගෙන වඩාගන්න, දැන් පවතින කොවිඩ් තත්ත්වය එක්ක මේක බොහෝ මව්වරුන් ඉතා සැළකිල්ලෙන් කරන දෙයක්. ඔබ විතරක් නෙමෙයි වෙන කෙනෙක් දරුවව වඩා ගන්න යනවා නම්, අත් සෝදාගෙන එන්න කියන්න අමතක කරන්නෙපා.
🥦 සමබර ආහාර වේලක් තුළින් නිසි පෝෂණය
සමබර සහ පෝෂ්‍යදායී ආහාර වේලක් දරුවාට ලබා දීම හුඟාක් වැදගත්. පලා වර්ග, සුප්, කැඳ වර්ග, සලාද කොළ සහ තවත් පෝෂ්‍යදායී ආහාර ලබා දීම තුළින් ශරීරය වගේම මානසික තත්ත්වය ඉහළ යාමක් සිදු වෙනවා. විශේෂයෙන් තරමක් රස්නෙ ජලය පානය කිරීමට යොමු කිරීම, ශීත ආහාර තරමක් අඩු කිරීම අපට කරන්න පුලුවන් තවත් පුංචි වෙනස්කම් වෙනවා. මේ වගේ දිනවල දරුවාට ආස හිතෙන විදියට කෑම පිළිගැන්වීමත් කරන්න පුලුවන් දෙයක්.
👶 තෙල් සම්භාහනය
ශීත කාලගුණය තවත් එක සුවදායක කාලයක් කරන්න පුලුවන් සරළම ආකාරයක් තමයි තෙල් සම්භාහනය. මෙහිදි අප තෝරාගන්නා තෙල් වර්ගය ඉතාම වැදගත් වෙනවා වගේම දරුවන්ට එය සුවදායී ආකාරයට ලබා දීමත් හුඟාක් වැදගත්. ස්නානයෙන් පස්සේ හෝ නින්දට යාමට පෙර බබාට ගැළපෙන සුවඳක් සහිත තෙල් ශරීරයේ ගැල්වීමත්, හොඳින් සම්භාහනය කිරීමත් තුළින් ශරීරයේ අවශ්‍ය උෂ්ණත්වය පවත්වා ගෙන යාමට අපිට හැකි වෙනවා. සම්භාහනය කිරීමේදි අත්, පා රිදෙන්නේ නැති වෙන්න, පහසුවක් දැනෙන ආකාරයට කිරීම තුළින් සුව නින්දක් ලබා ගන්නත් හැකි වෙනවා.
🏃 එළිමහනේදි විශේෂ ආරක්ෂාවක්
එළිමහනේදි පින්න වැඩියෙන් තියෙන කාලයක් තමයි වැස්ස දවස් කියන්නේ, ඒ නිසා පාන්දර වගේම හවස් වරුවෙත් දරුවව නිවස තුළම තියාගන්න ගොඩක් නුවණට හුරු දෙයක්. ඒ වගේම එළිමහනට ඇවිදගෙන යන දරුවට පාවහන් පැලළඳීම අනිවාර්යෙන් හුරු කළ යුතු දෙයක්. මේ වගේ දින වලදි තොප්පියක්, මේස්, අත් ආවරණ පැළඳවීම අවශ්‍ය වෙනවා, පුංචි දරුවා තොප්පියක් පළඳින්න අකමැති නම් ඔබත් තොප්පියක් පැළඳගෙන බබාවත් එයට හුරු කරන්න.
✨වඩා වැදගත් වන්නේ වැසි දිනයක පවා ක්‍රියාශීලිව සහ සතුටින් කාලය ගත කිරීමයි, ඒ නිසා වැස්ස නිවසේ ඉඳන්ම සුන්දරව විඳින්නත් දරුවට කියලා දෙන්න අමතක කරන්නෙපා!
👉මේ කතා කරපු සරළ කරුණු ඔබට වැදගත් වෙයි, ඒ වගේම මේ දැනුම තවත් කෙනෙක් සමඟ බෙදා ගන්න අමතක කරන්නෙපා.