19/04/2026
Ask your nutrition professor ' ලිපි මාලාව අංක - 26
ඔබ ආහාර ගන්නා අනුපිළිවෙළ (food intake sequence) මගින් රුධිරගත සීනි මට්ටම සහ ඉන්සියුලින් මට්ටම කෙරෙහි බලපෑමක් ඇතිවේද?
මෙවර කතිකාවත සඳහා මා පාදක කොට ගන්නේ අප ආහාර ගන්නා අනුපිළිවෙල (food intake sequence) එනම්, අප මුලින්ම ආහාරයට ගන්නේ බත් ද, එසේත් නැතහොත් එළවළු හෝ මස්/මාළු ද යන්න මත අපගේ රුධිරගත සීනි මට්ටම, ඉන්සියුලින් සහ ආන්ත්‍ර හෝමෝන (gut hormones) ආශ්‍රිත වෙනස්කම් සිදුවන ආකාරය පිළිබඳ සිදුකරන ලද පර්යේෂණයකි. මෙම පර්යේෂණය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත Professor Jeyakumar Henry ඇතුළු පර්යේෂක පිරිස විසින්, ආසියානු පුද්ගලයින් යොදා ගනිමින් සිංගප්පූරුවේදී සිදු කරන ලද්දකි. මෙය Q1 කාණ්ඩයට අයත් Clinical Nutrition නම් සඟරාවේ 2020 වසරේ පළ වූවකි.
මෙහිදී ඔවුන්, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 50ක් ලැබෙන පරිදි හාල් ග්‍රෑම් 63.2 ක ප්‍රමාණයකින් පිසූ බත් ද, මේදය ඉවත් කළ කුකුල් මස් (chicken breast) ග්‍රෑම් 100ක් ද, කොළ සහිත එළවළු (leafy vegetables) ග්‍රෑම් 180 ක් ද ආහාර වශයෙන් ලබා දෙන ලදී. මෙම පර්යේෂණයේදී ඔවුන් සිදුකර ඇත්තේ, නිරාහාරව පැමිණෙන පර්යේෂණයට බඳුන් වූ පුද්ගලයින් හට උදෑසන ආහාර වේල වශයෙන්, මෙම ආහාර වර්ග තුන ලබා දෙන අනුපිළිවෙල වෙනස් කරමින්, එකම පුද්ගලයන්ගේ රුධිරගත සීනි මට්ටමේ සහ හෝමෝන වල වෙනස්කම් නිරීක්ෂණය කිරීමයි. මෙහිදී ඔවුන් ආහාර වේල් පහක් (test meals) පර්යේෂණයට ලක් කරන ලදී.
*පළමු වන ආහාර වේල (Test meal 1)* - පළමුව එළවළුද දෙවනුව කුකුල් මස් සහ බත්.
*දෙවන ආහාර වේල (Test meal 2)* - කුකුල් මස් පළමුවද, දෙවනුව එළවළු සහ බත්.
*තුන්වන ආහාර වේල (Test meal 3)* - පළමුව එළවළුද, දෙවනුව කුකුල් මස් ද, ඉන් අනතුරුව බත්.
*සිව්වන ආහාර වේල (Test meal 4)* - බත්, එලවළු සහ කුකුල් මස් සියල්ලම එකට මිශ්‍ර කරගනිමින් ආහාරයට ගැනීම.
*පස්වන ආහාර වේල (Test meal 5)* - පළමුව බත් ද, දෙවනුව එළවළු සහ කුකුල් මස්.
මෙහිදී ඔවුන් පර්යේෂණයට බඳුන් වූ පුද්ගලයින්ගේ පැයක් ගතවනතුරු සෑම පැය කාලකටම වරක්ද, ඉන් අනතුරුව සෑම පැය භාගයකට වරක්ද වශයෙන් රුධිරගත සීනි මට්ටම සහ ඉන්සියුලින් මට්ටම මැන ඇති අතර, පැය තුනක් ගතවනතුරු සෑම පැය භාගයකට වරක් රුධිර ගත GLP-1 හෝමෝන මට්ටම ද මැන ඇත.
මෙම පර්යේෂණයේ ප්‍රතිඵල වලට අනුව පෙන්වා දෙන පරිදි, අනෙක් පුද්ගලයින්ට සාපේක්ෂව, පළමුව එළවළුද දෙවනුව මස් ද අනතුරුව බත්ද යන අනුපිළිවෙලින් ආහාරයට ගත් පුද්ගලයින්ගේ රුධිර ගත සීනි මට්ටම වැඩි වී ඇත්තේ ද, පළමු පැයේදී ඉන්සියුලින් ප්‍රමාණය වැඩි වී ඇත්තේ ද, ඉතා අවම වශයෙනි .
තවද වැඩිම රුධිර ගත සීනි ප්‍රමාණයක් සහ වැඩිම ඉන්සියුලින්ම ප්‍රමාණයක් ශ්‍රාවය වී ඇති බවට නිරීක්ෂණය කොට ඇත්තේ, පළමුව බත් ද ඉන් අනතුරුව එළවළු සහ මස් ද යන අනු පිළිවෙලින් ආහාරයට ගත් පුද්ගලයින්ගේය.*
මෙහිදී රුධිරගත GLP-1 හෝමෝන මට්ටම ද මැන ඇත. GLP-1 හෝමෝනය මගින් ආහාර රුචිය අඩු කරන අතර, මෑත කාලීනව බර අඩුකිරීම සඳහා හඳුන්වා දී ඇති GLP-1 Analogues ඖෂධ වල ද, අඩංගු වන්නේ මෙම GLP-1 හෝමෝනය හා අනුරූපී රසායනික ද්‍රව්‍යයකි. ඔවුන් පෙන්වා දී ඇති පරිදි, මෙම *රුධිර ගත GLP-1 හෝමෝනය, වැඩිපුරම ශ්‍රාවය වී ඇත්තේ පළමුව එළවළුද දෙවනුව මස් ද අනතුරුව බත් ද යන අනුපිළිවෙලින් ආහාර ආහාරයට ගත් පුද්ගලයින්ගේ ය.
එබැවින් සාරාංශයක් ලෙස ගත් කළ ප්‍රකාශ කළ හැක්කේ, ආහාර ගැනීමේදී, පළමුව එළවළුද දෙවනුව මස් ද අනතුරුව බත්ද යන අනුපිළිවෙලින් ආහාරයට ගැනීමෙන්, රුධිරගත සීනි මට්ටම මෙන්ම රුධිරගත ඉන්සියුලින් මට්ටම ද ඉහළ යාම අවම අගයක පවත්වා ගත හැකි බවයි.
මහාචාර්ය රනිල් ජයවර්ධන
2026.04.18
https://pubmed.ncbi.nlm.nih.gov/31053510/