23/02/2026
මිනිස්සුන්ට ජීවිතේ වරදින ප්‍රධාන තැනක් තමයි priority (මුල්තැන) දෙන්න ඕන දේ හරියටම මොකක්ද කියල වටහගන්න බැරිවීම. මේක නොතේරෙන කමමයි කියන්නත් බැහැ.මේක පුද්ගලයාගේ ego (මමත්වය) එක නිසා වෙන්නත් පුලුවන්. ඒ වගේම over confidence (අධි විශ්වාසය) නිසා වෙන්නත් පුලුවන්. Excessive desires (අධික ආශාවන්) නිසා වෙන්නත් පුලුවන්. මේ වගේ විවිධ හේතු හින්දා මිනිස්සුන්ට නොතේරී යනවා තමා මුල්තැන දිය යුතු දේවල් වල පිළිවෙල කුමක්ද කියලා.
උදාහරණයක් විදිහට විවාහක අයෙක් නම්, තම දරුවන්, සැමියා, බිරිඳ, දෙමව්පියන්, සහෝදරයින්, මිත්‍රයින්, නෑදෑයන්, රාජකාරි කටයුතු (සැ.යු. මෙහි සඳහන් කර ඇත්තේ පිළිවෙළ නොවේ) ආදී සියල්ල පිළිවෙලින් ස්ථානගත කළයුතුයි. ඒ ස්ථානගතකිරීමේදී බුද්ධිමත් වීම ඉතා වැදගත්. ඒ ස්ථානගතවීම මයි ඒ පුද්ගලයාගේ ඉදිරි අභිවෘද්ධිය සඳහා බලපානු ලබන්නේ. තමා රැකියාවක් කරන්නේ කුමක් සඳහාද? තම දරු පවුල වෙනුවෙන් කරන රැකියාව නිසාම ඔබට දරුවන්, සැමියා, බිරිඳ අමතකවී යනවාද? මිත්‍ර සමාගම් විසින් ඔබට ඔබේ මූලික අරමුණ අමතක කරවනවාද? රැකියාවේ ඉහළට යෑමේ තරඟය නිසා ඔබට පවුලට දිය හැකි කාලය සීමිත වෙලාද? මුදල් හොයල ඉන්න ඕනෙ ආදරේ කරන්න කියල හිතෙන්න පටන් අරන්ද?
එසේනම් වහාම පියවි සිහියට පැමිණෙන්න. මක් නිසාද යත් මුලින් සුළුවෙන් සිදුවන දේවල් ඉක්මණින් පුරුද්දකට යා හැකි නිසාවෙනි. මෙවැනි අවස්ථාවලදී සමීපතමයන්ගේ හිත් රිදීම් නිසා හට ගන්නා ප්‍රශ්න දිගු කාලීනව ඔබව හුදෙකලා කිරීමට හැකි බව මතක තබා ගන්න.
එක්තරා අවස්ථාවක දැඩි ආදරෙන් විවාහ වූ යුවලක් සිටියා. වැඩිපුරම ආදරය කළේ කාන්තාව විසින් සැමියාට. සැමියාට over confidence තිබුනා ඔහු මොන දේ කළත් ඇය ඔහුව අත්නොහරින බවට. සිතින් ගතින් ඇය මැරෙන තුරා තමාගේම පමණක් බවට ඔහුට සුරක්ෂිත බවක් දැණුනා. එහෙත් ඔහුගෙන් ඇය වෙත ඉටුවිය යුතු දේවල් ගැන ඔහු වැඩි තැකීමක් නොකර සිටීමටද හේතු වුනේ ඔහුගේ අසීමිත විශ්වාසයයි. ඔහු තම සතුට වෙනුවෙන් කාලය කැප කළේ දෙවරක් නොසිතායි. ඔහුගේ සාර්ථකත්වය ගැන අභිමානවත් හැඟීමකින් ඔහු ජීවත් වුනා.
දරුවන්ද ලැබී ඔවුන් ආර්ථිකමය වශයෙන් ඉතා හොඳ මට්ටමේ පවුල් ජීවිතයකට උරුමකම් කිව්වා. ඒත් බිරිඳ නිතරම ජීවත් වුනේ අසතුටින්. ඇය බලාපොරොත්තු වූ ආදරය අවධානය ඇයට කවදාවත් ඔහුගෙන් ලැබුනෙ නැහැ. ඔහු ඇගේ සියලු භෞතික අවශ්‍යතා ඉෂ්ට කළද ඇයගේ මානසික අවශ්‍යතා සඳහා ඔහු ඇය සමග සිටියේ නැහැ. ඔහුට රාජකාරී වැඩි වුනා. යාලු මිත්‍රාදීන් වැඩි වුනා. ඔහුව වර්ණනා කරන්නියන් හමුවුනා. මේ සියල්ලට ආශා කළ ඔහුට බිරිඳගේ හදවත ගැහෙන වග අමතකව ගියා.
විවාහයෙන් අවුරුදු දයකට පමණ පසු ඔහුට දැන ගැනීමට ලැබෙන්නේ තම බිරිඳ හා වෙනත් පුද්ගලයෙකු අතර ආදර සම්බන්ධයක් ඇති බවත් එය ලිංගික සම්බන්ධයක් දක්වා දුර දිග ගොස් ඇති බවත් ය. ඔහුගේ මුළු ලෝකයම කඩන් වැටුනේ එතැන් සිටය. ඔහු සිතා සිටි බිරිඳ තව දුරටත් එම නිවසේ නැත. ඒ වෙනුවට සිටින්නේ අනියම් ඇසුරක් පවත්වන, තමා ගැන දශමයකවත් හැඟීමක් නොදැනෙන ගැහැණියකි. ඔහු පරාද වී හමාර බව ඔහුට වැටහෙන විට, ඇය ඔහු සමග තවදුරටත් ජීවත් වීමද ප්‍රතික්ෂේප කරන්නට විය.
දරු දෙදෙනා හා තමා තනිවන ලකුණු පහවත්ම නොයෙක් දේ කරමින් ඔහු පවුල රැකගන්නට වෑයම් දරන්නට විය. ඔහුට නොහැකි විය. ඇය මනසින් දික්කසාද වී හමාරය. ඇයට අවශ්‍ය වූයේ තවත් කසාදයක් කර ගැනීම නොව, මේ කසාද හිරගෙයින් නිදහස් වීම පමණි. කිසිදු හැඟීමක් නොදැනෙන පුද්ගලයෙකු සමග තවදුරටත් ජීවත් වීම තේරුමක් නැති දෙයක් බව ඇය ස්ථාවරව කියා සිටියි.
අතීතයේ තමා ආසීමිතව ආදරය කළ මට්ටමට නැවත කවදාවත් ඇයට අනුගත වීමට නොහැකි බව තරයේ කියා සිටි ඇයට තවදුරටත් සැමියාව රැවටීමටවත් ඔහුගේ කාලය කා දැමීමට වත් අවශ්‍ය නොවීය. ඇය විවාහයෙන් වෙන් විය.
ඔහු ඇය වැරදි යැයි දොස් පැවරුවද ඇය ඇගේ රාජකාරිය අකුරටම ඉශ්ඨ කොට දිනෙන් දින තම ආදරයට හිමි වටිනාකමක අහිමිව යෑම ශෝකයෙන් දරා සිටිද්දී ඇයට ආදරණීය ස්පර්ශයක් කතාබහක් ලද තැන ඇය වරදට පෙළඹී ඇත. ඒ පිළිබඳව ඇයට කිසිදු පසුතැවීමක් හෝ නැත. කෙටි කලකට හෝ තමා ජීවත්වන බව දැනුනේ අනියම් සම්බන්ධය නිසා යැයි ඇය තහවුරු කරයි. එම සම්බන්ධතාවය නැවතුනද ඇය මේ පවුල තුල තවදුරටත් සිටීම ප්‍රතික්ෂේප කරන ලදී.
කෙනෙකුට හිතෙන්න පුලුවන් මේ මාර ගෑණු නේ කියලා. ඒත් ඒ මාර ගෑණු නෙමෙයි. ඒ තමයි ගැහැණු. ගැහැණු හොයන්නෙම තම ආදරවන්තයාගේ ආදරය අවධානය මිස වෙන කිසිවක් නොවේ. එය නොලැබෙන තැන ඇයගේ අරමුණ හිස් වන්නට පටන් ගනී. ඇගේ හිස් වූ හදවතට කළු කුමාරයා ඇතුල් වන්නේ එවිටයි.
මෙය කෙනෙකුට වැරදී යැයි තර්ක කරන්න පුලුවන්. ඒත් තම තමා , තමාගේ කොටස හරියාකාරව ඉටු කරන්න අවධානය දුන්නා නම් මේ කිසිවක් නොවනු ඇත. විටෙක ඔබ කියයි යන එකා කොහොම හිටියත් යන බව. ඒ කතාවට එකඟ වීම නම් අපහසුය. අපි සැවොම මනුශ්‍යයෝය. අප සැවොමටම සතුටින් ජීවත් වීමේ ඇයිතියක් ඇත. ඒ සතුට වෙනුවෙන් තීරණ ගැනීමේ අයිතියක්ද මිනිසාට ඇත. වසර ගණනාවක් බලා හිඳ ආදරය නොළබෙන බව පසක් වූ කළ නික්ම යන්නන්ට අපහාස කිරීමට අපට අයිතියක් නැත.
පෙරහැර යන්න කලින්, ඇහැරෙන්න. මුල්තැන දෙන්න ඕනෙ තැන් වලට මුල්තැන දෙන්න. නැත්නම් ඔබට අහිමිව යන්නේ ඔබේම සතුට සහ ජීවිතයයි. අවසානයේ දී හිස් වූ හදවතක් සහිත හුදකලා වූ ඔබම ඔබට මුණගැසෙනු ඇත.
කෑම බීම ඇඳුම් පැළඳුම් මුදල් යාන වාහන මෙහෙකරුවන් සැප පහසු මෙට්ට AC කාමර සුවඳ විලවුන් ආදියට හිතක හිස් තැන් පුරවන්න බැරි බව මතක තියාගන්න. ඒ හිස්තැන් වලට යක්කු එන්නෙ කලින් දැණුම් දී නොවේ. එක පාරක් එක යකෙක් රිංගුව කියන්නෙ ඒ ඉවට වටේම ඉන්න යක්කු පේලි ගැහිල බලන් ඉන්නෙ තමාටත් රිංග ගන්න වාරයක් එනකල්. අහක යන යක්කුන්ට තමාගෙ දිව්‍ය විමානෙ හැඩි කරන්න ඉඩ දෙනවද නැද්ද කියන එක තියෙන්නෙ ඔබේ අතේ. ඔබේ මනුසත්කමේ.
මේ සිද්ධි වලට ගැහැණු පිරිමි භේදයක් නැත. ගැහැණුන්ගෙන් පිරිමින්ටද මේ අසාධාරණය වූ අවස්ථා බොහෝ ඇත. තමා ඇහැරෙන විට පෙරහැර ගිහින් හමාර බව වටහාගත් ගැහැණුන්ද මට මුණ ගැසී ඇත.
Anjali Budawatta Jayawardana
Counseling psychologist
(Msc.,MA,PGD,BA,HND,Dip.)