23/05/2025
Little Hearts ව්‍යාපෘතියේ මුදල් භාවිතය පිළිබඳ පළවූ ප‍්‍රවෘත්තිය සම්බන්ධයෙන්, එම සාවද්‍ය සහ ද්වේශ සහගත කරුණු නිවැරදි කරන මෙන් ඉල්ලා එම පුවත්පත වෙත අප විසින් යවන ලද ලිපිය, එම පුවත්පතේ පල නොකළ බැවින් අප මෙසේ සමාජ මාද්‍ය තුලින් ඔබ වෙත ගෙන ඒමට තීරණය කළෙමු.
2023 ජාතික විගණන කාර්යාලය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විගණන වාර්තාව මත පදනම්ව, 2025 අප්‍රේල් 18 වන දින “අපේක්ෂා රෝහලේ කෝටි හතරක මුදල් පුස්කන්න ඇරලා” යන ශීර්ෂ පාඨයේ යටතේ Little Hearts ව්‍යාපෘතිය සම්බන්ධව පලවු කරුණු සම්බන්ධයෙන් අපගේ බලවත් කනස්සල්ල පල කරන අතර එය නිවරදි කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙම ව්‍යාපෘතිය ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය මගින් ඉතාමත්ම පාරදෘශ්‍ය ආකාරයෙන් සිදුකරන ව්‍යාපෘතියක් වන අතර ජනතාව ඉතාමත්ම විශ්වාසයෙන් පරිත්‍යාග සිදු කළ ව්‍යාපෘතියක්ද වේ. මෙම විගණන වාර්තාව සැකසීමේදී ද ඒ පිළිබඳව ප‍්‍රවෘත්ති පළ කිරීමේ දී ද කිසිදු ආයතනයක් විසින් මේ පිළිබඳව අපගෙන් විමසීමක් කළ නැති බව වගකීමෙන් ප‍්‍රකාශ කර සිටිමු.
මෙම ව්‍යාපෘතිය සඳහා පරිත්‍යාග ලෙස ලැබෙන සියලූම මුදල් (බැංකු සේවා සඳහා වන වියදම් සහ Little Hearts ව්‍යාපෘතිය විගණනය කරන ආයතනය වෙත සිදු කරන ගෙවීම් හැර) භාවිතා කෙරෙන්නේ ගොඩනැගිල්ල ඉදිකිරීම සහ වෛද්‍ය සේවා සැපයීම සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා පමණි.
2024 දෙසැම්බර් 31 වන දින වන විට මෙම ව්‍යාපෘතිය සඳහා පරිත්‍යාගශීලීන් විසින් රුපියල් මිලියන නවසීය අනූ එකක (රු. 991,290,076.82) මුදලක් පරිත්‍යාග කර ඇත. එම මුදල ජාතික සංවර්ධන අරමුදලේ තැන්පත් කර ඇති අතර ඒ සඳහා පොලිය වශයෙන් මේ වනවිට රුපියල් මිලියන තුන්සිය හැත්තෑ හයක (රු. 376,730,987.55) ක මුදලක් ලබා දී ඇත. එබැවින් එම මුදල් පුස්කන්න ඇරලා යනුවෙන් සඳහන් කිරීම ද්වේශ සහගත ප‍්‍රකාශයක් බව අපගේ හැඟීමයි.
එමෙන්ම මේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සඳහා 2017 වසරේ සිට මේ දක්වා රුපියල් මිලියන පන්සිය අසූවක (රු.580,000,000.00) මුදලක් ඉදිකිරීම් සිදුකරන නාවික හමුදාව වෙත ලබාදී ඇති අතර රුපියල් මිලියන අසූ එකක (රු. 81,397,296.72) මුදලක් විදුලි බල මණ්ඩලය වෙත ගෙවා ඇත. ඉන් පැහැදිලි වන්නේ Little Hearts ව්‍යාපෘතිය වෙත පරිත්‍යාගශීලීන් විසින් ලබාදුන් මුදලින් රුපියල් මිලියන හයසිය හැට එකක (රු. 661,397,296.72) මුදලක් මේ වන විට ඉදිකිරීම් සඳහා ලබා දී ඇති බවයි.
ඉතිරි මුදල වන රුපියල් මිලියන හත්සිය හතක් (රු.707,570,869.35) මේ වන විට ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල යටතේ තැන්පත් කළ ඇති අතර එම මුදල් ඉදිරියේදී සෞඛ්‍ය සේවා පවත්වා ගැනීමට අවශ්‍ය උපකරණ මිලදී ගැනීමටත් ගොඩනැගිල්ල නඩත්තු කිරීමටත් භාවිතා කෙරෙනු ඇත.
මීට අමතරව නාවික ඉංජිනේරු නහිල් විජේසූරිය මහතා විසින් පරිත්‍යාග කරන ලද රුපියල් බිලියනයක මුදලක් (රු.1,000,000,000.00) එතුමාගේ ඉල්ලීම මත, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ගිණුමක තැන්පත් කර ඇති අතර ගොඩනැගිල්ලේ වායු සමීකරණ පද්ධතිය සඳහා වන වියදම එයින් පියවා ගැනේ.
මෙම Little Hearts ව්‍යාපෘතිය පවත්වා ගැනීමට අවශ්‍ය අනෙකුත් සියලූම වියදම් Creative Software ආයතනය මගින් දරන අතර ඒ සඳහා පරිත්‍යාගශීලීන්ගේ පරිත්‍යාග කිසිවක් භාවිතා නොකෙරේ.
Little Hearts යටතේ ඇති සියලූම ගිණුම් KPMG ආයතනයේ විගණනයට ලක්වන අතර සියලූම පරිත්‍යාග උපරිම කාර්යක්ෂමතාවයකින් සහ උපරිම විනිවිදභාවයකින් භාවිතා වන බවට අප සහතික වෙමු.
ගොඩනැගිල්ල ඉදිකිරීමට පෙර උපකරණ මිලදී ගතහොත් එම උපකරණ සඳහා ලැබෙන වගකීම් සහතික (Warranty Certificate) එම උපකරණ භාවිතයට ගන්නා කාලය වන විට කල් ඉකුත් වනු ඇත. එම නිසා එම මුදල් ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ තැන්පත් කර තිබෙන්නේ ගොඩනැගිල්ල ඉදිකිරීමෙන් පසු අවශ්‍ය වේලාවට උපකරණ මිලදී ගැනීම සඳහා මිස පුස්කෑම සඳහා නොවේ.
මෙවැනි වගකීම් විරහිත ප‍්‍රකාශ සහ ප‍්‍රවෘත්ති පළකිරීම් තුළින් සිදු වන්නේ රටේ දරුවන් වෙනුවෙන් ඉදිවෙන හෘද රෝග සහ දැඩි සත්කාර ඒකකය වෙත ලැබෙන ආධාර මුදල් අඩුවීම සහ දැනටමත් පරිත්‍යාග කර ඇති පරිත්‍යාගශීලීන් අධෛර්යමත්වීම පමණි.
මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමෙන් පසු වසරකට හදවත් රෝගී සහිත දරුවන් සහ දැඩි ලෙස රෝගාතුර වන දරුවන් දසදහසකට පමණ ප‍්‍රතිකාර කිරීමට හැකිවන අතර මෙවැනි ව්‍යාපෘති පිළිබඳව ප‍්‍රධාන මාධ්‍ය හරහා හෝ සමාජ මාධ්‍ය හරහා ප‍්‍රකාශ සිදු කිරීමේදී මීට වඩා වගකීමකින් ක‍්‍රියා කළ යුතු බව අපගේ හැඟීමයි. මන්ද එයින් අගතියට පත්වන්නේ මෙම ගොඩනැගිල්ල තුළින් ප‍්‍රතිකාර ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් දැනටමත් පොරොත්තු ලේඛනවල සිටින දහස් ගණන් හදවත් රෝගී දරුවන් සහ අනාගතයේදී දැඩි ලෙස රෝගාතුර වන දරුවන් වන අතර ඒ තුල මෙවැනි ප්‍රකාශ සිදුකරන ඔබගේ හෝ ඔබගේ ඥාති දරුවෙකුද සිටිය හැකි බැවිනි.
මින් ඉදිරියට මෙම ව්‍යාපෘතිය ගැන ප‍්‍රවෘත්ති පළ කිරීමට හෝ සමාජ මාධ්‍යවල විවේචනය කිරීමට පෙර දුරකථන අංක 0716441122 ට ඇමතීමෙන් හෝ www.littlehearts.lk වෙබ් අඩවියට පිවිසීමෙන් එම තොරතුරුවල සත්‍ය අසත්‍යතාවය තහවුරු කර ගන්නා මෙන් අප කාරුණිකව ඉල්ලා සිටිමු.
ඔබ පුවත්පතේ මෙම ප‍්‍රවෘතිය නිවැරදිව පල කිරීම තුලින් Little Hearts ව්‍යාපෘතියට සිදුවු හානිය නිවැරදි කර දෙන මෙන් කාරුනිකව ඉල්ලා සිටිමු.
ලමා හෘදරෝග විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ
සම්බන්ධීකාරක, Little Hearts ව්‍යාපෘතිය
මෙම ගොඩනැගිල්ල මේ වසර අවසන් වීමට පෙර සම්පුර්ණ කර රෝහල වෙත භාර දීම එහි ඉදි කිරීම් භාරව කටයුතු කරන ශ්‍රී ලංකා නාවික හමුදාවේ බලාපොරොත්තුවයි. පහත පල කර ඇති ඡායාරූප වලින් ඔබට එහි ප්‍රගතිය බලා ගත හැක.