07/01/2026
අපි ඉගෙන ගෙන තියෙන්නේ පෘථිවිය කියන්නේ නිකම්ම පස්, ගල්, ජලය සහ වාතයෙන් හැදුණු "ග්‍රහලෝකයක්" විතරයි කියලා. ඒත් ඔබ කවදා හරි හිතලා තියෙනවද, මේ පෘථිවිය කියන්නේ හරියට අපේ ශරීරය වගේම ක්‍රියා කරන, තමන්වම පාලනය කරගන්නා "එක යෝධ ජීවියෙක්" කියලා? මේ අමුතු හැබැයි හරිම ගැඹුරු සංකල්පය හඳුන්වන්නේ "ගයියා කල්පිතය" කියලා.
1970 දශකයේදී ජේම්ස් ලව්ලොක් නම් විද්‍යාඥයා සහ ලින් මාගුලිස් නම් ක්ෂුද්‍ර ජීව විද්‍යාඥවරිය තමයි මේ අදහස ලෝකයට ඉදිරිපත් කළේ. "ගයියා" කියන්නේ ග්‍රීක පුරාණ කතාවල එන "පෘථිවි මාතාවට" කියන නම!
මේ 'Hypothesis' එකෙන් කියවෙන්නේ හරි සරල දෙයක්! සතුන්, ගස්වැල්, බැක්ටීරියා ආදී පෘථිවියේ ඉන්න සියලුම ජීවීන් සහ වායුගෝලය, සාගර, පස් ආදී අජීවී දේවල් එකට එකතු වෙලා එකම එක සංකීර්ණ පද්ධතියක් විදිහට ක්‍රියාකරනවා. මේ පද්ධතියේ ප්‍රධානම අරමුණ වෙන්නේ පෘථිවිය මත ජීවය පවත්වාගෙන යන්න අවශ්‍ය කරන පරිසරය ස්ථාවරව තබාගැනීම!
හරියට අපේ ඇඟේ උෂ්ණත්වය වැඩි වුණාම අපිට දාඩිය දාලා ඇඟ සිසිල් වෙන්නේ, අපේ ශරීරය විසින් කරන පාලනයක් නිසානේ? අන්න ඒ වගේ පෘථිවියත් තමන්ගේ උෂ්ණත්වය, සාගරවල ලුණු ප්‍රමාණය සහ වායුගෝලයේ ඔක්සිජන් මට්ටම නියමිත ගණනට පවත්වාගන්න ස්වයංක්‍රීයව කටයුතු කරනවා.
උදාහරණයට සූර්යයාගෙන් ලැබෙන තාපය වසර බිලියන ගණනක ඉඳන් වැඩි වෙමින් පවතිනවා. නමුත් පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය ජීවීන්ට ජීවත් වෙන්න පුළුවන් මට්ටමක පවතින්නේ කොහොමද? ඒකට ගස්වැල් සහ සාගරවල ඉන්න ජීවීන් වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය පාලනය කරනවා. හරියට ගෙදරක තියෙන AC එකක් වගේ, පෘථිවිය තමන්ගේ උෂ්ණත්වය බලාගන්නවා.
තව සාගරයට ගංගා මගින් නිරන්තරයෙන් ලුණු එකතු වෙනවා. එහෙම වුණොත් කාලයක් යද්දී මුහුදු වතුර අධික ලෙස ලුණු සහිත වෙලා මාළුන්ට ජීවත් වෙන්න බැරි වෙන්න ඕනේ. ඒත් පුදුමයකට වගේ වසර මිලියන ගණනක ඉඳන් සාගරයේ ලුණු සාන්ද්‍රණය 3.4% මට්ටමේ ස්ථාවරව පවතිනවා. මේක කරන්නේ සාගර පත්ලේ තියෙන ක්‍රියාවලීන් සහ ක්ෂුද්‍ර ජීවීන් විසිනුයි.
මේ විද්‍යාත්මක පැත්තෙන් එහාට ගිය අතිශය ආකර්ෂණීය පැත්තක් මේ කල්පිතයේ තියෙනවා. ඒ තමයි "විශ්වීය විඥානය". සමහර දාර්ශනිකයන් පවසන්නේ පෘථිවිය කියන්නේ නිකම්ම භෞතික පද්ධතියක් විතරක් නෙවෙයි, ඒකට යම්කිසි මට්ටමක "විඥානයක්" හෝ "බුද්ධියක්" තියෙනවා කියලා. අපි හැමෝම මේ පෘථිවිය කියන මහා ජීවියාගේ සෛල වගෙයි.
ඔබ ශරීරයේ ඉන්න සෛලයක් කියලා හිතන්න. ඒ සෛලයට මුළු ශරීරය ගැනම අවබෝධයක් නැති වෙන්න පුළුවන්, ඒත් ඒ සෛලය කරන වැඩේ, මුළු ශරීරයේම පැවැත්මට බලපානවා. අන්න ඒ වගේ තමයි අපිත්! අපි කරන කියන දේ පෘථිවියේ සමතුලිතතාවයට බලපානවා.
අද වන විට මිනිස් ක්‍රියාකාරකම් නිසා මේ "ගයියා" පද්ධතිය ලෙඩ වෙලා තියෙන්නේ. වනාන්තර විනාශ කිරීම, අධික ලෙස කාබන් පිට කිරීම සහ ප්ලාස්ටික් භාවිතය හරහා අපි කරන්නේ පෘථිවියේ ස්වයං-පාලන හැකියාව අඩපණ කරන එකයි.
පෘථිවියට පුළුවන් තමන්වම සුවපත් කරගන්න. ඒත් අපේ විනාශකාරී වේගය පෘථිවියේ සුවපත් වීමේ වේගයට වඩා වැඩි වුණොත්, මේ "ගයියා" පද්ධතියට සිද්ධ වෙනවා තමන්ගේ පැවැත්ම වෙනුවෙන් වෙනස්ම තීරණයක් ගන්න. ඒ කියන්නේ, සමහර විට පෘථිවියේ සමතුලිතතාවය රැකගන්න නම් මිනිස් වර්ගයා වඳ වී යා යුතුයි කියන තැනට පද්ධතිය පත් වෙන්න පුළුවන්.
මේ ලිපිය කියවන ඔබ, මේ ලෝකය ගැන වෙනස් විදිහකට හිතන්න පටන් ගන්න ඕනේ. පෘථිවිය කියන්නේ අපිට "භාවිතා කරන්න" තියෙන බඩුවක් නෙවෙයි, අපිත් කොටස්කරුවන් වෙලා ඉන්න "ජීවමාන සහෝදරයෙක්" ඒ නිසා සොබාදහමට හදවතින්ම ගෞරව කරන්න. ගසක්, කොළයක් දෙස බලන විට එයත් ඔබ මෙන්ම පෘථිවියේ පද්ධතියේ වැදගත් කොටසක් බව මතක තබා ගන්න.
නිතරම පරිසරය එක්ක කාලය ගත කරන්න. එවිට ඔබට ඒ "විශ්වීය විඥානය" සමඟ ඇති සම්බන්ධය දැනේවි. අවසාන වශයෙන් අපි හැමෝම එකම යාත්‍රාවක ඉන්න සංචාරකයෝ. යාත්‍රාවට හානි වුණොත් කාටවත් බේරෙන්න බැහැ. ගයියා කල්පිතය අපට කියලා දෙන්නේ අපි හුදෙකලා ජීවීන් පිරිසක් නෙවෙයි, අපි හැමෝම එකිනෙකාට සහ පෘථිවියට වගකිව යුතු "එකම පවුලක" සාමාජිකයන්!
ඉතින් ඔබ හිතනවාද පෘථිවියට ඇත්තටම අපේ වේදනාව දැනෙනවා කියලා? ඔබ සොබාදහම එක්ක ගත කරපු මොහොතක එවැනි අමුතුම බැඳීමක් දැනිලා තියෙනවද?
පෘථිවිය එහෙම ක්‍රියාකරනවා කියන එකට ප්‍රධානම සාක්ෂිය තමයි එහි ඇති අපුරු සමතුලිතතාවය. හිතන්න ලෝකයක තියෙන්නේ සුදු පාට සහ කළු පාට "ඩේසි" මල් විතරයි කියලා. සූර්ය රශ්මිය වැඩි වෙද්දී, කළු මල් රත් වෙලා මිය යනවා. ඒත් සුදු මල් රශ්මිය පරාවර්තනය කරන නිසා ඒවා වැඩිපුර බෝ වෙනවා.
පෘථිවිය පුරා සුදු මල් පිරුණාම, ඒවා සූර්ය රශ්මිය ආපහු අභ්‍යවකාශයට යවනවා (Albedo Effect). එතකොට පෘථිවිය සිසිල් වෙනවා. පෘථිවිය ගොඩක් සිසිල් වුණාම ආපහු කළු මල් වලට හිතකර පරිසරයක් හැදෙනවා. මේ විදිහට ජීවීන් විසින්ම තමන්ගේ වාසස්ථානයේ උෂ්ණත්වය පාලනය කරනවා. මේක නිකම්ම සිදුවීමක් නෙවෙයි, ජීවය විසින්ම පද්ධතිය පාලනය කිරීමක්. පෘථිවියේ උෂ්ණත්වය පාලනය කරන ප්‍රධානම ක්‍රමයක් තමයි "Carbon-Silicate Cycle" එක.
ඔබ දන්නවාද සාගරයේ ඉන්න පුංචි ප්ලවාංග වලට පුළුවන් කියලා වලාකුළු නිර්මාණය කරන්න? සාගරය රත් වෙද්දී මේ ක්ෂුද්‍ර ජීවීන් "Dimethyl Sulfide" (DMS) කියන වායුව පිට කරනවා. මේ වායුව වායුගෝලයේදී සල්ෆේට් අංශු බවට පත්වෙලා වලාකුළු හැදෙන්න උදව් වෙනවා.. වැඩිපුර වලාකුළු හැදුණාම සූර්යාලෝකය වැසිලා සාගරය ආපහු සිසිල් වෙනවා. මේක පෘථිවිය විසින්ම තමන්ට "කුඩයක්" අල්ලගන්නවා වගේ වැඩක්.
මේ ගයියා උපකල්පනය මුල් කාලයේදී දැඩි ලෙස විවේචනයට ලක් වුණා. රිචඩ් ඩෝකින්ස් වැනි විද්‍යාඥයන් කිව්වේ පෘථිවියට "අරමුණක්" ඇතිව ක්‍රියා කරන්න බැහැ, මොකද පෘථිවියට ප්‍රජනනය කරන්න බැරි නිසා කියලා!
නමුත් අද වෙද්දී "පද්ධති විද්‍යාව" හරහා පිළිගන්නවා පෘථිවිය කියන්නේ එකිනෙකට සම්බන්ධ මහා පද්ධති ජාලයක් කියලා. ඇත්තටම ලෝකය කියන්නේ නිකම්ම ගල් ගොඩක් නෙවෙයි, එය ජීවය සහ අජීවී ද්‍රව්‍ය අතර සිදුවන ඉතාම සංකීර්ණ රසායනික ක්‍රියාවලියක්. ගයියා කල්පිතයට අනුව, අපේ මොළයේ තියෙන නියුරෝන එකතු වෙලා අපිට සිතීමේ ශක්තිය දෙනවා වගේ, පෘථිවියේ ඉන්න බිලියන සංඛ්‍යාත ජීවීන් සහ ස්වභාවික පද්ධති එකතු වෙලා "පද්ධතිමය බුද්ධියක්" නිර්මාණය කරනවා වෙන්න පුළුවන්. ඒකයි පෘථිවිය මෙච්චර කාලයක් විනාශ නොවී රැකුණේ.
ඒ කියන්නේ අපි හැමෝම මේ "ගයියා" කියන මහා පද්ධතියේ සෛල වගෙයි. අපි ගහකට කොළයකට කරන හානිය අවසානයේ අපේම ශරීරයට කරගන්නා හානියක් වෙන්නේ ඒ නිසයි. මේ සමතුලිතතාවය බිඳ වැටුණොත් පෘථිවිය තමන්ව ආරක්ෂා කරගන්න ගන්නා පියවර අපිට දරාගන්න බැරි වෙන්න පුළුවන්! ඔබ හිතන විදිහට, මිනිසා කියන්නේ පෘථිවියට වැළඳුණු "පිළිකාවක්" ද? නැත්නම් පෘථිවිය ආරක්ෂා කරන්න ඉන්න "ප්‍රතිශක්තිකරණ පද්ධතිය" ද?
ඒ පැනය ගැන හිතන්න, නිස්කලංක තැනක, තණකොළ පිට්ටනියක හෝ ගසක් යට බිම වාඩි වෙන්න. බිම වාඩි විය නොහැකි නම් පුටුවක වාඩි වී පාද දෙක පොළොව මත ස්පර්ශ කරන්න. දෑස් පියාගෙන ඔබේ ශරීරය පොළොවට බර දී ඇති ආකාරය දැනෙන්නට හරින්න.
ඔබේ කොඳු ඇට පෙළේ කෙළවරින් හෝ පාද වලින් මහා වෘක්ෂයක මුල් මෙන් ශක්තිමත් මුල් පෘථිවිය තුළට විහිදී යනවා යැයි සිතින් මවාගන්න! ඔබ හුස්ම පිට කරන විට, ඔබේ සිරුරේ ඇති සියලුම ආතතිය, බය සහ කළකිරීම් ඒ "මුල්" හරහා පෘථිවියට මුදාහරින්න. පෘථිවියට ඒ ඕනෑම අශුභ ශක්තියක් උරාගෙන නැවත පිරිසිදු කිරීමට ශක්තිය ඇත. ඔබ හුස්ම ගන්නා විට, පෘථිවියේ මධ්‍යයේ ඇති රන්වන් පැහැති සුවපත් කරන ශක්තිය ඔබේ මුල් හරහා සිරුරට ඇතුළු වී මුළු සිරුරම ප්‍රබෝධමත් කරනවා යැයි සිතන්න. "මම පෘථිවියේ කොටසක්, පෘථිවිය මා තුළ ජීවත් වෙනවා" යන වැකිය තුන් වරක් සිතින් මුමුණන්න.
දිනකට අවම වශයෙන් විනාඩි 5ක් වත් තණකොළ මත හෝ පස් මත පාවහන් රහිතව ඇවිදින්න! අපේ සිරුරේ එකතු වන "අනවශ්‍ය විද්‍යුත් ආරෝපණ" පොළොවට මුදාහැරීමටත්, පෘථිවියේ ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන සිරුරට ලබාගැනීමටත් එය උපකාරී වෙනවා. මෙය විද්‍යාත්මකව ඔප්පු කළ සුවපත් වීමේ ක්‍රමයක්.
ඔබ ආහාර ගන්නා විට, ඒ ආහාරය ඔබේ පිඟානට එන්න කොතරම් පිරිසක් සහ ස්වභාවික පද්ධති දායක වුණාදැයි සිතන්න. හිරු රශ්මිය, වැසි ජලය, පසෙහි සිටින පණුවන් සහ ගොවියා. මේ සියල්ල "ගයියා" ක්‍රියාවලියක්. එවිට ඔබ ගන්නා ආහාරය නිකම්ම කෑමක් නොවී ශක්ති ප්‍රභවයක් වනු ඇත!
යමක් මිලදී ගැනීමට පෙර සිතන්න, "මෙය භාවිතයෙන් පසු පෘථිවියට බරක් වෙයිද?" කියා. ප්ලාස්ටික් බෑගයක් ප්‍රතික්ෂේප කරන සෑම අවස්ථාවකම ඔබ කරන්නේ ගයියා පද්ධතියේ එක් "සෛලයක්" නීරෝගී කිරීමයි.
ඔබේ වත්තේ ඇති ගසක් හෝ මලක් දෙස නිකම්ම බලා නොසිට, ඒ දෙස "සම්බන්ධතාවයකින්" බලන්න. එම ගස පිට කරන ඔක්සිජන් ඔබ ආශ්වාස කරන බවත්, ඔබ පිට කරන කාබන් ඩයොක්සයිඩ් එම ගස ආදරයෙන් පිළිගන්නා බවත් සිහිපත් කරන්න. මෙය ඉතා ගැඹුරු සහෝදරත්වයක් ඔබේ සිත තුළ ඇති කරයි.
භූමි ස්පර්ශ මුද්‍රාව!
භාවනා කරන විට ඔබේ දකුණු අතේ ඇඟිලි තුඩු පොළොව දෙසට යොමු කර තබාගන්න. මෙය බුදුන් වහන්සේ මාර පරාජයේදී පෘථිවිය සාක්ෂි දරන්නට කැඳවූ ඉරියව්ව, මෙමගින් ඔබේ ශරීරයේ ඇති අතිරික්ත ආතතිය ක්ෂණිකව පොළොවට බැස යනවා. ඒ වගේම මෙම පුහුණුවෙන් තනිකම සහ හුදෙකලාව මගහැරී යනවා. නිරන්තරයෙන් දැනෙන කාන්සාව සහ ආතතිය අඩු වෙනවා. ජීවිතයේ අරමුණක් ඇති බව වැටහෙනවා. සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වෙනවා! පෘථිවිය යනු අප ජීවත් වන "තැන" නොව, පෘථිවිය යනු "අපිමය".
©️ Sagara Diyagama
diyagama@outlook.com