26/01/2026
Dementia is not just forgetfulness – it’s a complex change happening inside your brain’s cells
ඩිමෙන්ශියා යනු අමතකවීම පමණක් නොවේ - එය ඔබේ මොළයේ සෛල තුළ සිදුවන සංකීර්ණ වෙනසක්!
🔴ඩිමෙන්ශියා සම්බන්ධයෙන් සංඛ්‍යාලේඛණ කිහිපයක් ගැන සඳහන් කරලම අද කතාව අපි පටන් ගමු.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව [1]:
🔺 2021 වසරේ ලොව පුරා පුද්ගලයින් මිලියල 57ක ප්‍රමාණක් මේ ඩිමෙන්ෂියා කියන තත්වයට ගොදුරු වෙලා තියෙනව. එයින් 60% ක් පමණ වර්තා වෙලා තියෙන්නෙ අඩු සහ මධ්‍යම ආදායම් ලාභී රටවලින්.
🔺 සෑම වසරකම ලෝකය පුරා සාමාන්‍යයෙන් මිලියන 10කට ආසන්න නව රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙනව.
🔺 ඩිමෙන්ශියා වර්තමානයේ මරණ සඳහා බලපාන ප්‍රධානතම හේතු අතර හත්වන ස්ථානයේ පසුවන අතර ගෝලීය වශයෙන් වැඩිහිටි පුද්ගලයින් අතර ආබාධිතභාවය සහ යැපීමට ප්‍රධාන හේතුවක් වේ.
🔴 මොකක්ද ඉතින් ඇත්තටම මේ ඩිමෙන්ශියා කියන්නේ?
ඩිමෙන්ශියා කියන්නෙ සින්ඩ්‍රොම් එකක් කියල අපි කියනව. ඒකත් අපි කලින් කතාකරපු පිළිකා වගේම තනි රෝගයක් නෙමෙයි. ඩිමෙන්ශියා විවිධ කාණ්ඩ වලට වර්ගීකරණය කරන්න පුලුවන්. උදාහරණයක් විදියට ඇල්සයිමර් රෝගය, ලෙවී ශරීර සහිත ඩිමෙන්ශියා (dementia with Lewy bodies), මොළයේ ඉදිරිපස සෛල හානි වීමෙන් ඇතිවන ඩිමෙන්ෂියාව (frontotemporal dementia) ආදී ලෙස [2].
🔴 එතකොට මොනවද ඩිමෙන්ෂියා වල රෝග ලක්ෂණ?
ප්‍රධාන වශයෙන් ඩිමෙන්ෂියා වලදි මතකය, සිතීම, දෛනික ක්‍රියාකාරකම් සහ හැසිරීම වගේ දේවල් කාලයත් සමග අඩපණ වෙනව (progressive decline).
මුල් කාලයේ එන්න පුලුවන් රෝග ලක්ෂණ ලැයිසිතුගත කරනවනම්;
• දේවල් හෝ මෑත කාලීන සිදුවීම් අමතක වීම
• දේවල් නැතිවීම හෝ අස්ථානගත වීම
• ඇවිදින විට හෝ රිය පදවන විට අතරමං වීම
• හුරුපුරුදු ස්ථානවල පවා ව්‍යාකූල වීම
• කාලය පිළිබඳ අවබෝධය නැති වීම
• ගැටළු විසඳීමේ හෝ තීරණ ගැනීමේ දුෂ්කරතා
• සංවාදවලින් පසු ගැටළු හෝ වචන සොයා ගැනීමේ ගැටළු
• හුරුපුරුදු කාර්යයන් ඉටු කිරීමේ දුෂ්කරතා
• දෘශ්‍යමය වශයෙන් වස්තූන්ට ඇති දුර වැරදි ලෙස විනිශ්චය කිරීම
ඩිමෙන්ශියා එක් එක් පුද්ගලයාට වෙනස් ආකාරයකින් බලපාන අතර එය මූලික වන හේතුව, අනෙකුත් සෞඛ්‍ය තත්වයන් සහ රෝගාතුර වීමට පෙර පුද්ගලයාගේ මොළයේ ක්‍රියාකාරිත්වය මත රඳා පවතිනව. [1].
🔴 අපි දැන් කතාකරමු වැදගත්ම දේ. ඒ තමයි, රෝග ලක්ෂණ මතුවෙන්න කලින් ඉඳන්ම කොහොමද මොළය තුල වෙනස්කම් වෙන්න පටන්ගන්නේ කියන එක.
ඩිමෙන්ශියා රෝගයේ සායනික රෝග ලක්ෂණ (clinical symptoms) මතුවීමට වසර 10 සිට 30 දක්වා කාලය තුළ මොළය සැලකිය යුතු, නිහඬ සහ ප්‍රගතිශීලී වෙනස්කම් වලට භාජනය වන බව ස්නායු විද්‍යා පර්යේෂණ මගින් තහවුරු කරගෙන තියෙනව. ඒ අනුව ඩිමෙන්ශියා වලදි අපේ මොළයේ ඇතුලත මෙන්න මේ දේවල් තමයි සිද්ධවෙන්නේ [3,4].
1. මොළයේ ස්නායු සෛල වල ක්‍රියාකාරිත්වය නැති වෙලා ඒවා මිය යනව
2. ස්නායු සෛල එකිනෙක සන්නිවේදනය කරන එහෙමත් නැත්නම් ස්නායු සෛල වල පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානයේ (synaptic connection) ක්‍රියාකාරීත්වය දුර්වල වෙනව.
3. ඒ නිසා ව්‍යාධිජනක ප්‍රෝටීන (pathological proteins such as Amyloid-beta plaques, Tau tangles) එක් රැස් වීමක් (accumulation) සිදුවෙනව. ඒක හරියට අපි දත්මදින්නේ නැතුව ටික දවසක් හිටියම දත් වල අර කහට බැඳෙනව වගේ දෙයක්, ස්නායු මට්ටමෙන් සිදුවීමක් කියල පැහැදිලි කරන්න පුලුවන්.
4. මේ වගේ මොළයේ ස්නායු වලට විවිධ මට්ටමෙන් හානි සිදු වුණාම, මොළයට අවශ්‍ය රුධිර සැපයුම අඩාල වෙනව. ඒ නිසා ස්නායු වල ඔක්සිජන් සහ වෙනත් පෝෂක වල ඌණතාවයක් ඇතිවෙනව.
මෙන්න මේ වගේ දේවල් වෙලා ඒවයේ ප්‍රථිපලයක් විදියට තමයි සායනික රෝග ලක්ෂණ (clinical symptoms) මතුවෙන්නේ. ඩිමෙන්ශියා වැළඳීමේ අවදානම වැඩි කරන දේවල් අතරට පහත දේවල් විශේෂයෙන් සඳහන් කරන්න පුලුවන් [1].
• වයස (අවුරුදු 65 හෝ ඊට වැඩි අය තුළ බහුලව දක්නට ලැබේ)
• අධික රුධිර පීඩනය (hypertension)
• අධික රුධිර සීනි මට්ටම (diabetes)
• අධික බර හෝ තරබාරු බව (obesity)
• දුම්පානය (smoking)
• අධික ලෙස මත්පැන් පානය කිරීම (too much alchohol consumption)
• ශාරීරිකව අක්‍රිය වීම (physical inactivity)
• සමාජීය වශයෙන් හුදකලා වීම (social isolation)
• මානසික අවපීඩනය (depression)
🔴 දැන් අපි යමු වැදගත්ම අවසාන ප්‍රශ්නෙට. ඩිමෙන්ෂියා වලට බෙහෙත් තියෙනවද?
නෑ, ඩිමෙන්ශියා වලට විවිධ හේතු පාදක වන නිසා, දැනට ඒ සඳහා ප්‍රතිකාරයක් නෑ. නමුත් භෞතචිකිත්සා වැනි විවිධ ප්‍රතිකාර ක්‍රම මගින් රෝග කළමනාකරණය කිරීම හා රෝග පැතිරීමේ වේගය අඩාල කරගන්න පුලුවන්.
නවීන ස්නායු විද්‍යාව අනුව හොයාගෙන තියෙන කරුණු තමයි,
මොළයේ ස්නායු වලට ඇති අනුගත වීමේ හැකියාව (brain plasticity) නිසා මොළයේ යම් කොටසක ස්නායු වලට හානි වීමෙන් බාධා වන ක්‍රියාවලිය සිදුකිරීමට මොළයේ තවත් කොටසක ඇති ස්නායු වලට අනුගත වීමේ හැකියාවක් තියෙනව. ඒක මම මෙහෙම පැහැදිලි කරන්නම්.
අපි බහුතරයක් මේ වෙනකොට google maps භාවිතා කරනවනෙ හැමදාම වගේ. දැන් හිතන්න අපිට A ඉඳන් B වලට යන්න ඕනෙ. Starting point එකයි destination එකයි දුන්නම ඔන්න google maps ඉක්මනින්ම යන්න පුලුවන් පාර අපිට දෙනව. අපි ඒ පාරෙ යන්න පටන්ගන්නව. නමුත් ටික දුරක් යනකොට ආරංචි වෙනව අන්තුරක් වෙලා එහෙමත් නැත්නම් නඩත්තු කටයුත්තකට ඒ වෙලාවෙ ඉඳල පාර වහල කියල. එතකොට map එක මොකද කරන්නෙ, අපිට වෙන පාරක් හොයල දෙනව අපේ destination එකට යන්න. ඔන්න ඔය වගේ අපේ මොළයේ ස්නායු කොටසක් අකර්මන්‍ය වුනොත් මොළය විසින්ම ඒ අකර්මන්‍ය වුන ස්නායු වලින් කරන කර්තව්‍ය කරන්න වෙනත් ස්නායු ටිකකට පවරනව. එතකොට අර අලුත් ස්නායු ටික ඒ කාර්යට අනුගත් වෙලා මොළයේ ඒ සංඥා ගෙනියන්න අලුත් පාරක් බවට පත් වෙනව. මෙන්න මේ ක්‍රියාවලියට තමයි Brain Plasticity කියල කියන්නේ. මේ දේ ඇත්තටම හැම අවස්ථාවෙදිම වෙනව කියන්න බෑ. නමුත් ස්නායු වල පොඩි පොඩි ප්‍රශ්න ඇති වුනොත් මේ වගේ ක්‍රියාවලියකින් මොළයම එයට ප්‍රතිකර්ම ලබාදෙනව [1].
නමුත් ඕනෙම අවස්ථාවකදි මේ විදියට අපේ මොළය එයා විසින්ම recover වෙනව කියන්න බෑ, මොකද ඒක රඳාපවතින්නේ අක්‍රියතාවයේ ස්වභාවය, හානියේ තරම, අපේ ජීවන රටාව වගෙ තව ගොඩක් දේවල් මත.
අන්න ඒ නිසයි හැමදාම වගේ අදත් මම කියන්නේ රෝග ලක්ෂණ මතුවෙනකම් ඉන්නවට වඩා පෙර සූදානම ඒ කියන්නේ කලින් ඉඳන්ම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට අනුගත වෙලා පරිසරයට තව ටිකක් ලං වෙලා ඉන්න එක පරම්පරා ගානකට හොඳ බෙහෙතක් කියල.
🔴 දැන් ඉතින් මේකට බෙහෙතුත් නැත්තම්, කොහොමද අපි ඩිමෙන්ශියා හැදීමේ අවදානම අඩු කරගන්නේ? ඒකනෙ ඔලුවට ආව ඊලඟ ප්‍රශ්නේ? මෙන්න ඒකට උත්තරේ.
විද්‍යාත්මක පරීක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ මෙන්න මේ විදියට අපේ ජීවන රටාව වෙනස් කරගත්තොත් අපිට ඩිමෙන්ශියා හැදෙන්න තියෙන අවදානම අඩු කරගන්න පුලුවන් කියල.
• ශාරීරිකව ක්‍රියාශීලී වීම
• දුම්පානය නොකිරීම
• මත්පැන් භාවිතය
• බර පාලනය කිරීම
• සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීම
• සෞඛ්‍ය සම්පන්න රුධිර පීඩනය, කොලෙස්ටරෝල් සහ රුධිර සීනි මට්ටම් පවත්වා ගැනීම
ඔන්න ඕක තමයි බොහොම කෙටියෙන් විද්‍යාත්මක මූලාශ්‍ර අනුසාරයෙන්, ඩිමෙන්ශියා වල කතාව!
ගැස්ට්‍රයිටිස් වල මුල, මැද සහ අග දැනගන්න කැමති නම් ලබන සතියෙත් මාත් එක්ක එකතු වෙන්න!
~ මේ, විද්‍යාවත්, ස්වභාවධර්මයත්, ඔබත් අතර පරතරය නැතිකරන තෝතැන්න. ~
අද සටහනට අදාල විද්‍යාත්මක මූලාශ්‍ර:
1. https://www.who.int/news-room/fact-sheets/detail/dementia
2. https://www.thelancet.com/journals/lancet/article/PIIS0140673602116679/abstract (The dementias)
3. https://www.thelancet.com/journals/lancet/article/PIIS0140-6736(25)01389-3/fulltext (Alzheimer’s disease outlook)
4. https://www.thelancet.com/article/S1474-4422(12)70191-6/abstract (Cognitive reserve in aging and Alzheimer’s disease)