18/11/2025
මගේ අංකය: JCPSM/Gen/2025 (48)
දිනය: 2025.11.17
අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය
ගරු කථානායක ජගත් වික්‍රමරත්න මහතා
ගරු චන්දන සූරියාරච්චි මහතා (සභාපති - සමස්ථ රාජ්‍ය සේවය සමාලෝචනය කරමින් වෘත්තීයභාවය ඉහල නැංවීම හා රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් පටිපාටියක් නිර්මාණය කිරීම සඳහා වන පාර්ලිමේන්තු අනු කමිටුව)
ගරු රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා
ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමා
ජනාධිපති ලේකම්තුමා
අග්‍රාමාත්‍ය ලේකම්තුමා
ලේකම් - රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය
ලේකම් - සෞඛ්‍ය අමාත්‍යාංශය
*2025 වර්ෂයේ අයවැය හරහා සමස්ථ සෞඛ්‍ය වෘත්තිකයන් ඉලක්කගතව සිදු කරනු ලැබූ අසාධාරණය විසඳීමට අවශ්‍ය සාධනීය මැදිහත්වීමකින් තොරවම 2026 අයවැය ඉදිරිපත් කිරීම.*
මෙතෙක් පැවති කිසිඳු රජයක් චේතනාන්විතවම කටයුතු කරමින් වෘත්තීමය සෞඛ්‍ය සේවාවන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට කටයුතු කර නොමැති නමුත් වර්තමාන රජය විසින් ඉදිරිපත් කරනු ලැබූ මංගල අයවැය හරහාම වෘත්තීමය සෞඛ්‍ය සේවාවන්ට පමණක් අනන්‍ය වූ අමතර සේවා දීමනා වල වටිනාකමෙන් 1/3ක ප්‍රමාණය කප්පාදු කරන ලදී. මෙම අසාධාරණය හරහා සෞඛ්‍ය වෘත්තිකයන් විසින් දින 365 පුරා නිර්බාධකව හා එක හා සමානව ලබාදෙන අඛණ්ඩ සේවාව හෑල්ලූවට ලක්කරනු ලැබූ අතර එම සුවිශේෂී කැපවීම ඉතා සරලව සාමාන්‍යකරණය කරන ලදී.
මීට අමතරව 2026 වසරේ අයවැය සකස් කිරීමට සමගාමීව “සමස්ථ රාජ්‍ය සේවය සමාලෝචනය කරමින් වෘත්තීයභාවය ඉහල නැංවීම හා රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් පටිපාටියක් නිර්මාණය කිරීම සඳහා වන පාර්ලිමේන්තු අනු කමිටුව” පත් කරනු ලැබූවද එහිදීද අදහස් දැක්වීමට කැඳවීම් ලද්දේ රජයට හිතෛෂීව කටයුතු කරන තෝරාගත් සංගම් ප්‍රමාණයකි. පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය අංක JCPSM/Gen/2025 (45) හා 2025.09.11 දිනැතිව අදාල පාර්ලිමේන්තු අනු කමිටුව වෙත යෝජනාවලියක් ඉදරිපත් කරනු ලැබූ නමුත් ඊට අදාල කිසිඳු යෝජනාවක් මෙවර අයවැය ඉදිරිපත් කිරීමේදී සලකා බලා නොමැති බවත් පැහැදිලිය.
ඒ අනූව පහත කරුණු ඔබගේ/ඔබ තුමන්ලාගේ කාරුණික අවධානයට යොමු කරන අතරම, සෞඛ්‍ය සේවාව තුල පවතින වැටුප් විෂමතා හෝ දීමනා විෂමතා අවම කිරීම වෙනුවට තවදුරටත් තීව්‍ර කිරීමට හේතු වන නව තීන්දු තීරණ ක්‍රියාත්මක වන්නේ නම් පරිපූරක වෛද්‍ය සේවාවට අදාලව නිර්මාණය වී ඇති සහ නිර්මාණය විය හැකි විෂමතා වලක්වා ගැනීමට සිදුවන බව ඉතා ඕනෑ කමින් පෙන්වා දෙමු.
1. අනෙකුත් රජයේ සේවාවන් වලට උපාධිධාරී වැටුප් තලයක් ලබා දී තිබියදී, පරිපූරක වෛද්‍ය සේවාවට පමණක් උපාධිධාරී වැටුප් තලය ලබාදීම තවදුරටත් පමා කරමින්, උපාධිධාරීන්, ඩිප්ලෝමා වැටුප් තලයක හිර කිරීම.
2. ඉදිරි අයවැය හරහා සංශෝධනය කිරීමට එකඟතාවය පළ කල සතිඅන්ත හා නිවාඩු දින දීමනා කප්පාදුව තවදුරටත් ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීම.
3. හිටපු භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ මැදිහත් වීමෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උද්ගත වූ දීමනා ගැටලු විසඳීමට පත්කරනු ලැබූ කමිටුවේ අවසන් තාක්ෂණික වාර්තාව උල්ලංඝනය කරමින් කටයුතු කිරීම.
4. පරිපූරක වෛද්‍ය සේවාවේ ඇමතුම් සේවාවලට අදාල පරීක්ෂණ දීමනාව ගතවූ දශක දෙක තුල රුපියලේ අවප්‍රමාණය වීමට ගැළපෙන අයුරෙන් යාවත්කාලීන කිරීම තවදුරටත් පමා කිරීම.
5. පැවති ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් ගුරු සේවාවට ආදාලව වැටුප් වැඩි කිරීම හරහා වෘත්තීමය සෞඛ්‍ය සේවාවන්ට නිර්මාණය වූ වැටුප් විෂමතාවය විසඳීමට කිසිඳු මැදිහත්වීමක් සිදු නොකිරීම.
මේ පිළිබඳ වැඩිදුර කරුණු සාකච්ඡා කිරීම සඳහා කඩිනම් අවස්ථාවක් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
ස්තුතියි!