21/05/2026
"මගේ බඩේ කැක්කුමට CT එකක් කරන්න කීවා මිස්.. ඒක කරන්නම ඕනද?මට බයයි ඒක කරන්න"
CT පරීක්ශණයක් කරන්න යන්නද ඉන්නේ? ඔයාටත් නොවිසඳුන ගැටලු තියෙනවද? බලන්න හිතේ තියෙන ප්‍රශ්න වලට පිළිතුරක් ලැබෙනවද කියලා..
අද අපි බලමු CT පරීක්ෂණයක් කියන්නේ කුමක්ද? සහ ඒ පිළිබඳව ඔබ දැනගත යුතුම කරුණු 8ක් ගැන.
වර්තමානයේ වෛද්‍ය විද්‍යාවේ රෝග විනිශ්චය සඳහා බහුලවම භාවිතා වන ඉතා වැදගත් පරීක්ෂණයක් ලෙස CT Scan / Computed Tomography හැඳින්විය හැක.
නමුත් බොහෝ දෙනෙකුට මේ පිළිබඳව නිසි අවබෝධයක් නොමැති අතර, ඒ ගැන ගැටලු පවතී. ඉතිං ඒ ගැන ඔයාට එන ප්‍රශ්න වලට උත්තර තමයි මේ.
1. මොකක්ද මේ CT පරීක්ෂණයක් කියන්නේ?
CT පරීක්ෂණයක් යනු සාමාන්‍ය X-ray කිරණ සහ දියුණු පරිගණක තාක්ෂණය එක් කරමින් ශරීරයේ අභ්‍යන්තරයේ හරස්කඩ ලෙස ත්‍රිමාණ රූප ලබා ගන්නා විශේෂිත පරීක්ෂණයකි. සාමාන්‍ය X-ray එකකදී අපට පෙනෙන්නේ පැතලි රූපයක් පමණක් වුවත්, CT පරීක්ෂණයකදී ශරීරය පාන් ගෙඩියක් පෙති කැපුවාක් මෙන් ඉතා සියුම් ස්තර වශයෙන් නිරීක්ෂණය කිරීමට වෛද්‍යවරුන්ට හැකියාව ලැබේ.
2. ඇයි අපි CT පරීක්ෂණයක් කරන්නේ?
රෝගයක් හෝ ආබාධයක් නිවැරදිව හා ඉක්මනින් හඳුනා ගැනීම සඳහා CT පරීක්ෂණයක් සිදු කරනු ලබයි. ප්‍රධාන වශයෙන් පහත හේතූන් මත මෙය සිදු කරයි.
👉 හදිසි අනතුරු - අනතුරකදී ශරීර අභ්‍යන්තරයේ සිදුව ඇති රුධිර වහනයන් සහ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට සිදුව ඇති හානි ඉක්මනින් හඳුනා ගැනීමට.
👉 ගෙඩි සහ පිළිකා හඳුනාගැනීම - ශරීරයේ ඇති කුඩාම පිළිකා තත්ත්වයන් පවා හඳුනා ගැනීමට සහ පිළිකාව පැතිරී ඇති ප්‍රමාණය තක්සේරු කිරීමට.
👉 ලේ කැටි හඳුනාගැනීම - මොළයේ, පෙනහළු වල (Pulmonary Embolism) හෝ වෙනත් ඉන්ද්‍රියක සිරවී ඇති රුධිර කැටි හඳුනා ගැනීමට.
👉 සැත්කම් සඳහා මඟ පෙන්වීම - බයොප්සි පරීක්ෂණ, විකිරණ ප්‍රතිකාර සහ සංකීර්ණ ශල්‍යකර්ම සැලසුම් කිරීමට පෙර ව්‍යුහය නිවැරදිව බලා ගැනීමට.
👉 ආසාදන - ගැඹුරු පටක වල ඇති ආසාදන හෝ සැරව ගෙඩි හඳුනා ගැනීමට.
3. CT පරීක්ෂණයකින් මොනවද බලන්න පුලුවන්? ශරීරයේ මොන අවයව වලද කරන්නේ?
CT පරීක්ෂණයක් මඟින් ශරීරයේ අස්ථි, මාංශ පේශී, මේද පටක, රුධිර නාල සහ අභ්‍යන්තර අවයව ඉතා පැහැදිලිව වෙන වෙනම බලාගත හැක. මෙය ශරීරයේ ඕනෑම කොටසක් සඳහා සිදු කළ හැකිය.
👉 හිස (CT brain) - මොළයේ ලේ ගැලීම්, ආඝාතය (Stroke), මොළයේ ගෙඩි.
👉 පපුව (CT Chest/HRCT) - පෙනහළු වල ආසාදන (උදා: නියුමෝනියාව), පෙනහළු පිළිකා, හදවතේ සහ ප්‍රධාන රුධිර නාල වල ගැටලු.
👉 උදරය සහ ශ්‍රෝණිය (CT Abdomen & Pelvis) - අක්මාව, වකුගඩු, පිත්තාශය, අග්න්‍යාශය, මුත්‍රාශය, සහ බඩවැල් වල ඇතිවන පිළිකා, ගල්, හෝ ආසාදන.
👉 කොඳු ඇට පෙළ සහ අස්ථි (Spine & Bones) - සංකීර්ණ අස්ථි බිඳීම් සහ කොඳු ඇට පෙළේ ආබාධ.
4. CECT සහ NCCT අතර වෙනස මොකක්ද?
🔴 NCCT (Non-Contrast CT)- මෙය සාමාන්‍ය CT පරීක්ෂණයයි. මෙහිදී කිසිදු වර්ණකයක් (Dye එකක්) ශරීරයට ඇතුළු නොකරයි. අස්ථි බිඳීම්, මොළයේ ලේ ගැලීම්, සහ වකුගඩු ගල් වැනි පැහැදිලිව පෙනෙන ඝන දේවල් හඳුනා ගැනීමට මෙය ප්‍රමාණවත් වේ. පරීක්ෂණය සඳහා ගතවන කාලය ඉතා අඩුය.
🔴 CECT (Contrast-Enhanced CT) - මෙහිදී අභ්‍යන්තර අවයව සහ රුධිර නාල වඩාත් පැහැදිලිව දැකගැනීම සඳහා විශේෂිත අයඩින් අඩංගු වර්ණකයක් (Contrast Media) රුධිරයට එන්නත් කරනු ලබයි. පිළිකා සෛල, රුධිර නාල වල අවහිරතා සහ සියුම් ආසාදන හඳුනාගැනීමට මෙය අත්‍යවශ්‍ය වේ. මෙම පරීක්ෂණයට පෙර වකුගඩු වල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම අනිවාර්ය වේ.
5. Contrast CT වලදි දෙන dye එක allergy වෙන්න පුලුවන් ද?
ඔව්. නවීන තාක්ෂණයත් සමඟ භාවිත වන වර්ණක ඉතා ආරක්ෂිත වුවත්, සමහර පුද්ගලයින්ට මෙම Dye එක ආසාත්මික වීමේ අවදානමක් පවතී.
🔴 සුළු ආසාත්මිකතා - සම කැසීම, පලු දැමීම, ඔක්කාරය හෝ වමනය වැනි සුළු රෝග ලක්ෂණ ඇතිවිය හැක.
🔴 දරුණු ආසාත්මිකතා (Anaphylactic Reaction)- කලාතුරකින්, හුස්ම ගැනීමේ අපහසුව, උගුර ඉදිමීම, සහ රුධිර පීඩනය එකවරම පහත වැටීම වැනි ජීවිත අවදානමක් ඇති කළ හැකි තත්ත්වයන් ඇතිවිය හැක.
(විශේෂයෙන් ඇදුම රෝගය ඇති අයට සහ වෙනත් ඖෂධ/ආහාර වලට allergy ඇති අයට මෙම අවදානම වැඩිය.)
6. එහෙම වුනොත් අපි මොකද කරන්නේ?
රෝහල් පරිසරයක් තුළ මේ සඳහා සියලුම පෙර සූදානම් කිරීම් නිරන්තරයෙන්ම පවත්වා ගනී.
යම් රෝගියෙකුට ඩයි එක ලබා දෙන අතරතුර ආසාත්මිකතාවයක් මතු වුවහොත්, වහාම එන්නත් කිරීම නවතා දමනු ලබයි.
Radiology අංශයේ සෑම විටම හදිසි ප්‍රතිකාර කරත්තයක් (Crash Cart) සූදානම් කර ඇති අතර, වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය විසින් වහාම ක්‍රියාත්මක වී ප්‍රතිකාර ලබා දෙයි.
තත්ත්වයේ බරපතලකම අනුව Adrenaline, Hydrocortisone, Antihistamines ( Piriton) වැනි හදිසි ඖෂධ ද, අවශ්‍ය නම් ඔක්සිජන් සහ IV දියර ද ලබා දෙනු ලැබේ. දරුණු තත්ත්වයකදී රෝගියා දැඩි සත්කාර ඒකකයක් වෙත යොමු කරනු ලබයි.
7. CT එකකට යන වියදම කොහොමද? ඒ වියදම වෙනස් වෙන්නේ මොන නිර්ණායක මත ද?
ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් වල මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ සිදු කෙරෙන අතර, පෞද්ගලික රෝහලකදී හෝ රසායනාගාරයකදී නම් රු. 15,000 සිට රු. 60,000 හෝ ඊට වැඩි මුදලක් දක්වා මෙය වෙනස් විය හැක. වියදම වෙනස් වීමට බලපාන ප්‍රධාන නිර්ණායක වන්නේ,
1. පරීක්ෂණ වර්ගය - NCCT වලට වඩා CECT පරීක්ෂණයක් මිලෙන් වැඩිය. (එයට ලබා දෙන Contrast Dye එකේ මිල එකතු වන බැවිනි).
2.ශරීරයේ කොටස- පරීක්ෂා කරන අවයව ගණන ( පපුව සහ උදරය එකට කිරීම) මත මිල වැඩි වේ.
3. තාක්ෂණය (Machine Specification) - 16-slice, 64-slice, හෝ 128-slice ආදී වශයෙන් යන්ත්‍රයේ තාක්ෂණය සහ නිරවද්‍යතාවය ඉහළ යන විට අයකිරීමද වෙනස් වේ.
4. ආයතනය - විවිධ පෞද්ගලික රෝහල් වල පහසුකම් සහ සේවා ගාස්තු මත මිල ගණන් වල වෙනස්කම් පවතී.
8. CT පරීක්ෂණයකට වෛද්‍ය අනුමැතිය අවශ්‍යද? ඒ ඇයි?
අනිවාර්යයෙන්ම ඔව්. කිසිදු රෝගියෙකුට වෛද්‍ය නිර්දේශයකින් තොරව තම කැමැත්තට CT පරීක්ෂණයක් සිදු කර ගත නොහැක. එයට ප්‍රධාන හේතු කිහිපයකි,
🔴 විකිරණ අවදානම
CT පරීක්ෂණයකදී සාමාන්‍ය X-ray එකකට වඩා විශාල විකිරණ මාත්‍රාවක් ශරීරයට ඇතුළු වේ. අනවශ්‍ය ලෙස CT පරීක්ෂණ කිරීම මඟින් අනාගතයේදී පිළිකා ඇතිවීමේ අවදානමක් පවතී. එබැවින් වෛද්‍යවරයා විසින් මෙම පරීක්ෂණය අත්‍යවශ්‍යම දැයි බැලිය යුතුය.
🔴 විකල්ප පරීක්ෂණ පැවතීම - සමහර රෝග ලක්ෂණ සඳහා CT එකකට වඩා Ultrasound Scan (USS) එකක් හෝ MRI එකක් වඩා සුදුසු හා ආරක්ෂිත විය හැක. එය තීරණය කළ හැක්කේ වෛද්‍යවරයෙකුට පමණි.
🔴 නිවැරදි Protocol එක තේරීම - රෝගියාට අවශ්‍ය NCCT එකක්ද, CECT එකක්ද, එසේත් නැතිනම් HRCT එකක්ද යන්න රෝග විනිශ්චය අනුව තීරණය කළ යුතු අතර, වෛද්‍ය පෝරමයේ සඳහන් තොරතුරු මත Radiologist වෛද්‍යවරයා විසින් යන්ත්‍රය නිසි ලෙස සකස් කරනු ලබයි.
🔴 වකුගඩු ක්‍රියාකාරීත්වය ගැන අවදානම - විශේෂයෙන් CECT එකක් කිරීමට පෙර රෝගියාගේ වකුගඩු හොඳ තත්ත්වයේ පවතීද යන්න සහ රෝගියාට ලබාදිය යුතු පෙර සූදානම් ඖෂධ මොනවාද යන්න තීරණය කිරීමට වෛද්‍ය අධීක්ෂණය අනිවාර්ය වේ.
ඔයාගෙත් CT පරීක්ශණයක් කරලා තියෙනවද? ඇයි ඒ? පහළින් ලියන්න.
ස්තූතියි.
හෙදියකගේ දිනපොත
⚠️ අවසරයකින් තොරව උපුටා පළ කිරීම තහනම්.
(Share button එක භාවිතා කරන්න).
©️ [ හෙදියකගේ දින පොත ] - All Rights Reserved.