19/04/2022
විභාග ආතතිය පිළිබඳව ඔබ දැනුවත්ද...?
"මිස් මගෙ පුතා ගොඩාක් දක්ෂ දරුවෙක්, ඒත් මේ O/L ලබන මාසෙ පෙනි පෙනි එයා ගොඩාක් දුර්වල වෙලා. ඉස්කෝලෙ ලකුණු හොඳටම අඩුයි."
මේ එක අම්ම කෙනෙක්ගෙ අද්දැකීමක් වුවත්, තවත් බොහෝ දෙනෙක් මෙකී අත්දැකීමට මුහුණ දී ඇති.
වර්ථමාන සමාජය තුළ විභාග කෙරෙහි ඇති දැඩි තරඟකාරීත්වය හමුවේ දරුවන් පමණක් නොව දෙමාපියන්ද විශාල ලෙස මානසික පීඩනයට පත් වෙන බව පොදුවේ කාටත් පිළිගත හැකි සත්‍යකි. පෙරපාසල් අවධියෙන් ආරම්භ වන අනවශ්‍ය තරඟකාරීත්වය හමුවේ බොහෝ දරුවන් මානසික රෝගීන් බවට පත් වී ඇති බව අත්දැකීමෙන් මා දැක ඇත.
විභාගයකට මුහුණ දීමට සිටින දරුවෙකු තුළ අනිවාර්යෙන්ම මානසික නිදහස තිබිය යුතුය. පාඩම් කරනා සියල්ල, හොඳින් අවබෝද කර ගැනීමට මෙන්ම, හොඳින් මතකයේ රඳවා ගැනීමට මානසික සැහැල්ලුව අනිවාර්ය වේ. එසේ නම් විභාගයකට සූදානම් වන දරුවාට ඔබ අනවශ්‍ය පීඩනයක් ඇති කරන්නේ නම්, ඉන් දරුවාට විශාල හානියක් සිදුවිය හැක.
ඇතැම් දෙමාපියන්, දරුවා උනන්දු කිරීම අරමුණු කර ගනිමින් විවිද දෝෂාරෝපණ කිරීමට පුරුදු වී සිටින අතර, එකී දෝෂාරෝපන හරහා දරුවාගේ යම් ප්‍රගතියක් බලපොරොත්තු වෙති. නමුත් යථාර්තය නම්, දෙමාපියන් පවසන සියලු දෑ දරුවාගේ මනස තුළ තැම්පත් වන අතර, විභාගය ලියන්නට සූදානම් වන මොහොතේ යටි සිත තුළ තැම්පත් වූ දෑ සියල්ල එළියට පැමිණ, දරුවාට අසාමාන්‍ය බියක් දැනෙනු ඇත. මෙකී බිය නිසා පාඩම් කළ සියල්ල මතකයෙන් ගිලිහී යෑම මෙන්ම දන්නා දේ ලියා ගැනීමට නොහැකි වීම සිදු වේ.
විභාග ශාලාව තුළදී, අසාමාන්‍ය ලෙස අත වෙව්ලීම්, දහඩිය දැමීම, මනස හිස් යැයි දැනීම, ක්ලාන්ත වීම හා ඇතැම් විට බඩේ අමාරුව, වමනය ආදී කායික ලක්ෂණද විභාග ආතතිය සමඟ බැඳී ඇත.
දරුවාගේ හොඳට යැයි සිතා, වැඩි පීඩනයක් ඇති කිරීම කිසිසේත් නොකළ යුතු අතර, හැකිතාක් දරුවාගේ හිතට ශක්තිය ඇතිකරවන දෑ කතා කිරීම ඔබගේ වගකීමකි. එපමණක් නොව, විභාගය යනු ජීවිතයේ අවසානය නොවන බව දරුවාට ඒත්තු ගැන්වීම ඔබ කළ යුතුය. මන්ද විභාග ආතතියේ ප්‍රතිඵලයක් ලෙස, ඇතැම් දරුවන් සියදිවි හානි කර ගැනීමට පවා පෙළඹෙන බැවිනි.
ඔබේ දරුවාගෙ ආත්ම විශ්වාසය ගිලිහී ඇති බවක් ඔබට දැනෙන්නේ නම්, උදාසීන කමක් ඔබට පෙනෙන්නේ නම් දරුවා මනෝ උපදේශනයට යොමු කිරීම ඉතා යෝග්‍ය වන අතර, එහිදී දරුවාගේ ඇතුළාන්ත ශක්තීන් අවදි කර නොබියව අධ්‍යාපන කටයුතු කිරීමට දරුවාට හැකියාව ලැබෙනු ඇත.
ජ්‍යේෂ්ඨ මනෝ විද්‍යා උපදේශිකා
අමා සුබසිoහ.