22/04/2026
ආතරයිටීස් යනු අප වටා සමාජයේ බොහෝ දෙනෙකු පීඩා විඳින සුලභම රෝග තත්ත්වයකි. අපි ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දී මෙයට "ආමවාතය " යයි කියමු.
මෙහි ආමය යනු බඩගින්නක් හරියාකාරව ඇති නොවී, එනම් කුසේ පාචක අග්නිය නිසිලෙස ක්‍රියාත්මක නොවී තිබෙන අවස්ථාවලදී අපි කන ආහාර රස, රක්ත, මාංස, මේද, අස්ථි, මජ්ජා, ශුක්‍ර යන සප්ත ධාතුවට පරිවර්තනය නොවී ආහාර ජීර්ණයෙන් ඇතිවන විෂක් හා සමාන වූ රස ධාතුවයි. එම දූෂිත රස ධාතුව ශරීරගත වාත දෝෂය සමග එක්වී ශරීරය පුරාම ගමන් කරයි. මෙකී ආමය බරයි. උකුයි. ඒ නිසා බොහෝ විට මහා සන්ධිවල ඇතුළු පැත්තේ මේවා අධිකව තැම්පත් වීමක් සිදුවේ. මෙය දිගු කාලීනව පැවතීමෙන් ඇඟිලි ඇදවීම, අතපය දිගහැරීමට බැරිවීම ,යමක් ලිවීමට අපහසුවීම, සන්ධිවල අධික වේදනාව, සන්ධි ඉදිමීම මෙහිදී ඇතිවිය හැකිය. එමෙන්ම සන්ධිවල දැඩි රස්නයක් ද ඇතිවේ. මේ තත්ත්වයට අපි ආමවාතය හෙවත් ආතරයිටීස් කියමු.
ප්‍රධාන වශයෙන් ශරීරයේ මහා සන්ධි ලෙස හඳුන්වන කකුලේ දණිස් සන්ධි,වළලුකර සන්ධි, අතේ වැලමිට හා මැණික්කටු සන්ධි, ඇඟිලි පුරුක් හා උරහිස් සන්ධිවල හටගන්නා ඉදිමුම වගේම නැවත දිගහැරෙන නැවෙන සෑම සන්ධියකම ඇතිවන වේදනාව හා ඉදිමුම මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණයයි. ආයුර්වේද වෙදකම තුළ සඳහන් ආමවාතය රෝගය හෙවත් ආතරයිටීස් රෝගය පහසුවෙන්ම සුව කළ හැකිය.
👉ඉහත සදහන් කළ කරුණු අනුව ආමවාතය සෑදීමට මූලික හේතුව බඩගින්න සෑදීමේ දුර්වලතාවය යන්න බව ඔබට වැටහෙනවා ඇත. ඒ නිසා ආමවාතය ඇති රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී මූලිකව සැළකිය යුතු කරුණ වන්නේ රිදෙන අත් පා වල වේදනාව නැති කිරීමට වේදනානාශක ඖෂධ වර්ග ලබාදීම ම නොව රෝගය ඇති වීමට හේතුවූ බඩගින්න ගැන විමසා බඩගින්න නොදැනෙන්නේ නම් එයට ප්‍රතිකාර ලබාදී දෙවනුව රෝගයට ප්‍රතිකාර කිරීමයි.☝️☝️☝️☝️
බොහෝ විට ආතරයිටීස් රෝගීන් සුව වීමට කල් ගන්නේ එසේ නොකර වැරදි සහගත වේදනා නාශක ඖෂධ ලබාගැනීමෙන් මෙය සුව කර ගත හැකි යයි සිතන නිසයි. ඒ නිසා කුසගින්න හරියාකාරව වැඩෙන්නට යමක් නොකර කුමන වේදනා නාශකයක් අවුරුදු ගණනක් බීවද රෝගය සුව වීමක් කිසිදිනෙක සිදු නොවේ.
ආමවාතය ගැන බොහෝ දෙනකු නොදැන සිටීමෙනුත් රෝගයේ අවස්ථාව දරුණු වේ. මෙම රෝගය බෙහෙවින් වේදනාව ගෙන දෙන්නකි. රෝගය නිසා ජීවිත හානි සිදු නොවූවත් එහි උපද්‍රව නිසා රෝගීන් අපමණ දුක් පීඩා වලට ලක්වෙති. එසේම කල් ගත වූ ආතරයිටීස් රෝගීන් රෝද පුටුවකටද සීමා විය හැකිය .
මෙම රෝගයේදී හන්දිපත් වේදනාව නොහොත් හන්දිපත් කැක්කුමද විශේෂයි. සමහර අය ආමවාතය වයසට යෑමත් සමඟ ඇතිවන රෝගී තත්වයක් ලෙස සැලකුවත් එය බාල, තරුණ, මහළු සැමටම වැළදෙන වේදනාත්මක රෝගයකි.
මෙම රෝගයේදී ඉවසිය නොහැකි තරමේ වේදනාවකට පත්වෙන්නේ දණහිස්, වළලුකර, උකුල්ඇට, වැළමිට සන්ධි, ඇඟිලි පුරුක් හා සන්ධි ඉදිමීමෙනි. එදිනෙදා කටයුතුවලට ද බාධා ඇතිකරන මෙම රෝගයේදී හන්දි ඛණ්ඩරා ඉරීයෑම, කාටිලේජ් හානිවීම, ශරීරයේ බර වැඩිවීම, හන්දි තුළ වතුර පැවතීම සිදුවන අතර සමහර විට රක්තවාත තත්වයෙන්ද පීඩා විදීමට සිදුවේ .මෙහිදී සිදුවන තවත් වැදගත් කරුණක් වන්නේ තරුණ වයසේදී හෝ වැඩිහිටි වයසේදී ඇතිවන වැටීම් පෙරළීම් උළුක් කැවීම් වලට ද නිසි ප්‍රතිකාර නොගෙන ක්ෂණික ප්‍රතිකාර කරමින් රෝගය ගැන නොසළකා සිටීමෙන් ද සන්ධි ඉදිමීම් වලට ද ලක්විය හැකිය.
ආමවාත රෝගී තත්වය එනම් හන්දිපත් වේදනාව කාන්තාවන් අතර බහුලව දක්නට ඇත. රෝග තත්වය ගැන සැලකීමේදී පිරිමින්ට වඩා තුන් ගුණයකින් කාන්තාවන්ට වැළදී ඇත. ආතරයිටීස් රෝගය ළමා කාලයේ සිට වසර හැත්තෑව දක්වාවූ කාලය තුළ වැළදෙන රෝගයකි. අධික තරබාරුකම ද හන්දි ඉදිමීමට තවත් හේතුවකි. ආමවාත හා රක්ත වාත ආදී ශාරිරික රෝග මුල්කරගෙන හැදෙන හන්දි රෝග ආයුර්වේද ප්‍රතිකාර මගින් සුව කළ හැකිය. ආතරයිටිස් රෝගයේදී වේදනාව බෙහෙවින් ඇතිවෙන්නේ රාත්‍රි කාලයේදී ය. එහෙත් උදේට ඇතිවන වේදනාව කාලයක්ම පවතී. හන්දිවේදනාව ඇතිවන තවත් විශේෂ අවස්ථාවකි. බැක්ටීරියා ආසාදන බැක්ටීරියාවක් රුධිර ප්‍රවාහයේදී හන්දිපත් තුළට ඇතුළුවීමත් එය ඉතාම වේදනාකාරි වන අතර ඉක්මන් ප්‍රතිකාර මගින් එය සුවකළ හැකිය. වයසට යන විට ඇතිවන හන්දිපත් වේදනාව හේතුවෙන් සන්ධිගෙවීයාමෙන් සිදුවේ. මේ නිසා කාටිලේජ්වලට සිදුවන හානි නිසා ඔස්ටියෝ ආතරයිටිස් තත්වය ද ඇතිවේ.
නින්දෙන් පිබිදුණු අවස්ථාවලදීත් හන්දි වේදනාව ඇතිවිය හැකිය. ආතරයිටිස් රෝගයේදී එකම ඉරියව්වක යම් වේලාවක් සිටීමට නොහැකිවේ. දණහිස නමාගෙන සිට එකවර නැගී සිටීමට බෙහෙවින් අමාරුවේ. පැදුරක හෝ පඩියක වාඩිවී සිටි විටද එකවර නැගී සිටීමට අපහසු වේ. එවැනි අවස්ථාවලදී මෙම රෝගීන් නැගී සිටීමට උත්සාහගන්නේ බොහෝ වෙර දමා පැත්තකට හැරි නැගීටීමටයි. අනෙකුත් සන්ධිවල වඩා වැදගත් කාර්යභාරයක් දණහිස් සන්ධිය ඉටුකරනු ලබයි. එනම් ශරීරයේ කි‍්‍රයාකාරිත්වයත්, ඇවිදීමත් ඉර ඉසිලීමත් වාඩිවී සිට නැගිටීමත් ආදි බොහෝ දේ දණහිස ඉටුකරනු ලබයි. දණහිස් පොල්කට්ට නොහොත් නීකැප් යනුවෙන් හඳුන්වනු ලබන දණහිස් සන්ධිය හා රෝගාබාධ දැනුණු වහාම ප්‍රතිකාර ගත යුතුය.
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව ආමවාත රෝගීන් සඳහා ලංඝනය, රූක්ෂ තෛලාභ්‍යංගය , තික්ත රස, කටුක රස, කහට රස ද්‍රව්‍ය යෙදීම, අග්නි දීපනය , වස්ති කිරීම ආදී ප්‍රතිකාර ක්‍රම කීපයක් ක්‍රමානුකූලව යෙදීමෙන් ආතරයිටීස් සඳහා සාර්ථකව ප්‍රතිකාර සිදු කෙරේ. ප්‍රතිකාර කරන කාලයේදී රෝගියාට සුදුසු රෝගයට අදාළ හොඳ ආහාර පාන හා පැවතුම් පිළිබඳව වෛද්‍යවරයා විසින් උපදෙස් ලබා දෙනු ඇත.
ලිපිය සකස් කලේ ආයුර්වේද වෛද්‍ය චමිලා කුමාරි කලුතන්ත්‍රි .
ආරෝගා මෙඩිකල් සෙන්ටර්,
යගම්වෙල,
දුම්මලසූරිය . 0765603231
#අත්හිරිය #අත්කැක්කුම #ස්නායුරෝග #විලුඹ #ලක්ෂණ #තෙරපීම #කැක්කුම #තුනටියේ #රෝග