05/04/2025
සමසෞඛ්‍ය උපාධි ගැන මීට කලින් අහලා තියෙනවද?
ලිපි අංක -03
ඉතින් කවුද මේ විකිරණශිල්පී/ විකිරණචිකිත්සක උපාධිධාරීන්...?
හොඳින් ඉර පායා ඇති වෙලාවට අපිට පුලුවන් අපේ අවට ලෝකය පහසුවෙන් දැකගන්න. ඉර බැස ගිය පසු හඳ එළියෙන්, නැත්නම් අද වන විට විදුලි එළියෙන් හරි අපි, අපි අවට ලෝකය දැක ගන්නවා. ඒ ලොකයේ සුන්දරත්වය අත් විඳිනවා. එක මොහොතකට හිතුවොත් ඒ ඉර එළියවත්, හඳ එළියවත්, විදුලි එළියවත් නැතුව ගියා කියලා, අපිට කුමක් සිදුවේවිද...? ලෝකය දකින්න තියන අවස්ථාව අපිට නැති වේවි. ඒ සුන්දරත්වය දකින්න අපිට බැරිව යාවි. අන්න ඒ නිසා මේ පුංචි ප්‍රවිශ්ඨයෙන් ඔබට හැකිවේවි මෙතැන් සිට දිග හැරෙන සටහන තේරුම් ගන්න... අවබෝධ කරගන්න...
"විකිරණ", නැතිනම් කවුරුත් දන්න Radiation (X කිරණ , ගැමා කිරණ) කියලා කියන්නේ, මුලින්ම පහදලා දුන් ආලෝකය වගේම, ලෝකය දකින්න ආලෝකය උපකාර වූ සේම, මිනිස් සිරුරේ අභ්‍යන්තර විචිත්‍රත්වය දකින්නට උපකාර වන මාධ්‍යයක්. "Radiology: The eye of medicine". විකිරණ තාක්ෂණවේදය කියන්නේ වෛද්‍ය විද්‍යාවේ ඇස. මොකද, මානව ශරීරය අභ්‍යන්තර ව්‍යුහය මෙන්ම විවිධ රෝගී තත්ව වලදී පියවි ඇසට නොපෙනෙන ශරීර අභ්‍යන්තර වෙනස්කම් හඳුනාගෙන එම රෝග වලට ප්‍රතිකාර කිරීම පහසු කරන්නේ මේ විකිරණ තාක්ෂණවේදය නිසා. ඒ අනුව මූලිකවම, රෝග විනිශ්චය සඳහා විකිරණවේදය භාවිත වෙනවා (Diagnostic Radiography) වගේම, හඳුනාගත් විවිධ රෝග සඳහා ප්‍රතිකාර මාධ්‍යයක් ලෙසත් විකිරණ තාක්ෂණවේදය භාවිත වෙනවා. එය විකිරණ චිකිත්සාව (Radiotherapy) ලෙස හඳුන්වනවා.
"විකිරණ" කියන නම ඇහුනත් බොහෝ විට ඔබට ඇතිවන්නේ බියක් වෙන්නට පුළුවන්. ඊට හේතුව මෙම දියුණු තාක්ෂණවේදය පිලිබඳව පොදු ජනතාව තුල ඇති දැනුමේ ප්‍රමාණවත් නොවන බවයි. ඒ නිසා මේ සටහන තබන්නේම ඒ පිළිබඳව සරලව යමක් පහදා දෙන්න.
විකිරණ කියද්දී ඔබට මතක් වෙන්නේ X කිරණ (X-ray) පමණක් වුනාට විකිරණ තාක්ෂණවේදය තුල විවිධ විකිරණ වර්ග භාවිත වෙනවා. මේ විකිරණ කියලා කියන්නේ අපි කවුරුත් දන්න දෘශ්‍ය ආලෝකය වගේම විද්‍යුත් චුම්බක තරංග විශේෂයක්. මේ විකිරණ සතු පදාර්ථ අයනීකරණ හැකියාව මත, අයනීකාරක විකිරණ (Ionizing Radiation) මෙන්ම අයනීකාරක නොවන විකිරණ (Non-ionizing Radiation) ලෙස කොටස් දෙකකට බෙදනවා. ඒ වගේම වෛද්‍ය අංශයට අයත් රෝග විනිශ්චය සඳහා වන විකිරණ තාක්ෂණවේදයේ දී මෙන්ම විකිරණ චිකිත්සාවේ දී ත් මේ දෙවර්ගයේම විකිරණ විවිධ අයුරින් භාවිත වෙනවා. මෙසේ වෛද්‍ය විද්‍යාව සඳහා විකිරණ භාවිතය ආරම්භ වෙන්නේ 1895 නොවැම්බර් 8 වනදා සිට. ඒ විකිරණ විද්‍යාවේ පියා ලෙස සැලකෙන, Wilhelm Conrad Roentgen විසින් X කිරණ සොයාගැනීම සමගයි. ඒ අනුව මේ X කිරණ මෙන්ම ගැමා කිරණ වැනි විකිරණ අයනීකාරක විකිරණ යටතටත් අති ධ්වනි තරංග (Ultrasound), ගුවන් විදුලි සංඛ්‍යාත (Radio frequency), අධි ශක්ති නියුට්‍රෝන වැනි විකිරණ අයනීකාරක නොවන විකිරණ ලෙසත් හඳුන්වනවා.
ඔබ දැන සිටියා සේම විකිරණ භාවිතය මානව දේහ තුල විවිධ සංකුලතා ඇති කිරීමට හේතු වෙනවා. නමුත් සෑම විටම වෛද්‍ය විද්‍යාව පදනම් වන්නේම, 'වාසි සහ අවදානම්' යන දෙපාර්ශවයක සමබරතාවය මත. ඒ අනුව වෛද්‍ය විද්‍යාවේ ඕනෑම පරීක්ෂණයක හෝ ප්‍රතිකාර ක්‍රමයක පෙළඹවීම සිදුවන්නේ, හැම විටම මෙම වාසි සහ අවදානම විද්‍යානුකූලව තක්සේරු කිරීමෙන් (Risk vs Benefit Analysis) අනතුරුවයි. මේ සඳහා නිවැරදි න්‍යායාත්මක දැනුමක් (Theortical Knowledge) හා ප්‍රායෝගික පුහුණුවක් (Practical and Clinical Experience) සහිත වෘත්තිකයක් අත්‍යවශ්‍ය වෙනවා.
මේ නිසා අන්තර්ජාතික සම්මතයන්ට අනුව වෛද්‍ය විද්‍යාව සඳහා විකිරණ භාවිතය අදාල සුදුසුකම් ලත් වෘත්තිකයන් අතින් පමණක් සිදුවිය යුතු වෙනවා. මේ අනුව, ශ්‍රී ලාංකික සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල, ආරම්භයේදී විකිරණ ශිල්පීන් හා විකිරණ චිකිත්සකවරුන්, වසර දෙකක පූර්ණ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුමක් සහිත ඩිප්ලෝමාධාරීන් ලෙස විකිරණ තාක්ෂණවේදයේ භූමිකාව මනා කැපවීමකින් සිදු කළා. ඒ අතරතුර 2006 වර්ෂයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අටවන පීඨය ලෙසින් ඇරඹි "සමසෞඛ්‍ය විද්‍යාපීඨය" මඟින් මෙම ක්ෂෙත්‍රයට උපාධිධාරීන් බිහිකිරීම ඇරඹුනා. ජාත්‍යන්තර පිළිගැනීම් හා සම්මතයන්ට අනුව මෙම පීඨයේ විකිරණ ශිල්පී/ විකිරණ චිකිත්සක දෙපාර්තුමේන්තුව (Department of Radiography/ Radiotherapy, Faculty of Allied Health Sciences, University of Peradeniya) මගින් විකිරණ ශිල්පි මෙන්ම විකිරණ චිකිත්සක සිව් අවුරුදු විශේෂවේදී ගෞරව උපාධිය පිරිනමමින් මනා සෞඛ්‍ය වෘත්තිකයන් ශ්‍රී ලාංකික මෙන්ම ජාත්‍යන්තර සෞඛ්‍ය ක්ෂේත්‍රයට පිරිනැමීම ආරම්භ වුණා.
මෙම විද්‍යාවේදි විකිරණ ශිල්පි විශේෂවේදි ගෞරව උපාධිය (B.Sc. (Hons) in Radiogrphy) තුලින් රෝග විනිශ්චය සඳහා භාවිත වන විකිරණ ශිල්ප ක්‍රම පිලිබඳව මනා දැනුමක්, උපාධි අපේක්ෂකයන් වෙත ලබා දෙනවා. ඒ අතර මූලිකවම X කිරණ ජායාරූපකරණය (Plain Radiography) විවිධ විෂය පථයන් ඔස්සේ ඉගැන්වීම සිදුවනවා. ඊට අමතරව, රෝග හඳුනාගැනීමට මෙන්ම විවිධ පිළිකා තත්ව, අක්මා හා ආන්ත්‍රික රෝග, හෘද රෝග, වකුගඩු රෝග ආදී විවිධ රෝග වලදී අවම ශල්‍ය ක්‍රම භාවිත කර සිදුකරන ප්‍රතිකාර (Interventional Radiology) වලදී, ගතික ජායාරූපකරණ ක්‍රමයක් ලෙස (Dynamic Imaging) ෆ්ලුවොරොස්කොපි (Fluoroscopy) පිලිබඳව ද ගැඹුරින් අධ්‍යයනය සිදුවනවා. ශරීර අභ්‍යන්තරය, හරස්කඩ ලෙස (Cross Sectional Imaging) මෙන්ම ත්‍රිමාණ නිරූපණ ක්‍රම (3D Visualization) භාවිත කරමින් දැවැන්ත රෝග විනිශ්චය කාර්යය භාරයක් ඉටු කරන සී.ටී. පරීක්ෂණ (Computed Tomography) පිළිබඳවත් ඉතා ගැඹුරින් අධ්‍යාපනය ලබා දෙනවා. එසේම, අයනීකාරක විකිරණ භාවිත නොකර චුම්බක ක්ෂේත්‍ර හා ගුවන්විදුලි සංඛ්‍යාත භාවිත කර, හරස්කඩ මෙන්ම ත්‍රිමාණ නිරූපණ ක්‍රමද සිදුකරන එම්.ආර්.අයි. පරීක්ෂණ (Magnetic Resonance Imaging) කියන්නේත් ඉතා දියුණු විකිරණ තාක්ෂණික ක්‍රමවේදයක්. පියයුරු පිළිකා හඳුනාගැනීමේ මැමෝග්‍රැෆි පරීක්ෂණ (Mammography), ශල්‍යාගාර වල භාවිත වන විකිරණ ශිල්පය (Theatre Radiography), ජංගම විකිරණ ශිල්පය (Mobile and Inward Radiography) තවත් ප්‍රධාන විෂය පථ ලෙස සැලකෙනවා. එසේම හෘද රෝග (Cardio Vascular Diseases) මෙන්ම පර්යන්ත රුධිර වාහිනි ආශ්‍රිත රෝග (Peripheral Vascular Diseases) හඳුනාගැනීමට භාවිත වන ඇන්ජියෝග්‍රැෆි ක්‍රම (Conventional Angiography, Digital Subtraction Angiography - DSA, Computed Tomography Angiography - CT Angiography, Magnetic Resonance Angiography - MR Angiography) වලට හිමි වන්නෙ ප්‍රධාන ස්ථානයක්. එසේම ඉතා දියුණු විකිරණ ශිල්ප ක්‍රමයක් ලෙස සැලකෙන න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාව (Nuclear Medicine) මෙම උපාධිය තුල ඉහළ වටිනාකමක් ලබා ගන්නවා. ඒ අතර Nuclear Imaging, Single Photon Emission Computed Tomography (SPECT), Positron Emission Tomography (PET) මඟින් ශරීර අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය (Human Body Function) පැහැදිලි කරන අතර දෙමුහුම් තාක්ෂණික ක්‍රම (Hybrid Imaging) ලෙස භාවිත වන PET/CT හා PET/MRI මගින් ශරීර අභ්‍යන්තර ව්‍යුහය මෙන්ම ක්‍රියාකාරීත්වය (Anatomy and Pathophysiology) එකවර නිරූපණය කරනවා. මීට අමතරව අස්ථි හා සන්ධි ආශ්‍රිත රෝග (Degenerative Disease) හඳුනාගැනීමේ Dual Energy X-ray Absorptiometry (DEXA Scan) හා පශු වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ විකිරණශිල්පී ක්‍රම (Veterinary Radiography) ඇතුලු තවත් විවිධ විකිරණ ශිල්පක්‍රම මෙමගින් ආවරණය වෙනවා.
මෙකී විකිරණ ශිල්ප ක්‍රම සියල්ලටම අමතරව මානව දේහයේ ව්‍යුහ විද්‍යාව (Human Anatomy), කායික විද්‍යාව (Human Physiology), ජෛව රසායන විද්‍යාව (Biochemistry), ව්‍යාධි විද්‍යාව (Pathology) පිළිබව ඉතා ගැඹුරු අධ්‍යාපනයක් මෙම උපාධිය තුලින් සිදුවෙනවා.
එමෙන්ම විවිධ පරාසයන් ගණනාවක් ඔස්සේ උපාධිය මෙහෙයවන (Multi-disciplinary) පාඨමාලාවක් ලෙස මෙහිදී උසස් ගණිතය (Mathematics), විවිධ භෞතික විද්‍යා විශය පථ (General Physics, Atomic and Radiation Physics, Modern Physics) වැනි විෂයන් ඉගැන්වීම සිදුවන්නේ, ක්ෂේත්‍රයේ නව පර්යේෂණ හා සංවර්ධන පැතිකඩ (Research and Development) සඳහා පෙර සූදානමක් ලෙසයි. ඊට අමතරව පරිගණක වැඩසටහන්කරණය (Computer Programming) ක්‍රම සඳහා භාවිත වන Java, Python ආදී නව විෂය ක්ෂේත්‍ර ද වෛද්‍ය විද්‍යාවේ භාවිත වන නව රූප සැකසුම් ක්‍රම (Medical Image Processing) පිළිබඳව ද මනා දැනුමක් මෙමගින් ලබා දෙනවා. එසේම Linux වැනි නූතන මෙහෙයුම් පද්ධති (Operating System) පිළිබඳව, විකිරණ තාක්ෂණවේදය හා වෛද්‍ය විද්‍යාව සම්බන්ධ නව සන්නිවේදන තාක්ෂණයක් ලෙස සැලකෙන Picture Archiving and Communication System (PACS) ආදී විවිධ නව පැතිකඩයන් මෙම උපාධිය මගින් ආවරණය වෙනවා.
මෙවන් වූ අති දැවැන්ත විෂය ක්ෂේත්‍රයක ඒකායන අරමුණ හුදෙක් රෝහල් සඳහා විකිරණශිල්පීන් දායාද කිරීම පමණක් නොවේ. ලෝ පුරා විවිධ රටවල රෝහල්වල සේවයේ නියුතු අති දක්ෂ විකිරණශිල්පීන් දායාද කිරීම මෙන්ම තවත් විවිධ පැතිකඩයන් වෙත මෙම උපාධිය මඟින් දොරටු විවර වෙනවා. ඇතැමෙක් පූර්ණ කාලීන අධ්‍යයන හා පර්යේෂණ (Academic and Research) ක්ෂේත්‍රයට යොමු වන අතර ඔවුන් ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා, පිළිගත් විශ්වවිද්‍යාල වල ආචාරයවරුන් ලෙස කටයුතු කරනවා. එසේම තාක්ෂණික ක්‍රම නිර්මාණය හා හඳුන්වාදීම් සිදුකරමින් Application Specialists ලෙසද ඇතැමුන් සිය සේවය ඉටුකරනවා. විකිරණ ශිල්පීන්ට අයත් රෝග විනිශ්චය ක්‍රමයක් වුවත් වර්ථමානයේ ශ්‍රී ලංකාව තුළ විකිරණ ශිල්පීන් මගින් යොදා ගැනීමට ඉඩකඩ නොමැති අති ධ්විනික ඡායාරූපකරණය (Ultrasonography) පිළිබඳව වැඩිදුර හදාරමින් ලෝකය පුරා එම වෘත්තියේ නියැලෙන උපාධිධාරීන් ද මෙම පීඨයෙන් බිහිවී අවසන්. ඉන් ද නොනැවතී රාජ්‍ය පරිපාලන සේවය, විදේශ සේවය ආදී විවිධ මාණ්ඩලික ශ්‍රේණියේ වෘත්තින් වල නියැලෙනන් ද ඇති තරම්.
රෝග විනිශ්චය කිරීමේදී විකිරණ තාක්ෂණවේදය පිළිබඳ සිව් අවුරුදු විශේෂවේදී ගෞරව උපාධිය මෙවන් මෙහෙයක් ඉටු කරන අතර විකිරණ චිකිත්සක උපාධිධාරීන් සෞඛ්‍ය සේවයට යොමු කරමින් සිව් අවුරුදු විශේෂවේදී විකිරණ චිකිත්සක ගෞරව උපාධිය මගින් ඉටුවන්නේ ද ඊට නොදෙවෙනි මෙහෙයක්.
විකිරණ ශිල්පී උපාධියට අදාලව සිදුකරන ඇතැම් රෝග ප්‍රතිකාර ක්‍රම ලෙස, වකුගඩු ආශ්‍රිත ගල් (Renal Calculi) සඳහා සිදුකරන ලිතෝට්‍රිප්සි ප්‍රතිකාරය (Lithotripsy) සහ Interventional Radiology යටතට ගැනෙන Percutaneous Coronary Intervention (PCI), Percutaneous Transluminal Angioplasty, Inferior Vena cava Filter (IVC Filter) Placement, Thrombolysis, Embolization සහ Stenting ආදිය සැලකෙනවා. මෙම ප්‍රතිකාර ක්‍රම අනෙකුත් කායික රෝග වලදී යොදාගන්නා නමුත් පිළිකා සඳහාම සුවිශේෂි වූ ප්‍රතිකාර ක්‍රම ගණනාවක්, විකිරණ චිකිත්සාවට අයත් වෙනවා.
කිසියම් රෝගියෙකු පිළිකා තත්වයක් සඳහා රෝග විනිශ්චය කිරීමෙන් අනතුරුව එම රෝගියා සඳහා ප්‍රධාන පැතිකඩ තුනකින් ප්‍රතිකාර සිදුකෙරෙනවා. ඒවා නම් ශල්‍යකරමයක් මගින් පිළිකාව ඉවත් කිරීම (Surgical Removal), ඖෂධ මගින් සිදුකරන චිකිත්සාව (Chemotherapy) සහ විකිරණ චිකිත්සාව (Radiotherapy) යි. මේ අතරින් විකිරණ චිකිත්සක උපාධිධාරීන් සම්බන්ධ වන්නේ විකිරණ චිකිත්සාව සඳහායි. මෙහිදී බාහිර විකිරණ ප්‍රභවයක් භාවිතයෙන් සිදුකරන විකිරණ චිකිත්සාව (External Beam Therapy) සහ අභ්‍යන්තර විකිරණ ප්‍රභවක් භාවිතයෙන් සිදුකරන විකිරණ චිකිත්සාව (Internal Beam Therapy) යනුවෙන් ප්‍රධාන ප්‍රතිකාර ක්‍රම දෙකක් විකිරණචිකිත්සාවේදී යොදාගැනෙනවා. Cobalt-60 Teletherapy, Photon Beam Radiation Therapy (Linear Accelerator Therapy) සහ Neutron Therapy යන ප්‍රතිකාරක්‍රම External Beam Therapy යටතට ගැනෙනවා. එමෙන්ම Iodine-131 Therapy, Brachytherapy ආදිය Internal Beam Therapy යටතට ගැනෙනවා.
මෙවන් වු විව්ධ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව පුළුල් න්‍යායාත්මක දැනුමක් සහ සායනික පුහුණුවක් විකිරණ චිකිත්සක උපාධිධාරීන් සිය සිව් වසරක උපාධි කාලසීමාව තුල ලබාගන්නවා. විකිරණශිල්පි විෂය ක්ෂේත්‍රයේදී සඳහන් කළා මෙන්ම ලොව පුරා විවිධ රෝහල් වල විකිරණ චිකිත්සකයන් ලෙසත්, පූර්ණ කාලීන අධ්‍යයන හා පර්යේෂණ ක්ෂේත්‍රය වෙතත් යොමු වී ඇති විකිරණචිකිත්සක උපාධිධාරීන් රැසක් මෙම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යාපීඨයෙන් බිහිවී සිටිනවා.
මනා ගුණාත්මක හා ප්‍රමාණාත්මක හැකියාවන්ගෙන් හෙබි සෞඛ්‍ය වෘත්තිකයන් පිරිසක් සෞඛ්‍ය සේවයට දායාද කිරීමේ අරමුණින් යුතුව ඇරඹුන මෙම උපාධි පාඨමාලා කෙතරම් දුරට කාලීන හා වැදගත්ද යන වග මෙයින් ඔබට මොනවට පැහැදිලි වන්නට ඇත. විසි එක්වන සියවසේ ලෝක ප්‍රගමනයට සාපේක්ෂව ගෝලීයකරණ සංකල්පය තුළින් ලෝකයම තම දෑත මතට පැමිණෙමින් පවතින යුගයක, මෙම උපාධි පාඨමාලා එකී නව තාක්ෂණයට සමගාමීව යාවත්කාලීන වෙමින් නව දැනුම ගවේෂණය කරමින් සිටිනවා. වෛද්‍ය විද්‍යාව සඳහා කෘතීම බුද්ධිය යෙදවීම (Artificial Intelligence) ආදී නූතන ප්‍රවාහයන් ඔස්සේ විකිරණ ශිල්පි හා විකිරණ චිකිත්සක උපාධිධාරීන් නව දැනුම සොයා ගමන් කරමින් සිටිනවා.
ඉතින් මෙවැනි මනා ගුණාත්මක හා ප්‍රමාණාත්මක හැකියාවන්ගෙන් හෙබි සෞඛ්‍ය වෘත්තිකයන් පිරිසක් සෞඛ්‍ය සේවයට දායාද කිරීමේ අරමුණින් ඇරඹුන මෙම උපාධි පාඨමාලා කෙතරම් දුරට කාලීන හා වැදගත් ද යන වග ඔබට මෙම සටහන කියවීමෙන් යම්තාක් දුරකට හෝ අවබෝධ වන්නට ඇති. මෙම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල වල උපාධිධාරීන් වර්තමානයේ මුහුණ දෙන බඳවාගැනීමේ ගැටලුවත්, සීමාවාසික පුහුණුව ලබා ගැනීමේ ගැටලුවත් ඉක්මනින් විසඳ ගතයුතුව පවතින බවත් සඳහන් කරන්නටම ඕන.
සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව