29/04/2026
ගාල්ල මහමෙව්නාව භාවනා අසපු භූමියේ විරාජමානව බබළමින් වැඩසිටින්නේ
ශ්‍රී ශාක්‍යපුත්‍ර මහා කස්සප මහා සෑ රජාණන් වහන්සේයි.
ඔබ දන්නවා මේ දකුණු පළාතේ බෙන්තර ගලපාත රජමහා විහාරයේ සෑ රජුන් තුළ වැඩසිටිනවා අපගේ මහා කස්සප මහරහතන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ නමක්. ඒ අනුබුද්ධ වූ ධුතාංගධාරී වූ ගෞතම සම්බුදු සසුනේ තෘතීය ශ්‍රාවක වූ මහා කස්සප මහ රහතන් වහන්සේගේ උතුම් ධාතූන් වහන්සේට උපහාර පූජා පිණිස අපගේ ගුරුදේවයන් වහන්සේ විසින් මේ උතුම් සෑ රජුන් ශ්‍රී ශාක්‍ය පුත්‍ර මහා කස්සප මහා සෑ රජුන් ලෙස නම්කොට වදාළා. 🙏
🌟 මේ උතුම් සෑ රජුන් තනවා තිබෙන්නේ හරිම අසිරිමත් විදියටයි. මේ ඔබට පෙනෙන පේසාවළලු තුන අභ්‍යන්තරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා 2500 නමක් වැඩසිටිනවා. එහි මැද විශේෂ කරඬුවක සර්වඥ ධාතූන් වහන්සේලා දෙනමක් ඉතා ගෞරවයෙන් වඩා හිඳුවා තිබෙනවා. 💎
🌸 මේ මහා සෑයේ ඉදිරි පස මල් ආසනය දිසාවට වෙන්න ධාතු ගර්භය තුළ මධ්‍ය ස්ථම්භයට පිටුපා විශාල කරඬුන් වහන්සේ නමක් වැඩසිටිනවා. එහි ඇති රන් කරඬු තුළ සර්වඥ ධාතූන් වහන්සේලා තිස් දෙනමක් තැන්පත්ව පවතිනවා. එම ප්‍රධාන කරඬුව දෙපස අග්‍රශ්‍රාවක කරඬුන් වහන්සේලා වැඩසිටිනවා. එහි වම්පස කරඬුව තුළ අපගේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ නමක් වැඩසිටිනවා. ඒ ආසන්නයේ ම ඇති කරඬුන් වහන්සේ තුළ අපගේ මහා කස්සප මහ රහතන් වහන්සේ ජීවමානව වැඩ සිටි ස්ථානයන්ගෙන් ලැබුනු ශුද්ධ වූ පාෂාණයන් තැන්පත් කොට තිබෙනවා. ✨
🌿 මේ උතුම් මහා සෑයේ අනෙක්පස මල් ආසනය මත පූජාවන් තැන්පත් කරන්නේ උතුම් මහරහතන් වහන්සේලා වෙනුවෙන්. එම දිශාවේ සෑ ගැබෙහි සුවිසල් ධාතු කරඬුවක් තුළ පිහිටි රන් කරඬු වල උතුම් අරහන්ත ධාතූන් වහන්සේලා දෙව් මිනිසුන්ගෙන් පිදුම් ලබමින් වැඩසිටිනවා. ඒ අතර ප්‍රත්‍යලාභී භික්ෂූන් අතර අග්‍ර වූ සීවලී මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ නමක්, මතක ශක්තිය ඇති භික්ෂූන් අතර අග්‍ර වූ ධර්ම භාණ්ඩාගාරික වූ, බහුශ්‍රැත වූ අග්‍ර උපස්ථායක වූ අපගේ ආනන්ද මහ රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ නමක්, භාග්‍යවතුන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ සුරැකි සේරුවිල වැඩ සිටි මහින්ද නම් රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ නමක්, මලියදේව මහ රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ නමක් ඇතුළු තවත් අරහන්තධාතූන් වහන්සේලා විසි දෙනමක් බබළමින් වැඩසිටිනවා. ☸️
🖼️ මේ ධාතු ගර්භය එකම විහාර මන්දිරයක්. ධර්ම චක්‍ර මුද්‍රාවෙන් වැඩසිටින ප්‍රධාන බුද්ධ ප්‍රතිමා වහන්සේ දෙපස අග්‍ර ශ්‍රාවක ප්‍රතිමා වහන්සේලා, ඒ දෙපස විනයධර උපාලි මහරහතන් වහන්සේගේ සහ ධර්මධර ආනන්ද මහරහතන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේලා, ඉන් පසෙක ධුතාංගධාරී අපගේ මහා කස්සප මහරහතන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ වැඩසිටිනවා.
🎨 මහා සෑයේ ධාතු ගර්භයේ ඇතුළු බිත්තිය මත බුදුරජාණන් වහන්සේ පිරිවරාගෙන පස්වග මහරහතන් වහන්සේලා සහ අනෙකුත් අසූ මහා ශ්‍රාවක මහ රහතන් වහන්සේලා වැඩ සිටින අයුරු ඉතා සොඳුරුව සිතුවම්කොට තිබෙනවා. ඒ වගේ ම ඝටීකාර බ්‍රහ්ම රාජයා, සහම්පතී බ්‍රහ්ම රාජයා ප්‍රමුඛ බ්‍රහ්ම පිරිසත්, සක් දෙවිඳුන්, විස්කම් දෙව් පුතුන්, සතරවරම් දෙව් රජ දරුවන් ප්‍රධාන දෙව් පිරීසත්, සීවක සේනාපති දෙවිඳුන්, ආළවක සේනාපති දෙවිඳුන් ප්‍රධාන සෙන්පති දෙවිවරුනුත්, සුමන සමන්, උත්පලවර්ණ, ශ්‍රී විෂ්ණු, කන්දකුමාර ආදී පොළොව වාසී ශ්‍රද්ධා සම්පන්න දෙවිවරුනුත්, මණිඅක්ඛික, සමිද්ධිසුමන ආදී දිව්‍ය නාගයනුත්, නොයෙක් දිව්‍යමය පූජාවන් රැගෙන බුදුරජාණන් වහන්සේටත් රහතන් වහන්සේලාටත් උපහාර පුජා පුදන අයුරු සිතුවමට නගා තිබෙනවා. ✨
💎 ඒ වගේම පින්වත්නි, මේ ධාතු ගර්භය තුළ ශ්‍රීමත් ලලාට ධාතූන් වහන්සේගේ, අකු ධාතූන් වහන්සේලා දෙනමගේ, ග්‍රීවා ධාතූන් වහන්සේගේ, සතර දළදා වහන්සේලාගේ අනුරූ වහන්සේලා ඉතා සොඳුරුව තැන්පත්කොට තිබෙනවා. තවත් නොයෙක් රන් රිදී මුතු මැණික් ආදියත් රත් සඳුන් සුදු සඳුන් ආදියත් අනේක ප්‍රකාර වූ පූජාවනුත් උතුම් ධාතූන් වහන්සේලා උදෙසා උපහාර පූජා පිණිස පුදදී තිබෙනවා. 👑
📖 ඒ වගේම මේ උතුම් මහා කස්සප සෑයේ හතරැස් කොටුව තුළ උතුම් ධර්ම රත්නයට උපහාර පිණිස සියලු ත්‍රිපිටක ධර්මය ඉතා ගෞරවයෙන් වඩා හිඳුවා තිබෙනවා. ඉන් ඉහළ දේවතා කොටුව තුළ වටිනා බෙහෙත් ඖෂධ සහ නානාවිධ සුවඳ වර්ග තැන්පත්කොට තිබෙනවා. මහා සෑයේ ඉහළින් ම ඇති කොත් කැරැල්ල තුළ විශේෂ ධාතු කුටියක තවත් සර්වඥ ධාතූන් වහන්සේලා දෙනමක් වඩාහිඳුවා තිබෙනවා. 🚩
🌅 මේ ආකාරයට අපගේ භාග්‍යවතුන් වහන්සේගේ බුදු සිරුරෙහි වැඩසිටි උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා තිස්හය නමක් සහ උතුම් රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා විසි දෙනමක් දරා වැඩසිටින ත්‍රිවිධ රත්නයට උපහාර පූජා පිණිස තැනවූ දෙව් මිනිසුන්ගේ අප්‍රමාණ පූජාවන්ට බඳුන්වූ මේ දකුණු ලකට ආශිර්වාදයක් වූ උත්තම සිරි ශාක්‍ය පුත්‍ර මහා කස්සප මහා සෑ රජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා....! 🙏🙏🙏
🚶♂️ පිනැති ඔබත්
අපමණ බුද්ධානුභාවය විහිදුවන,
මහා කස්සප මහරහතන් වහන්සේගේ තේජසත් රහතන් වහන්සේලාගේ තේජසත් සංඝානුභාවයත් විහිදුවන,
ධර්ම රත්නයේ ධම්මානුභාවයද, තෙරුවනේ ම ආනුභාවය කැටි වූ
මහා තෙද ඇති මහා බල ඇති මහා කස්සප මහා සෑරජුන් වන්දනා කොට පින් රැස්කර ගැනුමට විවේකී දිනක ගාල්ල මහමෙව්නාව භාවනා අසපුවට පැමිණෙන්න... 🌸✨