24/04/2026
🚩රෝහල්තුල පවතින භෞතික සහ මානව සම්පත් හිඟයට විසඳුම් දෙනු!
🚩සෞඛ්‍ය සේවක ප්‍රමාණයන් සමාලෝචනය (Cadre Revision) කඩිනම්කර පුරප්පාඩු සඳහා නව බඳවාගැනීම් සිදුකරනු!
මෙරට වෛද්‍ය උපාධිධාරීන්ගේ "රජයේ රැකියා සුරක්ෂිතතාව" පිළිබඳ පවතින වත්මන් ගැටලුව පිළිබඳව හා ඒ පිළිබඳව සකස් කලයුතු විසදුම් පිළිබඳව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව පසුගිය කාලවකවානුව පුරාවට අවධාරණය කර ඇත.
දැනට පවතින සෞඛ්‍ය පද්ධතියට අනුව වෛද්‍ය උපාධිධාරියෙකු තම වසරක සීමාවාසික පුහුණුව අවසන් කිරීමෙන් පසු පශ්චාත් සීමාවාසික ස්ථිර පත්වීමක් ලැබෙන තුරු කාලය තුල RHO වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි.මොවුන් සීමාවාසික පුහුණුව සාර්ථකව නිම කර වෛද්‍ය සභාවේ (SLMC) පූර්ණ ලියාපදිංචිය ලබා ඇති අතර, පද්ධතියේ සේවා අඛණ්ඩතාව පවත්වා ගැනීම සඳහා රෝහල් තුළ අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරයි. වත්මන් සෞඛ්‍ය පරිපාලනය විසින් මෙය නිශ්චිත "පත්වීමක්" ලෙස නිල වශයෙන් හඳුනා නොගත්තද, ප්‍රායෝගිකව රෝහල් පවත්වාගෙන යාමට මොවුන්ගේ සේවය ලබා ගන්නා අතර ඒ සඳහා ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරියෙකුට අදාළ වැටුපක් ද ගෙවනු ලැබේ.
සීමාවාසික පුහුණුව (Internship) අවසන් කර පශ්චාත් සීමාවාසික පත්වීම් ලැබෙන තෙක් රෝහල්වල සේවය කරන RHO වෛද්‍යවරුන් රජයේ වෛද්‍ය සේවයේ නිරත පිරිසක් ලෙස හඳුනා නොගැනීමට අමාත්‍යාංශය කටයුතු කිරීමත් සමග සීමාවාසික පුහුණුවෙන් පසු සියලුම වෛද්‍යවරුන් රජයේ සේවයට බඳවා ගැනීමේ පාලම බිඳ දැමීමක් සිදුවේ. මෙලෙස බඳවා ගැනීමේ වගකීමෙන් මිදීම හරහා අනාගතයේදී සීමාවාසික පුහුණුව නිම කරන සියල්ලන්ට රැකියා ලබා නොදී, තරඟ විභාග හරහා සීමිත පිරිසක් පමණක් බඳවා ගැනීමට රජය උත්සාහ දරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව ලංකාවට තවමත් වෛද්‍යවරුන් අවශ්‍ය වුවද, සෞඛ්‍ය අමාත්‍යාංශය 2015 වසරේ පැරණි දත්ත (Cadre) මත පදනම්ව පුරප්පාඩු නැතැයි පවසා නව බඳවා ගැනීම් සීමා කිරීම නිසා පර්යන්ත රෝහල්වල (උදා: නිකවැව රෝහල) දැඩි වෛද්‍ය හිඟයක් තිබියදීත්, සේවයේ සිටින වෛද්‍යවරුන් හට අධික සේවා බරක් දැරීමට සිදුව ඇත.
2015 වසරින් පසුව Cadre Review නොවීම වෛද්‍ය වෘත්තියට අදාලව පමණක් නොව හෙද, පරිපූරක වෛද්‍ය සහ සුළු සේවක යනදී සියලු සේවා ස්ථාරයන්ට අදාළව පුරප්පාඩු අති විශාල ප්‍රමාණවලින් නිර්මාණය වීම කෙරෙහි සෘජුව බලපා ඇත. එතුලින් නිදහස් සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය බරපතල ලෙස කප්පාදු වී තිබේ.
වත්මන් රජයද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි මත රාජ්‍ය සේවය තවදුරටත් පුළුල් නොකිරීමේ ප්‍රතිපත්තිය අනුගමනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කිරීම සීමා වී ඇති අතර, එයද වෛද්‍යවරුන්ගේ රැකියා අහිමි වීමට සෘජු හේතුවක් වී ඇත.
වර්තමානයේ පවතින මෙම රැකියා අස්ථාවරත්වයට වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ලෙස අප ඉදිරිපත් කරන විසඳුම වන්නේ පුරප්පාඩු සංශෝධනයක්(Cadre Revision) කිරීම සහ එමගින් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනට භාවිත කරන 2015 වසරේ යල් පැනගිය සේවක සංඛ්‍යා දත්ත යාවත්කාලීන කිරීමයි. නිල වෛද්‍ය අවශ්‍යතාව (Cadre) 2025 වසරේ පවතින සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුව සංශෝධනය කළහොත්, පර්යන්ත රෝහල්වල පවතින සැබෑ වෛද්‍ය හිඟය (උදාහරණයක් ලෙස වෛද්‍යවරුන් 8ක් සිටිය යුතු ස්ථානයක එක් අයෙකු පමණක් සිටීම) නිල වශයෙන් පිළිගැනීමට රජයට සිදු වේ. එවිට පුරප්පාඩු නැත යන පදනම් විරහිත තර්කය බිඳ වැටෙන අතර, අලුතින් පැමිණෙන සියලුම වෛද්‍ය උපාධිධාරීන් සේවයට බඳවා ගැනීමට අවශ්‍ය නීතිමය සහ මූල්‍යමය ප්‍රතිපාදන වෙන් කරවා ගැනීමට මහා භාණ්ඩාගාරයට බලපෑම් කළ හැකි වේ.
එහෙයින් මෙරට වෛද්‍ය ක්ෂේත්‍රය මුහුණ දී සිටින දැවැන්ත අර්බුදයට සෞඛ්‍ය සේවක ප්‍රමාණයන් සමාලෝචනය (cadre revision)කඩිනම් කර
පුරප්පාඩු සඳහා නව බඳවාගැනීම් සිදුකිරීම සහ රෝහල්තුල පවතින භෞතික සහ මානව සම්පත් හිඟය විසඳීමේ අත්‍යන්ත අවශ්‍යතාවය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකරී කමිටුව ලෙස අවධාරණ කර සිටින්නෙමු.
"ගුණාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන් එක්ව සටන් වදිමු!"
-වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව-