10/07/2025
මිනිස් සබඳතා : Human relationships
ගැහැණු ආදරය කරන්න ගත්තාම, ඉවක් බවක් නැතිව බලාපොරොත්තු පොදි බැඳගන්නවා. ඒක ගැහැණියක ගේ ස්වභාවය.
පිරිමින් ගේ ස්වභාවය,ආදරයේ දී වේවා වෙනයම් ඕනෑම දේකදීත් තමන්ගේ හිත නිදහසේ අනවශ්‍ය ප්‍රශ්න ඔළුවේ දාගන්නෙ නැතුව ඉන්න එක.
ගැහැණියක් මොන දේ බලාපොරොත්තු වුනත් ඒ හැමදේටම වඩා සුරක්ෂිතතාවය අපේක්ෂා කරනවා. ඒ සමාජයෙන් එල්ල වෙන පීඩනය වගේම, විශේෂයෙන් දරුවෙක් එක්ක තනිවෙන්න වුනොත් කියන තැනදී දැනෙන පීඩනය දරා ගැනීම වෙනුවෙන්.
අන්න එතැනදී පිරිමියා විසින් ගැහැණියට ලබාදෙන සුරක්ෂිතතාවය ගැන විශ්වාසය ගැහැණියගේ පැවැත්ම තීරණය කරනවා.
එහෙම නොවෙන අවිනිශ්චිතතාවය ක් ගැහැණියට දැනෙන්න ගත්තාම ගැහැණිය විසින් පිරිමියාව ප්‍රශ්න කරනවා.
ඒ ප්‍රශ්න කිරීම ඇතුලේ අර කලින් කිව්ව පිරිමියෙක් අකමැති ම දේ සිද්ධවෙන්න ගන්නවා. ඒ එයාගේ මානසික නිදහස නැතිවෙනවා. තවත් සරලව කිව්වොත් එයාට දැනෙන්න ගන්නවා " මේ මනුස්සයත් කිසිම වෙනසක් නෑ, මගේ ඔළුව කනවා" කියලා.
ඉතින් එහෙම ගැහැණු සහ පිරිමි කොහොමද ඇත්තටම ආදරය කරන්නේ? එකට ජීවත් වෙන්නේ?
මම ඔයාව අතරමං කරන්නෙ නෑ කියන විශ්වාසය ගොඩනගන තැනදි. එහෙම තැනක විවාහය කියන්නෙ අත්‍යවශ්‍ය සාදකයක් නෙවෙයි.
ඒත් දැනගෙනම ඉන්න ඕනෙ කාරණාවක් තියෙනවා. සත්ත්වයින් වේවා මනුෂ්‍යයින් වේවා ගැහැණු ස්වභාවයෙන්ම පිරිමියෙකුට වඩා වේගයෙන් පැනික් වෙන වගේම විශ්වාසය මත සියල්ල පදනම් කරගන්න කොටසක්.
ඉතින් "විඩක් කැමති - විඩක් අකමැති" වගේ ස්වභාවයක් මොන සම්බන්ධතාවය ඇතුලේ පෙන්නුවත්, ගැහැණියට දැනෙන්නෙ අනාරක්ෂිත බවක්.
ගැහැණියකට ඕනේ " හා" නම් හා, " බෑ" නම් බෑ ජාතියේ උත්තර.
ගැහැණු කතා කරද්දි ඉතිහාහසයෙන් ගිය ආත්මයෙන් වුනත් මතක, උදාහරණ විතරක් නෙවෙයි සයිටේශන් පවා ගෙනත් දීලා කතා කරාට එයාලට ඕනේ පැහැදිලි සරල උත්තර.
ඒත් සමහර උත්තර ගැහැනියකට දරාගන්න බැරි බව වගේම යථාර්ථය පිරිමි දන්නවා. ඒ නිසා දේවල් හිතේ තියාගෙන පිරිමි ගැහැණු වෙනුවෙන් සුවදායි උත්තර හොයනවා.. වෙන කිසි දෙයක් නිසා නෙවෙයි, තමන් ආදරය කරන ගැහැණියව නවත්ව ගන්න.
ඒත් ඇත්තටම වෙන්න ඕනේ සුවදායි උත්තර හොයන වෙලා වේ තමන් ඉන්න තැන සරලව පැහැදිලිව කියන්න පුළුවන් හොදම විදිහ පිරිමි හොයාගන්න එක.
මොකද ගැහැණු ප්‍රශ්න කරන්න ගන්නේ සේරම දැනගෙන කිව්වට, ඇත්තටම ඇයට දැනෙන්න ගන්න දුරස්වීමක්, අනාරක්ෂිත බවක් නිසා වෙන්නත් පුළුවන්!
ඉතින් සමහර වෙලාවට ඇය වැරදි වෙන්න පුළුවන්. මොකද ඒ වෙලාවේ ඇය ඉන්නෙ ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගස් එක්ක නෙවෙයි. එයාට දැනෙන දෙයක් එක්ක.
එයා අඬයි කළබල වෙයි කියල නිහඬ වෙලා ලස්සන බැඳීමක් නැති කරගන්නවාට වඩා, ඇත්තටම ඔබට ඇයව ඕනේ නම්..
කදුළු බලගෙන ඉන්න බැරි නම්, තුරුල් කරගන්න පපුවට.. ඔබේ හෘද ස්පන්දය ට පුළුවන් ඇයව නළවගන්න. ඇය නැළවෙද්දි ඔබේ ආවේගයන් පහවෙලා යනවා. අපි හැදිලා තියෙන්නෙ එහෙම මිකැනිසම් එකකින්. ඇය නැළවිලා ඔබ නිවුනාම, හෙමින් පැහැදිලිව කතා කරන්න පටන් ගන්න..
ඒ මොහොතේ ඇයට දරාගත නොහැකිම කතාව
" අපිට අනාගතයක් නෑ අපි වෙන්වෙන්න ඕන"
කියන ඔබේ තීරණය බව ඇත්තක්. නමුත් ඒ මොහොතේ දී ත් ඔබට පුළුවන්නම් කාරුණිකව ඇයව අනාරක්ෂිත නොකර ඔබව පහදලා දෙන්න.. ඔබට ඇය සුබ පතලා යන්න දෙනවා. සදාකාලිකවම ඇය ඔබට ආදරය කරනවා!
මොකද පිරිමියෙක් වගේම ගැහැණියකුත් ආදරය කරන්නෙ තමන්ගේ අවසන් ලේ බිඳ දක්වාම දන්දීලා හරි ආදරය රැකගන්න බලාපොරොත්තුවෙන්.
නමුත් ඇයත් එක්කම ජීවත් වෙන්න හිතාගෙනත් ඔබ ඇයව අනාරක්ෂිත කරනවා නම්, සිතුවිලි වලින්; ඇය ඇගේ හදවතින් ඔබව අත අරිනවා. එතැන දී පිරිමි ඔබ ලක්වන දරුණුම අසාධාරණය ඔබෙන් වියුක්තවූ හදවතක් තුල ඔබ නොදැනීම වියැලෙමින් ජීවත් වෙනවා.
ඉතින් සරලව ඇත්ත කතා කරන්න.. ඔබ බොහෝ දේ ලැබීමට සුදුස්සෙක්..
මං එරන්දි!