
15/10/2023
"මාගේ අතෙහි ඇගිලිවල කලක සිට හිරිවැටීමක් ඇත. ඒ සමගම උරහිස් හා අතෙහි ඇගිලි වලට යොමුවූ වේදනාවක් ද ඇත. එක් වෛද්‍යවරයකු පැවසුවේ එය මැණික් කටුව අසල ස්නායු තෙරපීමක් නිසා සිදුවන බවයි. තවත් වෛද්‍යවරයකු පැවසුවේ එය බෙල්ලේ කශේරුකා ලංවීම නිසා ඇතිවන බවයි"
මෙම චෝදනාව ඔබටත් තිබෙන්නේ ද? එහෙමත් නැත්නම් ඔබගේ පවුලේ සාමාජිකයෙකුට හෝ මිතුරෙකු කියනවා අසා ඇද්ද ?
එයට හේතුව කෙසේ වෙතත් ඔබට ස්නායු තෙරපීමක් නම් නිසැකවම තිබිය හැකිය. නමුත් ඔබට මෙම ලක්ෂණ බෙල්ලේ වේදනාව සමග තිබෙන්නේ නම් ඔබ අනිවාර්යයෙන් සැලකිලිමත් විය යුතුය.
වර්තමානයේ බොහෝ දෙනා පරිගණක, ජංගම දුරකථන සහ රූපවාහිනි ආශ්‍රිතව දවසේ වැඩි කාලයක් ගත කිරීම නිසා බෙල්ල ආශ්‍රිත වේදනාවන්ගෙන් පෙළීම බහුල වී ඇත. විශේෂයෙන්ම තරුණ තරුණියන් ජංගම දුරකථන භාවිත කරමින් අන්තර් ජාලයේ වැඩි කාලයක් ගත කිරීමේදී බෙල්ල නවාගෙන සිටීම නිසා ඇතිවන බෙල්ලේ වේදනාව මේ වන විට ලොව පුරා ඉතා සීඝ්‍රයෙන් පැතිර යන්නට පටන්ගෙන ඇත. එබැවින් බෙල්ලේ වේදනාව පිළිබඳව අප යම් අවබෝධයක් ලබා ගැනීම වැදගත්ය.
අප බොහෝ දෙනා පවසන බෙල්ලේ කැක්‌කුම ඇතිවීමට බලපාන හේතු මොනවාද?
බෙල්ලේ කැක්‌කුමට බලපාන හේතු හරිහැටි අවබෝධ කර ගන්න නම් අප මුලින්ම බෙල්ලේ වයූහය පිළිබඳව යම් දැනුවත් බවක් ලබා සිටිය යුතුයි.
බෙල්ල පිළිබඳව අප ඉතා සරලව පැවසුවහොත් එය පිහිටා ඇත්තේ කොඳුඇටපෙළ ඉහළම කොටසේය.
කොඳුඇට පෙළ සෑදී ඇත්තේ කශේරුකා නමැති අස්‌ථිවලිනි. මෙම අස්‌ථි කැබලි 26 ක් එකමත එක පිහිටමින් කොඳුඇට පෙළ සකස් වී තිබෙනවා.මෙහි ඉහළම ඇති අස්‌ථි කොටස් 07 හි බෙල්ල පිහිටා තිබෙනවා. එම අස්‌ථි කොටස් හඳුන්වන්නේ ග්‍රෙවී කශේරුකා ලෙසිනි.
කොඳු ඇට පෙළ කියන්නේ පහසුවෙන් නැවීම දිගහැරීම සිදුකළ හැකි ඉන්ද්‍රියකි.
මෙම නැවීම දිගහැරීම දෙපසට හැරවීම සිදුකළ හැක්‌කේ අස්‌ථි අතර තිබෙන අන්තර් කශේරුකා මඬල නිසාය. මෙම අන්තර් කශේරුකා මැද ජෙලී වැනි මෘදු ද්‍රව්‍යයක් ඇත.කොඳු ඇට පෙළ සෑදුනු අස්‌ථි එකිනෙක සම්බන්ධ වන්නේ ඉදිරිපස ඇති අන්තර් කශේරුකා මඬලත් පිටුපසින් ඇති හන්දි යුගලත් මගිනි.
කොඳු ඇට පෙළෙහි ප්‍රධාන කාර්ය වනුයේ ශරීරයේ බර උසුලා සිටීමය.ඊට අමතරව කොඳු ඇට පෙළ මැදින් ගමන් කරන සුෂුම්නාව ආරක්‍ෂා කිරීමත් සිදුකරනවා.
සුෂුම්නාව යනු මොළයත් ශරීරයේ අනෙකුත් කොටස් අතරත් පණිවුඩ හුවමාරු කරනු ලබන ප්‍රධාන ස්‌නායුවයි.
මෙම ප්‍රධාන ස්‌නායුවෙන් හටගන්නා ස්‌නායු ශාඛා කොඳු ඇට පෙළෙහි අස්‌ථි දෙකක් අතරින් පිටතට ගමන් කරනවා.
අපගේ දැතට ස්‌නායු පණිවුඩ රැගෙන එන ස්‌නායු ශාඛා පැමිණෙන්නේ ගෙල ප්‍රදේශයේ ඇති කශේරුකා අතරින්ය.
කොඳු ඇට පෙළ මෙලෙස අස්‌ථි සහ සුෂුම්නාවට අමතරව මාංශ පේශී කණ්‌ඩරා සහ බන්ධනීවලින් ද සමන්විතයි.
✅ මෙම කරුණු අනුව බෙල්ලේ වේදනාව ඇතිවීමට බොහෝ කරුණු බලපාන බව අප අවබෝධ කරගත යුතුයි.
🔹වැරදි ඉරියව් අනුව සිටීම නිසා ඇතිවන මාංශ පේශී, බන්ධනී හෝ කණ්‌ඩරා අතර ඇතිවන ඇදීමකට හෝ තදවීමක් (උලුක්‌කුවක්) නිසා බෙල්ලේ වේදනාවක් ඇතිවිය හැකිය
🔹ඊට අමතරව අන්තර් කශේරුකා මඬල ගෙවීමට ලක්‌වීමේ රෝගයට( ඔස්ටියෝආතරයිටිස්, ස්පොන්ඩිලොසිස් වැනි රෝග තත්වයන්) ලක්‌වූ විටද බෙල්ලේ වේදනාව ඇතිවෙනවා.
🔹මෙම හේතුවලට අමතරව කලාතුරකින් කශේරුකා එකිනෙක සම්බන්ධ වන අස්‌ථි අතර ඇතිවන ආතරයිටීස් රෝගය නිසා සහ කශේරුකා මඬල තුළට විෂබීජ ආසාදනය වීම නිසාද බෙල්ලේ වේදනාව මතුවිය හැකියි.
🔹නමුත් බහුලවම දක්‌නට ලැබෙන්නේ වැරදි ඉරියව් වල හිඳිමින් කටයුතු කිරීම නිසා මතුවන බෙල්ලේ වේදනාවයි.
බෙල්ලේ වේදනාව මතුවීමට බලපාන බහුලව දක්‌නට ලැබෙන වැරදි ඉරියව් මොනවාද?
ප්‍රධාන වශයෙන්ම වර්තමානයේ දක්‌නට ලැබෙන්නේ ජංගම දුරකථන ඔස්‌සේ අන්තර්ජාලයේ සැරිසැරීම සඳහා වැඩි වේලාවක් බෙල්ල පහත් කරගෙන කටයුතු කිරීමයි.
ඊට අමතරව බෙල්ල පහත් කරගෙන වැඩි වේලාවක් කරන කටයුතු අතර පොත්පත් කියවීම, ලියන කියන කටයුතුවල යෙදීම, මැහුම් කටයුතුවල යෙදීම ආදිය දැක්‌විය හැකියි.
මේ අතර වර්තමානයේ ඇතැම් දෙනා පුටුවල නිදාගෙන බෙල්ල හරවාගෙන වැඩි වේලාවක් රූපවාහිනිය නැරඹීමට යොමුවීම නිසාද බෙල්ලේ මාංශ පේශී ඇදීමට ලක්‌වීම හෝ අස්‌ථි තදවීම නිසා බෙල්ලේ වේදනාව මතුවිය හැකියි.
✅ බෙල්ලේ වේදනාව අත දිගේ ගමන් කරන්නේ ඇයි? අතේ ඇගිලි හිරිවැටීම සිදුවන්නේ ඇයි?
එය ඉතාමත් වැදගත් කාරණයකි. බෙල්ලේ වේදනාව නිසා පීඩාවට පත්ව සිටින බොහෝ දෙනා පවසන තවත් රෝග ලක්‍ෂණයක් වන්නේ අත දිගේ වේදනාව ගමන් කිරීම සහ අතේ හිරි වැටීමක් ඇතිවන බවය. මීට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ බෙල්ලේ වේදනාවට හේතුවන මාංශපේශී සහ බන්ධනීවල තදවීම නිසා අස්‌ථි අතරින් පිටතට ගමන් කරන ස්‌නායු ශාඛා තෙරපුරමට ලක්‌වීමේදීය. දෑත්වලට ගමන් කරන ස්‌නායු ශාඛා සුෂුම්නාවෙන් පිටතට පැමිණෙන්නේ කශේරුකා අතරිනි. එනිසා බෙල්ලේ අස්‌ථි තදවීමකදී මාංශපේශී හෝ බන්ධනී තදවීමකට ලක්‌වීම නිසා අත දිගේ වේදනාවක් ගමන් කිරීම, හිරිවැටීමක් ඇතිවීමක් හටගත හැකිය.
✅ බෙල්ලේ වේදනාව ඇති ඇතැම් පුද්ගලයිනට හිසරදය, ක්ලාන්ත ගතියක් ඇතිවිය හැක්‌කේ ඇයි?
මෙයට හේතු දෙකක් ඇත.
බෙල්ලේ ගෙල ප්‍රදේශයේ ඇති කොඳුඇට නහර පේලිය අතරින් මොළයට රුධිරය ගෙන යන ධමනී තදවීමට ලක්‌වීමෙන් මොළයට යන රුධිරය ප්‍රමාණය අඩුවීම නිසා ක්‌ලාන්තය ඇතිවිය හැකිය.එලෙස යම් පුද්ගලයකුට ක්‌ලාන්තයක් මතු වූ විට වහාම කළ යුත්තේ එම පුද්ගලයා බිම දිගා කරවීමය. එවිට මොළයට රුධිරය ගමන් කිරීම යම් ප්‍රමාණයකට ඉහළ යැම නිසා එම පුද්ගලයාගේ ජීවිතයට සිදුවිය හැකි හානි අවම කරගත හැකිය.
තවද දීර්ගකාලීන බෙල්ලේ වේදනාව/ බෙල්ලේ කශේරුකා ගෙවීයාම් නිසා බෙල්ලේ මාංශ පේශි, බෙල්ල හා උරහිස් අතර මාංශ පේශි තදවීමක්/ දැඩිවීමක් සිදුවිය හැකිය. මෙමගින් එම මාංශ පේශි වල ප්‍රේරක ලක්ෂ ( කුඩා මාංශ පේශි ගැටිති) නිර්මාණය විය හැකිය. මෙම ලක්ෂ නිසා ඔබට බෙල්ලේ සිට හිස දක්වා යොමුවූ වේදනාවක් ඇතිවිය හැකිය. ඔබට හිසරදය ඇතිවන්නේ මෙය නිසාය. මෙම ආකාරයේ හිසරදයට සර්වයිකොජෙනික්/ cervicogenic headache හිසරදය ලෙස හදුන්වනු ලබයි.
✅ බෙල්ලේ වේදනාවට/ අතෙහි ඇගිලි හිරිවැටීමට ඇති ප්‍රතිකාර මොනවාද?
මෙය සදහා ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරයකු විසින් ඔබට වේදනා නාශක ඖෂධ, කෝටිකෝස්ටෙරොයිඩ් එන්නත් නිර්දේශ කර හැකිය. බෙල්ලේ ස්නායු තෙරපීම පාලනය කර නොහැකි නම් එයට ශල්‍යකර්මයක් සිදුකරනු ලබයි. නමුත් බෙල්ලේ ශල්‍යකර්මයකට තිබෙන දැඩි අවදානම නිසා මෙය ශල්‍යකර්මයකට නොයා පාලනය කරගත හැකි නම් වඩාත් යෝග්‍යවේ
ප්‍රතිකාර කිරීමේදී පමණක් නොව බෙල්ලේ වේදනාව ඇතිවීම වළක්‌වා ගැනීමේදීද වැදගත්ම කටයුත්ත වනුයේ නිවැරැදි ඉරියව් අනුව කටයුතු කිරීමය.
නිවැරැදි ඉරියව් යනු බෙල්ල, අත්, කඳ සහ දෙපා එකිනෙකට සාපේක්‍ෂ වන පරිදි සිටින ආකාරයයි. නිවරැදි ඉරියව්වක් අනුගමනය කිරීමේදී කොඳු ඇට පෙළට ඇතිවන තෙරපුම අවමවේ.
බෙල්ල පහත් කරගෙන හෝ හරවාගෙන යම් කටයුත්තක නිරතවීමේදී දිගු වේලාවක් එම ඉරියව්වේම නොසිට විනාඩි පහළොවකට වරක් වත් බෙල්ලේ ඉරියව් වෙනස් කළ යුතුය.
නිදා ගැනීමේදී ඝණකම් නොමැති සැහැල්ලු තුනී කොට්‌ටයක් භාවිත කළ යුතුය. ඝනකම් උස කොට්‌ට භාවිත කිරීමේදී බෙල්ල වැරදි ඉරියව්වල පැවතීම නිසා වේදනාව හටගනී.
බෙල්ලේ ඇතිවන වේදනාවට ප්‍රතිකාර කිරීමේදී ඊට බලපා ඇති හේතුව හඳුනා ගැනීම වැදගත්ය. වැරදි ඉරියව් නිසා හටගත් බෙල්ලේ වේදනාව එම ඉරියව් නිවැරැදි කර ගැනීමෙන් සහ ව්‍යායාම කිරීම මගින් සුවපත් කර ගත හැකිය.
එදිනෙදා කටයුතු සිදුකර ගැනීමට නොහැකි අයුරින් බෙල්ලේ වේදනාව හා ඇගිලි හිරිවැටීම මතුවේ නම් වහාම වෛද්‍යවරයකු කරා යොමුවීම යෝග්‍යවේ.
Kasun Basnayake
BSc(Hons) in Physiotherapy
Dip. Exercise and Sports Science
Physiotherapist (Sri Lankan Medical Council Registered)
University Hospital KDU
SLMC Reg No: 1066
Physiotherapy Treatments Sri Lanka
ප්‍රතිකාර සදහා අමතන්න : 0719969372