29/10/2024
💓පියයුරු පිළිකා දැනුවත් කිරීමේ මාසය💓
රෝස පැහැති රිබන් පටිය පියයුරු පිළිකා පිළිබඳව සංකේතයයි
කලින් හඳුනාගැනීමේ සහ ප්‍රතිකාරයේ වැදගත්කම අවබෝධ කර ගැනීම මෙම ලිපියේ අරමුණ වේ.
මෙම වසරේ, අවධානය යොමු කර ඇත්තේ දැනුවත් කිරීම පමණක් නොව, කලින් හඳුනා ගැනීම, වැළැක්වීම සහ විකිරණ චිකිත්සාව වැනි ඵලදායී ප්‍රතිකාර දිරිමත් කිරීම කෙරෙහි ය. මෙම ලිපිය මගින් මෙම දිනයේ වැදගත්කම, පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ වැදගත්කම සහ පියයුරු පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමේදී විකිරණ චිකිත්සාව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන ආකාරය පැහැදිලිකරයි.
💓පියයුරු පිළිකා දැනුවත් කිරීමේ දිනයේ වැදගත්කම
පියයුරු පිළිකා ලොව පුරා කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන පිළිකාවක් වන අතර එය සියලුම පිළිකා රෝගීන්ගෙන් 25% කට ආසන්න වේ.
පියයුරු පිළිකා දැනුවත් කිරීමේ දිනය මගින් ;
1. මහජනතාව දැනුවත් කිරීම - පියයුරු පිළිකා අවදානම් සාධක, රෝග ලක්ෂණ සහ නිතිපතා පරීක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳ අවබෝධය වැඩි කිරීම.
2. කලින් හඳුනාගැනීම ප්‍රවර්ධනය කිරීම - රෝග විනිශ්චය සඳහා මැමෝග්‍රෑම් සහ ස්වයං පරීක්ෂණවල වැදගත්කම අවධාරණය කරීම
3. දිවි ගලවා ගැනීම සැමරීම - ජීවිතය බේරාගත් අයට සහ පියයුරු පිළිකාවෙන් පීඩාවට පත් වූවන්ට ගෞරව කිරීම, දැනට ප්‍රතිකාර ලබන පුද්ගලයින්ට බලාපොරොත්තුවක් සහ දිරිගැන්වීමක් ලබා දීමඅරමුණු කරයි.
💓පියයුරු පිළිකා ප්‍රතිකාරයේදී විකිරණ චිකිත්සාවේ කාර්යභාරය
විකිරණ චිකිත්සාව පියයුරු පිළිකා සඳහා පොදු ප්‍රතිකාර ක්‍රමයකි. එය පිළිකා සෛල ඉලක්ක කර විනාශ කිරීමට අධි ශක්ති විකිරණ භාවිතා කරයි. පිළිකාව නැවත මතුවීමේ අවදානම ඵලදායී ලෙස අඩු කරයි. පියයුරු පිළිකා ප්‍රතිකාරයේදී විකිරණ ප්‍රතිකාර ක්‍රමය පිළිබඳ අවබෝධය ලබාදීම රෝගීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ඉතා වැදගත් වේ.
💓විකිරණ චිකිත්සාව ක්‍රියා කරන ආකාරය
විකිරණ චිකිත්සාව මූලික ආකාර දෙකකින් යෙදිය හැකිය:
1. බාහිර කිරණ විකිරණ චිකිත්සාව (EBRT)
මෙය වඩාත් සුලභ විකිරණ ප්‍රතිකාර ක්‍රමය වන අතර එහිදී යන්ත්‍රයක් මගින් පිළිකා ඇති ප්‍රදේශයට අධි ශක්ති කිරණ (එක්ස් කිරණ, ගැමා කිරණ වැනි) යොමු කරයි. ප්‍රතිකාරය සාමාන්‍යයෙන් මිනිත්තු කිහිපයක් පවතින අතර, රෝගීන් සතියකට දින 5 බැගින් සති කිහිපයක් සඳහා සිදු කරයි.
පියයුරු හෝ අවට පටකවල ඉතිරිව ඇති පිළිකා සෛල ඉවත් කිරීම සඳහා එය බොහෝ විට ශල්‍යකර්මයෙන් පසුව භාවිතා කරයි.
2. බ්‍රැකීතෙරපි
මෙයට විකිරණශීලී ප්‍රභවයක් කෙලින්ම පිලිකාව ඇතුළත හෝ ආසන්නයේ තබා ප්‍රතිකාර කරනු ලබයි. අවට නිරෝගී පටක විකිරණ නිරාවරණය වීම අවම කරන අතරම පිළිකා ඇති ප්‍රදේශයට නිශ්චිතවම වැඩි විකිරණ මාත්‍රාවක් ලබා දීමට එය ඉඩ සලසයි.
💓විකිරණ චිකිත්සාවේ ප්‍රතිලාභ
විකිරණ ප්‍රතිකාර මගින් පිළිකාව ඵලදායි ලෙස ඉලක්ක කළ හැකි අතර අවට ඇති සෞඛ්‍ය සම්පන්න පටක ඉතිරි කරමින් අතුරු ආබාධ අඩු කරයි.
විකිරණ චිකිත්සාව මගින් පිළිකා නැවත ඇතිවීමේ අවදානම සැලකිය යුතු ලෙස අඩු කරන බව පර්‍යේශණ වලින් පෙන්වාදී ඇත.
පියයුරු පිළිකාව පැතිරීඇති අවස්ථා වලදී, විකිරණ චිකිත්සාව මගින් පියයුරු පිළිකා හා සම්බන්ධ වේදනාව සහ අනෙකුත් රෝග ලක්ෂණ සමනය කිරීමට උපකාරී වේ.
💓අතුරු ආබාධ
විකිරණ චිකිත්සාව ඵලදායී ප්‍රතිකාර විකල්පයක් වන අතර, එයට අතුරු ආබාධ ඇති විය හැක, ඒවා අතර:
- සමේ ප්‍රතිකාර කළ ප්රදේශයේ වෙනස්කම්
- තෙහෙට්ටුව
- පියයුරු හැඩය හෝ ස්වභාවය වෙනස් වීම
- ඉදිමීම
බොහෝ අතුරු ආබාධ තාවකාලික සහ කළමනාකරණය කළ හැකි අතර, විකිරණ චිකිත්සක නිලධාරීන් අවශ්‍ය උපදෙස් ලබාදෙන අතර වෛද්‍ය සායනවලට යොමු කරමින් මෙම අභියෝගවලට මුහුණ දීමට රෝගීන්ට උපකාර කළ හැක.
මෙම පියයුරු පිළිකා දැනුවත් කිරීමේ දිනය, පුද්ගලයන් දිරිමත් කිරීම අත්‍යවශ්‍ය වේ:
1. වයස අවුරුදු 40 සහ ඊට වැඩි කාන්තාවන්ට වාර්ෂික මැමෝග්‍රෑම් පරීක්‍ෂණයකට වෛද්‍යවරයෙකු හරහා භාජනයවියයුතු අතර පියයුරු පිළිකා පවුල් ඉතිහාසයක් ඇති අයද වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.
2. නිතිපතා ස්වයං පරීක්‍ෂා කිරීම පුද්ගලයන්ට තම පියයුරුවල කිසියම් වෙනසක් කලින් හඳුනා ගැනීමට උපකාර කළ හැක.
3. අන් අයව දැනුවත් කරන්න -පියයුරු පිළිකා සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳ තොරතුරු බෙදාහදා ගැනීම දැනුවත් කිරීම සහ සහයෝගය දක්වන ප්‍රජාවක් පෝෂණය කිරීමට උපකාරී වේ.
ඔබත් ඔබගේ වගකීම ඉටුකර , පියයුරු පිළිකාව තවදුරටත් රෝගාබාධවලට සහ මරණවලට ප්‍රධාන හේතුවක් නොවන අනාගතයක් කරා පිය නගමු.
💓ස්වයං පියයුරු පරීක්‍ෂාව පිළිබඳව මීට පෙර ලිපියකින් සාකච්ඡා කරඇති අතර එයද කියවා බලන්න
💓සමීර ලියනගේ
විකිරණ චිකිත්සක නිලධාරී- ශික්ෂණ රෝහල බදුල්ල 💓