04/03/2024
(විනාඩි දෙකක කියවීමකි),😊
උපදංශය එහෙමත් නැත්නම් සිපිලිස් කියන්නෙ Treponema pallidum නමැති බැක්ටීරියාව හේතුවෙන් වැලදෙන ලිංගාශ්‍රිත රෝගයක්.අනාරක්ෂිත යෝනි,මුඛ හෝ ගුද ලිංගික සම්බන්ධතා මගින් හෝ උපදංශය නිසා හටගත් තුවාල,පළු හෝ කුෂ්ට සහිත සම සෘජුවම ස්පර්ශ වීමෙන් මෙන්ම ආසාධිත ගර්භනී මවකගෙන් නීරෝගී දරුවාටද සංජානනීයව ආසාධනය විය හැක.
උපදංශය සහිත ගර්භනී මවක් ඇයගේ ගර්භනී කාලයේ මුල් අවස්ථාවේදී (සති 8 ඇතුලත) VDRL පරීක්ෂාව සිදුකරගෙන නීරෝගී බව තහවුරු කරගැනීම ඉතා වැදගත් වන අතර යම් හෙයකින් මවක් ගර්භනී කාලය තුල VDRL පරීක්ෂාව positive උවහොත් ඇය හැකි ඉක්මනින් මේ සදහා වන වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුවිය යුතුයි..මේ සදහා ප්‍රතිකාර ලිංගාශ්‍රිත රෝග සායනවලින් නොමිලේ,පෞද්ගලිකත්වය රැකෙන පරිදි සිදුකර ගත හැකිය.නමුත් ඇය ප්‍රතිකාර ගැනීම පැහැර හැරියහොත් පහත සංකූලතා ඇතිවිය හැක.
* දරු ගැබ ගබ්සා වීම.
* මළ දරු උපතක් සිදුවීම.
* සංජානනීය උපදංශය වැළදුනු දරුවෙකු බිහිවීම.
* සාමාන්‍ය ලෙස දරුවා බිහිවුවත් මාස කිහිපයකට පසුව රෝග ලක්ෂණ මතුවීම.
සාමාන්‍යයෙන් මෙම රෝග කාරක බැක්ටීරියාව ශරීරගතවී දින 9 -90 කාලයේදී රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.නමුත් ආසාදනයේ මුල් අවස්ථාවල රෝග ලක්ෂණ කිසිවක් නොමැති විය හැක.
ලිංගික ප්‍රදේශය,ගුද මාර්ගය අවට හෝ මුඛයේ වේදනාවක් රහිත තුවාල එකක් හෝ කිහිපයක් ඇතිවීම,ඉකිලිවල වසා ගැටිති ඉදිමීමත් මෙම රෝගයේ ප්‍රාථමික අවස්ථාවේදී දැකගත හැකිය.කෙසේ නමුත් සති 2-3 කාලයකදී මෙම තුවාල ප්‍රතිකාර නොමැතිවද සුව වන අතර රෝග කාරක බැක්ටීරියාව ශරීරයෙන් ඉවත් නොවේ.මෙම කාලය තුල මෙය රෝගයක් බවට VDRL පරීක්ෂාවක් මගින් හදුනාගෙන ප්‍රතිකාර වලට යොමු නොවුවහොත් මෙම රෝගයේ ද්වීතික අවධියට පත්වේ.
එම අවස්ථාවේදී ඉදිමුණ වසා ගැටිති සමග උණ,හන්දිපත් වේදනාව,විඩාව සහ ආහාර අරුචිය වැනි තත්වයන් සමග දිවේ සහ උඩු තල්ලේ සුදු පැහැති පැල්ලම් ඇතිවීම,හිසෙහි පැල්ලම් ලෙස තැනින් තැන හිසකෙස් ගැලවීයාමක් මෙන්ම කාන්තාවක් නම් යෝනි විවරය සහ පිරිමින්ගේ ගුදය අවට ගැටිති ඇතිවීමත්, අත්ලේ සහ යටි පතුල් ඇතුලුව ශරීරය පුරාම කුෂ්ට හටගැනීමත් සිදුවිය හැක.මේ අවස්ථාවේදීත් ප්‍රතිකාර වලට යොමු නොවුනහොත් වසර කිහිපයකට පසුව රෝගියාගේ හදවත,මොළය,ඇස් සහ ස්නායු පද්ධතියට පවා හානි ඇතිවී මරණය පවා අත්විය හැක.
උපදංශය කියන්නෙ නිසියාකාරව ප්‍රතිකාර ගතහොත් සම්පූර්ණයෙන්ම සුවකළ හැකි රෝගයක්.ඒ වගේම ලිංගික සහකරු හෝ සහකාරිද ප්‍රතිකාර සදහා යොමුවීම අත්‍යාවශ්‍ය වේ.