17/09/2024
දිවා තපති ආදිච්චො රත්තිං ආභාති චන්‍දිමා
සන්නද්ධො ඛත්තියො තපති ඣායී තපති බ්‍රාහ්මණො
අථ සබ්බමහොරත්තිං බුද්ධො තපති තෙජසා.
හිරු දහවල්හි බබලන්නේ ය. සඳ රෑ දවස ම බබලන්නේ ය. රජ තෙමේ අබරණ ලා සැරසී සිවුරඟ සෙනා පිරිවරා සිටි කල්හි බබලන්නේ ය. රහත් තෙම සමවතට සමවන්නේ බබලන්නේ ය. බුදුවරයෝ වනාහි චරණ, ගුණ, ඥාන, පුණ්‍ය, ධර්‍ම යන පස්වැදෑරුම් වූ තේජසින් දිවා රෑ දෙක්හිම බබලන්නේ ය.
බුදුන් වැඩසිටි සමයේ කොසොල් රජ තෙමේ මහාපවාරණ දිනයෙහි සව්බරණින් සැරසී ගඳමල් ඈ පිදෙවිලි ගෙණ විහාරයට ගියේ ය. ඒ වේලෙහි කාලුදායි ස්ථවිරයන් වහන්සේ ධ්‍යානයට සමවැද පිරිස් කෙළවර හුන්හ. උන්වහන්සේගේ සිරුර ඒ වේලෙහි මන වඩන්නේ රන්වන් ව බැබලුනේ ය. ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ බැස යන සූර්‍ය්‍යාගේත් නැග එන චන්‍ද්‍රයාගේත් ආලෝකය බලා, නැවැත කොසොල් රජුගේ ශරීරශොභාවත් කාලුදායී තෙරුන්ගේ ශරීරශොභාවත් බුදුරජුන්ගේ ශරීරශොභාවත් බැලූහ. එහි දී ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට ඒ සියලු ශොබාවන් මැඩ ඉක්මවා බුදුරජානන් වහන්සේගේ ශරීරශොභාව ම උසස් ව නැගී සිටුනා බව පෙණී ගියේ ය. ඉක්බිති තෙරුන් වහන්සේ බුදුරජුන් වැඳ “ස්වාමීනි! සූර්‍ය්‍යාගේ, චන්‍ද්‍රයාගේ, කොසොල් රජුගේ, කාලුදායී තෙරුන්ගේ, හා බුදුරජුන්ගේ ශොභාවන් බලා සිටි මට බුදුරජුන්ගේ ශොභාව ම අන් හැම කෙනෙකුන්ගේ ශොභා යටපත් කොට ඉතා උස් ව බබලන බව පෙණී ගියේ ය, බුදුරජුන්ගේ ශොභාව ම මා සිත් ගත්තී ය, බුදුරජුන්ගේ හොභාව ම සියලු ශොභාවන් මැට ගෙණ සිටියාය”යි සැලකළහ. එ කල්හි බුදුරජානන් වහන්සේ “ආනන්‍ද! හිරු දාවල්හි ම බබලන්නේ ය, සඳ රෑ දවස ම බබලන්නේ ය, රජ තෙමේ අබරණ ලා සැරසී සිටි කල්හි ම බබලන්නේ ය, රජ තෙමේ අබරණ ලා සැරසී සිටි කල්හි ම බබලන්නේ ය, රහත් තෙමේ පිරිස් හැර දමා එකලා ව සමාපත්තිය තුළ සිටියේ ම බබලන්නේ ය, බුදුවරයෝ වනාහි රෑ දවල් දෙක්හි ම පස්වැදෑරුම් තෙදින් බබලන්නාහ”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
සියලු සිත් සතන් සනසන පින්බර බිණර පොහොය දිනයක් වේවා!
මැඩ්‍රාස් ආයුර්වේද
හේනාවල, කඩුගන්නාව
𝐌𝐚𝐝𝐫𝐚𝐬 𝐀𝐲𝐮𝐫𝐯𝐞𝐝𝐚
𝐇𝐞𝐧𝐚𝐰𝐚𝐥𝐚, 𝐊𝐚𝐝𝐮𝐠𝐚𝐧𝐧𝐚𝐰𝐚
📧 𝐦𝐚𝐝𝐫𝐚𝐬𝐚𝐲𝐮𝐫𝐯𝐞𝐝𝐚𝐬𝐥@𝐠𝐦𝐚𝐢𝐥.𝐜𝐨𝐦
📱 𝟎𝟕𝟕 𝟔𝟎𝟗 𝟑𝟑 𝟒𝟑
🩺🌿🍃💚🌍🇱🇰