17/03/2024
HEAT STROKE (තාප ආඝාතය)
Heat stroke නමින් හදුන්වන රෝගී තත්ත්වය ශ්‍රී ලංකාවේ අපට මෑතක් වනතුරුම එතරම් සුලභ අත් දැකීමක් නොවූවත් දැන් දැන් මෙවන් රෝගීන්ගෙ වාර්තාවීම් දැකිය හැකියි. මේ දිනවලදී අප අවට පරිසරයේ උෂ්ණත්වය ඉතාමත් වැඩි නිසා මෙම heat stroke තත්ත්වයට ගොදුරු වීමට වැඩි ඉඩක් තිබීම සහ එම තත්වය ඇතැම් විටක මාරාන්තික විය හැකි වීම මෙම සටහන තැබීමට හේතුවයි.
මිනිසා යනු අචලතාපී ජීවියෙක්. එනම් පරිසර උෂ්ණත්වයේ වෙනස්වීම අනුව අපේ දේහ උෂ්ණත්ව වෙනස් වන්නේ නෑ. එම අගය fahrenheit ( F) 98.4 එනම් celcius (C) 36.8 වේ. ඉතා සුළු වෙනස් වීමක් හැර කුමන පරිසර තත්ත්වයන් යටතේ වුවද මෙම අගය නොවෙනස්ව පැවතිය යුතුයි. විවිධ හේතූන් (ව්‍යයාම කිරිම වැනි)නිසා අපගේ ශරීරයේ උෂ්ණත්වය ඉහල යන විට ස්වභාවිකවම දහඩිය දැමීම ඇතුලු උපක්‍රම මගින් සිරුරේ ජනිත වන තාපය පරිසරයට මුදාහැරීම සිදු කරනු ලබන අතර එමගින් ශරීරය සිසිල් කර උෂ්ණත්වය නියත අගයක පවත්වා ගනු ලබයි. නමුත් අප අවට පරිසරයේ උෂ්ණත්වය මේ දිනවලදී මෙන් දීර්ඝ වේලාවක් තිස්සේ ඉතා ඉහළ මට්ටමක පවතින විට සහ විශේෂයෙන් පරිසර උෂ්ණත්වය ශරීර උෂ්ණත්වයට වඩා වැඩි වන විට එම පරිසරයට තාපය මුදාහරිමින් සිදුවන සිසිලන ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොවේ. එම නිසා සිරුරේ උෂ්ණත්වය ඇතැම් විට විනාඩි කිහිපයක් වැනි ඉතාමත් කෙටි කාලයක් තුල ඉතා ඉහළ අගයක් දක්වා වැඩි විය හැකියි. මෙම අගය 104 F හෝ ඊට වඩා වැඩි වන විට මෙම heat stroke තත්ත්වය ඇතිවීමට ඉඩ තිබේ.
වැඩි අවදානමක් ඇති අය...
කුඩා දරුවන්, ඉතා වයස්ගත පුද්ගලයන්, රෝගාබාධ ආදිය නිසා ඉතා දුර්වල සෞඛ්‍යය තත්ත්වයක් සහිත පුද්ගලයන් හට වැඩි අවදානමක් ඇති අතර දැඩි පාරිසරික තත්ත්ව යටතේ පුහුණු වීම් වල යෙදෙන හමුදා සෙබළුන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද, දැඩි අව් රශ්මියෙ කය වෙහෙසා වැඩ කරන පුද්ගලයන්ද මෙම තත්වයට ගොදුරු වීමට වැඩි ඉඩක් පවතී.
රෝග ලක්ෂණ ....
• තද හිසරදය
• වමනය
• මානසික ව්‍යාකූල ස්වභාවය
• සිරුර රත් පැහැ වීම
• සම වියලි ස්වාභාවයක් ගැනීම
• සිරුරේ උෂ්ණත්වය ඉතා වැඩි වීම (104 F ට වැඩි)
• හෘද ස්පන්දන වේගය ඉතා වැඩි වීම
• ක්ලාන්තය
• සිහි සුන් වීම.
ප්‍රථමාධාර......
• හැකි ඉක්මනින් රෝගියා සිසිල්, සෙවන ඇති ස්ථානයකට ගෙන යාම
• අයිස් හෝ සීතල ජලයෙන් සිරුර සිසිල් කිරීම,
• රෝගියා ඉතා හොද සිහි කල්පනාවෙන් සිටිනම් සහ වමනය තත්ත්වයක් නැතිනම් පමණක් සිසිල් පානයක් බීමට දීම.
• හැකි ඉක්මනින් රෝහලක් වෙත ගෙන යාම .
වලක්වා ගැනීම ......
Heat stroke තත්ත්වයට සිරුර පත් වූ විට හෘදය, වකුගඩු, මොලය , පෙනහළු, ආදී සෑම අවයවයකටම පාහේ ඉතා බරපතල ලෙස හානි විය හැකි බැවින් සහ බොහෝ විට දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර අවශ්‍යය වන බැවින් මෙම තත්වයට යා නොදී ආරක්ෂා වීම ඉතා වැදගත් වේ.
• දැඩි අව් රශ්මිය ඇති විට ක්‍රීඩා හෝ වෙනත් ශාරීරික පුහුණු වීම් වල නොයෙදීම,
• සිරුර විජලනය වීමට නොදී හොදින් ජලය පානය කිරීම,
• සිරුර තවදුරටත් උණුසුම් වන ඇදුම් ඇදීමෙන් වැලකීම,
• උණුසුම් සංවෘත ස්ථාන වල වැඩි වෙලාවක් රැදී නොසිටීම ( අව්වේ නවතා ඇති මෝටර් රථයක් තුළ උෂ්ණත්වය 60 C - 70 C තරම් ඉහළ අගයක් දක්වා වැඩි විය හැක)
වැනි ආරක්ෂක පියවරවල් අනුගමනය කිරීම මගින් මෙම තත්වයෙන් වැලකී සිටිය හැක. වයස් ගත පුද්ගලයන්, රෝගීන් සහ කුඩා දරුවන් විශේෂයෙන් ආරක්ෂා වීම වැදගත් වේ.
සටහන උපුටා ගැනීම .... වෛද්‍ය රෝහන ජයතිලක