23/08/2025
ඉවරයි කිව්වට ඉවරම නෑ.
(අනිවාර්යෙන්ම කියවන්න. වැරදි ඇතොත් හදන්න.)
ජූලි 09, ශ්‍රී ලාංකේය ඉතිහාසය මුතු මැණික් ඔබ්බවලා රන් අකුරින් ලියැවෙන දිනයක්.
ඒ වෙනුවෙන් නිදි මරල, අම්බානක ගුටි කාල, පණ නැතුව වැටෙනකං දහඩිය හෙලපු එකට සතුටුයි.
ලංකා ඉතිහාසයේ ඇතිවූ දැවැන්තම "අයුතු ජන ගංගාව" කොළඹට ගලා ආවා විතරක් නෙවෙයි හැම කෙනාම ජීවිතේ පුදන්න තරම් රට රැකගැනීමේ ගැම්මකින් ආදරෙන් කොළඹට ආව.
ඇඳිරි නීති, හදිසි නීති බස් කෝච්චි ප්‍රශ්න දාහක් දාද්දි රට වටේම මිනිස්සු වාහන වල මනුස්සයෙකුට යන්න බැරිම තැන්වල පවා එල්ලිලා, බයිසිකල් පැදගෙන, බැරිම අය පයින් දුව දුව,ඒ තියා රෝද පුටු වලින් පවා කොළඹට ආවා.
අපි liberty වටරවුමේ සිංහයා උඩ නැගගෙන මිනිස්සුන්ව පිළිගත්තා.පැය ගණනාවක් නොනවත්වා එක සීරුවට ජන ගඟක් ගැලුවා.
මිනිස් ගංගාව කොටුව ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය වටකළා. එක පොදියට ලක්ෂ ගානක් මිනිස්සු කඳුළු ගෑස් බැටන් පොලු ප්‍රහාර විතරක් නොවෙයි වෙඩි කාගෙන යකඩ බැරියර, තාප්ප, ගේට්ටු කඩාගෙන මාළිගාවල් ඇතුලට ගියා.
කොටුව ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය මිනිස්සු සතු වුණා.ඇතුලට ගිහිල්ලා මිනිස්සු රිසිසේ සැරිසැරුවා. අතුගෑවා. අස් කරා.
🏊නෑවත් එක්ක..🙈
පොඩි වෙලාවයි මෙන්න අරලියගහ මන්දිරය ලග මහා ජනකාය අස්සෙ...කෙල්ලො ටිකක් ඇවිල්ල තීරණයක් ගත්තා.(පස්සේ කියන්නම් කවුද කියලා) හරියටම විනාඩි 5ක් ගියෙ නෑ.ඇඟ පොඩි උනාට හිත සද්දන්ත කොල්ලො ඝනකම් GI පයිප්ප වලින් හදපු මහා බැරියර් කූබි බත් ඇට උස්සන් යනවා වගේ උඩට උස්සලා ඇඟිල්ලක් ගහන්න ඉඩ නැති එතන මිනිස්සුන්ට තුවාල නොවෙන්න අයින් කරා.
කළුපාට මහා තඩි ගේට්ටුව හාමතේ ඉඳපු කෝටු අතපය වලින් උඩට ඉස්සුනා.
අරලියගහ මන්දිරය ඇතුළට වැඳල ආචාර කරමින් මිනිස්සු ඇතුල් වුණා.බඩගින්නෙ හිටපු වුන් වහ දැම්මත් කමක් නෑ කිය කිය කුස්සියෙ තිබ්බ කේක් ගෙඩියකුත් කෑවා.🙈🎂
අරලියගහ මන්දිරය
ඇතුලෙත් මිනිස්සු රිසිසේ සැරිසැරුවා.අවුරුදු විස්සක් හිරේ ඉඳලා තමන්ගෙම ගෙදරට ආවා වගේ සමහරු ඇත්තටම නිදාගත්තා.
(ජනාධිපති නිල නිවස අසළදී කොමාන්ඩෝ සේවය ඉහළටම ගිය, මේ රට බේරගන්න ජීවිතේම කැප කරපු විශ්‍රාමික යුධ හමුදා සෙබළෙකු වන ජනක ලලිත් වෙඩි කෑවා.)
මේ අස්සේ ටිකක් අසාමාන්‍ය සිද්ධියකුත් වෙනවා.
අගමැතිතුමාගේ නිවස අසල විරෝධතා දියත් කරන්න පටන් ගන්නත් පෙර පාරෙ යන එන මිනිස්සුන්ට පවා කදුලු ගෑස් බැටන් පොලු ප්‍රහාර සහ එලවමින් පහර දෙන යුධමය තත්ත්වයක් ඇරඹුණා.බොහෝ අයට තුවාල සිදු වුණා.කිසිවක් නොදන්න කිසිවෙක් නොදන්න රහසිගත ගින්නක් ඇතිවුණා. (කැමරා නැති වුණාට වෙච්ච සේරම ඇහෙන් දැකපු අය ඉන්නෝ)
මාධ්‍යවේදීන්ට පහර දුන්නා.
මහා යුද්ධයක් ඇති වුණා.
වාර්තාගත සහ වාර්තා නොවුණු තුන්සීයකට අධික ප්‍රමාණයක් තුවාල ලැබුවා.
කෙසේ වෙතත් ජනාධිපති ලේකම් කාර්‍යාලයත් ජනාධිපති මන්දිරයත් අරලියගහ මන්දිරයත් තුනම මිනිස්සු අල්ල ගත්තා.මොකටවත් නෙමෙයි, ඒකාධිපති ජන පීඩක ආණ්ඩුවකට වඩා විනාඩි දෙකක් ජනතාව නැගිට්ටොත් කොයි තරම් බලවත් ද කියලා පෙන්නන්න.
ඒ මහා ඉතිහාසගත සිද්ධි මාලාව මේ රටේ ඉතිහාසය පුරාම ලියැවෙනව."ජනතා බලය" පිළිබඳව මීට වඩා දෙයක් ඉතිහාසයට එක් වන තෙක්.
ඉතිහාසයේ දැවැන්තම වීරකාව්‍යක්!
පුම්බලා උඩ අරින බැලුම් වගේ "චරිත" කරපු දෙයක් නෙමෙයි මේ සියලු කෙරුවාවල් බඩට නොකා වතුර බිබී ආපු මිනිස්සු කරපුව.(විශේෂ වීරයෝ නැහැ.ආපු හැමෝම වීරයෝ)
මේ මාලිගාවල අයිති කාරයෝ කියලා හිතන් ඉන්න අය නිළ වශයෙන් ඉවත්වෙනතුරු "ජනතාව" මේ මන්දිර වලින් ඉවත් කරනවා නම් බොරු.
කඳුලු ගෑස්, වෙඩි උණ්ඩ පඩේකට මායිම් නොකර බැරියර බිඳගෙන බටු "කෙල්ලොත්" ඉස්සරහට එද්දි අතේ තිබ්බ තුවක්කු වීසි කරල නිල ඇඳුම ගලවලා බැනියම් පිටින් එහා පැත්තෙ හිටපු හමුදා පොලිස් කොල්ලො මේ පැත්තට පැනල විරෝධතාකරුවන්ට එකතු වෙනවා දකිද්දී ඇඟේ මයිල් කෙලින් වුනා.
මේ මන්දිර මිනිස්සු අයිති කරගත්තට පස්සේ මිනිස්සුන්ට කඳුළු ගෑස් ගහපු, වෙඩි තියපු නිල ඇඳුම් අස්සෙ හිටපු කොල්ලන්ට අරගල කරුවෝ පිටට තට්ටුවක් දාලා යන්න ඇරපු හැටි හා උනුත් සතුටින් හිනාවෙලා යන්න ගිය හැටි.ඒ සහෝදරත්වය....
සමහර දැකපු දේවල් ලියන්න බෑ.මාසයක් කතා කරන්න හිනාවෙන්න දේවලුත් තියෙනවා.බඩ අල්ලන් හිනා වෙවී අඬපු තැනුත් තීනවා. 😂..
අරගලය පටන් ගත්ත දවසේ ඉඳලා 9 වෙනිදා එක්ක තුන් පාරක් ගුටි, කඳුළු ගෑස් නම් වාර ගාන මතකත් නෑ.
(වරක් අපේ පැත්තට කඳුලු ගෑස් ගහපු කෙනෙක්ම මගෙ ඩ්‍රයිවින් ලයිසන් එක අහුලල තියාගෙන ඉඳලා මට ගෙනල්ලා දෙනව අපේ වයිෆ් මිස්ගෙ program බලනවා, මගේ බබාට අවුරුද්දයි අපි ඔයාට හරි ආදරෙයි කියලා 🙈, පෙන්නන්නම් දවසක ඒ අයවත්. 😥ආදරෙයි ඔබල හැමෝටම පැලෙන්න )
රූපවාහිනී සංවාද වල කතාකරන්න, අරගලයේ න්‍යාචාර්‍යවරු වෙන්න බොහොමයක් අය හිටියට
අරගලයේ අසීරුතම ජීවිත ෂුවර් නැති "මොහොතවල්" ජීවිත පරිත්‍යාගයෙන් පහු කළේ පහළම පන්ති වල ඉදපු මිනිස්සු.ඒ මිනිස්සුන්ට දේශපාලනය ගැන තේරුමක් නෑ.ප්‍රජාතන්ත්‍රවාදය හෝ අපි ඉගෙනගත් ලිබරල් වාදය හෝ අපි ඉගෙනගත් දේශපාලන සන්නිවේදනය ඒ මිනිස්සු දන්නෑ. ඒත් හදවත් තියෙනවා ඉතා අවංක.මේ සත්‍යය මම කියනවා,කවුරු නොකිව්වත්...
සමහර සිද්ධි මතක් උනාම හිනා යනවා.😂සමහර ඒවට කඳුළු එනවා.😥(හම්බුන දවසක කියන්නම් හිනා කාලා මැරෙන්න)
9 වෙනිදා ජනතා නැඟිටීම "ගෝඨාගෝගම" මූලික කරගත් එකක් නෙවෙයි.
9 වැනි දා ජනතා නැගිටීම මතින්
- දැනට ඇති සියලු "ජන වරම්"වල අහෝසිය කියවෙනවා.
- රාජපක්ෂ රෙජිමය ඉවර බව ප්‍රකාශ වෙනවා.
- gotta ගෝමයි කියන එක ස්ථිර වෙනවා.
- තනතුරු බලාගෙන පදවන අයට "ජනතා බලය" නම් සිග්නල් ලයිට් තියෙන බව පෙන්නනවා.
- ඉස්සරහට දේශපාලනය
ලේසියෙන් රට කඩං කන්න පුළුවන් එකක් නෙමෙයි බාර ගන්න එකා හරියටම කලයුතු රස්සාවක් නිසා පොඩ්ඩ වරද්ද ගත්තොත් කන්න වෙනවා කියලා පෙන්නනවා.
නමුත්....
මේ වන විට රට අස්ථාවරයි.
මේ රටේ මිනිස්සු ඉතා ඉවසීමෙන් සහ අවබෝධයෙන් සිටින නිසා සහ අරගල සඳහා පුරාණයේ තිබුණු ක්‍රමවේද වෙනුවට "ආදරය" ආකල්පමය වශයෙන් ඔබ්බවා ඇති නිසා සාමකාමීව ජනතාව ජීවත් වෙනව.
බලයට එළිපිට පොර අල්ලන්නේ නැතත් බලයට හිත් ඇතුලත පොර තියෙනවා. ජනතා ඡන්දය නම් අවියට බය නිසා හැමෝම හොඳ ළමයි වගේ හිත් යට විවිධ අරමුණු තද කරන් අනෙක් අය ලවා චරිත පුම්බමින් සිටිනව
එකිනෙකාට ආදරය කරමින් සාමය පවත්වාගෙන යමින් තවදුරටත් අවබෝධයෙන් ඉදිරියට යාමට රටට ආදරේ කරන මිනිස්සුන්ට යුතුකමක් තියෙනවා.
ජනතා මතයකින් හෙවත් ඡන්දයකින් දේශපාලන හිස්තැන් පුරවන තෙක්,
තාවකාලිකව බලය කාටද යන්න සියලු ජනතාව එකඟ වන හරි තීරණයක් ගන්න බලකරමින් ජනතාව සතු කරගත් මාළිගා ආදී සියල්ල අරගලකරුවන් අත තබා ගත යුතුයි.ඒකට හැමෝගෙම සහය අවශ්‍යයි.
අරගලකරුවන් බලය හෝ දේශපාලන තනතුරු බලාපොරොත්තු වීම විහිළුවක්.කිසියම් විප්ලවවාදියෙකු හෝ අරගල කරුවෙකු හෝ රටට ආදරේ ඇති සිවිල් වැසියකු ජනතා නියෝජිතයන් වනවා නම් එය අනිවාර්යයෙන්ම ජනතා ඡන්දයෙන් විය යුතුමයි.
ජනතාව ඉතා සරලව මේ සියලු දේවල් තේරුම් ගත යුතුයි...🙏🙏.
මොකා රජ වුණත්,
අඩුම තරමින් කෑම කෑවට පස්සේ එන බිලා ගැන පොඩියක්වත් හිතන්නේ නැතුව නිදහසේ රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා හැමෝටම හොඳට කන්න පුළුවන්, ආර්ථිකයක් ඇති,
මිනිසෙකුට මිනිසෙක් විදියට වටිනාකමක් ලැබෙන,
ඉස්පිරිතාලයකට, පොලිසියකට ආන්ඩුවේ තැනකට ගියාම ආයිත් යන්න හිතෙන,ස්තුතියි කියලා එන්න හිතෙන,
කෙනෙක් තව කෙනෙක් ළඟ කිසිම දේකට වැඳ වැටෙන්න අවශ්‍ය නැති,
හැමෝම හිනා වෙලා සතුටින් ඉන්න රටක් අපේ අරගලයේ අරමුණ විය යුතුයි.
(බලය උදෙසා සටන් කිරීම, නාටක නිර්මාණය සහ සාම්ප්‍රදායික ලේ වගුරවන සටන් පිළිකුලෙන් යුතුව හෙළා දකිමි.)
ආදරයේ අරගලයට ජය වේවා!!💕💕💕💕
ශාමලී පතිරගේ
2022/7/12
(මධ්‍යම රාත්‍රී, 13 ට එළිවෙන්න විනාඩි කිහිපයක් තියා ලියමි)