29/08/2025
“හිස් සාක්කුවෙන් බිලියන ගණන් හෙව්වේ මෙහෙමයි!” සාමාන්‍ය මිනිසුන්ට අසාමාන්‍ය ලෙස සාර්ථක විය හැකිද?
“ව්‍යාපාරයක් පටන් ගන්න නම් ගොඩක් සල්ලි තියෙන්න ඕනී නැත්නම් ලොකු ණයක් ගන්න ඕනී! අවදානම් ගන්න බය වෙන්න හොඳ නෑ.” මේවා තමයි සමාජය අපිට උගන්නලා තියෙන්නේ..
ඒත් ලෝකයේ සාර්ථකම මිනිස්සු මේ නීතියට සෙල්ලම් කළේ නෑ. ඔවුන් හිතුවේ වෙනස් විදියකට. ඔවුන්ගේ රහස, "දණ්ඩෝ" Dhando කියන දර්ශනය. සරලවම කිව්වොත්, “අපි දිනුවොත් ලොකුවට දිනනවා, පැරදුණොත් පොඩියට පරාද වෙනවා.”
ඉතින් අපි අද බලමු, ඒ දර්ශනය ජීවත් කරවපු අපුරු කතන්දර තුනක්. මේ පුංචි මිනිස්සු ලොකු සිහින හැබෑ කරගත් කතායි.
▪️රිචඩ් බ්‍රැන්සන්, දුරකථනයෙන් මිලදී ගත් ගුවන් යානය.
1980 දශකය. එංගලන්තයේ තරුණ රිචඩ් බ්‍රැන්සන්, ලොකු සිහිනයක් දකිමින් සිටියා. ඒ, තමන්ටම කියලා ගුවන් සේවාවක් පටන් ගන්න. සාමාන්‍යයෙන් ඒකට ඩොලර් මිලියන ගණනක මුදල් අවශ්‍යයි. බ්‍රැන්සන්ට එහෙම මුදලක් තිබුණේ නෑ. ඔහුගේ සාක්කුවේ තිබුණේ සිහිනයක් විතරයි.
ඔහු කළේ පුදුම දෙයක්. ඔහු බෝයින් (Boeing) සමාගමට දුරකථන ඇමතුම් දෙන්න පටන් ගත්තා. එක වරක්, දෙක වරක් නෙවෙයි. දින ගණනාවක් තිස්සේ ඔහු උදේ, දවල්, රෑ ඇමතුම් ලබා දුන්නා. එහා කෙළවරේ සිටි කෙනා හැමදාම කිව්වේ,
“මිස්ටර් බ්‍රැන්සන්, අපිට ඔබත් එක්ක මේ වගේ ගනුදෙනුවක් කරන්න බෑ. ගුවන් යානයක් ගන්න සල්ලි නැතුව ගුවන් සේවාවක් පටන් ගන්න බෑ..” කියලයි. ඒත් ඒ වචන බ්‍රැන්සන්ව නැවැත්තුවේ නෑ.
අන්තිමට, ඔහුගේ නොපසුබට උත්සාහය නිසා බෝයින් සමාගමේ නිලධාරියෙක් ඔහුට සවන් දෙන්න එකඟ වුණා..
“මට ඕනෙ නෑ, යානයක් මිල දී ගන්න,” බ්‍රැන්සන් කිව්වා. “මට ඕනී භාවිතයට නොගත් පරණ යානයක් බදු ගන්න විතරයි.”
ඒක සාමාන්‍යයෙන් ගුවන් සමාගමකින් කරන ඉල්ලීමක් නෙවෙයි. බ්‍රැන්සන් ඔහුට ජයග්‍රාහී යෝජනාවක් ඉදිරිපත් කළා. “මම යානය මිල දී ගන්නේ නැති නිසා ඔයාලට කිසිම අවදානමක් නෑ. ඒ වෙනුවට, ඔයාලට භාවිතයට නොගත් යානයක් බදු දීලා, ලාභයක් ගන්න පුළුවන්.”
අවසානයේදී බෝයින් සමාගම ඊට එකඟ වුණා. බ්‍රැන්සන් කිසිම මුදලක් ආයෝජනය නොකර වර්ජින් ඇට්ලැන්ටික් ගුවන් සේවය පටන් ගත්තා.. ඔහු ටිකට්පත් විකුණලා ලැබෙන මුදල් වලින් ගාස්තු ගෙවන්න සැලසුම් කළා. මේ නිසා ඔහුට අවදානමක් තිබුණේම නෑ. ඔහුගේ සිහිනය අවදානමක් රහිතව යථාර්ථයක් බවට පත් වුණා..
▪️පටෙල්වරු, අද ඇමරිකාවේ හෝටල් වලින් 80%ක හිමිකරුවෝ..
ඒ 1970 දශකය. ඉන්දියාවෙන් පැමිණි පටෙල්වරුන්ට ඇමරිකාවේ රැකියා කිරීමට අවශ්‍ය කුසලතා තිබුණේ නෑ. ඒත් ඔවුන්ගේ ඇස්වල දිලිසුණේ ලොකු සිහිනයක්. ඔවුන් "දණ්ඩෝ" දර්ශනය අනුව වැඩ කළා.
විශාල, සුඛෝපබෝගී හෝටල් වලට යොමු වෙනවා වෙනුවට, ඔවුන් කළේ කුඩා පරණ හෝටල් බදු ගන්න එකයි. ඔවුන් සේවකයින් වෙනුවෙන් සල්ලි නාස්ති කළේ නෑ. පවුලේ සාමාජිකයන්ම හෝටලයේ ජීවත් වෙමින්, පිරිසිදු කිරීම්, පිළිගැනීමේ කටයුතු සහ නඩත්තුව වගේ හැම දෙයක්ම කළා..
මේ අඩු වියදම නිසා, ඔවුන්ට ඔවුන්ගේ තරඟකරුවන්ට වඩා අඩු මිලකට කාමර ලබා දෙන්න හැකි වුණා. පාරිභෝගිකයෝ පුදුම වුණා. “මේක නම් හරිම මිල අඩුයි” කියලා ඔවුන් හිතුවා. ඒ නිසා ඔවුන් දිගින් දිගටම පටෙල්වරුන්ගේ හෝටල් වලට ආවා.
දන්නවද අද වන විට ඇමරිකාවේ හෝටල් වලින් 80%ක් පමණ පටෙල්වරුන් සතුයි. එය "දණ්ඩෝ" සංකල්පයේ සාර්ථකත්වය ලෝකයටම පෙන්වනවා..
▪️සටහනකින් ලැබුණු රැකියාව
මොනීෂ් පැබ්රායිගේ දියණියට ව්‍යාපාර උපාධියක් හෝ ආයෝජන ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තිබුණේ නෑ. ඒ නිසා ඇයට හොඳ රැකියාවක් සොයා ගැනීම අසීරු වුණා..
ඒ අවස්ථාවේදී පැබ්රායි ඇයට කිව්වේ, “සාමාන්‍ය අයදුම්පත් යවලා වැඩක් නෑ. ඒ වෙනුවට අසාමාන්‍ය දෙයක් කරන්න!” කියලයි. ඔහු ඇයට ආයෝජන අරමුදල් සමාගම් 1200කට ඊමේල් යවන්න උපදෙස් දුන්නා..
ඒ සෑම ඊමේල් එකක් සමඟම, ඇය තමන් විසින්ම සිදු කළ මූලික විශ්ලේෂණයකින් එනම් යම් සමාගමක කොටසක් මිලදී ගැනීම හෝ විකිණීම පිළිබඳව ඇයගේම අදහසක්, ඉතා කෙටි සහ පැහැදිලි 'සටහනක්' ලෙස එකතු කළා..
ආයෝජන අරමුදල් සමාගම් දිනකට සිය ගණනක් අයදුම්පත් ලබා ගත්තත්, ඇයගේ ලිපිය අනෙක් ඒවාට වඩා වෙනස් වුණා. එය හුදෙක් රැකියාවක් ඉල්ලන ලිපියක් නෙවෙයි. එය ආයෝජන පිළිබඳ අදහස් බෙදා හදාගන්නා ලිපියක් බවට පත් වුණා..
බොහෝ සමාගම් වලින් ප්‍රතිචාර නොලැබුණත්, එක් ලිපියක් 85 හැවිරිදි විශ්‍රාමික අරමුදල් කළමනාකරුවෙකු අතට පත් වුණා. ඔහු ඇයගේ නිර්මාණශීලීත්වයට සහ උත්සාහයට කැමති වුණා. ඔහු ඇයට හොඳ රැකියාවක් ලබාගැනීමට උදව් කළා..
මේ කතා වලින් පෙනෙන්නේ, ඔබ සතුව මුදල් හෝ සම්පත් නොමැති වුනත්, ඔබ ඔබේ සිහින අත්නොහැරිය යුතු බවයි. ඒ වෙනුවට, ඔබේ නිර්මාණශීලීත්වය සහ කැපවීම භාවිතා කරමින්, ඔබට ඔබේ සිහින කරා ගමන් කළ හැකියි.
© සාගර දියගම
තවත් ලිපියකින් හමුවෙමු!
https://tinyurl.com/SagaraDiyagama