24/01/2026
භගන්දර / Fistula (fistula-in-ano)
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මහා රෝගයක් ලෙසින් හඳුන්වන මෙය ගුදය ආශ්‍රිතව හටගන්නා රෝගයකි. මෙම රෝගය මුලින්ම හඳුනාගැනීමට හැකිවන්නේ ගුදය ආශ්‍රිතව හටගන්නා කුඩා සැරව බිබිලක් වැනි අවස්ථාවකිනි. මෙම සැරව ගෙඩිය ගුද මාර්ගය දක්වා ගමන් කිරීමෙන් පසුව එය බගන්දරා තත්ත්වයට පත්විය හැක.
බොහෝ විට මෙවැනි රෝගීහු මේ පිළිබඳව තම පවුලේ කෙනකුට පමණක් නොව වෛද්‍යවරයකුට පවා පැවසීමට මැලිවී රහසේ හංඟා ගැනීමට උත්සාහ කරති. නමුත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව අර්ශස් රෝග සඳහා මෙන්ම බගන්දරා රෝගය සඳහා ද ඉතා සාර්ථක ප්‍රතිකාර පවතී.
ආයුර්වේදයට අනුව ඈත අතීතයේදී මෙම රෝගයට වැඩිපුරම ගොදුරු වූයේ අශ්වයන් ඇතුන් ආදී සතුන්ගේ පිට මත ගමන් ගත් පුද්ගලයන්ටය. නමුත් වර්තමානයේදී මේ රෝගය වැඩිවශයෙන් වැළඳෙන්නේ රියදුරන්ටය. එමෙන්ම වැටීම්, පහර වැදීම් ආදියේදී ඇති වූ තැල්මකින් ද පසුකාලීනව මෙම ආබාධයට ගොදුරු විය හැක.
එපමණක් නොව. ආහාරමය හේතූන් ද මේ සඳහා බලපායි. විශේෂයෙන් අබ, අච්චාරු, විනාකිරි වැනි උෂ්ණාධික ආහාරවලින් මෙය ඇතිවිය හැක. මේ රෝග ඇති රෝගීන් මේ ආහාර පාන දිගින් දිගටම ගැනීමෙන් රෝගය සුව කරගැනීමට නොහැකි අවස්ථාවක් ඉක්මනින් උදාවිය හැක.
වාත, පිත, කඵ දෝෂ තත්ත්ව අනුව භගන්දර රෝගයේ ප්‍රබේද කිහිපයක් පවතින අතර ‘ශතපෝනක භගන්දර’ ප්‍රබේදය ඉතා සංකීර්ණ මෙන්ම වේදනාකාරී ප්‍රබේදය වේ. මෙහිදී සිදුරු විශාල සංඛ්‍යාවක් ගුද මාර්ගය අවට දක්නට ලැබේ.
බටහිර වෛද්‍ය විද්‍යාත්මකව fistula-in-ano ලෙස හඳුන්වන මෙම රෝගී තත්ත්වය සඳහා ප්‍රතිකාරයේදී ප්‍රතිජීවක ඖෂධ වර්ග ලබා දීම පලමුව සිදු කෙරේ.
මීට අමතරව ශල්‍ය කර්ම මගින් කැපීම හා විස්‍රාවණය සිදුකිරීම, seton placement ( surgical thread application), Advanced Flap procedure, Fibrin glue injection, Laser surgery මගින් fistula වසා දැමීම හෝ අභ්‍යන්තරයට විවෘත වීම ආවරණය කිරීම තුලින් ප්‍රතිකාර සිදු කරනු ලැබේ.
බොහෝ රෝගීන් මෙම රෝගය සඳහා ශල්‍ය කර්ම වලට යොමුවන අතර මෙහිදී තට්ටම් ප්‍රදේශයේ නාඩිය සහිත කොටස කපා ඉවත් කිරීම මගින් රෝගයට ප්‍රතිකාර සිදුකෙරේ.
රෝගී පරීක්ෂාවේදී USS පරීක්ෂණ මඟින් පහසුවෙන් භගන්දර නාඩිය හඳුනා ගත හැකි වන අතර එමගින් ප්‍රතිකාරය වඩා පහසුවෙන් සිදුකිරීමේ හැකියාව පවතී.
වර්තමානයේ ශල්‍ය ප්‍රතිකාර සිදු කලද රෝගියාගේ ආහාර-පාන, ඇවතුම්-පැවතුම් හේතුවෙන් රෝගය නැවත ඇතිවී රෝගී බවින් රෝගියා නැවත නැවත පීඩා විඳින අවස්ථාවන් භගන්දර රෝගීන් අතර බහුල වශයෙන් වාර්තා වේ.
මෙය රෝගියාට දැඩි අපහසුතාවයක් ඇති කරන රෝගයක් වන අතර රෝගය සඟවා තබා ගැනීමෙන් රෝගය තවදුරටත් උත්සන්න විය හැක. මේ නිසා රෝගය සුවපත් කරගැනීමට රෝගියාගේ කැපවීම ඉතා වැදගත් වේ. රෝගය මූලික අවස්ථාවේදීම හඳුනාගෙන ප්‍රතිකාර ආරම්භ කිරීමෙන් පහසුවෙන් සුවකර ගත හැකි වුවත් ප්‍රතිකාර නොගෙන කල්ගත වුවහොත් සුවපත් කරගැනීමට එතරම් පහසු නොවේ.
බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව රෝගියකුට ප්‍රතිකාර සිදුකරනු ලබන්නේ ශල්‍යකර්මයක් මඟින් ගුද මාර්ගය ආශ්‍රිතව යම් කොටසක් කපා ඉවත් කිරීමෙනි. එසේත් නොමැතිනම් එම කොටස කැපුමක් හරහා මතුකොට එම කොටස පිරිසිදු කොට නැවත මැහුම් දැමීමය.
නමුත් මේ ක්‍රමය මඟින් රෝගියාට ඒ කාල සීමාව තුළ යම් සහනයක් ලැබුණ ද පසුකාලීනව නැවත මෙම රෝගය ඇතිවීමේ අවදානමක් පවතී.
ආයුර්වේදයට අනුව ක්ෂර සූත්‍ර ප්‍රතිකාරය බගන්දරා රෝගය සඳහාම සුවිශේෂී ප්‍රතිකාර ක්‍රමයක් වන අතර එම ක්‍රමය භාවිත කිරීමෙන් වාසි ගණනාවක්ම අත්විය හැක.
මෙහිදී විශේෂිත වූ නූලක් මඟින් මෙම ප්‍රතිකාරය සිදුකරන අතර පළමු අවස්ථාවේදී රෝගියාට යම් වේදනාවක් දැනුණ ද පසුව එම වේදනාව ඉතා ඉක්මනින් සමනය වේ.
ක්ෂාර සූත්‍ර ක්‍රමයේදී කිසිදු ආකාරයක කැපීමක් සිදු නොකරන අතර මෙහිදී රෝගය නැවත මතුවන්නේ ඉතාමත්ම කලාතුරකිනි. එය ප්‍රතිශතයක් ලෙස ගත්කළ සියයට හතරකි.
ක්ෂාර සූත්‍ර ක්‍රමයේදී නේවාසිකව සිට ප්‍රතිකාර ගැනීමක් අවශ්‍ය නොවන අතර මෙහිදී ක්ෂාර සූත්‍ර (බෙහෙත් කාවැද්දූ නූලක්) මාරු කිරීමක් සිදුවන්නේ සතියකට එක් වතාවකි. එම නිසා එම නූල දැමීමේ මූලික ප්‍රතිකාර සිදු කිරීමෙන් පසුව බාහිරව සිට ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව ඇත. රෝගය සුවපත් වීමට යම් කාලයක් ගතවුවද එය නිට්ටාවටම සුව කරගැනීමේ හැකියාව රෝගියාට පවතී.
මෙම ප්‍රතිකාරයේදී කිසිදු කැපීමක් සිදු නොවන අතර එයින් ගුද මාර්ගය අවට ඇති අනෙකුත් අවයවයන්වලට හානි සිදුවීමක් සිදු නොවේ. එමෙන්ම එවැනි ප්‍රතිකාර ගනු ලබන රෝගීන්ට එදිනෙදා දින චර්යාව සාමාන්‍ය පරිදි ගතකිරීමේ හැකියාව පවතී. රැකියාවට යන අතරතුරේදී වුවද මෙම ප්‍රතිකාරය සිදුකළ හැක.
පළමුව ගුද මාර්ගය ආශ්‍රිතව තුවාල හරහා සාමාන්‍ය නූලක් ගෙන ගොස් පසුව විශේෂිත වූ ඖෂධ භාවිතා කිරීමෙන් සකස් කරගත් ක්ෂාර සූත්‍රය ඇතුළු කර ගැට ගැසීමක් සිදු කරයි.
ක්ෂාර සූත්‍ර සෑදීමේදී විවිධ ඖෂධ වර්ග භාවිතා කරන අතර විවිධ ශාකවල කිරි වර්ග ද මේ සඳහා භාවිතා කෙරේ.
මෙම ක්ෂාර නූල ආලේපිත ඖෂධයන්හි ඡේදනය හා රෝපණය යන ඖෂධීය ගුණ අන්තර්ගත වේ. එනම් ඡේදනය නොහොත් කැපීම මගින් නරක් වූ පටක හා රෝගී පටක ඉවත් කිරීමත්, රෝපණය මඟින් අලුත් නීරෝගී පටක නැවත වර්ධනය උත්තේජනයත් සිදු වේ.
මෙහිදී ක්ෂාර වර්ග ලෙස අපාමාර්ග ( Achyranthus aspera) නොහොත් ගස් කරල්හැබ ක්ෂාර, දලුක් කිරි ( Euphorbia antiquorum ) සහ කහ චූර්ණය දින 21 ක් පුරාවට විශේෂ ක්‍රමවේදයකට, නිසි ප්‍රමිතියට අනුව, සුවිශේෂී තාක්ෂණික ක්‍රම අනුගමනය කරමින්, ඖෂධ වර්ග ආලේප කොට සකසාගත් නූලක් භාවිතා කර ප්‍රතිකාර කරනු ලැබේ.
භගන්දර නලය/ මාර්ගය දිගේ මෙම ඖෂධීය නූල/ සූත්‍ර (thread) ඇතුල් කොට යම් නිශ්චිත කාලයක් රඳවා තැබීම සහ නැවත ප්‍රතිකාරයේදී ක්ෂාර සූත්‍ර මාරු කරමින් ප්‍රතිකාරය අඛණ්ඩව සිදුකරනු ලැබේ.
ක්ෂාර වස්ති, ක්ෂාර සූත්‍ර, අවගාහ චිකිත්සා ක්‍රමවේද තුලින් රෝගයට ස්ථිර සුවයක් ලබා ගැනීමේ හැකියාවක් පවතින අතර රෝග පරීක්ෂාව නිවැරැදිව සිදුකොට රෝග හේතූන් හඳුනා ගැනීමත්, අදාල චිකිත්සාව මූලධර්මානුකූලව ප්‍රතිකාර පද්ධතිය අවසන් වන තෙක් අනුගමනය කිරීමත් තුලින් රෝගය සුව කර ගතහැකි වේ.
මෙම විශේෂ ඖෂධීය ගුණ හේතුවෙන් භගන්දර මාර්ගය තුල තුවාලය සුව වෙමින්, අලුත් පටක ඇතිවීම සිදුවෙමින් භගන්දරය සම්පූර්ණයෙන් සුව වීම සිදුවේ.
තවද ත්‍රිඵලා, ගස්කරල් හැබ යන ඖෂධ තම්බා පානය කිරීමත්, නුග, බෝ, අට්ටික්කා, ගංසූරිය පොතු තැම්බූ ඖෂධීය ජලයේ අවගාහණය ( sit-bath), මානසික සුවතාවය සඳහා යෝග අභ්‍යාස හා භාවනා ක්‍රම අනුගමනයත් ඉතා සුදුසු ය.
බගන්දරා රෝගීන්ට යතුරුපැදි, පාපැදි වැනි ඝනකමින් යුත් ආසනවල නිතර වාඩි වී සිටීම නුසුදුසු වන අතර වැඩි වේලාවක් වාඩි වී සිටීමෙන් ගුදය ආශ්‍රිත සෛලවලට රැධිරය සැපයීම අඩුවීම නිසා රෝගය උත්සන්න විය හැක. එමෙන්ම මෙවැනි රෝගීන්ට ව්‍යායාම ද ඉතා අවශ්‍යය. එකතැන දිගු වේලාවක් වාඩි වී නොසිටි ශරීරයට හිතකර ව්‍යයාම අභ්‍යසවල දිනපතා නිරත වන්න. මෙවැනි රෝගීන් වැඩිපුර ජලය පානය කිරීම අවශ්‍යය. විශේෂයෙන් වැටකොළු, පතෝල, තෙබු, කෙහෙල් බඩ, දඹ, ගොටුකොළ, කොහිල අල, බෙලි වැඩිපුර ආහාරයට ගත යුතුය. මළබද්ධය වැනි රෝගවලින් පීඩා විඳින රෝගීන් උදෑසනම කැඳ වීදුරුවක් පානය කළ යුතුය. මළබද්ධය බගන්දරා රෝගය සඳහා බලපාන බැවින් බළබද්ධය ඇති රෝගීන් එයින් මිදීමට වගබලා ගැනීම අවශ්‍යය.
ප්‍රතිකාර සදහා සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයකු මුණගැසීම ඉතා වැදගත් වේ.
වෛද්‍ය නෙරංජිත් ලක්මල්
BAMS ( University of Kelaniya sri lanka )
neranjithlakmal@gmail.com
0710373006