30/12/2025
අවුරුදු පහළවක ළමයකුට මෙහෙම වෙන්න පුළුවන්ද, එහෙම වෙන්න හේතු මොනවද ?
පසුගිය කොටස් හතර කියවපු බොහෝ අය මගෙන් ඒ ගැන විමසලා තිබුණා, ඉතින් අද ලිපිය තුළින් බලාපොරොත්තු වෙන්නේ ඒ ගැන මනෝ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරන්න.
ඔව් මෙය සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් දෙයක්, නමුත් බොහෝ දෙනා මෙවැනි තත්ත්වයක් තේරුම් ගන්නෙ වැරදි විදිහට.
මේ තත්ත්වය..
ළමයා නරක් වීමක් නෙවෙයි.
කැරලි ගැසීමක් නෙවෙයි.
භූත/ප්‍රේත/අමනුෂ්‍ය දෝෂයක් නෙවෙයි.
මෙතන වෙන දේට අපි මනෝ විද්‍යාවේ කියනවා ළමයා තුළ මනෝ ආරක්ෂක ප්‍රයෝග (Difference Mechanisms) ක්‍රියාත්මක වීම කියලා.
මොකක්ද මේ මනෝ ආරක්ෂක ප්‍රයෝග කියන්නේ ?
මනසට දරා ගන්න බැරි වේදනාව, බය, ලැජ්ජාව, දුක වගේ දේවල් වලින් තමන් රැක ගන්න මනස භාවිතා කරන ස්වයංක්‍රීය ක්‍රම.
මේවා ළමයි හිතලා කරන දේවල් නෙවෙයි.
වැරදි හෝ නරක හැසිරීම් කියලා කියන්න බැහැ.
ආරක්ෂා වීමට මනස සිදු කරන දේවල්.
සරල උදාහරණයක්..
ළමයෙක්ට දරුණු වේදනාවක් තියෙනකොට..
සමහර අය නිහතමානී වෙලා එයින් ඉවත් වෙනවා.
සමහර අය කෝපයෙන් දැඩි ආවේගයෙන් ප්‍රතිචාර දක්වනවා.
සමහර ළමයි ළමා කාලයේ හැසිරීම් වලට ආපසු යනවා.
අපිරිසිදුව සිටීම අපිළිවෙළට කෑම ගැනීම වැනි.
මේ හැම එකකින්ම ළමයා කියන්න උත්සාහ කරන්නේ මට මේ දුක තනියම දරා ගන්න බැහැ කියන එක. නමුත් වැඩිහිටියන් මේකට ලේබල් අලවනවා අර ලක්ෂණ මත පදනම්ව ළමයා නරක් වෙලා අකීකරු වෙලා කියලා.
මෙහෙම උනාම ළමයා තවත් නරක අතට යනවා..
සමහර මව්පියන් කියන්නේ අපි කොච්චර අවවාද උපදෙස් දඩුවම් දුන්නත් ආදරෙන් කිව්වත් ළමයා හැදෙන්නේ නැහැ. එන්න එන්න නරක් වෙනවා විතරයි.
මේ ළමයාගේ කතාවෙදී ඇය මුලින් හොද ළමයෙක් වෙලා හැමදේම දරාගෙන හිටියා, නමුත් කාලයක් යද්දී ඒ ශක්තිය අඩු වෙනවා. ශක්තිය අඩුවීමත් සමඟ මනස කියනවා මට මේක තවත් පාලනය කරන්න බැහැ කියලා.
එතකොට තමයි ඇය
ගැටලු ඇති කරන්නේ
අපිළිවෙළට අපිරිසිදුව ඉන්නෙ
විවිධ ශබ්ද ඇති කරන්නේ
පාලනයෙන් තොර වෙන්නේ.
මේවා තමයි මේ ළමයා තුළ ක්‍රියාත්මක වෙන defense mechanisms
ඒ ළමයා පොඩි කාලේ හරිම නිශ්ශබ්දයි කියලා මව කියනවා, මෙතන තියෙන්නේ හරිම වැදගත් point එකක්. හොද ළමයෙක් කියන්න බොහෝ වෙලාවට..
අවශ්‍යතා, කේන්තිය, වේදනාව නොපෙන්වන ළමයෙක්ට. ඒ කියන්නේ එයාලා ආරක්ෂාව හදා ගත්තෙ නිහඩව ඉදලා. අවුරුදු ගාණක් ඒක වැඩ කරා, දැන් ඒක කඩා වැටෙනවා.
වචන නොමැතිව කතා කරමින් රඟපාමින් ශබ්ද කරනවා අපිරිසිදු වෙනවා මේවා..
මම නරකයි කියන පණිවිඩය නෙවෙයි..
මට මෙහෙම perfect වෙන්න බැහැ කියන පණිවිඩය.
මට තවත් ඉවසන්න බැහැ කියන පණිවිඩය..
ළමයා වචනයෙන් කියන්න බැරි දේවල් හැසිරීම් තුළින් කියනවා.
මේ අම්මා එක තැනකදී මේක තේරුම් ගන්නවා..
මම හොදයි කියලා හිතපු දේවල් හොද උනේ එයාටද නැත්නම් මටද යන ප්‍රශ්නය ඇයට එනවා.
මව තමන් දෙස නැවත ආපසු හැරී බැලීමකට යනවා මෙය ඇය විසින් උපදේශනය තුළින් ලබපු විශාල ජයක්.
මව මුලින් ඉතාමත් රසවත් වෙලා විස්තර කරා අපිට දරුවා එක්ක ගොඩාක් සොදුරු අවස්ථා තිබුණා. උපන් දින සාද, විනෝද චාරිකා, උත්සව, දුව හිනා වෙලා ලස්සනට ඉන්න පොටෝ..
නමුත් දියණියට ඔවුන් විසින්
සවන්දීම
චිත්තවේගීය සකස් කිරීම
සුරක්ෂිත චිත්තවේගීය ඉඩකඩ
ලබා දීලා නැහැ...
ළමයා camera ඉදිරියේ සතුටින් ඉන්නවා නමුත් මනස තුළ තනිවෙලා.
මේ දරුවාගේ පියාගේ තත්ත්වය ගෙන බලමු...
ඇයගේ පියා ආරක්ෂිත වගේ පෙණුනත් දරුවා වෙනුවෙන් මැදිහත්කරුවකු වෙන්න නැහැ.
තාත්තට පේනවා දියණිය ඉන්නෙ අපහසුවෙන් කියලා, මව විසින් දියණිය අධික ලෙසින් පාලනය කරනවා කියලා ඔහු දන්නවා, දරුවා හැදෙන වැඩෙ පරිසරය ඇයට අමාරුයි, නමුත් ඔහු..
මවට අභියෝග කරන්නේ නැහැ..
දරුවා වෙනුවෙන් පෙනී ඉන්නෙ නැහැ ඇයව ආරක්ෂා කරන්නේ නැහැ, මේ තත්ත්වය ලංකාවේ බොහෝ පවුල්වල පියා තුළින් දැකිය හැකිය.
මෙන්න වැදගත්ම දේ.. මෙතනදී දරුවාට යන පණිවිඩය තමයි හැමෝටම වැරැද්දක් පේනවා නමුත් කවුරුත් මාව ආරක්ෂා කරන්නේ නැහැ කියන එක..
දුව කියනවා තාත්තා හොදයි එයා කරුණාවන්තයි, මාව අහන් ඉන්නවා, මට හොදින් කතා කරනවා.
නමුත් කරුණාවන්ත කමයි ආරක්ෂා කිරීමයි කියන්නෙ දෙකක්.
ආරක්ෂිත බව නිරතුරුව ලැබෙන්න ඕන සීමාවන් පවතින්න ඕන. ඔය දේ කරන්න එපා ඒක ළමයට හොද නැහැ කියන දේ මව සමඟ කතා කරන්න ඕන. නමුත් මේ තාත්තගෙන් එය සිද්ධ වෙන්නේ නැහැ.
දියණිය තාත්තා දිහා බලන්නෙ..
මාව ගලවා ගන්න ඉන්න කෙනා, ආරක්ෂිත වැඩිහිටියා, නමුත් මෙයාට තේරෙන්නේ නැද්ද ?
නමුත් ඔහු ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
එතකොට දියණිය තුළට යන මනෝ විද්‍යාත්මක විශ්වාසය තමයි හොද මිනිස්සු පවා මාව ආරක්ෂා කරන්නේ නැහැ කියන එක.
තාත්තා ආරක්ෂා කරන්නේ මල්ලි ඔහු ඉන්නෙ මල්ලි එක්ක.
අලුත් ළමයා වෙනුවෙන් පරණ ළමයා මග අරිනවා වගේ පේනවා පියා විසින්..
මේ කතාව හොදින් තේරුම් ගන්න කොටස් පහම හොදින් කියවන්න...
මනෝ උපදේශක
කසුන් රාජපක්ෂ
Kasun Rajapaksha