BestCare medical centre

BestCare medical centre සියලුම රොගි පරික්ෂාව සහ ප්‍රතිකාර කි?

02/10/2022

දරුවන්ගේත් මවගෙත් මනා සෞඛ්‍ය සඳහා උපත් අතර පරතරය...
ගැබ් ගැනීම අතර පරතරයක් තිබීම වැදගත් වන්නේ ඇයි.....
සෑම දරුවෙකුම ආශිර්වාදයකි ..
සෑම දරුවෙකුටම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට සහ උපරිම දක්ෂතාවයන් ළඟා කර ගැනීමට නිසි රැකවරණය ලැබිය යුතුය.
සෑම දරුවකුටම ආදරය සහ රැකවරණය නිසි ලෙස ලැබීමට දරු උපත් අතර පරතරය අත්‍යවශ්‍ය අංගයකි.

ගර්භණී සමයේ මවට සහ ද ඇගේ දරුවාට ආවේණික වූ අවදානම් පවතින කාලයක් නිසා සියලුම දරු උපත් සැලසුම් සහගත විය යුතුය... මවුපිය යුවළක් ඊලඟ දරු පිළිසිඳ ගැනීම සැලසුම් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් පහත සඳහන් වේ..
මවගේ සෞඛ්‍ය තත්ත්වය
වයස
දරුවන් ලැබීමේ සහ රැක බලා ගැනීමේ හැකියාව සමාජීය සහ ආර්ථික ගැටලු
තමන්ට අවශ්‍ය දරුවන් ගණන..

නිසි උපත් අතර පරතරය ඇති වැදගත්කම..
දරු උපත් අතර නිසි පරතරය අලුත උපන් දරුවාගේ යහපැවැත්මට, පවුලේ අනිකුත් දුවා දරුවන්ට සහ විශේෂයෙන් මවගේ යහපත් සෞඛ්‍ය තත්ත්වයට දායක වේ....
එය මව නැවත ශාරීරිකව යථා තත්ත්වයට පත්වීමට සහ පවුලේ ආර්ථික තත්ත්වය ගොඩනැගීම සඳහා කාලය ලබා දෙයි..

දරු උපතකින් පසු ඊළඟ ගැබ් ගැනීම සඳහා අවම වශයෙන් වසර දෙකක වත් වත් පරතරයක් පවත්වා ගැනීම මවගේ සහ දරුවාගේ යහපත් සෞඛ්‍ය සඳහා සඳහා වඩාත් යෝග්‍ය බව වෛද්‍ය නිර්දේශයයි..
දරු උපත් අතර පරතරය ඉතා අඩුවීම නොමේරූ දරු උපත් මළ දරු උපත් සහ අඩු බර දරු උපත් සදහා හේතු විය හැක..

දරු උපත් අතර පරතරය අඩු වීම මවගේ සහ දරුවාගේ රක්තහීනතාවය සහ මන්ද පෝෂණය සඳහා අවදානම ද වැඩි කරයි...

දරු උපත් අතර පරතරය දැනට ජීවත්වන දරුවන්ට බලපාන ආකාරය...

අඩු පරතරයකින් තව දරුවකු ඉපදී මේ ප්‍රධාන අහිතකර බලපෑමක් වන්නේ මව්කිරි දීමේ කාලය කෙටි වීමයි ....සාමාන්‍ය වෛද්‍ය නිර්දේශය නම් දරුවෙකුට වසර දෙකක කාලයක් වත් අවම වශයෙන් මව්කිරි ලබා දීමයි... මව්කිරි දීම දරුවාගේ සංවර්ධනය වැඩිදියුණු කිරීමට උපකාරී වේ....
ගර්භනී කාලයේ දී ද මවුකිරි දීම නොකඩවා කළ හැක..
දෙමව්පියන්ගෙන් දැනට සිටින දරුවාට ලැබෙන ආදරය සහ අවධානය තව දරුවකුගේ ඉක්මන් පැමිණීමත් සමග අඩු වනු ඇත... මෙය අහිතකර ලෙස දරුවාගේ මානසික සහ කායික වර්ධනය කෙරෙහි බලපෑම් ඇති කළ හැක..
..
උපත් අතර පරතරය පවුලට බලපාන ආකාරය..

කඩිනම් ගැබ්ගැනීමක් ඔබගේ පවුල් ජීවිතයට මෙන්ම සාමාජීය ඵලදායීතාවයට අහිතකර බලපෑමක් එල්ල කරනු ඇත..
නිසි පරතරයක් තබා ගැනීම ඔබේ පවුලේ ආර්ථිකයට ප්‍රතිලාභ අත්කර දෙනු ඇත..

ශ්‍රී ලාංකීය සමාජය තුල නීති විරෝධී ගබ්සාවන් වලට ප්‍රධාන හේතුව දරු ප්‍රසූතියකින් පසු ඉක්මනින් දරු ගැබක් පිහිටීමය..

දරු ප්‍රසූතියකින් පසු පවුල් සැලසුම් ක්‍රම ආරම්භ කළ යුතු කාලය...

දරු ප්‍රසූතියකින් පසුව ඔසප් වීම නැවත ආරම්භ වීමට පෙර හෝ මව්කිරි දෙන කාලයේ දී ද නැවත පිළිසිඳ ගැනීමක් සිදුවිය හැක..
සාමාන්‍යයෙන් දරු උපතකින් පසු පලමු මාසයේ දී නැවැත දරු පිළිසිඳ ගැනීමක් සිදු වීම ඉතා දුර්ලභය ..
එහෙයින් දරු උපතකින් පසු සති හයක් ඇතුළත පවුල් සැලසුම් ක්‍රමයක් ආරම්භ කිරීම වැදගත් වේ...
ඒ සදහා උපදෙස් ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී ගෙන් ලබාගත හැක...

28/11/2021

"ඔමික්‍රෝන්" ගැන ඔබ දැනුවත් ද?

කොවිඩ් - 19 වසංගතය සමග වසර දෙකකට ආසන්න කාලයක් අප දැන් ගත කර තිබෙනවා. මුල් වෛරසය ක්‍රමයෙන් වෙනස් වෙමින් නොයෙකුත් විකෘති ප්‍රබේධ නිර්මාණය වෙන බවත්, රෝගය බෝවීමේ අවදානම වැඩි පරිසර තත්ත්ව තුළ දී මෙවන් විකෘති නිර්මාණය වීමේ හැකියාව ද ඉහළ මට්ටමක පවතින බවත් අප හොඳින්ම දන්නා කරුණක්. එක් ලෝකයක් ලෙස සමානාත්මතාවයට ගරු කරමින්, එන්නත් සහ අනෙකුත් රෝග නිවාරණ පහසුකම් බෙදා හදාගෙන මෙම වසංගතයට මුහුණ දීම වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනිකුත් විශේෂඥ ආයතන වරින් වර මතක් කිරීම් සිදුකළේ මේ නිසා යි. සියලු දෙනා ආරක්ෂා වන තුරු කිසිදු කෙනෙකු සම්පූර්ණයෙන් ආරක්ෂිත නොවන බව කීවේ ඒ නිසා යි.

අවාසනාවකට අඩු ආදායම්ලාභී රටවලට එන්නත් ලැබීමේදී සැලකිය යුතු ප්‍රමාදයක් දක්නට ලැබුන අතර මහද්වීපයක් ලෙස අප්‍රිකාව ලොව අඩුම එන්නත් ආවරණය සහිතව ඉතා අවදානම් තත්ත්වයක දිගින් දිගටම පසුවුණා. වරින් වර භයානක මට්ටමේ කොරෝනා රැළි ඇති කළ ඇල්ෆා, බීටා, ගැමා සහ ඩෙල්ටා විකෘති වෛරස් ප්‍රභේද අයත් වුණු, දැඩි ලෙස අවධානය යොමු කළ යුතු ( V.O.C.) කාණ්ඩයට, දකුණු අප්‍රිකාවෙන් නවතම සාමාජිකයෙක් එක් වන්නේ මෙවන් පසුබිමක් තුළ යි. 'ඔමික්‍රොන්' (B.1.1.529) ලෙස නම් කර ඇති ප්‍රභේදය මේ වනවිටත් ලෝකය පුරා දැඩි කතාබහට ලක්වෙමින් තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ සෑම පළාතකම පාහේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මෙම නව ප්‍රභේද හමු වීමට සමගාමීව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. නොවැම්බර් 9 වැනි දින ලබාගත් සාම්පලයක මුල්වරට මෙම කෝවිඩ් වෛරස ප්‍රභේදය දක්නට ලැබී ඇති අතර මේ වන විට එය ආසාදිත පුද්ගලයින් බොට්ස්වානා, බෙල්ජියම, හොංකොං, ඊශ්‍රායෙල් සහ එක්සත් රාජධානිය වැනි රටවලින් හමුවී ඇති බව තහවුරු කර තිබෙනවා. ජර්මනිය සහ චෙක් ජනරජය ඕමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත බවට සැක කෙරෙන රෝගීන් පිරිසක් සම්බන්ධයෙන් තවදුරටත් ජාන විද්‍යාත්මක පරීක්ෂණ පවත්වන බවට වාර්ථාවෙනවා. දැනට දනගැනීමට ඇත්තේ ඔමික්‍රොන් ප්‍රබෙදය ඇතිවුයේ යැයි සැකකරන පලමු රොගියා එන්නත ලබා නොගත්, දීර්ඝකාලීන ප්‍රතිශක්තීය අඩපණ කරන රොගයක් ඇති, ඒ සදහා ප්‍රතිකාරද ලබා නොගත් පුද්ගලයෙකු බවයි.

ඉතාම සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ හැකියාව සහ වරක් කොවිඩ් ආසාදනයට ලක්වු පුද්ගලයන්ට හිමි විය හැකියි ස්වභාවික ප්‍රතිශක්තියට අභියෝග කරමින් යළි ආසාදනය වීමේ හැකියාව මෙම නව විකෘති වෛරස් ප්‍රභේදයට පවතින බව වාර්තා වුවත් භාවිතයේ පවතින එන්නත්වලට එය කෙසේ ප්‍රතිචාර දක්වයි ද යන්න පිළිබඳව තවදුරටත් පර්යේෂණ පැවැත්වෙමින් තිබෙනවා. මෙහි ඇති ජාන විකෘතිතා සංඛ්‍යාව අනෙකුත් ප්‍රභේද සමග සංසන්දනය කරන විට ඉතා ඉහළ අගයක් ගැනීම සුළු කොට තැකිය නොහැකිය තත්ත්වයක් බව විශේෂඥයන්ගේ අදහසයි.

රටක් වශයෙන් කොරෝනා රැලි තුනකට මුහුණ දීමෙන් සහ සිග්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා ප්‍රබේධය හමුවේ වුවත් සෞඛ්‍ය පද්ධතිය බිඳ නොවැටෙන පරිදි කළමනාකරණය කරගනිමින් අප ලබාගත් අත්දැකීම් මෙවන් අවස්ථාවක නැවත සිහිපත් කරගැනීම ඉතාම වැදගත්. කිනම් විකෘති ප්‍රබේධයක් වුවත් අප හොඳින්ම දන්නා පුද්ගල දුරස්ථභාවය, නිවසින් පිටතට යන හැම විටම නිවැරදිව මුහුණු ආවරණ භාවිතය, දෑත් නිතර පිරිසිදු කරගැනීම යන මූලික සෞඛ්‍ය පුරුදු මඟින් වළක්වාගත හැකි නිසා මේ අවස්ථාවේ ඒවා තදින්ම ක්‍රියාත්මක කිරීම අපේ යුතුකමක්.

ලෝකය පුරා පැතිරෙමින් පවතින බිහිසුණු ඩෙල්ටා ප්‍රභේදය ඇතුළු විවිධාකාර "අවධානය යොමු කළ යුතු ප්‍රභේද" වලට එරෙහිව එන්නත් වලින් ලැබෙන ආරක්ෂාව දිනෙන් දින තවදුරටත් පැහැදිළි වෙමින් පවතිනවා. එන්නත් ආවරණයෙන් ඉහළ සිටින රටවල වාර්තාවන රෝගයෙන් සංඛ්‍යාවට සාපේක්ෂව සිදුවන මරණ සංඛ්‍යාව එන්නත්කරණය ට පෙර කාල වලට වඩා පැහැදිලිවම අඩු අගයක් පෙන්වනවා.
පූර්ණ එන්නත්කරණයට ලක් වූවන් අතර කොවිඩ් නිසා රෝහල්ගතවීම් 84 % කින් අඩු බව වාර්තාවල දැක්වෙනවා.
එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන පූර්ණ එන්නත්කරණයේ ආරක්ෂාව ලබාගැනීමත්, අනතුරුව තුන්වන මාත්‍රාවක් සඳහා සුදුසුකම් ලබන්නේ නම් එය මඟින් තවත් වැඩි ආරක්ෂාවක් සළසා ගන්නටත් තවදුරටත් ඔබට හැකියාව තිබෙනවා.

සෙනඟ වැඩිපුර ගැවසෙන , වැසුනු / වාතාශ්‍රය අඩු, පුද්ගලයින් සමීපව ගැවසෙන ස්ථාන වල ගැවසීම කොවිඩ් ආසාදනය වීමේ ඉතා දැඩි අවධානමක් ඇති කරනවා. විශේෂයෙන්ම බොහෝ පිරිසක් එක අවස්ථාවක ආහාර ගන්නා වැසුණු අවකාශ තුළ සෙනග ගැවසෙන ආපන ශාලා හා විශේෂයෙන්ම විවාහ මංගල ආදී උත්සව අවස්ථාවල වෛරසය පැතිර යාමේ වේගය ඉතාමත්ම වැඩියි. මෙවැනි ස්ථාන හා අවස්ථාවන් හැකි උපරිමයෙන් මග හැරිය යුතු වෙනවා. නොඑසේ නම් ඒවායේ ගත කරන කාලය හැකිතාක් අඩු කළ යුතු වනවා. එළඹෙන උත්සව සමයේදී මෙය අප සියලු දෙනා සිහියේ තබාගතහොත් නැවතත් විශාල කොවිඩ් රැල්ලක් ඇති වීමේ ප්‍රවණතාවය අඩු කරගත හැකියි.

සෞඛ්‍ය උපදෙස්වලට එකාවන්ව අනුගත වෙමින් පෙර පරිදිම විද්‍යාත්මක ප්‍රවේශයක් අනුගමනය කිරීම හරහා රටක් ලෙස මෙම අභියෝගයත් ජයගැනීමට හැකිවනු ඇති බව අපේ විශ්වාසයයි.

26/11/2021

*ගෑස් (LPG) භාවිතාවේදී සිදුවන අනතුරු වළක්වා ගන්නේ කෙසේද ?*
*How to Prevent LP Gas Cylinder Fire and Explosion ?*

පසුගිය මාස කිහිපය පුරාම රටපුරා විවිධ ස්ථානය කිහිපයකම LP ගෑස් කාන්දුවීම නිසා බරපතළ අනතුරු කිහිපයක්ම වාර්තාවීම සිදු උනා.
අද දින (නොවැ 25) හෝකන්දර ප්‍රදේශයේ,අලුයම 04ට පමණ මුළුතැන්ගෙය තුළ ගෘහස්ත LP ගෑස් සිලින්ඩරයක් පුපුරා ගියේය.

කොළඹ තුරඟ තරග පිටියට යාබදව පිහිටි රීඩ් මාවත ගොඩනැගිල්ලේ පිහිටි මැක්ඩොනල්ඩ්ස් අවන්හල නොවැ 20 දින උදෑසන පිපිරී ගියේය. තරුණයන් දෙදෙනෙකුට සුලු තුවාලද සිදු වූ බව හා මෙම අනතුරට හේතුව ගෑස් කාන්දුවක් බවට රජයේ රස පරීක්ෂකවරයා කළ පරීක්ෂණවලදී තහවුරුකළ බව පොලිසිය ප්‍රකාශ කරන ලදී.

එසේම නොවැ 06 වන දින මාතර, වැලිගම ප්‍රදේශයේද හෝටලයක් මේ ආකාරයෙන්ම පිපිරීමකට ලක් වූ අතර එයටද හේතුව වූයේද ගෑස් කාන්දුවක් බව තහවුරු විය.

එයට අමතරව මහනුවර ප්‍රදේශයේද ගෑස් කාන්දුවක් සිදුව මේ ආකාරයේම පිපිරුමක් සහිත ගින්නක් වාර්තා උනා.

ගෑස් අනතුරු වරින් වර සිදුවුවෙමින් පවතින අතර මේ පිළිබඳව විවිධ මතිමතාන්තර හා අදහස් විවිධ පාර්ශවයන්ගෙන් අපට අසන්නට හා දකින්නට ලැබුණා. කෙසේ නමුත් ගෑස් භාවිතා කරන *අප සෑම සියලුම දෙනා විසින්ම ගෑස් (LPG) භාවිතාවේදී සිදුවන අනතුරු වළක්වා ගන්නේ කෙසේද යන්න දැනුවත්ව සිටීම වැදගත් නිසා ගෑස් (LPG) භාවිතාවේදී සැලකිය යුතු හා දැනගත යුතු වැදගත් කරුණු පිළිබඳව ඔබ දැනුවත් කරන්න සිතුවා.* යම් කිසි දෙයක පවතින අවධානම හා ඇතිවිය හැකි අනතුරු හා ඒවායේ ස්භාවයන් කල්තියා දැනසිටීම මගින් හා එයට නියමිත නිවැරදි කිරීමේ ක්‍රියා මාර්ග ගැනීම තුළින් *ඇතිවිය හැකි අනතුරු 70 % වලක්වා ගත හැකි බව* මගේ අත්දැකීම් තුලින් දනිමි.

LPG හෙවත් ද්‍රව පෙට්ටෝලියම් වායුව යනු ප්‍රෝපේන් සහ බියුටෙන් මිශ්‍රණයකි. සාමාන්‍යයෙන් වාතයට වඩා බරින් වැඩි වායුවක් වන අතර, මෙහි ප්‍රෝපේන් 25% සිට 45% දක්වා සහ බියුටෙන් 55% සිට 75% දක්වා තිබිය හැක. SLS 712 ප්‍රමිතියට අනුව ගෑස් මිශ්‍රණය හා එම සිලින්ඩරය SLS 1178 ප්‍රමිතියට අනුව නිෂ්පාදනය කර ඇත. එම සිලින්ඩර් වල නිර්මිත පීඩනය 220 psi වන අතර ගෑස් ගබඩා කර ඇති සාමාන්‍ය පීඩනය 80 psi සිට 100 psi දක්වා පමණවේ.සෑම ගෑස් සිලින්ඩරයකම නිෂ්පාදනයේදී 480 psi ක පීඩනයකට ලක්කර පරික්ශා කිරිම සිදුකරනු ලබයි. සාමාන්‍යයෙන් සිලින්ඩරයක් පිපිරිම සඳහා සිලින්ඩරය තුල පීඩනය 1000 psi පමණ විය යුතුය.

*ගෑස් (LPG) භාවිතාවේදී සිදුවන අනතුරු වළක්වා ගන්නේ කෙසේද ?*

ගෑස් සිලින්ඩරය මිලදීගැනීමදී
බලයලත් නියෝජිතයෙකුගෙන්ම පමණක් ගෑස් සිලින්ඩර් මිලදීගැනීම සිදුකරන්න.

සිලින්ඩරයෙහි මුද්‍රාව පළුදුවී හෝ කැඩි නොතිබීය යුතුය බව තහවුරු කරගන්න.

ගෑස් සිලින්ඩරයේ කාන්දුවීම් ඇතිදැයි පරික්ෂ කරන්න.
ගෑස් සිලින්ඩරයේ කර ආශ්‍රිත ප්‍රදේශයේ කිසියම් තෙත ගතියක් හෝ සිතල ගතියක් ඇද්දැයි පරික්ෂා කරන්න. එසේ තිබීම ගෑස් කාන්දුවක ලක්ෂණයකි.

*ගෑස් සිලින්ඩරය ස්ථානගතකර තැබීමේදී*

සෑම විටදීම ගෑස් සිලින්ඩරය ගෑස් ළිපට වඩා පහළින් තැබිය යුතුය.

ගෑස් සිලින්ඩරය සෑම විටදීම සිරස් ආකාරයට (කෙලින් අතට) තැබීම සිදුකල යුතුය.
කිසි විටක තිරස් ආකාරයට පෙරලා බිම නොතැබිය යුතුය.

පොළොව මට්ටමින් යට ඇති කාමර හෝ ස්ථාන තුළ ගෑස් සිලින්ඩර භාවිතයෙන් වළකින්න හා ගබඩා කිරීමෙන් වළකින්න.
LP වායුව වාතයට වඩා බරින් වැඩි නිසා කාන්දුවිමකදී වායුව පහළ එක්රැස්වීම සිදුවේ.

මනාව ලෙස වාතාශය ලැබෙන ස්ථානයක හෝ නිවසින් පිටත වෙනම ස්ථානයක ගෑස් සිලින්ඩරය තැබීම වඩාත් යෝග්‍ය හා ආරක්‍ෂිතවේ.

*ගෑස් සිලින්ඩරය භාවිතා කිරීමට පෙර*

ගෑස් සිලින්ඩරයකින් ගෑස් කාන්දුවීමට වඩා ගෑස් සිලින්ඩරයට සවිකර ඇති අනෙකුත් උපාංග වල සිදුවන දෝෂ හේතුවෙන් ගෑස් කාන්දුවීම් සිදුවේ.එම නිසා එම උපාංග මිලදී ගැනීමේදී උසස් තත්වයේ හා බලයලත් නියෝජිතයෙකුගෙන්ම පමණක් මිලදීගැනීම සිදුකරන්න.

රේගුලේටරය *සෑම අවුරුදු 05 කට වරක්ම හෝ යම් කිසි දෝෂ හා අසාමාන්‍යතා සහිත නම් වහා මාරු කිරීමට කටයුතු කරන්න.*
වර්ග අඟලකට රාත්තල් (psi) 60 – 80 අතර ඇති පීඩනය වර්ග අඟලකට රාත්තල් (psi) 0.4 දක්වා අඩුකර ගෑස් ලබාදීම සිදුකරනුයේ රේගුලේටරය මගිනි.

ගෑස් බටය (Hose) එක *සෑම අවුරුදු 02 කට වරක්ම හෝ යම් කිසි දෝෂ හා අසාමාන්‍යතා සහිත නම් වහා මාරු කිරීමට කටයුතු කරන්න.* BS 3212 ප්‍රමිතියට අනුකුලව නිෂ්පාදන කර ඇති බටය බලයලත් නියෝජිතයෙකුගෙන්ම පමණක් මිලදීගැනීම සිදුකරන්න.

ගෑස් බටය සවිකිරීමේදී නිවැරදි ලෙස හෝස් කිල්ප් යොදා හොඳින් සම්බන්ධ කරගත යුතුයි.

ගෑස් බටය හැකි සෑම විටම හොඳින් පෙනෙන අයුරින් තබන්න. කිසියම් හානියක් සිදුවී ඇතිදැයි පහසුවෙන් හඳුනා ගැනීමට එය උපකාරීවේ.

ගෑස් ළිප හා ගෑස් සිලින්ඩරය අතර පවත්වාගත යුතු උපරිම දුර ප්‍රමාණය මීටර 1.5 පමණි.

ගෑස් ළිප දෝෂ සහිත නම් වහා මාරු කිරීමට කටයුතු කරන්න. උසස් තත්වයේ ගෑස් ළිපක් බලයලත් නියෝජිතයෙකුගෙන්ම පමණක් මිලදීගැනීම සිදුකරන්න.

සියලුම උපාංග නිසි පරිදි සවිකර, භාවිතාවට පෙර ගෑස් කාන්දුවක් පවතීද යන්න සබන් පෙන යොදා පරික්ෂා කර තහවුරු කරගන්න.

ගෑස් සිලින්ඩරය වෙත රේගුලේටරය සවිකිරීමේදී දොර හා ජනේල් විවෘත කර මනා වාතාශයක් ලැබීමට සැලැස්වීම හා විදුලි බල්බ දැල්වීම හෝ නිවීම කිසිම විටක නොකළ යුතුය අතර ආසන්නයේ ගිනි දැල්වීම කිසිවිටකත් සිදුනොකළ යුතුය.

මුළුතැන්ගෙට යාමේදී හා භාවිතාවට පෙර ගෑස් කාන්දුවක් පවතීද යන්න තහවුරු කරගන්න.

යම් ගෑස් කාන්දුවක් පවතීනම් විදුලි බල්බ දැල්වීම හෝ නිවීම කිසිම විටක නොකළ යුතුය.

සෑම විටම දොර හා ජනේල් විවෘත කර මනා වාතාශයක් ලැබීමට සලස්වා ගෑස් ළිප භාවිතාවට පුරුදු වන්න.

පළමු අවස්ථාවේදී ගෑස් ළිප දල්වා එය නොදල්වුයේ නම් නැවතත් මද වේලාවක් යනතුරු ගෑස් ළිප දල්වීම සිදු නොකරන්න.
ගෑස් අවට වාතයේ රැඳීතිබිය හැක.

ඔබ භාවිතා කරන ගෑස් ළිප ගිනිකුරක් භාවිතයෙන් දල්වන ළිපක් නම්, ගිනි කූර මුලින් දල්වා පසුව ගෑස් දහරාව විවෘත කිරීමට කටයුතු කරන්න.

*LP වායුව අනාවරකයක් (LPG detector) හැකිනම් ගෑස් සිලින්ඩරය අසළ මුළුතැන්ගෙයි සවිකිරීමට කටයුතු කරන්න.* ගිනි අරාක්ෂාව සම්බන්ධ කටයුතු කරන ආයතනයක් මගින් මෙය සවිකිරීම සිදුකල හැක. දැනට මෙය වෙළඳපොලතුල රු.10,000.00 සිට රු.30,000.00 දක්වා මුදලක් පමණවේ.

*හදිසි ගෑස් (LPG) කාන්දුවකදී ගතයුතු ක්‍රියාමාර්ග*

*බිය නොවන්න, කළබලයට පත් නොවන්න, පහත උපදෙස් අනුව කටයුතු කරන්න.*

ගෑස් සිලින්ඩරයක් පහසුවෙන් පුපුරායාම සිදු නොවේ.
වහා ගිනි ඇවිලෙනසුළු LP වායුව වාතයේ හොඳින් මිශ්‍ර වේ. වාතයේ PPM අගය (මිලියනයකට කොටස්) 2% ක් හෝ 10% ක් වැනි වැනි කුඩා ප්‍රමාණයකදී අවට එකතුවූ LP වායුව වාතයේ ක්ෂණිකව දහනයවී ගිනිගෙන පුපුරා යෑම සිදුවේ. ගෑස් සිලින්ඩරයක් පුපුරායාමටනම් එය සෘජුව අධික තාපයකට නිරාවරණය වීම සිදුවිය යුතුවේ. දොර හා ජනේල් වසා ඇති සීමිත අවකාශයකදී LP වායුව වාතයේ හොඳින් මිශ්‍රවී තිබීම නිසා මෙම තත්වය ඇතිවේ.

ගිනි පුලුඟු ඇතිවිය හැකි කිසිම ක්‍රියාකාරකමක් සිදු නොකළ යුතුය.

විදුලි ස්ව්චයන් ක්‍රියාත්මක කර විදුලි බල්බ දැල්වීම හෝ නිවීම කිසිම විටක නොකළ යුතුය.

ජංගම දුරකථන භාවිතාව පවා සිදු නොකළ යුතුය.

ගිනි දල්වා ඇතිනම් වහා නිවා දැමීමට කටයුතු කරන්න.

වාතාශය හොඳින් ලැබෙන ආකාරයට දොර හා ජනේල් විවෘත කර මනා වාතාශයක් ලැබීමට සලස්වන්න.

ගෑස් කාන්දුව සිදුවුයේ බොහෝවිට ගෑස් ළිප, ගෑස් බටය හෝ රේගුලේටරය මගින් විය හැකි නිසා ආරක්‍ෂිත අයුරින් රේගුලේටරය ගලවා දැමීමට කටයුතු කරන්න.

ගෑස් කාන්දුව සිදුවන්නේ ගෑස් සිලින්ඩරය මගින්නම්, එය ආරක්ෂිතව ගැනීමට හැකියාවක් පවතීනම් පමණක්ම රේගුලේටරය ගලවා සිලින්ඩරය නිවසින් පිටතට ගෙන ගොස් පුද්ගලයන් නොගැවසෙන හොඳින් ලැබෙන වාතාශය ලැබෙන ස්ථානයක තබන්න.

එම කාන්දුව එළිමහනේ කාන්දුවී අවසන්වීමට ඉඩහරින්න.
ගිනි පුලුඟු ඇතිවිය හැකි කිසිම ක්‍රියාකාරකමක් සිදු නොකළ යුතුය.

ඔබට හැකිනම් පමණක් සබන් පෙන යොදා පරික්ෂා කර කාන්දුව සිදුවන ස්ථානය තහවුරු කරගත හැක.

*ඉහත සඳහන් කිසිවක් ඔබවෙත සිදුකිරීමට නොහැකිනම් හෝ ඒ පිලිබඳ අවබෝධයක් නොමැතිනම් වහා සියලුම දෙනා නිවසෙන් ඉවත්වී ආරක්‍ෂිත ස්ථානයක රැඳී සිටින්න. ඒ පිළිබඳව ප්‍රදේශයේ ගිනි නිවීමේ හා ගලවා ගැනීමේ ආයතනයට දැනුම් දෙන්න.*

*ගෑස් සිලින්ඩරය භාවිතා කිරීමෙන් පසු*

රේගුලේටරය විසන්ධි කර තබන්න (OFF කර තබන්න).
රේගුලේටරය නිරන්තරයෙන් ගැලවීම සිදු නොකරන්න.
භාවිතා කිරීමෙන් පසුව රේගුලේටරය විසන්ධි කර තැබීම (OFF කර තැබීම) පමණක් ප්‍රමාණවත්වේ.

*ඔබගේ අරාක්ෂාව තුළ බොහෝ දේ රැඳී පවතී.*
*So Much Depends on Your Safety.*
*ආරක්ෂිතව සිතන්න,* *ආරක්ෂිතව කටයුතු කරන්න,*
*ආරක්ෂාකාරී වන්න.*
*Think Safe, Act Safe, Be Safe.*

-------------------------------------------------------
✍️
*සටහන*
*සුරේෂ් පුෂ්පකුමාර.*
*Manager - Environment, Health and Safety.*
(Copied from the other FB page)

06/09/2021

කොවිඩ් වෙන්න බෑ නේද?
මේ දිනවල සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ 1999 අංකයට දිනකට ඇමතුම් දෙදාහකට වඩා ලැබෙනවා. ඒ දුරකථන සංවාද අතරින් බොහොමයක් මෙන්න මේ වගේ..
------------------------------
“ඩොක්ට’, බබාට ඊයෙ ඉඳලා පොඩ්ඩක් උණ ගතියක් තියෙනවා. කොවිඩ් වෙන්න බැහැ නේද? පොඩි ළමයින්ට කොවිඩ් හැදෙනවා අඩුයි කියනවා නේද?”

“මෙහෙමයි , මේ දවස්වල උණක්, සෙම්ප්‍රතිශ්‍යාවක්, කැස්සක් වගේ තියනවානම් කොවිඩ් වීමේ සම්භාවිතාවක් අනිවාර්යෙන් තියෙනවා. දරුවන්ට වුනත් පහසුවෙන් මේ රෝගය වැලඳෙන්න පුළුවන්. ඒත්, අමාරු වෙන්න තියෙන ඉඩකඩ නම් වැඩිහිටි කෙනෙකුට වඩා තරමක් අඩුයි. ඒ වුනාට දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන ළමයි ඉස්පිරිතාලවල ඉන්නවා. ගෙදර කාටහරි ලඟදි උගුරේ අමාරුවක් කැස්සක් වගේ තිබුණ ද ?”

“අපෝ නෑ අපේ ගෙදර කාටවත් එහෙම අසනීපයක් තිබ්බෙ නෑ.”

“ලඟදි කොහේ හරි එළියට ගියාද?”

“සංචරණ සීමා දාපු දවස ඉඳලා අපි කොහේවත් ගිහිල්ලා නෑ. බබා වුණත් අල්ලපු ගෙදර ළමයත් එක්ක හවසට සෙල්ලම් කරන්න යනවා විතරයි.”

“එතකොට එහෙන් කොවිඩ් බෝ වෙන්න අවස්ථාවක් තියෙනවනේ.”

“දැනට අපි දන්න විදිහට ඒ ගෙදර කාටවත් එහෙම අසනීපයක් තිබ්බෙ නෑ.”

“මේ ලෙඩේ බෝවෙන්නේ හැමතිස්සෙම රෝග ලක්ෂණ පෙන්වන අයගෙන් විතරක් නෙමෙයි. රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති අයගෙන් පවා කොවිඩ් බෝ වෙන්න හොඳටම ඉඩ තියෙනවා.

පුළුවන් ඉක්මනට ළමයට PCR එකක් හරි රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් (RAT) එකක් හරි කරගන්න.”
------------------------------

“ඩොක්ට’, මටයි මහත්තයටයි දෙන්නටම පොඩි උගුරෙ අමාරුවක් තියෙනවා. අපි සංචරණය සීමා දැම්මයින් පස්සේ සෙනග ගැවසෙන කිසිම තැනකට ගියේ නෑ. කොරෝනා වෙන්න බැහැ නේද?”

“මේ දවස්වල හැටියට නම් කොවිඩ් වෙන්න ඉඩ තියෙනවා. ලඟකදි කොහෙවත් ගියේ නැහැ කියලා හොඳටම විශ්වාස ද?”

“ඔව් ඩොක්ට’. මම නං සති දෙකකින් එළියට බැහැලා නෑ. මහත්තයා වැඩට ගියෙත් නැහැ. දවස් තුන හතරකට කලින් නම් එයා ඒ ගොල්ලන්ගෙ අම්මලාව බලලා, කතා කරලා ආවා. එයාල ඉන්නෙත් මේ ලේන් එකේම පේන දුර. ඒ දෙන්නට තනියෙන් වැඩ කර ගන්න නම් පුළුවන්. ඒ උනාට තනිකමක් දැනෙන්නේ නැතිවෙන්න පුළු-පුළුවන් විදිහට මහත්තයයි එයාගෙ අයියයි හවසට ගිහිල්ලා කතා කරලා එනවා. ෆෝන් එකෙන් කතා කලාට හම්බවෙලා කතා කරනවා වගේ නැහැනේ.”

“ඔය කියන විදිහට ඔයාලා ඒ ඇරෙන්න කොහෙවත් එලියට ගියේ නැතිම නම් මහත්තයාගෙ අයියගෙන් හරි වෛරසය ආසාදනය වුණා වෙන්න පුළුවන්. දැන් අපි කතා කරමු ඊළඟට කරන්න ඕනේ මොකක්ද කියලා..”
------------

කොවිඩ් - 19 ආසාදන කිව්වම බොහෝ දෙනෙකුට සිහියට නැගෙන්නේ නන්නාඳුන සෙනග ගැවසෙන ස්ථානයක් වුනාට, මේ දිනවල රෝගය බෝ වීමට අහළ පහල හොඳින් දන්නා කියන නිවෙස් අතර සිදුවන ගමන් බිමන් බොහෝවිට හේතුවනවා දකින්නට පුළුවන්.

වේගයෙන් පැතිරෙන බවට අපි හොඳින්ම දන්න, ඩෙල්ටා ප්‍රබේධය ආසාදිත පුද්ගලයෙකු, රෝග ලක්ෂණ පෙන්වන්න දින දෙකකට පමණ පෙර සිට අන් පුද්ගලයන් ආසාදනය කිරීමේ හැකියාව ලබනවා. ඒ නිසා එහෙම අය, තමන්ගෙන් රෝගය බෝවෙන අවස්ථාවේ තමා ආසාදිතයකු බව සැක කරන්නේවත් නැහැ.

කෝවිඩ් ගැටලුව අප රටෙන් තව සුළු කාලයකින් නැති වෙලා යයි කියලා හිතන්න බැරි බව ඇත්ත. මේ කියන විදිහටම සංචරණ පාලනය හැමදාටම කරන්න බැරි බවත් ඇත්ත. ඒත් වර්තමානයේ රට තුළ සංචරණය දැඩි ලෙස සීමා කරන්න හේතුවක් තියෙනවා.

ඕනෑම රටක සෞඛ්‍ය පද්ධතියට දරාගත හැකි උපරිම රෝගී ප්‍රමාණයක් තිබෙනවා. දරාගත නොහැකි වේගයකින් නව රෝගීන් වාර්තා වෙද්දි ඉතා දියුණු රටවල පවා සෞඛ්‍ය පද්ධති කඩා වැටීමට ලක් වුණ අවස්ථා අපිට දක්නට ලැබුණා.

මෙය, තිබෙන රෝහල්, වාට්ටු හා යන්ත්‍රෝපකරණ ප්‍රමාණයෙන් ඔබ්බට ගිය සාධක මත තීරණය වනවා. අසාධ්‍ය රෝග තත්ත්වයකදී දැඩිසත්කාර ප්‍රතිකාර ලබාදීමට පුහුණුවක් ලබා ඇති වෛද්‍ය, හෙද හා පරිපූරක සේවා කාර්ය මණ්ඩලය ඕනෑම රටක සිටින්නේ සීමිත සංඛ්‍යාවක්. රටක සාමාන්‍ය වාතාවරණයක් යටතේ අවශ්‍ය සෞඛ්‍ය සේවා සැපයීමට වගේම මෙවැනි වසංගත තත්ත්වයක් යම් තරමකට දරා ගැනීමට ඒ පිරිසට හැකියාව තියෙනවා. එහෙත් ඕනෑම රටක මෙම ධාරිතාව ඉක්මවා ගියහොත් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමට ලක් වන ලක්ෂයක් තිබෙනවා. සංචරණ සීමා යෙදීම තුළින් සිදු වන්නේ එවන් බිඳවැටීමකට සෞඛ්‍ය පද්ධතිය ලක් නොවන ලෙසින් රෝගීන් වාර්තා වන ශීඝ්‍රතාවය පාලනය කර ගැනීමයි.

සංචරණ සීමා පණවා ඇති කාලයක් තුළ නියමිත චර්යාත්මක වෙනස තුළින් රෝග ව්‍යාප්ත වන සීඝ්‍රතාවය අඩු කර ගැනීමට නොහැකි වුවහොත්, සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමක් දක්වා ගමන් කිරීමට වුවත් පුළුවන්. යම් හෙයකින් අවාසනාවන්ත ලෙස එවැනි තත්වයක් ඇති වුවහොත් නියමිත ප්‍රතිකාරය නියමිත පරිදි ලබා දීමට නොහැකි වීම නිසා බේරාගත හැකිව තිබූ ජීවිත ගණනාවක් අවාසනාවන්ත ලෙස අපට අහිමිවී යාමක් දකින්නට සිදු වෙන්නත් පුළුවන්. ඔබ-අප මේ ගතකරමින් සිටින්නේ, එවන් ඛේදවාචකයක් ඇති නොවන්නට, කළ හැකි සියලු දේ කළ යුතුව තිබෙන තීරණාත්මක මොහොතක්.

සංචරණය සීමා කර ඇති මෙම කාලය තුළ, සමීපතම අසල්වැසියන් හා නෑදෑ හිත මිතුරන්ගේ නිවෙස් වලට යෑම පවා උපරිම මට්ටමෙන් සීමා කිරිම , අපි හොඳින්ම දන්න යහපත් සෞඛ්‍ය පුරුදු තදින්ම පිළිපැදීම වගේම හැකි ඉක්මණින් එන්නත්කරණය සම්පූර්ණ කරගැනීම මඟින් වසංගතයේ සීග්‍ර ව්‍යාප්තිය නවත්වාගන්න අපට පුලුවන්. ඒ සියලු උත්සාහයන්, ඉහත කී අවාසනාවන්ත ඉරණම ඔබට හෝ, ඔබගේ ආදරණීයයෙකුට අත්වීම වළක්වාගැනීමට නිසැකවම හේතු වනවා ඇති.

16/07/2021

ශ්‍රී ලංකාවට ලඟදීම එන මොඩර්නා (Moderna) එන්නත ..

මෙය, කොරෝනා ආසාදනය සහ දරුණු රෝගී තත්ත්වය මෙන් ම මරණ ඇතිවීම වැළැක්වීම සඳහා නිර්මාණය වූ එන්නත් අතර මුලින්ම භාවිතයට පැමිණි එන්නතක් . මූලික පර්යේෂණ වලදී ඉදිරිපත් වුණු දත්තවලට අනුව 94% ක ඉහළ කාර්යක්ෂමතාවයකින් රෝග නිවාරණය කිරීමේ හැකියාවක් මෙම එන්නත මගින් පෙන්වා තිබෙනවා. එමෙන් ම ඇතැම් නව කොවිඩ් වෛරස ප්‍රභේද සඳහා ද මෙය සාර්ථකව ක්‍රියා කරන බවට විදෙස් රටවල සිදු කල මූලික මට්ටමේ පර්යේෂණ වලින් අනාවරණය වෙමින් පවතිනවා. මෙය ඇමරිකා එක්සත් ජනපදයේ එන්නත් සමාගමක් වන Moderna Inc. මගින් ස්පාඤ්ඤයේ නිෂ්පාදනාගාරයක නිෂ්පාදනය වන එන්නතක් වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ක්‍රියාත්මක වන COVAX (කොවැක්ස්) පදනම යටතේ මෙම එන්නත් තොගය ලංකාවට ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වනවා.

ෆයිසර් (Pfizer) එන්නතට සමාන තාක්ෂණයකින් නිර්මාණය කර ඇති මෙම එන්නත ගබඩා කිරීම සඳහා සෙල්සියස් අංශක -50 සිට -20 අතර අධි ශීත තත්වයක් පවත්වා ගත යුතු බව දක්වාත් තිබූ නිසා මුල් අවස්ථාවලදී අදාළ යටිතල පහසුකම් නොමැතිව බොහෝ රටවලට මෙම එන්නත ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් පැවතුනා. නමුත්, පසුව සිදුකරන ලද පර්යේෂණ මගින් දින 30 ක කාලසීමාවක් පුරාවට සෙන්ටිග්‍රේඩ් අංශක දෙකත් අටත් අතර උෂ්ණත්වයක විවෘත නොකළ එන්නත් මාත්‍රා තබාගත හැකි බව සොයා ගැනීමත් සමග බොහෝ රටවලට තිබූ යටිතල පහසුකම් පිළිබඳ ගැටළුවට විසඳුම් ලැබුණා.

ෆයිසර් එන්නත සහ මොඩර්නා එන්නත යන දෙකම mRNA එන්නත් ලෙස හඳුන්වනු ලබන අතර ඒවායේ ප්‍රතිදේහජනක ය ලෙස අඩංගු වනුයේ කොරෝනා වෛරසයේ spike ප්‍රෝටීන කොටස නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වන දත්ත ගබඩා වූ mRNA කොටසක් පමණයි. වාහකයක් ලෙස වෙනත් කිසිදු වෛරසයක් භාවිතා නොකර මෙම mRNA කොටස ආවරණය කිරීම සඳහා lipid nanoparticle (LNP) ආවරණයක් පමණක් යොදාගෙන තිබීම මෙහි විශේෂත්වයක්.

මෙම එන්නත ද මාත්‍රා දෙකකින් ලබා ගත යුතු අතර මාත්‍රා දෙක අතර අවම වශයෙන් දින 28 ක කාලසීමාවක් පැවතිය යුතු බව නිර්දේශ කොට තිබෙනවා.

අනෙක් එන්නත් ලබා ගැනීමෙන් පසුව මෙන්ම මෙම එන්නතෙන් අනතුරුව ද සුළු අතුරු ආබාධ වාර්තා වී ඇති අතර ඉන් බොහොමයක් ඉතා කෙටි කාලයකින් සුව වී යන බව නිරීක්ෂණය කර තිබෙනවා. එලෙස ඇතිවිය හැකි සුලබ අතුරු ආබාධ ලෙස වාර්තා වී ඇත්තේ,
එන්නත ලබා දුන් ස්ථානයේ වේදනාව, ඉදිමීම සහ රතු පැහැ ගැන්වීමට, උණ, හිසරදය, වමනය සහ ඇගපත වේදනාව සහ තෙහෙට්ටු ගතියක් ඇතිවීමයි.

කෙසේ නමුත් අනෙකුත් එන්නත් මෙන්ම මොඩර්නා එන්නත මගිනුත් කොවිඩ් - 19 රෝගයෙන් 100% ක ආරක්ෂාවක් නොලැබෙන නිසා, එන්නතෙන් පසුවත් මෙතෙක් අනුගමනය කළ සෞඛ්‍යය පුරුදු අඛණ්ඩව පිළිපැදීම ඔබේත් ආදරණීයන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් අනිවාර්යෙන්ම කළ යුතු බව අප නැවතත් මතක් කරන්නට කැමතියි.

ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාවෙන් පසු?ඇස්ට්‍රාසෙනෙකා එන්නත් නිපදවන ඇතැම් රට වල ඇති වූ තත්ත්වයන් සමගම හටගත් ගෝලීය එන්නත් හි...
02/07/2021

ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාවෙන් පසු?

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් නිපදවන ඇතැම් රට වල ඇති වූ තත්ත්වයන් සමගම හටගත් ගෝලීය එන්නත් හිඟය නිසා එම එන්නත් ඇනවුම් කර තිබූ රටවල පළමු එන්නත් මාත්‍රාව ලබා ගත් අය හට දෙවන මාත්‍රාව ලබා ගැනීමේ ප්‍රමාදයක් ඇති වන ප්‍රවණතාවයක් දක්නට ලැබුණා. මෙවැනි පසුබිමක ඇස්ට්‍රාසෙනෙකා පළමුවන මාත්‍රාව ලෙස ලබාගෙන දෙවැන්න සඳහා වෙනත් එන්නත් වර්ග භාවිතා කළ හැකිද සහ කොපමණ කාල පරාසයක් ඇතුළත දී දෙවන මාත්‍රාව ලබා දුනහොත් හොදම ප්‍රතිදේහ ජනනය සිදුවේ දැයි කියන කාරණා ගැන සඳහන් පර්යේෂණ වාර්තා කිහිපයක්ම පසුගිය සති කිහිපය ඇතුළත දී වාර්තා වුණා

මේ සියලු පර්යේෂණ තවමත් පවතින්නේ ඉතාමත් මූලික අවස්ථාවල වුණත්, ඒවායින් දැනට ලැබෙමින් පවතින සාක්ෂි ඉතාමත්ම සුබදායී වෙනවා.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මෑතක පළකල පර්යේෂණ වාර්තාවකට අනුව ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව හා දෙවන මාත්‍රාව අතර කාල සීමාව සති 45 දක්වා දිගු වුව ද සාර්ථකව ප්‍රතිශක්තීකරණයක් ඇති කරන බව දැක්වෙනවා. ලෝකය පුරා නොසිතූ ආකාරයට ඇති වූ එන්නත් හිඟයත් සමඟ දෙවන මාත්‍රාවේ ප්‍රමාදයන් ඇති වූ බොහෝ රටවලට මෙය සුභදායී ආරංචියක් වුණා.

තවත් පර්යේෂණ මාලාවකින් මතුවෙමින් පවතින නිරීක්ෂණයක් වන්නේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි පළමු මාත්‍රාව ලබා ගත් අයට දෙවන මාත්‍රාව සඳහා ෆයිසර් වැනි එම්.ආර්.එන්.ඒ එන්නතක් ලබාදීමෙන් සිදුවන ප්‍රතිශක්ති ජනනයයි. තවම ව මූලික අවස්ථාවල පවතින ඒ පිළිබඳ පර්යේෂණ පත්‍රිකා දෙකකින්ම පෙනී යන කාරණය වන්නේ මෙහිදී සිදුවන ප්‍රතිශක්ති ජනනය ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙන්ම දෙවැනි මාත්‍රාව ලබා ගැනීමේදී සිදුවන ප්‍රතිශක්ති ජනනයට සමාන හෝ එයටද වඩා සාර්ථක විය හැකි බවයි.

තවමත් ඉතා මූලික අවස්ථා වල පැවතියත් මේ පර්යේෂණ වලින් ලැබෙන සාක්ෂි ගෝලීය එන්නත් හිඟය නිසා දැඩි අපහසුතාවයකට පත් වී පවතින රටවලට අස්වැසිල්ලක් වෙනවා වගේම ලෝකයේම කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය නව දිශානතියකට යොමු කරවනු ඇතැයි සිතන්නට පුළුවන්.

-අදාල පර්යේෂණ පත්‍රිකා හා පළ කිරීම්:

AstraZeneca පළමු මාත්‍රා හා දෙවන මාත්‍රාව අතර පැවතිය හැකි කාල සීමා පරාසය පිළිබඳ Oxford විශ්වවිද්‍යාලයේ පළ කිරීම

https://www.ox.ac.uk/news/2021-06-28-delayed-second-dose-and-third-doses-oxford-astrazeneca-vaccine-lead-heightened-0

AstraZeneca පළමු මාත්‍රාවෙන් පසු වෙනත් එන්නත් වර්ගයකින් දෙවන මාත්‍රාව ලබාදීම පිළිබඳ පර්යේෂණ පත්‍රිකා (මූලික අවස්ථාවේ)

https://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=3874014

https://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=3854768

Research on the ChAdOx1 nCoV-19, also known as the Oxford-AstraZeneca vaccine, indicates that a long interval between first and second doses does not compromise the immune response after a late second dose.

23/06/2021

කෝවිඩ් ආශ්‍රිතව වාර්තාවන, ළමා බහු අවයව-පද්ධති ප්‍රදාහ සින්ඩ්‍රෝමය හෙවත් MIS-C (Multisystem Inflammatory Syndrome in Children) තත්ත්වයෙන් දරුවන් ආරක්ෂා කර ගන්නේ කෙසේද?

රෝගයෙන් ආරක්ෂා වන ආකාරය කතාබහ කිරීමට පෙර මෙම රෝගය මොකක්ද කියන එකත් මෙහි රෝග ලක්ෂණ මොනවාද කියන එක එම රෝග ලක්ෂණ පහල වුවහොත් කුමක් කළ යුතුද කියන එක ගැන අපි මුලින්ම සාකච්ඡා කරලා බලමු.

MIS-C රෝගී තත්ත්වය ඉතා කලාතුරකින් කොරෝනා ආසාදන තත්ත්වය හා සම්බන්ධව ඇතිවිය හැකි සංකූලතාවක් බවට වෛද්‍ය විද්‍යාත්මක කරුණු අනාවරණය වෙමින් පවතිනවා. මේ සම්බන්ධව පුළුල් දැනුම් පරාසයක් ලොව පුරා තවමත් නොමැති අතර මෙම ලිපිය මගින් අප දැනුවත් කිරීමට බලාපොරොත්තු වන්නේ මෙම රෝගී තත්ත්වය ගැන දැනට යම්තාක් මට්ටමකට තහවුරු වූ කරුණු කිහිපයකි.

බොහෝ දරුවන්ට මෙය ඉතා සුළු ආසාදිත තත්ත්වයක් ලෙස ඇතිවිය හැකි නමුත් ඉතා කලාතුරකින් මෙය ඉතා දරුණු රෝගී තත්ත්වයකට උත්සන්න විය හැක. මෙය කුඩා දරුවන්ගේ හෘදය වස්තුව, පෙනහළු, වකුගඩු මොළය, සම සහ සමහර අවස්ථාවලදී ආහාර මාර්ග පද්ධතිය යන අවයව ආශ්‍රිතව සිදුවන ඉදිමුම් තත්ත්වයක් මුල් කරගෙන හටගන්නා රෝගයක් ලෙස අර්ථකථනය වේ.

ලෝකයේ COVID -19 ආසාදන තත්ත්වය ඉතා දරුණුවට පැතිර ගිය රටවල් වල 2020 වසරේ අප්‍රේල් මාසය පමණ සිට වාර්තා වූ මෙම රෝගී තත්ත්වය ලංකාව තුල ද ඉතාමත් මෑත කාලීනව නිරීක්ෂණය කර ඇත. මෙහිදී වැදගත් කාරණය වනුයේ මෙම රෝගයේ රෝග ලක්ෂණ කල් තබා හඳුනා ගැනීමයි. සමහර දරුවන්ට කොරෝනා ආසාදන තත්ත්වයක රෝග ලක්ෂණ පහළ නොවී මෙම රෝග තත්ත්වයේ රෝග ලක්ෂණ සමග පමණක් ඉදිරිපත් විය හැකි බැවින් පහත රෝග ලක්ෂණ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස ළමා රෝග විශේෂඥයින් ඉල්ලා සිටිනවා.

• උණ
• උදරයේ වේදනාව
• වමනය
• පාචන තත්ත්වය
• බෙල්ලේ කැක්කුම
• සමෙහි පලු දැමීම
• ඇස් රතුවීම
• වෙනදාට වඩා අධික ලෙස විඩාවට පත්වීම

මෙම රෝග ලක්ෂණ සියල්ල එකම ආකාරයට සියලුම දරුවන්ට ඇති වන්නේ නැති බැවින් මේ සම්බන්ධව අවධානයෙන් සිටීම වඩාත් වැදගත් වේ.

දරුණු රෝගී තත්ත්වයක ලක්ෂණ ලෙස

• හුස්ම ගැනීමේ අපහසුතාවයක්
• පපුව සිර කරන ආකාරයෙන් ඇතිවන පපුවේ වේදනාවක්
• අවදි වීමට නොහැකි බව හෝ පියවි සිහියෙන් සිටීමට නොහැකි වීම
• දරුවා සුදුමැලි ගැන්වූ බවක් නිරීක්ෂණය වීම
• ඉතා දරුණු උදරයේ වේදනා තත්ත්වයක් ඇතිවීම

මෙවැනි රෝග ලක්ෂණ මතු වුවහොත් ඉතා ඉක්මනින් රෝහලකට රැගෙන ගොස් දරුවාට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යොමුවන ලෙස ළමා රෝග විශේෂඥයින් ඉල්ලා සිටිනවා.

එමෙන් ම පවතින තත්වය යටතේ දරුවන් COVID-19 ආසාදනයෙන් ආරක්ෂා කර ගැනීමට දැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා.

නිවසෙහි එක් අයෙකු හෝ කොවිඩ් ආසාදනය වුවහොත් නිවස තුළ කොවිඩ් වෛරසය පැතිරයාම සිදුවීමට ඉතාමත්ම වැඩි අවදානමක් ඇති නිසා නිවැසියන් සියලු දෙනාම මේ දිනවල නිවසෙන් පිටතට යාම අනිවාර්යයෙන්ම අවම කරගත යුතු වෙනවා. නිවසේ සිටින සම්පූර්ණයෙන් එන්නත් කරණය කරන ලද වැඩිහිටියන් පවා, එන්නත නිසා දැඩි රෝග තත්ත්වයෙන් බොහෝ දුරට ආරක්ෂාවක් ලැබුව ද, වෛරසය ශරීරගත වී, තව කෙනෙකුට සම්ප්‍රේෂණය කිරීමේ අවදානමක් තියනවා.

දෑත් නිවැරදිව පිරිසිදු කරගන්නා ආකාරය, මුව ආවරණයක් නිවැරදිව පළඳින ආකාරය, පුද්ගල දුරස්ථභාවය පවත්වාගන්නා ආකාරය සහ කැස්ස / කිවිසුම් ආවරණය කරගන්නා ආකාරය ගැන ඔබ දැනටමත් දන්නා දේ දරුවාටත් පුරුදු කරන්න. ඔවුන් ඒවා නිවැරදිව පිළිපදින බවට වග බලා ගන්න.

එසේ ම සෙනග බහුලව ගැවසෙන එකිනෙකා ආසන්නයේ සිටින ස්ථාන වලට කුඩා දරුවන් රැගෙන යෑමෙන් වැලකිය යුතුයි. කුඩා දරුවන් නිතර මුව ආවරණය මෙන්ම නාසය හා මුඛය ස්පර්ශ කරන නිසා මෙවන් ස්ථානවල දී වෛරස ශරීරගත වීමේ හැකියාව ඉතා වැඩියි. විශේෂයෙන් ම මුහුණු ආවරණ හෝ ෆේස් ෂීල්ඩ් භාවිතය සුදුසු නොවන වයස අවුරුදු දෙකට අඩු දරුවන් මෙවැනි අවදානම් ස්ථාන වලින් ඈත්කර තබාගැනීම වැදගත්.

නිවසට ආගන්තුකයන් පැමිණීම ද මේ කාලයේ හැකි සෑම විටම අවම කරගත යුතු වනවා. නිවැසියෙක් නොවන කෙනෙක් දරුවා වඩා ගැනීම සුරතල් කිරීම ආදී සමීප ආශ්‍රයක යෙදෙන සෑම අවස්ථාවකම දරුවකු හට COVID - 19 වෛරසය ශරීරගත වීමේ සම්භාවිතාවය වැඩි වෙනවා.

COVID - 19 වසංගත කාලයේ වෙනදාමෙන් සමාජශිලී වීමට ඉඩ ලැබීම නිසා දරුවන් අසතුටට පත් වනවා වෙන්නට පුළුවන්. නිවසේ දී හැකිතාක් ඔවුන්ව ක්‍රියාකාරීව සතුටින් තැබීමට කටයුතු කරන්න. දරුවන් සමග සතුටින් නියැලිය හැකි, දරුවාගේ බුද්ධි වර්ධනයට ද රුකුල් දෙන, නිවසේදී සිදු කළ හැකි ක්‍රියාකාරකම් පිළිබඳව දැනුවත් වෙන්න. දුරකථන හා අන්තර්ජාල මාධ්‍යයන් ඔස්සේ නෑදෑ හිතමිතුරන් හා සම්බන්ධ වීමට හැකිතාක් ඉඩ ප්‍රස්තාව ලබා දෙන්න.

මේ ගතවන වසංගත කාලයේ මනා සිහි බුද්ධියකින් කටයුතු කිරීම අප මෙන්ම අපේ දරුවන්ගේ ආරක්ෂාවට ද මහත් රුකුලක් වනවා.

21/06/2021

පසුගිය දිනකදී ශ්‍රී ලංකාව තුළ, ඉන්දියාව පුරා වේගයෙන් පැතිර ගිය, කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය හඳුනාගැනීම බොහෝ දුරට කතාබහට ලක්වුණා. මෙතෙක් ලංකාවේ පැවති ප්‍රභේද වලට වඩා සීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකි විභවතාවයක් පවතින මෙම ඩෙල්ටා ප්‍රභේදය සොයා ගැනීමත් සමග covid පැතිරීම තීව්‍ර දීමේ අවධානමක් ඇතිවෙනවා. එසේ සිදු නොවීමට නම් අප අත්‍යාවශ්‍යයෙන්ම ගත යුතු පියවර කිහිපයක් තිබෙනවා.

අනික් සෑම ප්‍රභේදයක් ම වගේම ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරයාම අවම කිරීමටත් ඉතාමත්ම තීරණාත්මක සාධකය වන්නේ අප විසින් හැකිතාක් අවදානම් අවස්ථා මග හැරීමයි.

1. සෙනග වැඩියෙන් ගැවසෙන ස්ථාන

2. ජනෙල් දොරවල් වසා ඇති හොඳ වාතාශ්‍රයක් නොලැබෙන අවකාශ

3. මිනිසුන් එකිනෙකා ආසන්නයේ ගැවසීමට සිදුවන ස්ථාන
එවැනි අවදානම් ස්ථාන අතරින් ප්‍රධාන වනවා.

ඩෙල්ටා ප්‍රභේදය නිසා ඇතිවිය හැකි අධි වසංගත තත්ත්වයකට රට ගමන් නොකිරීමට නම් වඩාත්ම වැදගත් වන්නේ මෙවැනි ස්ථාන මගහැර සිටීමයි.

යම්කිසි නොවැලැක්විය හැකි හේතුවක් නිසා මෙවැනි ස්ථානයකට යෑමට සිදු වුවහොත්, සියලු ආරක්ෂක පිළිවෙත් අකුරටම ක්‍රියාත්මක කිරීම මත කෙනකුගේ ආරක්ෂාව තීරණය වෙනවා.

1. නිවැරදි පරිදි මුඛ ආවරණ පැළඳීම

2. දෑත් පිරිසිදුව තබා ගැනීම

3. එකිනෙකා අතරේ අවම වශයෙන් මීටර් දෙකක වත් දුර පවත්වා ගැනීම
මේ අතරින් ඉතා වැදගත් වනවා

ඔබට යම් හෙයකින් උණ සෙම්ප්‍රතිශ්‍යා කැස්ස වැනි රෝග ලක්ෂණ කිසිවක් පවතී නම් ප්‍රතිකාර ලබා ගැනීමට මිස වෙන කිසිම දෙයකට නිවසෙන් පිට නොවීමත් වැදගත්. මෙය ඔබගේ සමාජ වගකීමක්.

ඔබ මේ වන විට එන්නත්කරණය සම්පූර්ණ කර ඇති අයකු වුවද, ඔබටත් කොව්ඩි රෝගය වැළඳීමේ යම් අවදානමක් තියෙනවා. එන්නත්කරණයෙන් ලැබුණු ආරක්ෂාව නිසා, ඔබට දැඩි සත්කාර අවශ්‍ය හෝ මාරාන්තික අවස්ථාවකට පත් වීමට ඇති ඉඩකඩ අඩු වුවද, ඔබ විසින් ඔබේ පවුලේ ආදරණීයයන්ට රෝගය සම්ප්‍රේෂණය කිරීමක් සිදුවිය හැකියි.

සංචරණ සීමා වල යම්තාක් දුරකට ලිහිල් කිරීමක් සිදු වන අවස්ථාවකදී, ඉහත උපදෙස් අකුරටම පිළිපැදීම තුලින් ඔබටත් ඔබගේ පවුලේ ආදරණීයයන්ටත් අන් කොවිඩ් ප්‍රභේද වලින් වගේම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයෙනුත් ආරක්ෂාව සපයා ගත හැකියි.

Address

Thakshila Sevana, Kidelpitiya
Millewa

Opening Hours

Monday 06:30 - 08:00
16:00 - 22:00
Tuesday 06:30 - 08:00
16:00 - 22:00
Wednesday 06:30 - 08:00
16:00 - 22:00
Thursday 06:30 - 08:00
16:00 - 22:00
Friday 06:30 - 08:00
16:00 - 22:00
Saturday 06:30 - 08:00
16:00 - 22:00
Sunday 06:30 - 10:00
16:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when BestCare medical centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram