18/07/2025
🩺අංශභාග (Stroke) රෝගීයෙක්ට නැවත යථා තත්වයට පත්වීමට උදව් වන මොළයේ සැඟවුණු බලය📝
ආඝාතය එහෙමත් නැත්තං stroke කියන්නේ ජීවිතය එක මොහොතකින් වෙනස් කරන සිදුවීමක්. එක් වරම ශරීරයේ කොටසක් පණ නැතිව යාමත්, ඇතැම් විට කතා කරන්න බැරිවීම සමග ඇරබෙන මේ රෝගය නිසා රෝගියා වගේම පවුලේ හැමෝටම හිතට දැනෙන්නේ විශාල අසරණකමක් වගේම කම්පනයක්.
ඒත්... මේ සටනේදී ඔයා දන්නවද ඔයා තනිවෙලා නැහැ. ඔයාගේම මොළය ඇතුළේ, මේ තත්ත්වයෙන් නැවත නැගිටින්න උදව් කරන, පුදුම හිතෙන සැඟවුණු බලයක් තියෙනවා.
ආඝාත පුනරුත්ථාපනයේදී, එනම් ආඝාතයෙන් පසු නැවත යථා තත්ත්වයට පත්වීමේදී, අපේ මොළය භාවිතා කරන ඒ විශ්මිත බලය, එනම් 'ස්නායු ප්ලාස්ටික්තාවය' (Neuroplasticity) ගැනයි.
💎මුලින්ම, සරලවම stroke එකක් කියන්නේ මොකක්ද කියලා අපි බලමු
හිතන්න අපේ මොළය කියන්නේ විශාල නගරයක් කියලා. මේ නගරයේ හැමතැනටම ලේ නහර වලින් නිරන්තරයෙන් ලේ සැපයුමක් ලැබෙනවා. ආඝාතය කියන්නේ, මේ නගරයේ එක ප්‍රදේශයකට ලේ ගෙනියන පාරක් එකපාරටම අවහිර වෙනවා වගේ වැඩක්. මේක බොහෝ දුරට ලේ කැටියක් සිර වීම නිසා හෝ කුඩා රුධිර වාහිනීයක් පිපිරි යාම නිසා සිදු විය හැකියි.
ඒ ප්‍රදේශයේ මොළයේ සෛලවලට ඔක්සිජන් සහ පෝෂණය නොලැබී හානිවෙනවා. ඒ ප්‍රදේශයෙන් පාලනය කරපු ශරීරයේ කොටස්, උදාහරණයක් විදියට මොළයේ වම් පැත්තේ කොටසට හානි වීම නිසා දකුණු අත සහ කකුලේ දුර්වලතා ඇති වෙන්න පුළුවන් ඒවගේම අපේ මොළයේ කතා කිරීමේ හැකියාව ට අදාල ප්‍රදේශයට හානි වීම නිසා කථන හැකියාව දුර්වල වෙන්න පුළුවන්.
💎හරි දැන් අපි බලමු මොළයේ මොකක්ද මේ සුපිරි බලය කියලා : ස්නායු ප්ලාස්ටික්තාවය (Neuroplasticity)
හානියක් වුණාට පස්සේ අපේ මොළය නිකන් ඉන්නේ නැහැ. ඒක පුදුම විදියට තමන්වම අලුත්වැඩියා කරගන්න, වෙනස් කරගන්න උත්සාහ කරනවා. මේ හැකියාවට තමයි අපි 'ස්නායු ප්ලාස්ටිකතාවය' කියලා කියන්නේ.
සරලවම කිව්වොත්, හානිවුණු මොළයේ කොටසට කරන්න බැරිවුණු වැඩේ, මොළයේ නිරෝගීව තියෙන වෙනත් කොටසකට පවරන්න මොළය උත්සාහ කරනවා. ඒ සඳහා ඒ නිරෝගී කොටස, ශරීරයේ අදාළ අතට හෝ පයට අලුතින්ම 'පාරවල්' එහෙමත් නැත්නම් ස්නායු සම්බන්ධතා හදාගන්නවා. මේක තමයි පුනරුත්ථාපනයේදී (stroke rehabilitation ) සිදුවෙන ආශ්චර්යය.
🔔Stroke Rehabilitation එකක විශාල කාර්යක් කරන භෞතචිකිත්සකවරුන් (Physiotherapists) පළමුව නිවැරදි රෝග විනිශ්චයක් සහිතව රෝගියාට ලබාදෙන ප්‍රතිකාරවල ප්‍රධානම අරමුණ තමයි, මොළයේ මේ ස්නායු ප්ලාස්ටිකතාවය කියන හැකියාව උපරිමයෙන් උත්තේජනය කරන එක. ඒ සඳහා භාවිතා කරන ප්‍රධාන ක්‍රම කිහිපයක් තමයි මේ.
💎විශේෂයෙන් ම මම මේ ක්‍රම වේද සම්බන්ධ කෙටි හදුන්වා දීමක් පමණයි සිද්ධ කරන්නේ….
ඔබ රෝගියා සමග physiotherapist කෙනෙක් හමුවී නිවැරදි රෝග පරික්ෂාවකින් පසුව මේ ක්‍රමවේද වඩාත් නිවැරදිව වගේම ඉක්මන් ප්‍රතිපල ලබාගත හැකිවන ලෙස කරන ආකාරය ප්‍රායෝගික ව සිද්ධ කරලා පෙන්නාවි
📝කාර්ය-විශේෂිත පුහුණුව (Task-Specific Training):
මෙහිදී කරන්නේ, නැතිවූ හැකියාවට අදාළ චලනය, උදාහරණයක් විදියට කෝප්පයක් අල්ලන එක, නැවත නැවතත් සිය දහස් වාරයක් පුහුණු වීමට රෝගියාව යොමු කිරීම එකයි. එකම දේ නැවත නැවත කරද්දී, මොළයට සංඥාවක් යනවා "මේ චලනය හරිම වැදගත්, මේකට අලුත් පාරක් හදන්නම ඕන" කියලා.
📝 Constraint-Induced Movement Therapy (CIMT):
මේ ක්‍රමයේදී, නිරෝගී අත පාවිච්චි කරන එක තාවකාලිකව නවත්වලා, ආබාධිත අත පාවිච්චි කරන්නම රෝගියාට බල කරනවා. මේකෙන් මොළයට "වෙන විකල්පයක් නැහැ, මේ අත වැඩට ගන්නම වෙනවා" කියන පණිවිඩය ලැබිලා, ඒ පැත්තට අලුත් ස්නායු සම්බන්ධතා හැදෙන එක වේගවත් වෙනවා.
📝දර්පණ ප්‍රතිකාරය (Mirror Therapy):
මෙහිදී කණ්ණාඩියක් මගින් මොළය රවටනවා. නිරෝගී අත චලනය කරන විට, කණ්ණාඩියෙන් පෙනෙන්නේ ආබාධිත අත චලනය වෙනවා වගේ. මේ දෘශ්‍ය මායාව දකින මොළය, ආබාධිත අතට අදාළ ස්නායු සෛල පවා ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා.
📥මේ ප්‍රතිකාර සාර්ථක වෙන්න කරුණු කිහිපයක් හරිම වැදගත්.
1. නැවත නැවත කිරීම (Repetition): එකම චලනය දහස් වාරයක් කරන තරමට, මොළයේ අලුත් සම්බන්ධතා ශක්තිමත් වෙනවා.
2. ඉක්මනින් ආරම්භ කිරීම: ආඝාතයෙන් පසු හැකි ඉක්මනින් පුනරුත්ථාපනය ආරම්භ කිරීමෙන් ප්‍රතිඵල යහපත් කරගන්න පුළුවන්.
3. අඛණ්ඩතාව (Consistency): දිනපතාම, සැලැස්මකට අනුව ප්‍රතිකාරවල නිරත වීම අත්‍යවශ්‍යයි.
3. ධනාත්මක දැක්ම( Positive thinking): "මට මේක කරන්න පුළුවන්" කියන ධනාත්මක මානසිකත්වය, මොළයේ වෙනස්වීම්වලට විශාල බලපෑමක් කරනවා.
ඉතින් මතක තියාගන්න, stroke කියන්නේ ගමනක අවසානය නෙවෙයි. ඒක අලුත්, අභියෝගාත්මක ගමනක ආරම්භයක්. ඔයාගේ මොළය කියන්නේ ඔයාගේ පැත්තේ ඉන්න බලවත්ම සගයා. නිවැරදි ප්‍රතිකාර, උත්සාහය සහ නොසැලෙන ධෛර්යය තුළින්, මොළයේ මේ ස්නායු ප්ලාස්ටික්තාවය කියන විශ්මිත බලය පාවිච්චි කරලා, නැතිවූ හැකියාවන් නැවත ලබාගන්න ඔබටත් පුළුවන්.❤️💫
ඉතින් ඔයත් දන්න කෙනෙක්, ඔයාගේ හිතවතෙක් මෙවැනි රෝගයකට ලක්ව සිටි නම් දැන්ම සුදුසුකම් ලත් භෞත චිකිත්සක වරයෙක් මුණගැසෙන්න…📞