27/06/2020
ඔබත් ක්ලාන්තයට වතුර ඉහිනවද?
බොහෝමත්ම කාර්යබහුල ජිවිතයක් ගත කරන අපිට, ක්ලාන්තය කියන්නෙ නිතරම වගේ අත්විදින්න සිද්දවෙන රෝගී තත්ත්වයක්. මේ ක්ලාන්තය එක පාරක් වත් හැදුනෙ නැති කෙනෙක් ඉන්නවනම් ඒ ඉතාමත්ම කලාතුරකින්. ඉතින් අපිට විදින්න සිද්දවෙන විවිධ අනතුරු සහ රෝග තත්ව එක්ක බලනකොට ක්ලාන්තය කියන්නෙ එතරම් අවදානම්ක් තියෙන රෝගී තත්වයක් නොවූනත්, සමහර වෙලාවට බරපතල වෛද්‍ය ගැටළුවක් වෙනකම් උනත් යන්නත් පුළුවන්.
බොහෝදෙනා "කලන්තය" කියල කිවුවත්, නිවැරදි වෙන්න ඕන "ක්ලාන්තය" කියල. ඉතින් ක්ලාන්තෙකදී "ඔබ මොකද කරන්නේ?", බොහෝ දෙනාගේ උත්තරය වෙන්න "වතුර ට්කක් ඉහන්න ඕනෙ එතකොට සිහිය එනවා" කියන එක. ඇත්තටම සිහිය එන්නෙ වතුර ඉහින නිසාද? නැතිනම් වෙන හේතුවක් නිසාද? කියන එක ඔබ තේරුම් ගන්න ඕන. මොකද ඔබ ගොඩක් වෙලාවට අහල ඇති, කියවල ඇති, රුපවාහිනියේ චිත්‍රපටයක, එහෙම නැත්නම් පාරේදී, පොදු ස්ථානෙකදී, ඒ වගේ අවස්ථාවලදී මිනිස්සු කරපු දෙයක් දැකල ඇති, ඒ නිසා තමා වතුර ඉහන්න ගොඩක් වෙලාවට පෙලබෙන්නේ. ඒත් වතුර ඉහින එකයි, ක්ලාන්තය අතරයි, කිසිම විද්‍යාත්මක පදනමක් නෑ. හැබැයි නිදාගෙන ඉන්න කෙනෙක්ට වතුර ඉස්සොත් එයා නැගිටියි. ඒත් ක්ලාන්ත රෝගියෙක්ට වතුර ඉහින එකෙන් රෝගියාට කිසිම ප්‍රයෝජනයක් නෑ. මොකද රෝග ඉතිහාසයක් නැත්නම්, ක්ලාන්තය කියන්නෙ එච්චර බයවෙන්න ඕන රෝගී තත්ත්වයක් නෙමෙයි. සාමාන්‍යයෙන් විනාඩි 4 -5 ක් විතර කාලෙකදී සම්පූර්ණ සුවයක් ලබාගන්න පුළුවන් තත්වයක්. ඉතින් ඔබ වතුර හොයල රෝගියාට ඉහින කොටම රෝගී කාල සිමවත් ඉවර නිසා තමා සිහිය එන්නෙ. ඒත් ක්ලාන්තය භයානක වගේම දරුණු වෙන්න, ශරීරයේ සමබරතාවය නැතිවෙලා බිම ඇදගෙන වැටෙද්දි වගේම සිහිය නැති වෙද්දි, ඔබ කරමින් ඉන්න වැඩේ සහ ඉන්න ස්ථානයේ ආරක්‍ෂිත තාවය අනුවයි. (උස් ස්ථානයක නම් ඉන්නෙ , යන්ත්‍ර සුත්‍ර ගොඩක් එක්කනම් වැඩ කරන්නෙ) ඒකනිසා ක්ලාන්තය කියන්නේ මොකක්ද? ඒ වගේ වෙලාවට කරන්න ඕන මොනාද? වෙන්නෙ මොනාද? කියල දැනගනන එක ඔබට ඉතාමත් වටිනවා.
අපේ ශරීරයේ පාලනයකින් තොරව ක්‍රියාත්මක වෙන ස්වයං සාධක ස්නායු පද්ධතියට අයිති ප්‍රත්‍යානුවේගී ස්නායුවක ක්‍රියාකාරීත්වය නිසා ක්ලාන්තය සිද්ද වෙනවා. ඒ වගේම විවිධ වූ වෛද්‍යමය හේතු නිසාත් ක්ලාන්තය වෙලා සිහිය නැතිවෙන්න පුළුවන්. ක්ලාන්ත නැත්නම් සින්කෝප් (Syncope) කියන්නෙ, අපේ ශරීරය විසින්ම ඇතිකරවන පැවැත්මේ යාන්ත්‍රණයක්, එහෙමත් නැත්නම් ආරක්‍ෂිත ක්‍රමවේදයක්. කුමක් හෝ හේතුවක් නිසා මොළයට අවශ්‍ය කරන ඔක්සිජන් සහ ග්ලුකෝස් සහිත රුධිර සැපයුම අඩු වුනොත්, ඒ අඩුව නැවත ලබාගන්න අපේ ශරීරය විසින්ම ඇති කරවන ක්‍රියාවලියක්. මේකෙදි, සිද්ද වෙන්නෙ අපේ ශරීරයේ අත්‍යවශ්‍යම නොවන කොටස් වලට සැපයෙන රුධිරය තාවකාලිකව අඩුකරලා, හුස්ම ගැනීමේ වේගයත්, හෘද ස්පන්දන වේගයත් වැඩි කරලා, මොළයට අවශ්‍ය කරන ඔක්සිජන් සහ ග්ලුකෝස් සහිත රුධිර සැපයුම නැවත ලබාගැනීමක්. මේ ක්‍රියාවලියේදී ශරීරයේ අනෙක් කොටස් වලට ලැබෙන රුධිර පීඩනය අඩු කරනව වගේම, මොළයට අවශ්‍ය අමතර ඔක්සිජන් සහිත රුධිර සැපයුම ලබාගන්නේ අනෙක් කොටස් වල උදවූවෙන්.
ක්ලාන්තය සාමාන්‍යයෙන්, මොළයට අවශ්‍ය කරන ඔක්සිජන් සහිත රුධිර සැපයුමේ අඩුකමක් නිසා වගේම පෙනහළු වලට හෝ රුධිර සංසරණයට කාබන් මොනොක්සයිඩ් විෂ වීම වගේ හේතු නිසාත් ඇතිවෙන්න පුළුවන්. ගොඩක් වෙලා සිටගෙන හිටියොත්, ගොඩක් වෙලා රස්නෙ හෝ සිතල පරිසරයක හිටියොත්, රැකියාවෙදි තියෙන මානසික ආතතිය නිසා, අධික වෙහෙස නිසා, එහෙමත් නැත්නම් පිරිස වැඩි තැනක ඉන්න කොට, පිරිසක් එක්ක තෙරපෙමින් ඉන්නකොට, බඩගින්නේ හිටියොත්, එක දිගට නිදිමරල තියෙනවනම්, ගොඩක් වෙහෙස වෙලා වැඩකරනවානම්, එකම ඉරියව්වෙන් ගොඩක් වෙලා ඉන්නවනම්, ඔබට ක්ලාන්ත තත්වයක් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම තව සමහරඅය ඉන්නවා, ලේ දැක්කොත්, නැත්නම් අප්‍රසන්න වගේම කම්පනය ඇතිකරවන සිද්දියකදි, ඛේදජනක පුවතක් නිසා ඇතිවෙන හදිසි මානසික ආතතියක් නිසා, ක්ලාන්ත වෙන. එහෙම වෙන්න හේතුව අපේ ශරීරයේ ලේ තිබ්බත්, අවශ්‍ය ඔක්සිජන් සහ ග්ලුකෝස් සහිත රුධිර සැපයුමක් මොළයට ලබා දෙන්න තරම් ශක්තියක් අපේ ඇඟ ඇතුලෙන් ලැබෙන්නේ නැති නිසා.
ඒ වගේම ගොඩක් අවස්ථාවලදී, එක පාරටම කෙනෙක් ක්ලාන්තයක් හැදිලා ඇදගෙන වැටෙන්නෙ නෑ. වැටෙන්න කලින් මොලයෙන්ම පණිවිඩ එවනව ඔබට රෝග ලක්ෂණ විදියට, මොළයට ඔක්සිජන් සහිත රුධිර සැපයුම අඩුයි ඒක නැවත හරිගස්සන්න කියල. ඔබ ඒක නැවත හරිගස්සන්න උත්සහ කරේ නැත්තම් තමා ක්ලාන්ත වෙලා ඇදගෙන වැටෙන්නෙ. වැටෙන්න කලින් මේ වගේ රෝග ලක්ෂණ ඔබට එන්න පුළුවන්, ගොඩක් දාඩිය දානවා, කොච්චර උණුසුම් තැනක හිටියත් එකපාරටම තදින් සීතලක් දැනෙනවා, හැමදේම බොඳ වෙලා වගේ පේනවා, වටේට කැරකෙනවා වගේ දැනෙනවා, ඇස් නිලංකාර වෙනවා, සමබරතාවය නැති වෙනවා වගේ, කන් දෙක අගුල් වැටිලා වගේ දැනෙනව, අනික් අය කියන දේවල් ඇහෙන්නේ නැති ගතියක් දැනෙන්න පුළුවන්. ඉතින් මේ රෝග ලක්ෂණ ඔබට දැනෙන්න ගත්තොත්, කරමින් ඉන්න වැඩේ ඉක්මනින්ම නවත්වල සුදුසු ආරක්‍ෂිත තැනකින් වාඩි වෙන්න. තව කෙනෙක්ගේ උදවුවෙන් ඔබට පුළුවන් කකුල් ටිකක් ඈත් කරලා, හිස දනිස් දක්වා පහල නවන්න. මෙහෙම කරන්න හේතුව, ඔබේ ඔළුව හදවතට වඩා පහලට තියෙන කොට අපිට පුළුවන් හදවතේ ඉඳල මොලයට අවශ්‍ය කරන ඔක්සිජන් සහිත රුධිර සැපයුම ඉක්මනින් ලබාදෙන්න. ටික වෙලාවක් ඉන්නකොට ඔබෙන් ක්ලාන්ත ගතිය නැතිවෙලා යයි. හැබැයි ඔබ මහතනම්,ගැබිණි මවක්නම් නැවෙන්න බෑ. බිම දිගාවෙලා ටික වෙලාවක් ඉන්න. ඔබ ක්ලාන්ත ලක්ෂණ තව දුරටත් ගණන් නොගෙන හිටියොත් සිහිය නැතුව ඇදගෙන වැටෙන්න පුළුවන්, නාඩි වේගය අඩු වෙන්න පුළුවන්, සුදුමැලි වෙන්න පුළුවන් වගේම, සම අල්ලලා බැලුවොත් සීතල, තෙන ගතියක් දැනෙන්න පුළුවන්.
ක්ලාන්ත වෙච්ච රෝගියෙක් එක්ක කටයුතු කරනකොට අපේ අරමුණ වෙන්න ඕන, රෝගියාගේ මොළයට අවශ්‍ය කරන ඔක්සිජන් සහ ග්ලූකෝස් සහිත රුධිර සැපයුම නැවත ක්‍රමානුකූලව ලැබෙන්න සලස්වන එක. ඒකෙදි අපි අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දේවල් කිපයයක් තියනවා. මුලින්ම රෝගියා වැටෙන්න යනවනම් ඒක වලක්වන්න ඕන මොකද අවදානම් තැනක නම් ඉන්නෙ වැටිලා තවත් අනතුරක් වෙන්න පුළුවන් නිසා. ඒ වගේම රෝගියාට පිරිසිදු වාතාශ්‍රයක් ලබාදෙන්න සුදුසු ආරක්ෂිත ස්ථානයකට ගෙනියන්න. අහල පහල පිරිස වටවෙලා ඉන්නවනම් එයාලව ඉවත්කරන්න. මොකද පිරිසක් වටවෙලා ඉද්දි අවට වැඩියෙන් තියෙන්නෙ කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි වාතාශ්‍රයක්, ඒ නිසා ඒක රෝගියාට අපහසුවක් ඇති කරවන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට පුළුවන් රෝගියාගේ මුහුණට ටිකක් ඉහළින් පවන් ගහන්න. ක්ලාන්තය වුණේ ගෙදරදී නම්, ජනෙල් විවෘත කරන්න, විදුලි පංකාව ක්‍රියාත්මක කරන්න. රෝගියා ඇඳන් ඉන්න ඇඳුම් තද වැඩිනම් ටිකක් ලිහිල් කරන්න. මොකද, ඇඳුම් තද වැඩි වුණාම ඇඳුම් වලට රුධිර වාහිනී තෙරපිලා රුධිර සංසරණයට සහ හුස්මගන්න ඒක බාධාවක් වෙනවා. මේක ප්‍රධාන වශයෙන් වෙන්න පුළුවන් බෙල්ල, පපුව, උදරය, ඉණ, අත් සහ පාද වලට පැළඳගෙන ඉන්න දේවල් නිසා. රෝගියා ටයි එකක් දාලා ඉන්නවා නම්, කමිසයේ උඩ බොත්තම දාලා නම්, ඉණ පටියක් (බෙල්ට් එක) දාලා නම්, සපත්තු දාලා නම්, ඒවා ලිහිල් කරන්න. කාන්තාවන් අඳින උඩුකය යට ඇඳුම නිසාත් ස්වසනයට බාධා වෙන්න පුළුවන්. ලිහිල් කරන්න අත්‍යාවශ්‍යයි කියල ඔබ හිතනවා නම්, කාන්තාවකගේ සහාය ලබාගන්න අමතක කරන්න එපා.
මේ ක්‍රම වලින් අපිට පුළුවන් රෝගියාගේ ස්වසනය සහ රුධිර සංසරණය ක්‍රමානුකූල කරන්න. ඒ වගේම මේ ක්‍රියාවලිය අපිට තවත් වේගවත් කරන්න පුළුවන් රෝගියාගේ දෙපා අඩියක් තර,ම් උස තැනකින් තියල. දෙපා ඔසවන්න හේතුව තමා අපේ ශරීරය අක්‍රීය වෙලා තියෙන අවස්ථා වලදී ශරීරයේ රුධිරයෙන් වැඩි ප්‍රමාණයක් අපේ දෙපා ආශ්‍රිතව තමා එකතු වෙන්නෙ. ඉතින් දෙපා හෘදයට වඩා ඉහළින් ඔසවල තිබ්බම අපිට පුළුවන් දෙපා වලට එකතුවෙන වැඩි රුධිරය හිසට ගලා යන එක පහසු කරන්න. ඒකෙන් මොළයට වැඩි රුධිර ප්‍රමාණයක් ඉක්මනින් සංසරණය කරවන්න පුළුවන්. ඒ වගේම ඔබ මේ දේවල් කරනකොට රෝගියාට ඔබේ සම්පුර්ණ අවදානය දෙන්න. මොකද රෝගියාගේ සුවවීමේ මූලික ලක්ෂණ මුහුණෙන් දැනගන්න පුළුවන් සහ මේ ක්‍රම ක්‍රියාත්මක කළොත් ඉක්මනින්ම රෝගියව ප්‍රකෘති තත්ත්වයට පත් කරගන්නත් පුළුවන් නිසා. රෝගියාට සිහිය නැත්නම් ශ්වනයට බාධා වෙන්න පුළුවන්, ඒ අවහිරතාව වලක්වන්න උඩුබැලි අතට බිම දිගා කරවල, රෝගියාගේ හිස එක් පැත්තෙකට හැරවන විදියට තබා, නිකට ප්‍රදේශයෙන් හිස මඳක් ඉහළට එසවෙන විදියට හදන්න එකෙන් ශ්වසන අවහිරතාවය වලක්වගන්න පුළුවන්.
රෝගියාට නැවත සිහිය එනකොට, ඉක්මනින් නැගිටින්න උත්සහ කරයි. ඒත් ටික වෙලාවක් යනකම් ඒ විදියටම ඉන්න ඉඩ දෙන්න. සිහිය ආවට පස්සෙ "මොකද වුණේ? " අහන්න. කලබල ගතියෙන් ගොඩක් දේවල් කියන්න, අහන්න ගනී. රෝගියාව සන්සුන් කරල, ප්‍රකෘති තත්ත්වයට ආවට පස්සෙ කෑමට, බීමට යමක් දුන්නට ගැටළුවක් නෑ. උණුසුම් පානයක් දෙන්න පුළුවන් ගොඩක් හොඳයි. මොකද ටිකක් රස්නෙන් පානය කරන නිසා රුධිර සංසරණය වේගවත් වෙනව වගේම ඉක්මනින් ශරීරයට උරා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. එහෙම නැත්නම් ලවණ අඩංගු පානයක් බොන්න දෙන්න. හැබැයි ඔබ කවන්න, පොවන්න යන්න එපා. රෝගියාගෙ අතට දෙන්න. ක්ලාන්ත රෝගියෙක් එක්ක කටයුතු කරනකොට ඔබ මේ වගේ දේවල් නොකරන්නත් වගබලා ගන්න. සිහිය ගන්න හිතාගෙන රෝගියාගේ මුහුණට වතුර ඉහින්න යන්න එපා. ඒ වෙනුවට අත්ලට වතුර ටිකක් අරගෙන මුහුණේ තවරන්න. අසිහි අවස්ථාවේදී කවන්න, පොවන්න උත්සාහ කරන්නත් එපා. කැෆේන් අඩංගු පාන වර්ග, සිසිල් බිම වර්ග කිසිම වෙලාවක බොන්න දෙන්න එපා.
ක්ලාන්තය, කරකැවිල්ල ගතියක් ඇති වුනු ගමන්ම, මුලින්ම ඔබ කරන්න ඕන විනාඩි කිහිපයක් වැතිරිලා ඉන්න එක. ඒකෙන් මොලයට ලේ ගමනය හොඳින් සිදු කරවනවා. ඒ වගේම ඊට පස්සේ කලබලේට, ඉක්මනින් ඇඳෙන් හෝ පුටුවෙන් නැගිටින්න හදන්නත් එපා. හොඳින් හුස්ම ගන්න. ගැඹුරින් හුස්ම ගන්න, ඒකන් රුධිරයේ ඔක්සිජන් සැපයුමේ ක්‍රියාකාරීත්වය වැඩි වෙලා ශරීරයේ පටක, සෛල හා අවයව වලට හොඳ ඔක්සිජන් ගමන් කිරීමක් සිද්ද වෙනවා. එහෙම නැත්නම් විනාඩි කිහිපයක් එක දිගට කෙටි හුස්ම ගන්න, ඒකෙන් අප්‍රාණික වෙලා තියෙන ශරීරයට ප්‍රාණවත් බවක් ලබා දෙන්න පුළුවන් වෙනවා. වතුර බොන්න. ඒකෙන් විජලනයට පත් වීම අවම කරනවා. ක්ලාන්ත වැනි තත්ත්වයකදී පියවි සිහිය නැති කෙනෙක්ට කිසිම වෙලාවක වතුර පොවන්න එපා. ක්ලාන්ත තත්වේ ටිකක් අඩු වෙලා පියවි සිහියට අවට පස්සේ වතුර වීදුරුවක් බොන්න දෙන්න. පුළුවන්තරම් දියරමය ආහාර ලබා දෙන්න. සම්බාහනය කරන්න. මේ වගේ වේලාවකදී මුළු සිරුරම සම්බාහනය කරන්න පුළුවන් නම් ලේ ගමනය හොඳින්ම සිදුවෙන්න උදව්වක් වෙනවා. ඒත් අවස්ථාවේ හැටියට අවම වශයෙන් හිස විතරක් වත් හොඳින් සම්බාහනය කරන්න. දොඩම් යුෂ බොන්න. දුර්වල වුණු ශරීරයට ඉක්මනින් ශක්තිය දෙන්න පුළුවන් බීමක් තමා දොඩම් යුෂ. ස්වාභාවික දොඩම් යුෂ වීදුරුවකට යෝගට් තේ හැඳි 2 ක් 3 ක් එකතු කරල බොන්න. ඒකෙන් හිසට දැනෙන කරකැවිල්ල ගතිය ඉක්මනින් අඩු කරගන්න පුළුවන්. මේ පොඩි පොඩි ප්‍රතිකර්ම හදිසියේ ඇතිවෙන හිස කරකැවිල්ල තත්ත්වයට හොඳ විසඳුම් කිහිපයක්.
කොහොම වුනත් මේ විදියට ඇතිවෙන ක්ලාන්තයට අමතරව, තවත් විවිධ වූ වෛද්‍ය හේතු නිසාත් සිහිය නැතිවෙලා ඇදගෙන වැටෙන්න පුළුවන්. රෝගියාගේ මුහුණේ හිරිවැටීමක්, දුර්වලකමක්, එක් අතක හිරිවැටීමක් හෝ නොපැහැදිලි කථාවක් වගේ ලක්ෂණ තියෙනවනම් හදිසි වෛද්‍ය ආධාර ලබාදෙන්න අවශ්‍යයි. සිහිය නැතිවෙන්න කලින් පපුවේ වේදනාවක් හෝ අක්‍රමවත්, හෘද ස්පන්දනයක් තිබ්බනම් රෝගියාට හෘද රෝග සම්බන්ද ඉතිහාසයක් තියෙන්න පුළුවන්. නැත්නම් සැරින් සැරේ ක්ලාන්ත වෙනවනම් හෝ අප්‍රාණික බවක් දැනෙනවනම්, වහාම වෛද්‍ය ආධාර වලට යොමු කරන්න ඕනෙ. මොකද සාමාන්‍ය ක්ලාන්තයක්ද? වෙනත් හේතුවක් නිසා ඇතිවුන ක්ලානත්යක්ද? කියල වෙන් කරල අදුරගන්න එක බොහොම වැදගත් නිසා.
-Success Way Academy-
Call Us : 0766 619 675
Email : support@successway.lk