
27/05/2022
Stroke 2 (අංශභාගය 2 කොටස)
🔹මෙම ලිපියේ පලමු කොටස -
https://www.facebook.com/104261048953100/posts/117055674340304/
පසුගිය ලිපියෙන් අංශභාගය පිලිබඳ මූලික දැනුම අපි ලබාගත්තා. එහි දෙවන කොටස වශයෙන් මෙම ලිපියෙන් අපි අංශභාගය සෑදුන රෝගියෙකු රෝහල් ගත කිරීමේ සිට මූලික ජීවිතාරක්ෂක ප්‍රතිකාර ලබාදීමත්, එතැන් සිට නිවසට පැමිණි පසු ගතයුතු ඉදිරි ප්‍රතිකාර කටයුතු ගැනත් කතාකරමු.
⭕ අංශභාගය සෑදුණු රෝගියෙකු රෝහල් ගතකල විට සිදුකරන මූලික ප්‍රතිකාර
මෙහිදී සිදුකරන හදිසි ප්‍රතිකාර රෝගියා හට වැලඳී තිබෙන අංශභාග තත්ත්වය, රුධිර නාල අවහිරවීමක් (Ischemic stroke) නිසාද, නැතහොත් රුධිර නාලයක් පිපිරීමක් (hemorrhagic stroke) නිසාද යන්න මත තීරණය කරන අතර ඉන් අනතුරුව සුදුසු පරිදි ඖෂධ ලබාදීමෙන් හෝ ශල්‍යකර්මයක් මගින් මූලික ප්‍රතිකාර ආරම්භ කරයි.
මූලික ජීවිත අවදානම පහව යාමෙන් පසු අංශභාග රෝගියා පුනරුත්ථාපනය කිරීමේ මීළඟ පියවරවල් ලෙස,
▪️භෞත චිකිත්සාව
▪️කථන චිකිත්සාව
▪️වෘත්තීය චිකිත්සාව
සඳහා එක් එක් රෝගියාගේ රෝග ලක්ෂණ සැලකිල්ලට ගෙන ඒ අනුව යොමුකිරීම සිදුකරයි.
⭕ අංශභාගය සෑදුණු රෝගියකුට භෞතචිකිත්සාවේ වැදගත්කම
අංශභාග රෝගියෙකු සඳහා භෞතචිකිත්සක ප්‍රතිකාර ලබාදීම රෝහලේදීම ආරම්භ කරන අතර, රෝගය වැලඳී ප්‍රථම මාස 3 තුල නොකඩවා භෞතචිකිත්සක ප්‍රතිකාර ලබාගැනීම මඟින් සංකූලතා අවම කිරීම සහ පෙර පැවති සාමාන්‍ය සෞඛ්‍යය තත්ත්වයට නැවත පත්වීමට මහඟු රුකුලක් සපයයි.
මෙහිදි ප්‍රතිකාර අවශ්‍ය වන කාලසීමාව රෝගියාගෙන් රෝගියාට වෙනස්වන අතර
භෞතචිකිත්සකවරයා විසින් විශේෂිත වූ ක්‍රියාවලියකට අනුරූපව, විවිධ ප්‍රතිකාර ක්‍රම ඔස්සේ සිය දායකත්වය ලබාදෙයි. උදාහරණ කිහිපයක් ලෙස,
▪️රෝගියා සිටින කාමරය, ඇඳ හා වටපිටාව නිවැරදිව සකස්කරන ආකාරය පිලිබඳව මෙන්ම රෝගියාට සාත්තු කිරීමේදී නොකල යුතු දේවල් පිලිබඳ නිවැසියන් දැනුවත් කිරීම
▪️අස්ථි හා පේශී වල නීරෝගී ස්වභාවය සාමාන්‍ය අයුරින් පවත්වා ගැනීම
▪️රෝගියා නිවැරදි ලෙස ඉරියව් ගතකිරීම
▪️අත් හා පාද සන්ධි වලින් නිවැරදි ආකාරයට චලනය කිරීමේ ව්‍යායාම සිදුකිරීම
▪P.N.F. ලෙස හඳුන්වන සන්ධිවල ඇති සංවේදන ප්‍රතිග්‍රාහක සහ ස්නායු උත්තේජනය කරන විශේෂිත ප්‍රතිකාර කිරීම
▪සමබරතාව හා සමායෝජනය නැවත දියුණු කිරීම
▪️නිවැරදි ඇවිදීමේ ඉරියව්වේ නැවතත් පිහිටුවීම
මීට අමතරව පුනරුත්ථාපන ක්‍රියාවලියේදී එක් එක් රෝගීන්ගේ තත්ත්වය අනුව කථන චිකිත්සාව හා වෘත්තීය චිකිත්සාවද ලබාදීම සිදුකරයි.
⭕ නිසි භෞතචිකිත්සක ප්‍රතිකාර නොගැනීම තුලින් ඇතිවිය හැකි සංකූලතා
▪️අසාමාන්‍ය ඉරියව් (Synergic patterns) වර්ධනය
▪️සන්ධි හා මාංශපේශි දරඳඩු වීම
▪️මාංශපේශි දුර්වල වී ක්ෂය වී යාම
▪️ශ්වසන මාර්ගය ආශ්‍රිතව ස්‍රාවයන් එකතුවී නිසිලෙස බැහැර නොවීම නිසා නිව්මෝනියාව ඇතුළු ශ්වසන සංකූලතා ඇතිවීමේ අවදානම
▪️ඇඳ තුවාල, මුත්‍රා ආසාදන ඇතිවීමේ අවදානම
▪️රුධිර කැටි ඇති වී හෘදයාබාධ ඇතිවීමේ අවදානම
▪️නැවත ඇවිදීමට හැකි තත්ත්වයට පත් වුවද සමායෝජනය, සමබරතාව හා උකුල ආශ්‍රිතව පැවතිය හැකි සංකූලතා නිසා නිවැරදි ඇවිදීමේ ඉරියව්වට පත්වීමට නොහැකි වීම
⭕අංශභාග තත්වයෙන් වැලකී සිටීමට කලයුතු දේ
මේ සඳහා ප්‍රධාන වශයෙන් කලයුතු වන්නේ සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතකට හැඩගැසීමය.
අධික ලෙස මත්පැන් දුම්වැටි භාවිතයෙන් වැලකීම, තෙල් හා ලුණු අධික ආහාර පරිභෝජනයට නොගැනීම, අලුත් එළවළු හා පලතුරු වැඩි වශයෙන් ආහාරයට එක්කර ගැනීම මෙන්ම ක්‍රියාශීලීව දවස ගතකිරීම අංශභාගයෙන් වැලකී සිටීමට ඔබට පහසුවෙන්ම මග සලසා දෙයි.
🔲◾◽🔲◾◽🔲◾◽🔲◾◽🔲◾◽🔲◾◽🔲◾◽🔲
🏃🏃🏻♀️PhysioAid 🏃🏻♀️🏃
Physiotherapy and Wellness
Sri Lanka
ඔබට අවශ්‍ය උපදෙස්, භෞතචිකිත්සක ප්රතිකාර සඳහා අප හා සම්බන්ධ වන්න..